සතුට දරා­ගන්න බැරිකමට විනාඩි දහ­යක් විතර ඇඬුවා | Page 2 | සිළුමිණ

සතුට දරා­ගන්න බැරිකමට විනාඩි දහ­යක් විතර ඇඬුවා

මාව උදාරිගෙන් මුදාගෙන සේදර මැණිකේ කළේ ඔහුයි

සජිතටත්, අඛිලටත් මම අම්මා වගේ බත් කවනවා. ඒ තරමට අපි සහෝදරයො වගේ ඒ කාලය ගත කළා

මම ලස්සන වෙලා තියෙන්නේ පෙර පිනට

දුවත් සමඟ විදෙස්ගත වෙනවා

උදාරි වර්ණකුලසූරිය යනු කෙටි කලෙකින් රිදී තිරය සහ පුංචි තිරය ජය ගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියකි. ‘පායා එන්න හිරු සේ‘ සිනමා පටයෙන් රංගනයට පිවිසි ඇය ළඟදී තවත් විශිෂ්ට චරිත නිරූපණයක යෙදී ඇති බව දැනගන්නට ලැබුණා. ඒ ‘එකගෙයි සොකරි‘ සිනමා පටය වෙනුවෙන්. නොබෝ දිනෙකින් තිරගත වීමට නියමිත මේ අපූරු සිනමා නිර්මාණයේ තමා පණ පොවන චරිතය ගැන උදාරි රසඳුන ‘හිත පිරෙන හීන‘ විශේෂාංගයට එක් වෙමින් කළ කතා බහයි මේ.

‘එකගෙයි සොකරි‘ මොන වගේ අත්දැකීමක්ද?

මෙය මට බොහොම සුන්දර සිනමා අත්දැකීමක්. අපේ රටේ අතීතයේ තිබූ එකගෙයි විවාහ චාරිත්‍රය පිළිබඳව කියැවෙන තේමාවක් රැගත් අලංකාර සිනමා නිර්මාණයක්. මෙහි අධ්‍යක්ෂවරයා ප්‍රවීණ රංගන ශිල්පී, අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී මහතා. එතුමා අතින් නිමැවුණු තවත් විශිෂ්ට සිනමා කෘතියක් ලෙසත් “එකගෙයි සොකරි“ හඳුන්වාදිය හැකියි. මම මෙහි නිරූපණය කරන්නේ ‘සේදර මැණිකේ‘ නමැති චරිතය. ඇය කුලවත්, සංවේදී හදවතක් තිබෙන සුන්දර කාන්තාවක්.

‘සේදර මැණිකේ‘ චරිතයට ප්‍රේක්ෂකයන් කොතරම් දුරට ළං වෙයිද?

මම හිතනවා රසිකයන් සේදර මැණිකෙව ආදරයෙන් වැලඳ ගනියි කියා. ‘එකගෙයි සොකරි‘ සිනමා පටයේ ප්‍රධාන භූමිකාව සේදර මැණිකේ. ඇයගේ සිතුම් පැතුම්, ආදරය, මෙහි හොඳින් නිරූපිතයි. එදා තිබූ මේ සංස්කෘතිය පිළිබඳව වර්තමානයේ තරුණ පරපුරට අවබෝධයක් ලබා දෙනවා . එය ඉතා සංයමයෙන් සිනමාපටය පුරා දිග හැරෙනවා. ගැහැනියකට මුහුණ දෙන්න සිදුවන සුදු සහ කළු ලෝක දෙකම මෙහිදී නිරූපණය කෙරෙනවා.

ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණයකු යටතේ රංගනයට අවස්ථාව ලැබීම ගැන සිතන්නේ කුමක්ද?

ඔහු ගැන කිව යුතුම කරුණු ටිකක් තිබෙනවා. ඇත්තටම ඔහු විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්. මම ඔහුට අනේක වාරයක් ස්තූති කරනවා මාව මෙම නිර්මාණයට සම්බන්ධ කරගැනීම ගැන. මාව උදාරිගෙන් මුදාගෙන සේදර මැණිකේ කළේ ඔහුයි. චිත්‍රපටය පිළිබඳව දැනුවත් කළ මාධ්‍ය දැක්මේදී ප්‍රදර්ශනය කළ චිත්‍රපටයේ කොටස් දුටුවාම මට හිතාගන්නත් බැරිවුණා මේ තරමටම මම සේදර මැණිකේ තුළ ජීවත් වුණාද කියලා. මට සතුට දරාගන්න බැරිකමට ජැක්සන් ඇන්තනී මහතා ළඟට ගිහින් විනාඩි දහයක් විතර ඇඬුවා. මම එම අවස්ථාවේ ඔහුට කීවේ මගේ කලා ජීවිතේට මේ චරිතය හොඳටම ඇති කියලා. එහෙත් ඔහු ඔහුගේ මීළඟ සිනමා නිර්මාණයටත් මට අවස්ථාව ලබා දුන්නා.

සිනමා පටය රූපගත කරන කාලයේ සිදු වු අමතක නොවන සිදුවීම් ඇති නේද?

රූගත කිරීම් සිදුවුණේ බිබිල ප්‍රදේශයේ. හරිම සුන්දර පළාතක්. එහි ජනතාවට ස්තූතිවන්ත වෙනවා ඔවුන් ඉතා ලස්සනට ස්වභාව සෞන්දර්ය රැකගෙන ඉන්නවට. බලන බලන අත මොනරු. කොළඹ බල්ලො, පූසො දකිනව වගේ එහේ ඉන්නෙ පිඹුරෝ. මගේ වාහනේ යටත් පිඹුරෙක් හිටියා. එහෙත් ඒ සත්තුන්ගෙන් කාටවත් හිරිහැරයක් නෑ. අපි දවල් ෂූටින් ඉවර කරල රෑට හැමෝම එකට කෑම ගන්නෙ. සජිතටත්, අඛිලටත් මම අම්මා වගේ බත් කවනවා. ඒ තරමට අපි සහෝදරයො වගේ ඒ කාලය ගත කළා. ඇත්තටම සුන්දරයි.

මේ දවස්වල මොනවද කරන්නේ..

හිරු නාළිකාවේ විකාශය කෙරෙන ‘අහස් මාලිගා‘ ටෙලි නාට්‍යයේ අහිංසා චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව බෙනට් රත්නායකගෙ ‘කවුරුවත් දන්නෙ නෑ‘ චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. එහි ආදරණීය බිරියකගෙ චරිතයක් නිරූපණය කරන්නේ. ජැක්සන් ඇන්තනීගේ අලුත් චිත්‍රපටයේ වැඩත් ඇරැඹුණා.

බොහෝ අය කියනවා උදාරි බබා ලැබුණාට පසු තවත් ලස්සන වුණා කියා. ඒ ගැන මොකද කියන්නේ..

ඒකට කියන්න තියෙන්නේ ඒවා පෙර පින් කියලා. මම හැමදේම හරිම උපේක්ෂාවෙන් විඳ දරාගන්න කෙනෙක්. මම වෘත්තියත් සමග ඉතාම කාර්ය බහුලයි. මගේ සැමියා විදෙස්ගතව සිටින නිසා මගේ දුවගේ සියලු වගකීම් පැවරී තිබෙන්නේ මට. ඒ සියලු වගකීම්වලින් මා නිදහස් කර මගේ පියා සහ පවුලේ අය දරුවා හොඳින් රැක බලා ගන්නවා. දරුවට මම නෑ කියල කිසිම අඩුවක් තියන්නෙ නෑ. මගේ සැමියාත් මාව හොඳින් තේරුම්ගත් කෙනෙක් නිසා ඔහු කැමැති නැහැ මම නිකම් ගෙදරට වෙලා ඉන්නවට. ඔහු නිතරම කියන්නෙ තරුණ කාලෙ ගෙදරට වෙලා නිකම් ඉඳල වයසට ගියාම වැඩ කරන්න බැහැ, ඒ නිසා තරුණ කාලෙ තමයි අපි වැඩ කරන්න ඕනෑ කියල..

දුව ගැනත් මතක් කරමුද?

දුවට අවුරුදු හතයි. කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ (British Scool) ඉගෙනුම ලබනවා. ලබන මාසෙ සිට ඇයව සිංගප්පූරුවේ අධ්‍යාපනය සඳහා පිටත් කරනවා. මමත්, සැමියාත් දුව ඉපදුණු දා සිටම කතා කරගෙන සිටියේ සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබාදෙනවා කියල. ඒකට වයස සම්පූර්ණ වෙනකල් මෙහේ ඉගැන්නුවා. මේ මාසෙ විසි නවයට ඇයට වයස හත සම්පූර්ණයි.

ඉස්සරහට උදාරි කලාවෙන් ඈත් වෙයිද?

දුවත් එක්ක මමත් විදෙස්ගත වෙනවා. එහෙත් රූගත කිරීම්වලට වරින් වර එනවා. දැනටත් මමත්, දුවත් නිතරම සිංගප්පූරු යනවා, එනවා. ඉදිරියේදිත් එහෙම සිදු වෙයි. කලාවෙන් ඈත් වෙන්නෙ නෑ. ඒත් හැමදාමත් මම මුල්තැන දුන්නෙ මගේ පවුලට. 

 

Comments