ඉන්ටර්නැෂනල් ලොජිස්ටික්ස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ | සිළුමිණ

ඉන්ටර්නැෂනල් ලොජිස්ටික්ස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාව, ප්‍රතිඅපනයනයට එහා ගිය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ‍බවට පත් කිරීමට අවශ්‍ය, සාධක ගොඩනැඟීමේ අරමුණු ඇතිව කලම්බු ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සලසා ඇත. මේ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නැව් සමාගම් සියල්ල පාහේ ලබන අගෝස්තුවේ කොළඹට පැමිණීමට නියමිතය.

දකුණු ආසියාවේ කිසිදු රටකට නැති තරමේ ආර්ථික වාසි ළඟා කර ගැනීමට සමත් ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට වැනි වරායන් ශ්‍රී ලංකාව සතුව තිබියදී, ඒවායින් උපරිම ඵල තවමත් නෙළා නොගැනීම රටට විශාල පාඩුවක් බව CIMC Events නිර්මාතෘ සභාපති සහ ෂිපින් ඇකැඩමි කලම්බු ප්‍රයිවට් ලිමිටඩ් හි CEO රොහාන් මාසකෝරාළ මහතා පැවසීය.

BOI හරහා, ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාවට ගෙන්වා, ඔවුන්ගේ විදේශ ආයෝජන ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කිරීමත්, ප්‍රතිඅපනයනය සහ ලොජිස්ටික් යන අංශ දියුණු කිරීමත් කළ හැකි නම්, අපනයන සහ අැඟලුම් යන අංශවලින් ලැබෙන ආදායමට වඩා දැවැන්ත ආදායමක් අප රටට උපයා ගත හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය. මෙවර සමුළුව නියෝජනය කිරීම සඳහා රටවල් 200ක් සහභාගි වීම අපේක්ෂා කළ නමුත් රටේ පවතින තත්වය අනුව එහි යම් වෙනසක් ඇතිවිය හැකිය. මෙම සමුළුවට සහභාගි වන සියලු ම රටවල් කොළඹ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමට ද නියමිතය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සංචාරක මණ්ඩලය, ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය හා සම්බන්ධ ‍පුද්ගලික ආයතන සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන්, ආනයන සහ අපනයනකරුවන් යන සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් පැවැත්වෙන මෙවර සමුළුව හරහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ වරායන් පිළිබඳ ලෝකයාට දැනුම් දීම, ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයේදී ශ්‍රී ලංකාවේ පිහිටීමේ ඇති වැදගත්ම පෙන්වා දීම, ඒ හරහා ජාත්‍යන්තර වෙළෙඳාම ශ්‍රී ලංකාව වෙත අද්දවා ගැනීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඡායාරූප-විමල් කරුණාතිලක

Comments