BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

 බොලිවුඩය බැබළවූ වීර දේව්ගන් සමුගනියි

බොලිවුඩ් සිනමාව බැබළවූ තවත් තරුවක් පසුගියදා මෙලොවින් සමුගත්තා. ස්ටන්ට් නළුවකු, සටන් අධ්‍යක්ෂවරයකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු තමයි, වීරු දේව්ගන්. ඔහු, සුපිරි නළු අ‍ජේ දේව්ගන්ගේ පියාණන්. වීරු දේව්ගන් මියයන විට 85 වැනි වියෙහි පසුවුණා.

මේ අවමඟුලට බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් ඇතුළු විවිධ කලාකරුවන් රැසක්ම සහභාගි වූණා. අභාවය සැල වූ වහාම, චිත්‍රපට රූගත කිරීමක යෙදී සිටි සුපිරි නළු අමිතාබ් භච්චන්, එම වැඩ කටයුතු නවතා විනාඩියක නිශ්ශබ්දතාවක් රකිමින් තම සහෘදයා වෙනුවෙන් ගෞරව පුද කළා.

අභාවය ඇසූ රසිකයෙකු තම ට්ටිටර් පිටුවෙන් වීරු දේව්ගන්ගේ අතීත සිද්ධියක් සිහිපත් කර තිබුණා. එය, අජේ දේව්ගන් තම පියා හා සබැඳි සිද්ධියක් විස්තර කරන වීඩියෝ දසුනක්. අජේ එය විස්තර කරන්නේ මෙලෙසයි....

“දවසක් මම ජිප් එක පදවගෙන යද්දි පුංචි ළමයෙක් සරුංගලයක් අල්ලගන්න දුවගෙන ගිහින් මගේ වාහනය ඉස්සරහට පැන්නා. මම බ්‍රේක් කළා. අනතුරක් වුණේ නැතත් පොඩි ඒකා අඬන්න පටන් ගත්තා. ඒ සද්දෙට අවට මිනිස්සු මාව වට කර ගත්තා. මේක ආරංචි වුණු තාත්තා, සටන් නළුවො 200ක් විතර එක්කගෙන ආවා. මගේ ආරක්ෂාවට!”


‘ඔස්කා’ භාරතයටත් එයි

ඉන්දියාව වසරකට නිෂ්පාදනය කරන චිත්‍රපට ප්‍රමාණය දළ වශයෙන් 1800ක් පමණ වෙනවා. මෙවැනි දැවැන්ත සිනමාවක් හිමි ඉන්දියාව, සිනමා ලොව තවත් දැවැන්ත සහ කීර්තිමත් සම්මාන උලෙළක් සමඟ නිල වශයෙන්ම අත්වැල් බැඳ ගන්න තීරණය කරලා ඉන්දියාව එලෙස එකතු වන්නේ ලොව ප්‍රකට සම්මාන උළෙලක් වන ඔස්කා සිනමා සම්මාන පිදෙන ආයතනයත් සමඟයි. මේ තීරණය ගෙන ඇත්තේ ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයයි. ඒ අනුව ඔස්කා කාර්යාලයක් ළඟදීම මුම්බායි නුවර පිහිටුවීමට නියමිතයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඔස්කා සම්මාන සංවිධානයේ සභාපති ජෝන් බේයිලි.....

“අපේ එක කාර්යාලයක් ලන්ඩන් නුවර තිබෙනවා. අනෙක නිව්යෝක් නුවර, ඒ කාර්යාල දෙක විතරයි මෙතෙක් තිබුණේ. ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට නිෂ්පාදනය වන චිත්‍රපටි ප්‍රමාණය වගේ හතර ගුණයක් චිත්‍රපට නිෂ්පාදනය කරන ඉන්දියාවේ තමයි ලෝකයේ විශාලතම සිනමා කර්මාන්තය තිබෙන්නේ. ඉන්දියාවේ තවත් ඔස්කා කාර්යාලයක් ස්ථාපිත කිරීම අගනා දෙයක්.”


 උර්මිලාගේ මඩ ප්‍රහාරකයෙක් කොටු

උර්මිලා මතොන්ද්කාර් ඉන්දීය දේශපාලනයට එක් වූ පුවතක් මීට පෙර ඔබ කියවන්න ඇති. පසුගියදා පැවැති ඉන්දීය මහ මැතිවරණයට කොංග්‍රස් පක්ෂයෙන් මුම්බායි උතුර අසුන සඳහා තරග වැඳුණු මේ සුපිරි තරුව වැඩි ඡන්ද ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයකින් පරාජයට පත් වූවා.

උර්මිලාට අත් වූ දරුණු පරාජයත් සමඟම ඇයට තවත් කරදරයකට මුහුණ දෙන්න සිදුවුණා. මහාරාෂ්ට්‍රයේ වෙසෙන ධනන්ජේ කුඩ්ටර්කාර් නම් වූ පුද්ගලයෙකු, සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ උර්මිලාට මඩ ප්‍රහාරයක් එල්ල කරලා. එය අසැබ් වදන්වලින් පිරුණු සටහනක් යැයි ඉන්දීය පොලිසිය පැවසුවා. මෙයට ලිංගිකත්වය මුසු වූ අවිනීත අදහස් රැසක් ද එක් වී ඇතැයි පැවසෙනවා.

මේ හේතුවෙන් ඉන්දීය නීතිය අනුව ධනන්ජේ නමැත්තාට එරෙහිව නඩු පැවරීමට මෙම කරුණ පිළිබඳව පරීක්ෂණ පවත්වන විශ්‍රම්බාග් පොලිසිය කටයුතු කරන බවයි වාර්තා වුණේ. ඉන්දීය නීතිය අනුව මෙවැනි වරදක් සිදු කළ අයකු ලිංගික අතවර සිදු කළ පුද්ගලයකු ලෙසයි සැලකෙන්නේ.


 බ්‍රිට්නි යළිත් වේදිකාවට?

ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්ගේ රසික පිරිස ප්‍රමෝදයට හේතු වන පුවතක් වාර්තා වෙනවා. බ්‍රිට්නි ළඟදීමට නැවතත් ගී ගැයීමට එනවාලු.

පසුගිය කාලය මුළුල්ලේ ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වූවා. මේ සුපිරි ගායිකාවට වැලඳුණු මානසික ව්‍යාධියක් හේතුවෙන් තමයි ඇය වෛද්‍ය ප්‍රතිකාර ලැබුවේ. ඇගේ පියා ඇයට තහනමකුත් පැනවුවා. ඒ, කිසිදු සංගීත ප්‍රසංගයකට බැහැරට නොයා යුතුය යන තහංචියකි. හොලිවුඩ් ආරංචි පවසන්නේ පියාගේ තහනම තිබියදීම බ්‍රිට්නි යළි ප්‍රසංග වේදිකාවට පැමිණෙන බවයි. බ්‍රිට්නි යළි ගී ගැයීමේ පුවත මේ වන තුරු ඇය විසින් ප්‍රකාශ කර නැහැ. සමහරු පවසන්නේ ඇගේ ජනප්‍රියත්වය රඳවා ගැනීමේ අරමුණෙන් යුතුව මේ ආරංචිය ඇගේ සහයක ශිල්පීන් විසින් පතුරුවන ලද්දක් විය හැකි බවයි. කෙසේ වෙතත් බ්‍රිට්නි වෙනුවෙන් සිදු කළ වෛද්‍ය ප්‍රතිකාර පසුගිය සතියේ අවසන් වී ඇතැයි පැවසෙනවා.


 බීබර් වරද පිළිගනියි

පසුගියදා රාත්‍රියක බෙවර්ලි හිල්ස් පොලිස් නිලධරයකු මහා මාර්ගයේ ගමන් කළ ලැම්බෝගිනි මෝටර් රථයක් නතර කළා. ඔහු ඒ මෝටර් රථය නතර කළේ එහි ඉදිරිපස වීදුරුවේ වාහන බලපත්‍රයේ පිටපතක් අලවා නොතිබීම සහ මෝටර් රථයේ වීදුරු අඳුරු පැහැ ගන්වා තිබුණු නිසයි.

මෝටර් රථය නතර කළ රියැදුරු පොලිස් නිලධරයා අසලට පැමිණියා. රියැදුරා හඳුනා ගන්නට අපහසු වුණේ නැහැ. ඔහු තමයි, සුපිරි ගායක ජස්ටින් බීබර් සිදු වී ඇති වරද පොලිස් නිලධරයා ඔහුට පැහැදිලි කර දුන්නා. බීබර්, තමන් කළ වරද පිළිගත්තේ ඉතාම නිහතමානීවයි. ඉක්මනින්ම ඒ අඩුපාඩු සකසා ගන්නා බවට ඔහු සහතික වුණා. ඒ නිසා බීබර්ට දඩ ගෙවීමට හෝ චුදිතයකු වීමට සිදු වුණේ නැහැ. මීට වසර කිහිපයකට කලින් නම් ඔහු පොලිස් අත් අඩංගුවට පවා පත්වුණා. 2014දී සහ 2018 දී මියාම් ප්‍රදේශයේදී අපරීක්ෂාකාරීව රිය පැදවීම නිසයි බීබර්ට අත්අඩංගුවට ගැනුණේ. ඊට පෙර වසර කිහිපයකදීත් ඔහු අත්අඩංගුවට පත්වුණා. ඒ, බීමත්ව අසල්වැසි නි‍ෙවසකට පහරදීමේ සහ රියැදුරකුට පහර දීමේ සිද්ධීන්වලටයි.

අදහස්