ගම්පහ පාතාල භීෂකයා පත්තඬුවන කළු අජිත්ගේ අවසාන හෝරාව | Page 3 | සිළුමිණ

ගම්පහ පාතාල භීෂකයා පත්තඬුවන කළු අජිත්ගේ අවසාන හෝරාව

වෙඩි තබා ඇත්තේ ශූර වෙඩික්කරුවෙක් ඝාතන සැකය මාකිලංගමුවේ සංජීවට

කලින් අඹ යාළුවො... විරසක වුණේ ඔස්මන් ඝාතන තැත වැරදුණු දවසෙ

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 30 වැනිදා කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටියේදී මහ දවාලේ කාන්තාවක ඝාතනය කෙරුණේ පාතාලයේ වැරැදුණු කුරුමානමක් ලෙසිනි. අළු පැහැති මෝටර් රථයකින් ගමන් කළ හතළිස් හැවිරිදි රසිකා රොයෙල්, නව හැවිරිදි දියණිය සමඟ පල්ලියට ගොස් නිවෙස බලා යමින් සිටියදී එලෙස ඝාතනය වූයේ පාතාල සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයකින් බව පසුව හෙළි විය.

අපරාධකාරයන්ගේ එදින ඉලක්කය වී තිබුණේ වැලිවේරි ලියනගේ ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් පත්තඬුවන අජිත් හෙවත් මිනුවන්ගොඩ කළු අජිත් ලෙසින් ප්‍රකට මෑත කාලයේ ගම්පහ පාතාලය හෙල්ලූ අපරාධකරුවාය.

අපරාධ රැසකටම බන්ධනාගාරගතව ඇප මත නිදහස්ව සිටි කළු අජිත් සෑම මසකම අවසන් ඉරු දින පෑලිය‍ගොඩ දිසා අපරාධ ඒකකයට පැමිණියේ සිය අස්සන තැබීමටය. ඒ බව දැන සිටි අපරාධකරුවන් කළු අජිත් එදින ඝාතනය කිරීමට සැලැසුම් කළත්, අජිත් පැමිණි මෝටර් රථයද, රසිකා රොයෙල් ධාවනය කළ මෝටර් රථය සේම වූ හෙයින් අපරාධකරුවන්ට ඉලක්කය නිවැරැදිව හඳුනාගැනීමට නොහැකි විණි. අවසානයේ නිරපරාදේ අහිංසක කාන්තාවක සිය ජීවිතයෙන් වන්දි ගෙවූයේ අවාසනාවන්ත ලෙසිනි.

එම අපරාධකාරයන් පෑලියගොඩ සිටම තම මෝටර් රථය පසුපස පැමිණි බවට තමන් දුටු බව පසුව කළු අජිත් පොලීසියට ප්‍රකාශයක්ද ලබා දී ගොස් තිබිණි.

බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියායත්මක වූ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු නිලධාරි කණ්ඩායමක් එදින කළු අජිත් ඉලක්කකොට වෙඩි ප්‍රහාරය එල්ල කළ අපරාධකාරයන් කවුරුන්ද යන්න හඳුනාගත්තේය.

ගම්පහ, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා විශේෂ බළකායේ සේවය කොට 2004 වර්ෂයේ ඉන් ඉවත්ව සිටි හතළිස් හතර හැවිරිදි ඉලන්දාරි හේවගේ සංජීව සිසිර කුමාර හෙවත් අමුණුගොඩ සංජීව නමැති කුලියට මිනීමරන අපරාධකාරයා එදින කළු අජිත් ඉලක්කකොට අහිංසක රසිකාට වෙඩි තබා තිබිණි. වෙඩි තැබීම සිදුකොට සතියක් ගතවීමටත් මත්තෙන් ඔක්තෝබර් පස් වැනිදා රාත්‍රියේ අනුරාධපුරයේ, රාජාංගණයේ නිවෙසක සැඟව සිටියදී අමුණුගොඩ සංජීව අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වූයේය.

සංජීව අත්අඩංගුවට ගෙන පෑලියගොඩට ගෙන එමින් සිටියදී කළු අජිත් ඉලක්කකොට වෙඩි තැබීමේ සියලු තතු නිලධාරින් හමුවේ පාපෝච්චාරණය කළේය. එදින සංජීව පොලිසියට පවසා තිබුණේ කළු අජිත් වෙඩි තබා ඝාතනය කරන ලෙස මාකිලංගමුවේ සංජීව තමාට පැවැසු බවයි. ඊට ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දහයක මුදලක් දෙන බවට පොරොන්දු වූ බවද ඔහු කීවේය.

පසුව එම සැලැසුමට සම්බන්ධ තවත් තිදෙනෙක් ජාඇල ප්‍රදේශයේ සැඟව සිටි බව සංජීව පැවසුවේය. ඔහුවත් රැගෙන නිලධාරීහු එම ප්‍රදේශයට ගියහ. එහිදී ජාඇල දඬුගම්ඔය අසලදී ශරීර කෘත්‍ය කිරීමට අවශ්‍ය බව පවසා ජීප් රථයෙන් බැසගත් සංජීව ආරක්ෂාවට සිටි කොස්තාපල්වරයාටද පහරදී මාංචු පිටින්ම දඬුගම්ඔයට පැන පලා යෑමට තැත් කිරීමේදී දියේ ගිලී මියගියේය.

ගම්පහ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් වැජඹෙන දැනට වැලිකඩ බන්ධනාගාරයේ පසු වන සංජීව කුමාර සමරරත්න හෙවත් මාකිලංගමුවේ සංජීවගේ ප්‍රධානතම ගෝලයා වූයේ අමුණුගොඩ සංජීවය. අමුණුගොඩ සංජීව මරණයට පත්වී හරියටම හත් මසක් ගෙවෙන පසුගිය පස්වැනිදා රාත්‍රියේ ඉකුත් දිනවල පැවැති පාතාල ගැටුම්හි නිහඬතාව බිඳ හෙළමින් වෙඩි පත්තු වූයේය. ඒ කළු අජිත් ඉලක්කකොටගෙනය. එදා මීගමු පාරේ වෙඩි ප්‍රහාරයෙන් බේරුණද මෙවර නම් කළු අජිත්ට ජීවත්වීමේ වාසනාව නොලැබිණි.

පස්වැනිදා හැන්දෑ යාමයේ අජිත් මෝටර් රථයක් පදවාගෙන තම සගයකු වන රංග සමඟ ගොස් තිබුණේ ජාඇල පොලිස් වසමේ, ඒකල, මහවත්ත, රජ මාවතේ පිහිටි කාර්මික ජනපද ප්‍රදේශයටය. ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන එහිදී හරියටම වේලාව රාත්‍රී 7.05ට පමණ කළු පැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෝ දෙදෙ‍නෙක් කළු අජිත් ගමන් ගත් වාහනයට ළං වුණහ. පසුපස අසුනේ සිටි පුද්ගලයා සිය බෑගයෙන් ටී56 ගිනිඅවියක් එළියට ගත්තේය. අනතුරුව ඔහු කළු අජිත් ඉලක්කකොට වෙඩි වරුෂාවක් එල්ල කළේය. අජිත් වාහනයේ සුක්කානම මත ඇදවැටුණේය. වෙඩික්කරුවෝ අසුරු සැණින් පලා ගියහ. වෙඩික්කරුවා ශූර ඝාතකයෙකි. අජිත් සමඟ රථයේ ඉදිරිපස අසුනේ සිටියේ රංගය. ඔහුගේ කුඩු හම සීරීමක්වත් වී නොතිබිණි. අජිත් එතැනම මැරී වැටී සිටියේය.

පුවත්පත මුද්‍රණයට යන විටත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණේ නැත. එහෙත් අදාළ ඝාතකයන් කවුරුන්ද යන්න පිළිබඳ බොහෝ කරුණු අනාවරණය වී තිබේ. නුදුරේදීම එම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

සැකය

දැනට වාර්තා වන ආකාරයට කළු අජිත් ඝාතනය මාකිලංගමුවේ සංජීවගේ සැලැස්මක් බවට සැලවේ. මාකිලංගමුව සංජීව යනු පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අන්තර්ජාතික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඝාතන කොන්ත්‍රාත්තුවද ගත් තැනැත්තාය. එසේම භාරත ලක්ෂ්මන් මන්ත්‍රීවරයා ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම හිමිව බන්ධනාගාරයේ පසුවන දෙමටගොඩ චමින්ද නමැති අපරාධකාරයා 2016 මාර්තු 03 වැනිදා බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් කළ තැනැත්තාය. 2010 වසරේදී වනවාසලදී පෞද්ගලික බැංකුවක රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවාද සංජීවය. එම කොල්ලයත් සමඟින් සංජීව අපරාධ ලෝකයේ ප්‍රකට වූයේය. වනවාසල කොල්ලයට සම්බන්ධව බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ සංජීව දෙමටගොට චමින්දට වෙඩි තැබීම නිසා නැවතත් අත්අඩංගුවට පත්වූයේය. ඔහු දැන් බන්ධනාගාරයේ පසුවේ. මේ වන විට බන්ධනාගාරයේ සිට ඔහු කොන්ත්‍රාත් ගෙන සියලු අපරාධ මෙහෙයවමින් සිටින බවට වාර්තා වේ.

අඹ යාළුවෝ

පසුගිය කාලයේ මාකිලංගමුවේ සංජීව සහ කළු අජිත් සිටියේ අඹ යහළුවන් ලෙසය. දෙදෙනා එක්ව 2017 අප්‍රේල් 08 වැනිදා ගම්පහ, කිරිඳිවිටදී ගම්පහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම වවුල්කැලේ නඩුවේ විත්තිකාරයා වන ජෝන් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ව ඝාතනය කිරීමට සැලැසුම් කළෝය. ඔහු ඝාතන කොන්ත්‍රත්තුව දුන්නෙ කළු අජිත්ටය. එහෙත් එදින කළු අජිත් තැබූ වෙඩි ප්‍රහාරයෙන් ගම්පහ ඔස්මන් දිවි ගලවා ගත්තේය. එහෙත් ඔහුගේ ගෝලයෙකු තුවාල ලැබීය. එම ඉලක්කය වැරැදීම නිසා සංජීව සහ කළු අජිත් අතර විරසකයක් හටගෙන තිබිණි. එහෙත් එදිනම පොලිසිය ගිනිඅවි දෙකක් සමඟ කළු අජිත්ව අත්අඩංගුවට ගත්තේය.

එදින අත්අඩංගුවට පත් කළු අජිත් නැවතත් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව තිබුණේ මීට අවුරුද්දකට පමණ පෙරදීය. එදා ඔස්මන්ට වෙඩි තැබීමට කළු අජිත් ලබාගත් කොන්ත්‍රාත්තුවට අදාළව නිසි පරිදි මුදල් ලබා නොදීම නිසා සංජීව සහ අජිත් අතර හටගත් විරසකය දෙදෙනා අතර ගහමරා ගැනීම්වලට මූලික වී ඇති බවකි. ඒ අතරේ අජිත්, ඔස්මන් සමඟ එක්ව තමාට බොරුවක් කළ බවටද සංජීවට සැලවී තිබේ. ඒ, සංජීවගෙන් මුදල්ගෙන ඔස්මන් ඝාතනය නොකර බොරුවක් කිරීම නිසා සංජීව පසුගිය කාලයේ කළු අජිත් සමඟ බද්ධ වෛරයෙන් පසුවූ බවටද වාර්තා වේ. එසේම ඔස්මන්ට වෙඩි තැබීම පිළිබඳ කළු අජිත්ට එරෙහිව අධිකරණමය කටයුත්තක් තිබුණද ඔස්මන් සහ කළු අජිත් අතර පසුගිය කාලයේ ළඟ ඇසුරක් තිබූ බවටද සැලවේ.

තිස්අට හැවිරිදි වියේ පසුවූ කළු අජිත් අංක 116/1, පත්තඬුවන, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි. වැඩිමහල් සහෝදරියක පමණක් සිටින පවුලේ බඩපිස්සා ලෙසින් හැදී වැඩුණු අජිත් ඝාතනය වන විට දරුවන් තිදෙනෙකුගේ පියෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව දැඩි සේ එල්ලෙ ක්‍රීඩාවට යොමුව ගමේ කා අතරත් කළු අජිත් නමින් ප්‍රකටව සිටි ඔහු මිනුවන්ගොඩ, පොල්වත්ත හන්දියේ ත්‍රිවිලර් රැකියාවකට යොමු වී තිබේ. මීට වසර පහළොවකට පමණ පෙර දිනෙක මිනුවන්ගොඩ වෑලියේ තිදෙනෙකු සමඟ ත්‍රිවිලර් හයර් එකක් ගියේ කළු අජිත්ය. එම තිදෙනා ගොස් තිබුණේ මිනිස් ඝාතනයකටය. පසුව එම ඝාතනයට කළු අජිත්ටද බන්ධනාගාරයේ කුරු ගනින්නට සිදු විය.

ඇප මත නිදහස් වී ආ අජිත් මිනුවන්ගොඩ හීනටියන පාතාලයේ ප්‍රබලයකුව සිටි හීනටියන අසිතගේ කල්ලියට එකතු විය. අසිතගේ කල්ලියට එක්ව ප්‍රදේශයේ කප්පම් ගැනීම්, කොල්ලකෑම්, මිනිස් ඝාතනය රැසකට සම්බන්ධ වූ අජිත් ක්‍රමයෙන් ප්‍රදේශයේ නමගිය අපරාධකාරයෙකු ලෙස පෙරට ආවේය.

බන්ධනාගාරයේ සිටි හීනටියන අසිත, මීගමුවේ ෆෙරෝස් විසින් බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමෙන් පසු අජිත් එක්වූයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ තවත් ප්‍රබල අපරාධකාරයෙකු ලෙස ප්‍රකටව සිටි දූනගහ සුජීගේ කල්ලියටය. මේ වන විට සුජීද සිටින්නෙ බන්ධනාගාරයේය.

පසුව ගම්පහ පාතාලයේ මෑතකදී බලය ගත් ගණේමුල්ල සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීවට එක්ව ඔහු සමඟ මිනීමැරුම්, කොල්ලකෑම් ආදි අපරාධ රැසකටම සම්බන්ධ විය. ඒ අතරේ 2016 දෙසැම්බර් 24 දා වේයන්ගොඩදී තවත් අපරාධකාරයෙකු වන ජනක සමරදිවාකර හෙවත් උදම්මිට සමරේ ඝාතනය, දිවුලපිටියේ රනිල් නමැත්තා ඝාතනය මෙන්ම මිනුවන්ගොඩදී තවත් ඝාතනයක් කර තිබිණි. තවද වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය කොල්ලකෑම, පොලාන්නරුව වැලිකන්දෙ සහ කටුනායක ස්වර්ණාභරණ වෙළෙඳසල් දෙකක් කොල්ලකෑම නිසා අජිත්ට එරෙහිව මිනුවන්ගොඩ, පොලොන්නරුව, මීගමුව, අත්තනගල්ල අධිකරණවල නඩු රැසක්ම තිබේ.

තවත් අපරාධකාරයෙකුගේ ඉරණම අපරාධකාරයකුගේම අතින් තීන්දු වී ඇත. එක් අතකින් එය සැනසිල්ලට කාරණාවක්ම නොවේ. මේ සියල්ල සිදු වන්නේ නීතියට උඩිනි. ඒ ක්‍රියාවලියේ අවසාන පලය බිහිසුණුය.

Comments