හත­හ­මා­රට කල්ලි ගැහෙන හතේ කල්ලිය සොයා ඇන්ඩ­ර්සන් තට්ටු නිවා­ස­යට ගියෙමු | Page 2 | සිළුමිණ

හත­හ­මා­රට කල්ලි ගැහෙන හතේ කල්ලිය සොයා ඇන්ඩ­ර්සන් තට්ටු නිවා­ස­යට ගියෙමු

 පුංචි තිරයට පෙම් බඳින දූ, පුතුන් මේ දවස්වල රාත්‍රි හතහමාර වන විටම හරිම නොඉවසිල්ලෙන්. ඔවුන් පොත පත පසෙක තබා රූපවාහිනියට එබෙන්නේ ආලින්දයට ගොඩ වදින හතේ කල්ලිය දැක ගන්නට. මීටරය, නැට්ටුවා, අන්ලකි, කිලිට්ටා, ලොලි පොප්, ටූත් පේස්ට්, චණ්ඩි ශ්‍යාමා දැක බලාගන්නත්, ඔවුන්ගේ දඟකාරකම් දකින්නත් ආසාවෙන්. දරුවන්ගේ ආදරය දිනාගත් මේ දඟයන් කවුරුන්දැයි සොයා පසුගියදා අපි නාරහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාසය බලා පිටත්වුණා. එතැන තමයි හතේ කල්ලිය කල්ලි ගැසෙන තැන. අපි යනවිටත් ඔවුන් අලුත්ම මිෂන් එකක. ‘ලොලි පොප්‘ ලොලි පොප් එකක් කටේ දමාගෙන මොනවාදෝ කියනවා. සහාය අධ්‍යක්ෂ ජයන්ත දරුවන් ළංකරගෙන දෙබස් කිහිපයක් පාඩම් කරවනවා. මේ සියල්ල දෙස පැත්තකට වී බලාසිටින අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂන් ඊළඟ දර්ශනය රූගත කිරීමට සූදානමින්.

මොවුන්ගේ වගතුග දැන ගන්නත්, ටෙලිනාට්‍ය ගැන දැන ගන්නත් අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂන් ඇමතුවා.

‘ හතේ කල්ලිය කියන්නෙ වයස අවුරුදු හයත්, දොළහත් අතරවන දරුවන් හත් දෙනකු අතර පවතින කතාවක්. ඒ ළමයින්ගේ ක්‍රියාකාරකම්, ප්‍රශ්නයක් පැමිණිවිට ඔවුන් මුහුණ දෙන ආකාරය මෙන්ම ඔවුන් ඉගෙනුමට දක්වන දක්ෂතාව මෙම කතාවෙන් පෙන්වනවා. අපි පුංචි කාලේ අපිට ඇළේ දොළේ දඟලන්න, සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණට දැන්කාලෙ දරුවන්ට එහෙම සෙල්ලම් කරන්න අවස්ථාවක් නැහැ. ඔවුන් කොන්ක්‍රිට් වනන්තරවල හුදකලා වෙලා. එහෙම දරුවන්ඔවුන්ගේ හුදකලාව මග හරවා ගන්න වෙනස්ක්‍රම හොයනවා . ඔවුන්ට ලැබෙන කාලය, ඉඩ ප්‍රමාණයේ හැටියට ඔවුන් ඒ අයගේ ලෝකය හදාගන්නවා. මේ දරුවන්ගේ මවුපියන් වැදගත් රැකී රක්ෂා කරන, නිලතල දරන අය වුණත් මේ අයගේ ඇතැම් ක්‍රියාකාරකම් මවුපියන්ට නතර කිරීම අසීරුයි. කොතරම් දඟකාරකම් කළත් ඔවුන් ඉගෙනුමටත් දක්ෂයින්. හතේ කල්ලිය නරඹන දරුවන්ටත්, මවුපියන්ටත් කියන්න තියෙන්නේ ළමයින්ගේ ළමා ලෝකය පෙන්වන , රසවිඳින්න ඉඩ හසර ලබාදෙන හතේ කල්ලිය සුන්දර නිර්මාණයක් බව.

අප කතා කරමින් සිටියදී තරමක දුරින් කිළුටු ඇඳගත් ළමයකු සුනඛයකු සුරුතල් කරනු පෙනේ. මෙය ටෙලි නාට්‍යයේ කොටසක්ද? එසේත් නැතිනම් ඇන්ඩර්සන් ප්ලැට්වල දරුවෙක්ද? සිතාගත නොහැක.

‘‘ඔය තමයි හතේ කල්ලියෙ කිළිට්ටා. දුප්පත් ළමයෙක්. වෙනත් පළාතක සිට මේ ප්ලැට් එකට එන්නේ තමන්ගේ බලු සුරතලාත් අරගෙන. ඔහු ජීවත්වන්නේ වාහන පිරිසුදුකර ගන්නා මුදල්වලින්. අහම්බෙන් ප්ලැට් එකට කඩා වැදුණු මේ ළමයාවත්, සුනඛයාවත් එළවාදමන්න අනෙකුත් ළමයින් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරනවා. එහෙත් අවසානයේ කිළිට්ටාත් ඔවුන්ගේ යහළුවෙක් වෙනවා.‘‘

කිළිට්ටාගේ බලු සුනඛයා සැබවින්ම ඔහුගේද? නැහැ. ඔය සුනඛයව අපි ඉංගිරියේ රූගත කිරීමකට ගිය අවස්ථාවේ හමුවුණේ. ඔහු අපේ සෙට් එකට එනවා කෑම කන්න. එහෙම ඇවිත් අපිත් එක්ක යාළුවුණා. අපි ඌව අරගෙන ඇවිත් ඌට බෙහෙත් විදලා නහවා පිරිසුදුකර ටික කලක් බලාගත්තා.

ඉන් පසුව සුනඛයාගේ අයිතිකරුවන් පැමිණ ඌව නැවතත් අරගෙන ගියා. අපි ඒ අයගෙන් මේ ටෙලිනාට්‍ය අවසන්වනතුරු සුනඛයාව ඉල්ලා ගත්තා. දැන් ඌට වෙනම පසුවෛද්‍යවරයෙක් පවා ඉන්නවා. කතාව පුරාම සුනඛයාගේ රඟපෑම් දැකිය හැකියි. ඌගේ නම ටිමි. ටිමී කිළිට්ටා අසලින් හෙළවෙන්නේවත් නැත. පුදුමයකි. මේ දරුවෝ සියල්ලෝම ටිමිට ආදරය දක්වති.

හතේ කල්ලියට දරුවන් සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර වු බව රොෂාන් අප සමග පැවසීය. මේ දරුවන් කෑගල්ල , අම්බලන්ලොඩ, මීගමුව, දෙල්ගොඩ, කැලණිය වැනි ප්‍රදේශවලින් සම්මුඛ පරීක්ෂණ කැඳවා තෝරාගෙන තිබේ.

‘‘බොහෝ අය කියනවනෙ ළමයි එක්ක වැඩකරන එක අපහසුයි කියා. මට කියන්න තියෙන්නේ ළමයි එක්ක වැඩකරන එක බොහොම ලේසියි. ඔවුන් අපි කියන විදිහටම කරනවා. ඒ අය එක්ක වැඩකරන එක අපිටත් විනෝදයක්‘‘

චුට්ටේ අපි සිටිනා දෙසට පිය මැන්නේ වෙහෙස දරාගත නොහැකිවය.

‘‘හරිම මහන්සියි . කකුල් දෙකත් රිදෙනවා. ටිකක් වාඩිවෙන්නද?‘‘

ඔහු ගසක මුලකට බර දෙමින් කියයි.

‘‘ තව එක ෂොට් එකයි, පොඩ්ඩක් ඉවසන්න පුතා. ඒ සහාය අධ්‍යක්ෂ ජයන්ත විජේරත්නය. ඔහු දරුවන් සමග ආදරණීයව වැඩ කරන කෙනෙකි.

ලොලි පොප් කට ඇඹුල් කරමින් ඉදිරියට ඇදෙයි

‘‘ඇයි පුතේ මොකද?‘‘ ජයන්තගෙන් පැනයකි.

‘‘අනේ මේ ලොලි පොප් එක කන්න බැහැ. අර උදේ දුන්න ජාතියෙ ලොලි පොප් එකක් දෙන්නකෝ.‘‘

ඔහුගෙන් මැසිවිල්ලකි. එතැනට දුව එන චණ්ඩි ශ්‍යාමා ‘‘ මල්ලි ඔය විදිහට ලොලි පොප් කනකොට කොහොමත් එපා වෙනව තමයි‘‘ ඇය චණ්ඩි ස්වරයෙන්ම කියාගෙන යන්නීය. චුට්ටේ ඒ කතාවට අත්වැල් බඳියි.

‘‘හා..හා එන්න එන්න හවස් වෙන්න කලින් අනිත් එපිසෝඩ් එකත් කරන්න ඕනෑ.‘‘ ඒ විධානයත් සමඟ ළමෝ කල්ලිය එදෙසට කුරුල්ලන් මෙන් ඉගිලෙති. මේ දරුවන්ට අමතරව මෙහි රඟපාන අය ගැනත් සඳහන් කළ යුතුය.

කලා අධ්‍යක්ෂ අජිත් හත්වැල්ල පිළිතුරු බඳින්නට සැරසෙන්නේ රූගත කිරීම ආරම්භවූ නිසාය.

‘‘දයාදේව එදිරිසිංහ, පියුමි බොතේජු, නුවන්ගි ලියනගේ, චන්ද්‍රෙස්න වලිමුණි, දයා තෙන්නකෝන්, දිනිඳු චින්තක, මනීෂා නාමල්ගම, මේනක පේමරත්න, වගේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. හතේ කල්ලිය ගැනත් කියනවනම් මෞලි මතීෂ, සදෙව් සන්තුල, ඒබ්‍රියන් පෝරගේ, ඉමාෂා සමුදි, අන්ජුපති ගයන්ත, නවීන් සෞම්‍ය, මල්ෂා දිව්‍යාංජලී‘‘. ඔහු කියාගෙන ගියේය.

සැබැවින්ම අලංකාර රූගත කිරීම් පසුතලයකි. ඇන්ඩර්සන් ප්ලැට්වල වැසියෝ නිවෙස් ඉදිරිපිටට පැමිණ මේ දරුවන්ගේ ක්‍රියාකාරකම් නරඹති. අප පුංචි තිරයේ දකින දේට වඩා එහා ගිය බොහෝ රසවත් දේ මෙවැනි පසුතලයකදී විඳිය හැකිය. විශේෂයෙන් කුඩා දරුවන් රැසක් සිටින දර්ශන තලයක හෝරා කිහිපයක් ගත කිරීමත් සිතට සැනසිල්ලක් සතුටක් දැනෙන දෙයකි. මටත්, රුවන් අයියාටත් නැවත කාර්යාලයට පැමිණීමට වේලාව ළංවී තිබේ. අපි පුංචි දරුවන්ගෙන් සමුගතිමු. 

 
 

Comments