යුද්ධයෙන් සියලු ප්‍රාර්ථනා බිඳ වැටුණු අසරණයන්ගේ හිසට වහලක් | සිළුමිණ

යුද්ධයෙන් සියලු ප්‍රාර්ථනා බිඳ වැටුණු අසරණයන්ගේ හිසට වහලක්

ජීවිතයම විඩාවක් වූ මනුෂ්‍යයන්ට සිනාසෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඔවුහු සිනාසෙමින් උන්හ. ඒ සිනාව විරලය. අතිශයින්ම විරලය. ඒ අසිරිමත් මොහොත ඔවුන් සමඟ බෙදාගනිමින් සිටියෙමි.

ත්‍රස්තවාදයේ පීඩනයට හසුව මරණය සුලභ වූ බිමක දරිද්‍රතාවෙන් පීඩිත පරඬැල් වැනි මිනිසුන් බලයට පත් දේශපාලකයන්ගේ පහසු ගොදුරුය. උතුරු නැඟෙනහිරදී අප මෙතෙක් අත්දුටුවේ ඒ සාහසික යථාර්ථය ය. යුද්ධයට පෙරත්, යුද්ධය නිමා වූ පසුවත් දෙමළ - සිංහල භේදයකින් තොරව ඒ දේශපාලනය මේ මිනිස් ජීවිත අවභාවිත කරන අයුරු වේදනාවෙන් යුතුව බලාගෙන සිටියෙමු.

උතුරු නැඟෙනහිර ජීවත් වෙන්නේද මේ භූමිය ඉතිහාසයක් පුරා බෙදාගත් අපේම සහෝදරයන් පිරිසකි. පුළුල් මානුෂවාදී දෘෂ්ටියකින් යුතුව ඔවුන්ව දකින්නට හැකි පුළුල් දැක්මක් සහිත දේශාපලනයක නිරත ආණ්ඩුවක් හැදෙන්නේ 2015 දී ය. උතුරු නැගෙනහිර මුල් කරගෙන රජය එදා ලබාගත් සැබෑ සංවර්ධන ප්‍රවේශය කෙළවර මනුෂ්‍යත්වයේ පරමාර්ථය පල දරා ඇති අයුරු දකිමි. වෙනත් සාධක ඇවැසි නැත. සිය හදවත පත්ලෙන් මතු වන මේ අහිංසක මිනිසුන්ගේ සිනාව පමණක් ඊට ප්‍රමාණවත්ය.

උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි නිවාස දස දහසක් ඉදි කෙරෙමින් ඇත. මේ සංකේතාත්මකව එළි දකින්නේ එම විශිෂ්ට ව්‍යාපෘතියේ මුල් අදියර ජනසතු කිරීමය. එය සිදු කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස පිරිනැමීම යාපනයේ නැදුන්කර්නි ප්‍රදේශයේදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවෙයි.

උතුරු නැඟෙනහිරට මතු නොව වාර්ගික භේදයකින් තොරව මේ රටේ වෙසෙන අසරණයන්ට හිසට වහලක් සකසා දීමේ ව්‍යාපෘති ගණනාවක් රජය ක්‍රියාත්මක කර තිබේ. නාගරිකව හා ගම්බදව විවිධ ව්‍යාපෘති යටතේ නිවාස ඉදිකිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය දැනටමත් දැවැන්ත ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම ඉදි කර නිමා වූ විශාල නිවාස ප්‍රමාණයක් ජන සතු කොට තිබේ.

ත්‍රස්තවාදී යුද්ධයක ගොදුරු වී අර්ධ මනුෂ්‍යයන් සේ කලක් ජීවත් වූ, සියලු ජීවිත ප්‍රාර්ථනා අහිමි කළ මේ අසරණයන්ගෙන් බහුතරයක් අද වනවිටත් ජීවත් වන්නේ හිසට වහලක් නැති අන්ත දුගී අසරණයන් සේය. අයෙක් තවමත් අවතැන් කඳවුරුවලය. අයෙක් තවමත් ජීවත් වෙමින් සිටියේ යුද්ධයෙන් නටබුන් බවට පත්වු නිවාස ටකරමකින් දෙකකින් අවරණය කරගෙන. මේ නිවාස ව්‍යාපෘතිය දියත් වූයේ අතපල්ලෙන් අත්හැර දැමූ ඒ මනුෂ්‍යයන් වෙනුවෙනි.

මේ නිවාස ව්‍යාපෘතියේ මුල්ම අදියර ආරම්භ වන්නේ 2019 ජනවාරි මාසයේදීය. පළමු අදියර යටතේ නිවාස 4750ක් ඉදි වෙමින් පවතී. උතුරු පළාතේ දිස්ත්‍රික් 05 තුළ නිවාස 3600 ක් හා නැඟෙනහිර දිස්ත්‍රික් 03 තුළ නිවාස 1150 ක් වශයෙනි. එහි දෙවන අදියර ලෙස නිවාස 5250 මැයි මස තුන්වන සතියේ සිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව උතුරු පළාතට තවත් නිවාස 3900ක් සහ නැඟෙනහිර පළාතට තවත් නිවාස 1350ක් ඉදිරියේදී ලබාදීමට නියමිතය.

උත්සව අවස්ථාවට අගමැතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යාපනය මහනගර සභාවේ නාගරාධිපති එමානුවේල් ආනෝල්ඩ්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී. සිව ඥානසෝති යන දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

යාපනයට ආවේණික සාම්ප්‍රදායික සංස්කෘතික ලක්‍ෂණ පිළිබිඹු කරමින් අගමැතිතුමන් ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ පිළිගනු ලැබූහ. අනතුරුව සිදු වන නිවෙස් ප්‍රදානයෙන් පසු අගමැතිවරයා හා පැමිණි පිරිස් අතර ගොඩනැඟෙන්නේ සුහද පිළිසඳරකි. අගමැතිවරයා නිවෙස්ලාභීන් වෙත ගෘහ උපකරණ ප්‍රදානය කිරීමෙන් පසු ඔවුන්ගේ වත්මන් ජීවිත රටාව පිළිබඳ සංවාදයක් ගොඩනැඟිණි.

යාපනය නගර සභා ක්‍රීඩා පිටියේ පැවැති සමෘද්ධි සහනාධාර බෙදාදීමේ උත්සවයට අග්‍රමාත්‍යවරයා සහභාගි වන්නේ ඉන්පසුවය. නගරසභා ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබිණි. අග්‍රාමාත්‍යවරයා පැමිණ සිටි පිරිස ඇමතුවේය.

ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහා වෙහෙසෙන ආරක්‍ෂක අංශවල අවධානය වෙන අතකට යොමු කිරීම සඳහා ක්‍රියාත්මක කඩාකප්පල්කාරී කණ්ඩායම් පිළිබඳ අගමැතිවරයා කතා කළේය. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නියැළෙන්නන්ට, ත්‍රස්තවාදී ක්‍රියාවල නියැළෙන්නන්ට සමානව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මධ්‍යස්ථ දෙමළ ජනතාව ඈත් වීමට 1983 ජූලි කලබල හේතු වුණු බව පෙන්වාදුන් අගමැතිවරයා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ද ඒ වරද නැවත සිදු නොවීමට වගබලා ගැනීම සියලු දෙනාගේම වගකීමක් බව කීවේය.

යාපනය දිස්ත්‍රික්කයේ මෙවර සමෘද්ධි හිමිකම් ලැබූ සංඛ්‍යාව 23,011 කි. ඉන් 5000කට මෙහිදී සංකේතාත්මකව සමෘද්ධි හිමිකම් පිරිනැමිණි. මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත සමෘද්ධි හිමිකම් ලාභීන්ගේ සංඛ්‍යාව 76,289කි. අගමැතිවරයා උතුරු නැඟෙනහිර නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව සිය කතාව අතරතුර පුළුල් විවරණයක යෙදුණේය.

“නිවාස 10,000ක් ඉදි කිරීමේ කටයුතු අපි උතුරු පළාතේ අද ආරම්භ කරනවා. දැනටමත් නිවාස 4750ක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් නිවාස 5220ක වැඩ ආරම්භ කළා. වසර අවසන් වන විට ඒවාත් ඉදි කර අවසන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව නැඟෙනහිර පළාතේත් නිවාස ඉදි කිරීමට කටයුතු කරනවා. යුද්ධයෙන් ඔබට අහිමි වූ නිවාස අපි නැවත ලබා දෙනවා. ”

“ජූලි කලබලය රටේ ඇති නොවුණා නම් අපේ රටේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ජූලි කලබල නිසා අපට ආදරය කළ දෙමළ ජනතාව අපෙන් ඈත් වුණා. යුද්ධය අවසන් වීමට වසර 30ක් ගත වුණා. නැවත යුද්ධයක් ඇති නොවීමට අප වගබලා ගත යුතුයි. අද අපේ රටේ සංහිදියාව වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දේශපාලන විසඳුමකට එලැඹිමේ අපේ ස්ථාවරයෙන් අපි ඉවත් වී නැති බවත් පැවසිය යුතුයි.”

එක පැහැර නැගෙන අත්පොළසන් හඬ අතරින් විකසිත වූ මුහුණු දෙස බලාගෙන හිඳිමි. ශ්‍රි ලාංකිය ජාතියක් ලෙස රටේ සියලු දෙනා කටයුතු කිරීමට නම් තමන්ට වෙනස්කමක්, අඩුවක් සිදු නොවන බව සෑම ජන කොටසකටම දැනිය යුතුය.

ඒසේ නොදැනෙන තාක් සුළු ජාතික ජනකොටස්වලට රට පිළිබඳ අභිමානයක්, හැඟීමක් උපදින්නේ නැත. රටක් සංවර්ධනය වීමට සෑම ජන කොටසකම මැදිහත්විම අනිවාර්යෙන්ම අවශ්‍යය. උතුරු නැගෙනහිර සිටින බොහෝමයක් ජනතාව තවමත් ස්ථිර පදිංචි ස්ථානයක හිමි කම නැත. යුද්ධය නිසා බහුතර පවුල්වල ගෘහ මුලිකයා මිය ගොස්ය. බොහොමයක් පවුල්වල සිටින්නේ කාන්තාවන් පමණි. මේ මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු නොකරනතාක් කල් අප ලෝකය ඉදිරියේ අවප්‍රමාණික මිනිස්සුය. යාපනයේදී අත්වින්ඳේ ඒ ශිෂ්ටාචාර සමාජයට ලාංකිකයාට ආරාධනා කරන ප්‍රවේශයකැයි විශ්වාස කරමි.

අදහස්