බන්ධනාගාර ලොක්කන්ට ඊසි කෑෂ්වලින් ගෙවා හිරගෙදරම හීලෑ කළ ගාල්ලේ පොඩි ලැසී | සිළුමිණ

බන්ධනාගාර ලොක්කන්ට ඊසි කෑෂ්වලින් ගෙවා හිරගෙදරම හීලෑ කළ ගාල්ලේ පොඩි ලැසී

හිරේ යෑම දුකක්“ හිරගෙදර ගැන කතා කරන විට බොහෝ දෙනා කියන්නේ එහෙමය. කාලයක් තිස්සේ බන්ධනාගාරය ගැන ලියන්නට එහි යන එන මටත් සිතෙන්නේ හිරගෙදර රැඳවියන් විතරක් නොව නිලධාරිනුත් ගෙවන්නේ දුක්බර දිවියක් කියාය. ඔබටත් මටත් එහෙම හිතුණත් හිරේ ගිහින් සැප විදින ලක්ෂ ගණනින් සල්ලි හොයන මිනිසුන් ගැන කතාද ඉඳහිට ඇසේ. එහෙම කෙනෙකුගේ වතගොත සොයා බැලූ විට හිරේ ගිහින් දුක් වින්දත් අතමිට සරු වෙනවා නම් මොනවා වුණත් කමක් නැතැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත.

බල්ලන් මරලා හරි සල්ලි හොයන තියරියේ ඉන්න‍ මිනිස්සු කොහෙත් වෙති. හිරේ යන්නේ හොඳ මිනිස්සු නොවෙති. දුෂණ මංකොල්ලකෑම්, සංවිධානාත්මක අපරාධ කළ වුන් හිරේ ගිය ද පුරුදු අත්හරින්නේ නැත.

දුබලයෙක් හිරේ ගිය විට දෙන දෙයක් කා පාටියකට වැටී වැඩක් කරගෙන දඬුවම ගෙවෙන තුරු පැත්තකට වී සිටී. හිතුණොත් සිල් සමාදන් වීමට බණක් භාවනාවක් කිරීමට හෝ යමක් ඉගෙනීමට කාලය වෙන් කරයි. බොහෝ විට ඒ අවස්ථාව ලැබෙන්නේ අච්චු ලැබූ රැඳවියන්ටය. එහෙත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකුගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

ඔහුට ‘විසිට්‘ ලැබේ. විසිට් නම් ගෙදරින් හෝ අමුත්තන් ඔහු බැලීමට පැමිණීමය. ඒ එන විට කෑම බීම ඇඳුම් පමණක් නොව සබන් කිරිපිටි ආදී අත්‍යවශ්‍ය දේ ද ගෙනැත් දෙයි. ඇතැම් විට නිලධාරීන්ගේ ඇස් වසා හෝ නැති නම් ඔවුන්ගේද සහාය ඇතිව හිරගෙදරට ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය , සිම් කාඩ්පත් ආදිය ද ගෙනෙයි. ඒවා සිදු වන්නේ හොර රහසේය. වැලිකඩ හිරගෙදරට මේ සියල්ල ලැබෙන්නේ වනාතමුල්ල සීවලිපුර පැත්තේ තාප්පයට උඩිනි. ආරක්ෂාව තර කිරීමත් සමඟ මේ තත්වය යම් පමණකට අඩු වී ඇතැයි බන්ධනාගාර තොරතුරු ආරංචි මාර්ග පවසයි. හිරගෙවල්වල සිදු වන මගඩි වැඩ ගැන කතා කරද්දී කාටත් මතක් වන්නේ වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයයි. ප්‍රාදේශීය බන්ධනාගාර ගැන කතා වන්නේ අඩුවෙනි.

සිරකරුවෙකුගෙන් නඩත්තු වන හිරගෙදර

අප දන්නා තරමින් ලංකාවේ කොහේවත් සිරගෙදරක විදුලි පංකා, රූපවාහිනී යන්ත්‍ර, ඇඳක් මෙට්ටයක් සහිත පිරිසුදු සිර මැදිරි නැත. ඇතැම් තැනකදි නම් විදුලි පංකාවක් තිබෙන සිර මැදිරියක් තිබේ. ඒ අප දන්නා තරමය. ගාල්ල බන්ධනාගාරය ඊට වෙනස්ය. ගාල්ල බන්ධනාගාරයේ නම් දවසේ පැය විසිහතරම ක්‍රියාත්මක වන විදුලි පංකා ඇති සිර මැදිරි කිහිපයක්ම තිබේ. මේ සිරමැදිරි වලින් එකක LED රූපවාහිනියක් ද තිබේ. මේ සිරකුටිවලට විදුලි පංකා ලැබී ඇත්තේ බන්ධනාගාරයෙන් නොවේ. ඒවා පරිත්‍යාග ලෙස ලැබූ ඒවාය.

අමුතුම කතාව ඇත්තේ මේ පරිත්‍යාග පිටුපස සිටින අය ගැනය. වාර්තා වන ආකාරයට මේ පරිත්‍යාග කරන්නේත් බන්ධනාගාර ගත රැඳවියෙකි. මේ පරිත්‍යාගවලට අමතරව ඔහු තවත් පරිත්‍යාග කරමින් සිටී. ඒ පරිත්‍යාග මුලින්ම යන්නේ බන්ධනාගාරයේ නිලධාරින්ගේත්, නියාමකයන්ගේත් විවේකාගාරවලටය. බන්ධනාගාර අධිකාරීවරයාගේ කාමරයට ද රූපවාහිනී යන්ත්‍රයක් සවි කරන්නේ ඒ රැඳවියාගේ මැදිහත්වීම මතය. අධිකාරීතුමා දැන් බලන්නේත් හිරකාරයෙකුගේ ටී.වී එකක්ය. සතුට එතැනය. හිරකාරයෙකුගෙන් නඩත්තුවෙන හිරගෙයක් ගැන අසන්නට ලැබීමත් අපූරුය.

වැඩිම ආදායම දුම්කොළවලින්

අද ඊයේ නොව, කලක පටන් දුෂිත වෙමින් පවතින ගාල්ල බන්ධනාගාරය අද වන විට හොඳ හැටි මුදල් උපයන ආයතනයකි. කලකට පෙර බූස්ස බන්ධනාගාරයේද හොඳට මුදල් ඉපයිය හැකි ආදායම් මාර්ගය පැවතිණි.

සෑම බන්ධනාගාරයකම පාහේ නිලධාරීන් සඳහා ආපනශාලාවක් ඇත. මේ ආපනශාලාවෙන් රැඳවියන් සඳහාද බඩු අලෙවි වේ. අද වන විට මේ ආපනශාලාවල විශේෂයෙන්ම ගාල්ල බන්ධනාගාර ආපන ශාලාවේ දිනකට අලෙවි වන බුලත් විට සංඛ්‍යාව අටසියයත් දාහත් තර ප්‍රමාණයකි. බුලත් විටක මිල රුපියල් විසි පහකි. එම ආපන ශාලාව කරගෙන යනු ලබන්නේද බන්ධනාගාර සුබ සාධන සංගමය මඟිනි. ගාල්ලේ බන්ධනාගාරය වැඩිම ආදායමක් උපයන්නේ දුම්කොළවලිනි. ආපන ශාලාවේ බුලත් විට සාදන්නේද රැඳවියන් දෙතුන් දෙනෙකු විසිනි.

සාමාන්‍යයෙන් නම් හිරගෙදර බුලත් විට විකිණිමත් තහනම්ය. දුම්කොළ විකිණීම මුළුමනින්ම තහනම්ය. එහෙත් මේ තහනම ගාල්ලට නැත. ගාල්ලේ හිරගෙදර දුම්කොළ සහිත බුලත් විට විකුණයි. ඒ විටේ ඇත්තේත් රට දුම්කොළය. රැඳවියන් මේ දුම්කොළ වලින් ලෝකල් බොති. ලෝකල් නමින් බන්ධනාගාරය තුළ හඳුන්වන්නේ දුම්කොළ ඔතා සාදාගන්නා සුරුට්ටුවක් වැනි දෙයකි. ලෝකල්වලට කොයි හිර ගෙදරත් ඉල්ලුමක් ඇත. දවසකට 800ත් 1000ත් අතර බුලත් විට අලෙවි වීම පිටුපස රහස ලෝකල් බීමය. දැන් හිර ගෙදර රැඳවියන්ට ශ්වසන රෝග, කැස්ස පෙණහලු රෝග බහුලය. මේ රෝග වැඩි මන්දැයි ඇසූ විට බන්ධනාගාර වෛද්‍යවරයා පවසන්නේ ඊට හේතුව දුම්බීම බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම

බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර කිරීම හිතන තරම් ලෙහෙසි නැත. එය හිතන තරම් ලෙහෙසි නැත්තේ ඇතැම් නිලධාරීන්ද මෙයට උදව් උපකාර කරන බැවිනි. ඒ සියල්ල කරන්නේ ඔවුන් අතපිහදා ගැනීමට නොවේ. සැන්දෑවේ වාට්ටු වැසු පසු නිලධාරීන්ට ඩියුටි වාර තුනකි. එකක් පහටය. අනෙක අටටය. අනෙක ඇත්තේ පාන්දර එකහමාරටය. බොහො හොරවැඩ, එනම් සිරගෙදර තුළට තාප්පයෙන් එහා මෙහා බඩු හුවමාරු කෙරෙන්නේ පාන්දර එකහාමාරේ ඩියුටියේදීය. මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සිම්කාඩ්පත් ආදි හොර බඩු තාප්පයෙන් හිරගෙදර ඇතුළට වැටේ. එය අහුලා ගන්නා නිලධාරියා අදාල රැඳවියන්ට හොර බඩු භාර දුන් හැටියේම ‘ඊෂි කෑෂ්‘ වලින් මුදල් ලැබේ..

නිලධාරියාගේ ගතමනාව ඇතැම් විට රුපියල් පහළොස් දහසකි. නැත්නම් විසි දහසකි. දැන් ගාල්ල බන්ධනාගාරය ඇතුළේ විකිණෙන සාමාන්‍ය ජංගම දුරකථනයක මිල රුපියල් දස දහසකි. නැත්නම් පහළොස් දහසකි.

හැම නිලධාරියෙකුම එවැනි හොර වැඩවලට සම්බන්ධ නූනද රස්සාවෙන් ලැබෙන වැටුපට වඩා වැටුපක් දුෂිත නිලධාරින් ලබා ගන්නේ හිරගෙදර මෝරුන්ගේ ජාවාරම්වලට සම්බන්ධ වීමෙනි. ඒවාට සම්බන්ධ නිලධාරින් කිසි විටෙකත් නීතියට හසු නොවන්නේ ඔවුන්ව ආරක්ෂා කරගැනීමට ඉහළ නිලධාරීන් සැදි පැහැදි සිටින බැවිනි.

ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන් ආරක්ෂා කර ගන්නේ සියලු දෙනා අතරම කුට්ටිය බෙදී යන බැවිනි. ‘ඊෂි කෑෂ්‘ මඟින් මෝරුන්ගෙන් මුදල් ලබාගැනීම සඳහා නිලධාරීන් භාවිතා කරන්නේ සෝදිසිවලදී සිරකරුවන් සන්තකව තිබී සොයාගන්නා ලද ජංගම දුරකතනවල සිම් කාඩ්පත්ය. ඔවුහු කෙසේ හෝ එම සිම් කාඩ්පත් පන්නාගනිති. ඒ නිසා කිසිදු දිනෙක නීතියට හසු වුවද නිලධාරීන් ඊෂී කෑෂ් ගැනීමට වැරදිකරුවන් යැයි ඔප්පු කරගැනීමට ලැබෙන්නේද නැත.

නිලධාරීන් හොර වැඩ කරන්නෙත්, රැඳවියන් හොර වැඩ කරන්නෙත් හිරගෙවල් තුළ නීතියක් නැති විටය. නීතිය රැකීමට නම් එහි ප්‍රධානියා සෘජු, නීතිය රකින පුද්ගලයකු විය යුතුය. ප්‍රධානියා ද හොරා කන්නෙකු වූ විට සෙසු නිලධාරීන් ගැන කවර කතා ද?

පොඩි ලැසීගේ සෙල්ලම

කාලෙන් කාලෙට හිර ගෙවල්වල පොරවල් වන සිරකරුවෝ වෙති. කලක් බෝගම්බර හිරගෙදර පාලන වූයේ කන්නාට ඕනෑ විදිහටය. දැන් ගාල්ලේ කටයුතු කෙරෙන්නේ පොඩි ලැසීට ඕනෑ විදිහටය.

ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසි ගාල්ල හිර ගෙදරට පොරකි. ඔහු තෙල්වත්තේ කෙනෙකි. ඔහුගේ පියා ලැසීය. ලැසීද කලක් තෙල්වත්තේ රජකෙරූ පාතාලයෙකි. මිනිස් ඝාතන , ස්ත්‍රී දුෂණ ආදි නොයෙක් වැරදි ඔහුට තිබිණි. පාතාල කල්ලියක අයෙකුගේ අතින් ලොකු ලැසී මිය යන විට මිය යන විට පොඩි ලැසී පාසල් වියේය.

පොඩි ලැසීගේ චරියාව යොවුන් වියේ සිටම යහපත් වූයේ නැත. පොඩි ලැසී ගැන දැන් ඕනෑවටත් වඩා ලියැවී තිබේ. ඔහු වැරදි වැඩ කරමින් හිරේ යමින් එමින් කල දවස ගෙවන අයෙකි. පොඩි ලැසී දකුණේ පාතාලයෙන් මෙහෙයවෙන දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ද වේ. ගාල්ලේ ඇතැම් ප්‍රදේශවල තරුණ ළමයින්ට කුඩු පුරුදු කළේ පොඩි ලැසීගේ ගෝලයෝය.

පොඩි ලැසී දැන් බන්ධනාගාරයේ සිටින්නේ තම පියාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමට සැකකරු ලෙසිනි. ඔහුට තවත් මිනී මැරුම් චෝදනා ඇත්තේය. ඇතැම් ඒවා එළියේ ඉන්න විට කළ ඒවාය. තවත් ඒවා ඇතුළේ සිට කරවූ ඒවාය. අතැම් සිදුවීම්වලට නඩු තිබුණ ද තවත් ඒවාට නඩු නැත.

කොහොම වුණත් වසරකට පෙර ඔහුට ඇප ලැබිණි. නමුත් විරුද්ධ කණ්ඩායම්වලින් මරණ තර්ජන ඇති නිසා පොඩිලැසී තවමත් හිරේ සිටින්නේ ඇප අස්සන් නොකරය. පොඩි ලැසී දැන් සිටිය යුත්තේ මැගසින් බන්ධනාගාරයේය. ඔහුගේ නඩු කතා කරන්නේ බළපිටිය උසාවියේය. සාමාන්‍යයෙන් නම් බන්ධනාගාර නිතීයට අනුව සිරකරුවකු දුර බැහැර උසාවියකට ගෙන යන විට ඔහු නඩු අවට පෙර දින සහ නඩුවට පසු දින පමණක් උසාවියට ළඟම බන්ධනාගාරයේ රඳවා තැබේ. නමුත් පොඩි ලැසී සම්බන්ධයෙන් එය එසේ ක්‍රියාත්මක වන්නේ නැත. නඩුවාරයට කොළඹ සිට ගාල්ලට ගෙන යනු ලබන පොඩි ලැසී දවස් ගණනාවක් ගාල්ලේ රඳවා සිටිනු ලැබේ.

පොඩි ලැසී මැගිසින් බන්ධනාගාරයේ සිටින කාලයේද ජංගම දුරකතන පාවිච්චි කළේය. නමුදු මැගසින් එකේදී ගාල්ලේ දී තරම් සෙල්ලම් දාන්නට ඔහුට බැරි විය. ගාල්ලේ නතර වීම පොඩි ලැසීගේ බලාපොරොත්තුවය. බන්ධනාගාර මුලස්ථානයට පැමිණි පොඩි ලැසීගේ බිරිය හා කුඩා පුතු හඬා වැලපෙමින් ඉල්ලා ඇත්තේ ලැසී ගාල්ල බන්ධනාගාරයට මාරු කර දෙන ලෙසය. හිත උණු වූ ඉහළ නිලධාරීන් පොඩි එකාගේ ඉල්ලීම ඉටු කළේය. පොඩි ලැසී මැගසින් වලින් ගාල්ලට ගියේ එසේය.

එක් කලෙක පොඩි ලැසී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කෙරිණි. නමුත් ගාල්ලේ ලොක්කෝ අත යටින් ලද මුදලට ලොල් වී පොඩි ලැසී ගාල්ලේම රඳවාගත්හ. මේ කුමක් වුවත් පොඩි ලැසී තවමත් සිටින්නේ ගාල්ල බන්ධනාගාරයේය. ඒ සඳහා ඔහුට උසස් නිලධාරින්ගේ සහාය ලැබේ. පොඩි ලැසී කළගුණ දත් අයෙකි. ඔහු බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට අතපුරා සලකනු ලබයි.

මේ තත්ත්වය තුළ හිරගෙදරින් ගෙදර යෑම පොඩි ලැසීට පාඩුය. එළියට ගියොත් යන්නට වෙන්නේ මරණ වරෙන්තුවත් ලියාගෙනය. විරුද්ධවාදී පාතාලයෝ ලැසී එන තුරු එළියේ බලාගෙන සිටිති. එසේම පොඩි ලැසීගේ බොහෝ බිස්නස් කෙරෙන්නේ හිරගෙදර සිටය.

පොඩි ලැසී දකුණේ පාතාල නායකයෙකි. ඔහු බන්ධනාගාරය බාරයේ සිටින සැකකරුවෙකි. නමුදු බන්ධනාගාරයේ ඉහළම නිලධාරියකු හා පොඩි ලැසි ඇසුරු කරන්නේ අයියා මල්ලි වැනි සහෝදර බැඳීමෙනි. සමහරු කියන්නේ පොඩි ලැසී හිරගෙදර ලොක්කෙකුගේ හදාගන්නා පුතා කියාය. තවත් අය කියන්නේ දැන් ගාල්ල බන්ධනාගාරයේ ලොක්කා පොඩි ලැසී කියාය.

එක් අතකින් ගාල්ලේ පොඩි ලැසී රජ කරන විට ඔහුගේ විරුද්ධ පිලේ ලොක්කා වන මානවඩු ද සිටින්නේ ගාල්ලේය. ඔහු ද පාතාල කල්ලි නායකයෙකි. පොඩි ලැසීගෙන් තරම් නොවුණද මානවඩුද නිලධාරීන්ට හොඳින් සලකන සිරකරුවෙකි. අගුණකොළපැලැස්සට මරු කළ මානවඩු ගාල්ලේ නතර වුයේ ගාල්ල බන්ධනාගාර ලොක්කෙකුට රුපියල් ලක්ෂයක් හොර පාරෙන් ලබාදීමෙනි. ලොක්කන්ට හොඳින් සලකන තරමට බන්ධනාගාරයේ මෝරුන්ට තම බිස්නස් කරගෙන යෑමට නිදහස රැකවරණය ලැබේ.

බස් රථයට එන අමුත්තා

පොඩි ලැසී බළපිටිය උසාවියට ගෙන යන විට ඔහු යන බන්ධනාගාර බස් රථයට ආරක්ෂාව ලැබේ. නඩු කටයුතු ඉවර වී උසාවියේ සිට හිරගෙදරට පැමිණෙන අතර මඟදී ඇතැම් තැනක බස්රථයේ ගමන මන්දගාමී වේ. එවිට බස්රථයට ගොඩ වන්නේ එක්කෝ පොඩි ලැසීගේ ඥාතියෙකි. නැති නම් හෙන්චයියෙකි. ඒ පුද්ගලයා කුඩු, ජංගම දුරකථන ආදිය බස් රථයට ගෙන එන්නේ තොග පිටිනි. ඔහු හඟවන්නේ එහි ඇත්තේ පොඩි ලැසීට අවශ්‍ය කෑම බීම ආදිය කියාය. නිලධාරින් නියාමකයන් ඒවාට විරුද්ධව හඬක් නඟන්නේ නැත. ඒ එවේලේම ඔවුන්ගේ අතමිට සරු කරන බැවිනි.

බන්ධනාගාර බස්රථවලට අතරමඟදි පිටස්තර අය නංවාගැනීම නීතියෙන් සපුරා තහනම්ය. එහෙත් ඒවාට විරුද්ධ වීමට කිසිවෙක් නොසිටී. යම් බන්ධනාගාර නිලධාරියෙකු ඊට විරුද්ධ වූ විට පොඩි ලැසී නිලධාරියාට මරණ තර්ජන එල්ල කරයි. මරණ තර්ජනය එල්ල වූ පුද්ගලයා ඉහළ නිලධාරීන්ට ඒ බව දැන්වුවද වැඩක් නැත. හේතුව ඉහළින් වරදකරු කරන්නේ නිලධාරියාවය. එබැවින් ඔවුන් ඉල්ලාගෙන කන්නට සූදානම් වන්නේ නැත.

එවැනි අවස්ථා කිහිපයක්ම පසුගිය කාලය තුළ ඇති වී තිබිණි. විලි ලජ්ජා හිතෙන්නේ අවස්ථා කීපයකදීම පැමිණිලි කළ පහළ නිලධාරීන්ට ලෝකකන් බැණවැදී තිබුණේ පොඩි ලැසී ද ළඟතබාගෙන වීමය. පොඩි ලැසීගෙන් මරණ තර්ජනය එල්ල වූ නිලධාරීන් පොලීසියේ පැමිණිලි ද දමා ඇත. ඒ ඉහළින් මේ සියල්ලට අනුමැතිය ලැබී ඇති බැවිනි. බන්ධනාගාර ගත රැඳවින්ට පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ට ද නීතියක් විනයක් ඇත. සියලුම නිලධාරීන් දුෂිතයන් නොවූවද අද හොඳ නිලධාරීන්ට ඉන්නේ අගුපිල්වලට ඇද දමාය. බස්රථවලට වෙන්වන ඉන්ධනවලින් පවා හොරකම් කරන නින්දා සහගත පරිපාලනයක් තුළ බන්ධනාගාරයක් යහපත්ව පවතින්නේ නැත. රැඳවියන් තමන්ට ඕනෑ ලෙස හිරගෙදර පාලනය වන්නට හැර, ඔවුන් රකිමින්, බන්ධනාගාරය සුපිරි ආදායම් මාර්ගයක් කරගත් නිලධාරීන් සිටින තුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දෙයියන්ගේම පිහිටය.

අදහස්