ත්‍රස්ත වැඩවලට සල්ලි ඇදෙන හොර පාරවල් මෙන්න | සිළුමිණ

ත්‍රස්ත වැඩවලට සල්ලි ඇදෙන හොර පාරවල් මෙන්න

ලෝකේ වටේ සල්ලි යවන හවාලා සහ උන්ඩියල්

අන්තර්ජාලයේ බිට්කොයින් උගුල්

හැංගුණු බිස්නස්

දෙස් විදෙස් මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් ත්‍රස්තවාදීන්ට සැපයෙන මාර්ග අවහිර කිරීමක් සිදු නොකොට ගෝලීය ත්‍රස්තවාදයෙන් අප රට මුදාගත නොහැකිය. ඉකුත් අප්‍රේල් 21 වැනිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ටද බිලියන ගණනින් ලැබුණු බවට දෙස් විදෙස් මාධ්‍ය වාර්තාවල පළ විය.

බොහෝ දෙනෙකුට නැඟෙන පැනය නම් එසේ මුදල් විදේශ රටවලින් ලැබිණි නම් කිසිදු බාධාවකින් තොරව ශ්‍රි ලංකාවට මුදල් රැගෙන ආවේ කෙසේ ද යන්නය.

ශ්‍රී ලංකාවේ දැනට බල පවත්නා නීති අනුව නම් විදේශ රටකින් ශ්‍රී ලාංකීය පුද්ගලයකු මුදල් එවීමේ දී අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය මඟින් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් නිකුත් කර ඇති නීති රෙගුලාසි අනුව එම මුදල් ලැබෙන මූලාශ්‍රය (source of money) සහ එම මුදල් ලැබුණු අරමුණු පිළිබඳ විමසිය යුතු ය. ඒ පිළිබඳ යම් හෝ සැකයක් පවතී නම් ඉහත කී පනතේ 7 වන වගන්තිය අනුව මූල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) වෙත වාර්තා කළ යුතු ය.

එහෙත්, සැක සහිත ගනුදෙනුවක් යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. එම මුදල් ලැබුණු පුද්ගලයන්ගේ ව්‍යාපාර කටයුතු, ඔහුගේ ජීවන වෘත්තිය, අදාළ මුදල් කෙබඳු කටයුතුවලට යොදා ගැනේ ද යන්න පවා සොයා බැලීම බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන මඟින් පිළිපැදිය යුතු “ඔබේ ගනුදෙනුකරුවා හඳුනාගන්න” යන අවශ්‍යතාවට ඇතුළත් ය.

විදේශ ප්‍රේෂණවලට පමණක් නොව ලංකාව ඇතුළත මුදල් තැන්පත් කිරීමේ දී හා ආපසු ගැනීමේ දී ද මේ ආකාරයට ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගනුදෙනු සහ ව්‍යාපාර පිළිබඳ විමසිලිමත් වීම මූල්‍ය ආයතන සතු වගකීමකි. සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමේ දී සැකයක් පවතී නම් එම ගනුදෙනුවට අදාළ මුදල් ප්‍රමාණය කොපමණක් වුව ද අනිවාර්යයෙන් ම වාර්තා කිරීම කළ යුතු ය. තනි පුද්ගලයකු විසින් විවිධ පළාත්වල ඇති මූල්‍යායතනවල ගිණුම් පවත්වා ගැනීම, විවිධ පුද්ගලයන් විසින් එම ගිණුමට මුදල් බැර කිරීම, ව්‍යාපාර ආදායම් ලෙස හඟවා විශාල මුදල් ප්‍රමාණයන් තැන්පත් කිරීම, අනන්‍යතා ලියවිලි ගැටලුසහගත වීම වැනි කරුණු සැකයක් ජනිත කළ යුතු අවස්ථාවලට නිදසුන් ය.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව රුපියල් මිලියනය ඉක්මවන සියලු ම ගනුදෙනු මෙන්ම (එම අගයට සමාන විදේශ මුදලින් සිදු වන ගනුදෙනු) මුදලින් හෝ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වශයෙන් සිදු වන ගෙවීම් මුදල් ගනුදෙනු වාර්තාවක් මගින් මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කළ යුතු ය. මූල්‍ය බුද්ධි ඒකකය මගින් 2016 අංක 1951/13 ගැසට් පත්‍රය යටතේ නිකුත් කර ඇති රෙගුලාසීන්හි 47 (ඇ) වගන්තිය අනුව යම් පුද්ගලයකුගේ ගිණුමකට තුන්වන පාර්ශ්වයක් විසින් මුදල් තැන්පත් කිරීමේ දී (රුපියල් ලක්ෂ 2 ඉක්මවන තැන්පතු) එම තුන්වන පාර්ශ්වයට අදාළ තොරතුරු වාර්තා කර තබා ගත යුතු ය.

ත්‍රස්තවාදීන් හඹා යෑමේ දී එම තොරතුරු මඟින් විමර්ශන කටයුතු විධිමත් ව සිදු කළ හැකි ය. බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන නිලධාරීන්ට ඉහත කී නීති අනුව කටයුතු කිරීමට තිබෙන බරපතළ වගකීම පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ වාර්තා මඟින් ද වක්‍රාකාරව පෙන්වා දී ඇත. එම වාර්තා විමර්ශනය කර සැක සහිත ගනුදෙනු හා පුද්ගලයන් හඳුනාගැනීමට අවශ්‍ය අදාළ පහසුකම් හා තාක්ෂණය මෙන්ම දැනුම ද ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬලීමේ විමර්ශන නිලධාරීන් සතුවිය යුතු ය.

පාස්කු ඉරිදා සිදුවීම් වැනි ඛේදවාචකයන් යළි ඇති වීමේ මග අහුරනු වස් මේ මොහොතේ ඇති ජාතික වගකීම සමඟ ත්‍රස්තවාදී ගනුදෙනු හා ව්‍යාපාර කල් තියා හඳුනාගැනීමට ඉවහල් වන ඉහත කී මුදල් වාර්තා මනා හා සියුම් ලෙස විග්‍රහ කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ යුතුම ය.

මෙරට නීති තත්ත්ව විමසීමේ දී අනාවරණය වන්නේ නීත්‍යනුකූල ආර්ථිකයට අමතරව ඊට සමගාමී ව ක්‍රියාත්මක වී ඇති කළු ආර්ථිකය ද ප්‍රබල එකක් වී ඇති බවකි. ඒ පිළිබඳ පර්යේෂණ කොට ග්‍රන්ථයක් රචනා කළ පීටර් රූටර් සහ එම් ටෲමන් ප්‍රකාශ කරන පරිදි ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් 10%ක පමණ ප්‍රමාණයක් නිරූපණය කරන තරමට අපරාධ ක්‍රියාවලින්ගෙන් උනන මුදල් ඉහළ ගොස් ඇත.

ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර සැලසුම් මෙන්ම මූල්‍ය සම්පාදන ක්‍රමෝපායන් ද නිරන්තරව ශීඝ්‍ර ලෙසට වෙනස් වන බැවින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා විමර්ශන ආයතන ද අදාළ සැලසුම් හා ක්‍රමවේද ඊට සමගාමීව යාවත්කාලීන කළ යුතු ය.

ඇතැම් මුදල් ගනුදෙනු සිදු වන්නේ මේ සම්මත මූල්‍ය ක්‍රමවේදයන්ගෙන් කනේ රිංගන ආකාරයෙනි. එවැනි ක්‍රම රැසක් මේ වන විට ත්‍රස්ත සංවිධාන ලෝකයේ භාවිත කරති. එබැවින් ඒ පිළිබඳ අවබෝධයකින් සිටීම වැදගත්ය.

ත්‍රස්තවාදීන්ගේ අරමුදල් සම්පාදනය පිළිබඳ අන්තර් ජාතික වාර්තා ප්‍රකාශ කරන්නේ නීත්‍යනුකූල මූල්‍ය පද්ධතිය ඔස්සේ නොව වලංගු නොවන විවිධ අනීතික ක්‍රම මඟින් මුදල් පේ‍්‍රෂණ සිදු වන බවයි. “හවාලා” යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බවට වාර්තා වන එබඳු මුදල් පේ‍්‍රෂණ ක්‍රමයක් වන අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කණ්ඩායම් ද එකී ක්‍රම ඔස්සේ මුදල් ලබාගත් බවට මූලික විමර්ශන වාර්තා අනාවරණය කර තිබිණි. එහි දී සිදු වන්නේ රටවල් දෙකක සිටින නියෝජිතයන් දෙනකු මඟින් මුදල් යැවීමය. එක් රටක සිටින පුද්ගලයකුට වෙනත් රටක සිටින පුද්ගලයකුට මුදල් යැවීමට අවශ්‍ය නම් මෙරට සිටින එම රටේ අදාළ ගනුදෙනුව සිදු කරන නියෝජිතයාට එම මුදල් ලබා දෙයි. එසැණින් ඔහුගේ මුදල් යවන රටේ නියෝජිතයා එම මුදල් අදාළ පුද්ගලයාට බාර දෙයි.

මුදල් නෝට්ටු පුද්ගලයන් අතේ රැගෙන යෑමේ ක්‍රමය ත්‍රස්ත කණ්ඩායම් විසින් සුලබ ව භාවිත කරන්නේ මූල්‍ය වාර්තා කෙරෙන තැන්වල කිසිදු සලකුණක් නොතබා මුදල් ප්‍රවාහනය සිදු කළ හැකි බැවිනි. පසුගියදා ප්‍රහාරකයන්ද එලෙස මුදල් එහා මෙහා ගෙන ගිය බවට වාර්තා පළ විමෙන්ද එය සනාථ වෙයි.

2005 වසරේ ලන්ඩනයේ ත්‍රස්ත ප්‍රහාරයට අරමුදල් සපයා තිබුණේ ද එසේ අතේ ගෙන යෑමේ ක්‍රමයට බව වාර්තා විණි.

ශ්‍රී ලංකා විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි අනුව ඇමරිකානු ඩොලර් 15, 000ක් ඉක්මවන මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන එන පුද්ගලයකු ඒ බව ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කළ යුතුය. එසේ ප්‍රකාශ නොකර මුදල් රැගෙන ඒම සහ යෑම් නීතියේ රැහැනට හසු කරගැනීමට රේගුවට ඇති වගකීම අති මහත් ය.

මූල්‍ය ආයතන පමණක් නොව මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර, දේපළ වෙළඳාම් ආයතන, නීතිඥවරුන්, නොතාරිස්වරුන් සහ ගණකාධිකාරීවරුන් ඇතුළු මූල්‍ය නොවන ව්‍යාපාර ලෙසට මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දක්වා ඇති පුද්ගලයන් හා ආයතන සතුව ද නීති විරෝධී මුදල් නීත්‍යනුකූල මූල්‍ය පද්ධතියට පැමිණීමේ ඉඩකඩ අහුරාලීමේ වගකීමක් ඇත.

භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශාල ප්‍රමාණයේ ගෙවීම්, මුදල් මඟින් සිදු කිරීම ද මුදල් විශුද්ධිකරණයේ තවත් ලක්ෂණයකි. තම ගනුදෙනුකරුවන් පිළිබඳව මනා ලෙස විමසිලිමත්වීම හා අදාළ ගනුදෙනු වාර්තා තබාගැනීම ත්‍රස්ත ක්‍රියා හා සම්බන්ධ විමර්ශනවලට ද ඉහළ උපකාරයකි.

බොහෝ පිරිසක් වෙත පණිවුඩය ගෙන යා හැකි බැවින් අන්තවාදී කොටස්වලට අනුගාමිකයන් හා මුදල් රැස් කරගැනීමට අන්තර්ජාලය පහසු වැඩ බිමකි. සමාජ ජාලා වෙබ් අඩවිවල සැරිසරන අතර හුදු විනෝදය පමණක් නොව එබඳු සැකසහිත කටයුතු ප්‍රචාර මුදල් රැස්කිරීම් පිළිබඳ විමසිලිමත්ව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට වගකීමක් ඇති බවට වූ පාඩම අප උගත යුතු ව තිබේ.

ත්‍රස්තවාදීන්ගේ ක්‍රෑරත්වය සහ ඔවුන්ගේ සැලසුම්වල සූක්ෂමතාව දිනෙන් දිනම වර්ධනය වේ. එය මැඬලීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ද ඒ සමඟ ම දියුණු කර යාවත්කාලීන නොකළහොත් ත්‍රස්තවාදීන්ගේ නවීන උපායමාර්ග පැරදවිය නොහැකි වනු ඇත. බැංකු ඇතුළු මූල්‍ය සේවා සැපයීම වැනි ක්ෂේත්‍ර තුළ ඇති වන තාක්ෂණික වර්ධනයන් කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුත්තේ එබැවිනි. අපේ‍්‍රල් 21 වන ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්ත කල්ලියට ”බිට්කොයින්” (Bitcoin) ඔස්සේ මුදල් ලැබුණු බවට පළ වන වාර්තා ඒ බව තහවුරු කරයි. Virtual assets ලෙසට හඳුන්වන bitcoin බඳු මූල්‍ය වත්කම්වල හිමිකාරිත්වය තහවුරු කරගැනීමේ දුෂ්කරථාව ත්‍රස්තවාදීන් විසින් අනිසි ලෙසට උපයෝගී කරගන්නා බව අදාළ වාර්තාවලින් පෙනී ගොස් ඇත.

අන්තර්ජාලයෙන් අනන්‍යතාව සඟවාලමින් සිදු කළ හැකි ප්‍රකාශන, සහ ගනුදෙනු ද ත්‍රස්තවාදයට මුදල් සැපයීමට රුකුල් වේ. බොහෝ පිරිසක් වෙත පණිවුඩය ගෙන යා හැකි බැවින් අන්තවාදී කොටස්වලට අනුගාමිකයන් හා මුදල් රැස් කරගැනීමට අන්තර්ජාලය පහසු වැඩ බිමකි. සමාජ ජාලා වෙබ් අඩවිවල සැරිසරන අතර හුදු විනෝදය පමණක් නොව එබඳු සැකසහිත කටයුතු ප්‍රචාර මුදල් රැස් කිරීම් පිළිබඳ විමසිලිමත්ව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට වගකීමක් ඇති බවට වූ පාඩම අප උගත යුතු ව තිබේ.

අන්තර්ජාලය තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති ඔස්සේ සිදු කරන මුදල් හුවමාරු කිරීම් හඳුනාගත හැකි වුව ද, අවසාන වශයෙන් ගනුදෙනුවේ වාසිය ලබන පුද්ගලයන් සොයා ගැනීමේ අසීරුතාව විමර්ශන කටයුතුවලට බාධාවකි. එබැවින්, ත්‍රස්තවාදයට මුදල් ආධාර දීම හා අනෙකුත් මූල්‍ය අපරාධ පිළිබඳව කටයුතු කරන විමර්ශන නිලධාරීන්ට ඉහත කී ගනුදෙනු පිළිබඳව මනා දැනීමක් හා පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්ය.

ත්‍රස්තවාදීන්ට ආධාර ලැබෙන ක්‍රම අතර පරිත්‍යාග ද ප්‍රධාන තැනක් ගනී. ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු සිදු කෙරුණු නඩු පැවරීම් අතරින් ආසන්න වශයෙන් 33% ක පමණ නඩු ප්‍රමාණයක් පවරා තිබුණේ අල් කයිඩා සංවිධානයට ආධාර සැපයූ තනි පුද්ගලයන්ට එරෙහිව ය. සෞදි අරාබියේ ධනවත් පුද්ගලයන් විසින් එම මුදල් පරිත්‍යාග ලබා දී ඇති බව 2002 වසරේ පළවූ වාර්තාවක් සඳහන් කරයි.

ඇමරිකාවේ හිටපු ආරක්ෂක මණ්ඩල නිලධාරී ලී වොලොස්කි වරක් ප්‍රකාශ කළේ පාපතර ක්‍රියාවන්හි යෙදෙන පුණ්‍යායතන තිබෙන බවත්, යහපත් ක්‍රියාවන්හි නිරත ඇතැම් පුණ්‍යායතන මගින් පවා පාපතර ක්‍රියාවන් සිදු කෙරෙන බවත් ය. එබැවින්, මහජනතාව වන අපට පරිත්‍යාග සපයනු ලබන සංවිධාන හා ආයතනවල අරමුණු, ක්‍රියාමාර්ග හා ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විමසා බැලීමට මීටත් වඩා උචිත කාලයක් තිබිය නොහැකිය.

බිහිසුණු ත්‍රස්ත කල්ලි පෝෂණය කෙරෙන මුදල් දැල ශක්තිමත් කරන තවත් සාධකයක් ලෙස Financial Action Task Force මගින් සිදු කළ පර්යේෂණ වාර්තාවක රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ දැඩිව අවධාරණය කර ඇත. 2014 වසරේ දී එමගින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව රාජ්‍ය නොවන සංවිධාන සහ ලාභ සඳහා නොවන සංවිධාන (Non-profit Organizations) ඔස්සේ ත්‍රස්තවාදීන්ට මුදල් කළමනාකරණය කිරීම පහසු වී ඇත. ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය නොවන දේශීය හා අන්තර්ජාතික සංවිධාන ඔස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයුණු බව නොරහසකි. එවන් තවත් ත්‍රස්ත පෝෂණ කටයුතු සඳහා ඉහත කී රාජ්‍ය නොවන සංවිධාන යොදාගැනීමට ඇති මඟ අහුරාලීමට අදාළ නීති තුළ පවත්නා සිදුරු වැසීම වහා කළ යුතු ව ඇත.

යම් නීත්‍යනුකූල ව්‍යාපාරයක් (Front Companies) ඉදිරියට දමා එයට මුවා වී සිදු කෙරෙන නීති විරෝධී ක්‍රියා මගින් මුදල් සපයා ගැනීම ත්‍රස්තවාදීන් භාවිත කරන තවත් උපක්‍රමයකි. පාකිස්තානයේ හා මැද පෙරදිග ඔසාමා බින් ලාඩන් විසින් පවත්වාගෙන ගිය පැණි වෙළඳසල් තිබූ බව 2001 වසරේ දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

කෘෂිකර්මයට සම්බන්ධ වී මෝල්, කුඩා කම්හල්, ගොවිපළ, මාළු වෙළඳසල් සහ සපත්තු කම්හල් වැනි ව්‍යාපාර කළු සල්ලි සුදු කර ත්‍රස්ත ව්‍යාපාරයට යොදගැනීම සඳහා පලිහ සේ භාවිත කරන බවට ලොව අනෙක් රටවලින් ද සාක්ෂි සැපයේ. මේ දිනවල අප රටෙහි සිදු කරන විමර්ශන හා සෝදිසි කිරීම්වල දී ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන් විසින් පවත්වාගෙන ගියේ යැයි සැක කෙරෙන තඹ කම්හල්, කුකුළු ගොවිපළ, කුළු බඩු හා නොයෙකුත් සිල්ලර වෙළඳාම් පිළිබඳ අනාවරණය විය. නීති විරෝධී ව උපයාගත් කළු මුදල් එබඳු ව්‍යාපාරයක් හා මුසු කර නීත්‍යනුකූල ලාභ ලෙස පෙන්වා විශුද්ධිකරණය කරගැනීම ත්‍රස්තවාදීන්ගේ උපාය මාර්ගයකි.

පෞද්ගලික අංශයට ද මෙහි දී පැවරෙන වගකීමක් ඇත. නීත්‍යනුකූල නොවන ව්‍යාපාර කටයුතු සමඟ සම්බන්ධ නොවීමටත් ඒ පිළිබඳ අදාළ බලධාරීන් හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කිරීමටත් ව්‍යාපාරික පුරවැසියන් හට වගකීමක් ඇත. නීත්‍යනුකූල ව්‍යාපාරයන්ට වර්ධනය වීමට නම් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල මුදල් සැපයෙන නීති විරෝධී ව්‍යාපාරික කටයුතු මඟින් ආර්ථිකය අඩපණ වීම අහුරාලීම අවැසි ය. විශේෂයෙන් ම, බදු ගෙවීම පැහැර හැරීම සඳහා නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ භාණ්ඩ රට තුළට ගෙනැවිත් (smuggling) සිදු කරන ව්‍යාපාර කටයුතු මුලිනුපුටා දැමීමට නීත්‍යනුකූල ව්‍යාපාර ප්‍රජාවට ද වගකීමක් ඇත. සොර බඩු ව්‍යාපාරයට ශ්‍රී ලංකාව පාරාදීසයක් වීමට ඉඩ නොතබා වෙරළාරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම ද අනිවාර්ය අවශ්‍යතාවකි.

මූල්‍ය විශුද්ධිකරණය (money laundering) හා ත්‍රස්තවාදයට මුදල් ආධාර දීම (financing terrorism) එකිනෙක හා තදින් බැඳුණු විෂයයන් ය. නීති විරෝධී ව උපයාගන්නා ලද මුදල් නීත්‍යනුකූල මුදල් පද්ධතිය ඔස්සේ සංසරණය කර ඒවායේ නීති විරෝධී මූලාශ්‍රය මකා දැමීමේ ක්‍රියාවලිය “මුදල් විශුද්ධිකරණය” ලෙස සරල ව දැක්විය හැකි ය.

අපරාධ ක්‍රියාවන්ගෙන් ඉපයෙන මුදල් රටක නීත්‍යනුකූල මූල්‍ය පද්ධතිය හරහා විශුද්ධිකරණය කිරීමට නැතහොත් ‘‘කළු සල්ලි සුදු කිරීම” දුෂ්කර වූ විටක ත්‍රස්තවාදී ව්‍යාපාර පෝෂණය කිරීමේ ක්‍රියාවලීන්ට ප්‍රබල බාධා එල්ල වේ. අපරාධකරුවන් ත්‍රස්ත කණ්ඩායම්වලට බඳවාගැනීමේ ප්‍රවණතාව මෑතක දී ශීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානයට සාමාජිකයන් ලෙසට අපරාධකරුවන් බඳවාගැනීමේ දී බ්‍රිතාන්‍ය ජිහාඩ් කල්ලිය යොදාගත් සටන් පාඨය නම් “ඇතැම් විට නරකම මාවතක් ඇති පුද්ගලයන් හොඳම අනාගතය නිමවයි” (Sometimes people with worst paths create the best futures) යන්නයි.

කෙසේ වුවත්, ත්‍රස්තවාදීන්ට ලැබෙන්නේ නීති විරෝධී ව උපයාගත් මුදල් පමණක් නොවේ. අන්තවාදී අදහස් කර පින්නාගත් ඇතැම් පුද්ගලයන් හා සංවිධාන මගින් නීත්‍යනුකූලව ඉපයූ මුදල් ද ත්‍රස්තවාදීන්ට ආධාර ලෙසට ලැබේ. ත්‍රස්තවාදී කටයුතු සැලසුම් කරන හෝ එම ක්‍රියාවන්හි නිරතව සිටින පිරිස්වලට කුමන ආකාරයෙන් හෝ මුදල් ආධාර දීම ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ නීතිය අනුව ද දඬුවම් ලැබිය හැකි වරදකි.

( විශේෂ ස්තූතිය ශ්‍රි ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිතිඥ නිශාදී තෙන්නකෝන් ට)

අදහස්