ලෝක­යම හඳු­නන තෝසෙ මිනිසා | සිළුමිණ

ලෝක­යම හඳු­නන තෝසෙ මිනිසා

1995 දී ඇමරිකාව බලා යන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයියෙන්

තෝසේ මිනිසා නිව්යෝක් නගරයේ ආහාර ආකර්ෂණයක්

අවුරුදු හතරෙන් වෙන්ඩි සම්මානය දිනයි

සිතිවිල්ල පහළවී තිබෙන්නේ තායිලන්තයේදී

විවිධ පැති ඔස්සේ ලොව ජය ගත් පුද්ගලයන් පිළිබඳ විටින් විට ‘රසඳුන‘ අතැඹුල ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ බාධක හමුවේ ඔවුන් ජීවිතය ජයගත් අයුරු අපගේ ජීවිතයටද වැදගත් නිසායි. අද අතැඹුලෙන් ඉඩකඩ වෙන්වන්නේ අපේම කෙනකු වෙනුවෙනි.

ඒ තමයි අපේ පුංචි රටේ සිට ඇමෙරිකාව බලා ගොස් දැන් ලොවක් හඳුනන ‘තෝසෙ මිනිසා’ හෙවත් තිරු කුමාර්.

යාපනයේ උපත ලැබූ කුමාර් තරුණ අවධියේදී කාලය ගත කර තිබෙන්නනේ කැලෑ තුළට වැදී ඒවායේ ඇති ගල් ගුහා අභ්‍යන්තරයට යමින් හා ඔහු විසින්ම සැකසූ කුඩා පාරවල මෝටර් සයිකල් ධාවනය කරමින්.

පසුව කොළඹ සංචාරක ආයතනයක සේවය කරන විට ඔහුට තායිලන්තය බලා යෑමට අවස්ථාවක් ලැබී තිබෙනවා. එහිදී තායිලන්තයේ එක් මාවතක නවතා තිබූ වීදි වෙ‍ෙළඳසලක් (වෙළෙඳ රථයක්) දුටු ඔහුට එය පිළිබඳව ආශාවක් ඇති වී එහි හිමිකරුට මුදල් ගෙවා එහි ආහාර පිස තිබෙනවා.

තම මෑණියන්ගෙන් හා මිත්තණියගෙන් ආහාර පිසීමේ ආභාසය ලැබූ කුමාර් යම් දිනක මෙලෙසින් වීදි කෑම රථයක් (Street food truck) ආරම්භ කිරීමට සිතට ගෙන තිබෙන්නේ එහිදීයි. 1990 වසරේදී තම ආදරවන්තිය වන රාජිනීව විවාහ කරගන්නා කුමාර් 1995 වසරේදී ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාව බලා ගමන් කරන්නේ එවකට සිව්හැවිරිදි තම දියණිය හා බිරිය සමඟයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පදිංචි වූ ඔවුන් මුල් කාලයේ විවිධ රැකියාවල නිරත වී තිබෙන අතර පසුව ඔහුට වීදි කෑම රථයක් ආරම්භ කිරීමේ සිතිවිල්ල පහළ වී තිබේ. බලපත්‍රයක් ලබා ගැනීමට ඉතා විශාල මුදලක් වැය වන නිසා වසර ගණනක් ඒ සඳහා මුදල් එකතු කරමින් හා ඔහුගේ වීදි ආහාර රථය සකස් කරමින් කාලය වැය කර තිබේ. 

හොට් ඩෝග් වැනි ඇමෙරිකාව පුරා ඉතාමත් ප්‍රචලිත ආහාර පමණක් මෙලෙසින් වීදිවල විකුණමින් සිටි අවධියක මොහු දකුණු ඉන්දීය නිර්මාංස ආහාර විකිණීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව මොහු අවට සිටි සියලු දෙනාගේම අදහස වී තිබේ. එහෙත් කිසිම දෙයකට බිය නැති කුමාර් තම අදහස ක්‍රියාත්මක කිරීමට තදින්ම සිතාගත්තේ කුඩා කාලයේදී ඔහු ආදරය කළ ලැබූ ආහාර අනෙක් අයටත් දීමට ආශාව ඇතිවයි.

ඒ අනුව කුමාර් සිය තෝසේ රථය වොෂින්ටන් චතුරස්‍රයේ ආරම්භ කරන්නේ 2001 වසරේදී. එයින් වසර හතරක් වැනි සුළු කාලයකදී එනම් 2005 වසරේදී කුඩා ව්‍යාපාර හිමියන්ට ලබාදෙන වෙන්ඩි සම්මානයෙන් කුමාර් පිදුම් ලැබූ පසු ඔහු ලැබූ ජනප්‍රියත්වය නිසා ඔහුගේ ව්‍යාපාරය හොඳින් දියුණු වීමට පටන් ගෙන තිබෙනවා.

දිනෙන් දින කුමාර්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබෙන්නේ ඔහු පිසිනා මනරම් ආහාරවලට සහ ඔහුගේ ඉතාමත් මිත්‍රශීලී ගතිගුණ නිසායි. වර්තමානය වන විට ඔහුට උපකාර කිරීමට ස්වේච්ඡා සේවකයින් 21ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා.

‘තෝසෙ මිනිසා‘ නමින් ලොවක් හඳුනන කුමාර් රටවල් 42ක සංචාරක අත්පොත්හි නිව්යෝක් නගරයේ ආහාර ආකර්ෂණයක් ලෙසින් සටහන් වී තිබෙනවා. කැලිෆෝනියාවේ හා ජපාන‌ෙය් තෝසේ මිනිසා නමින් රසික සමාගම් පවා තිබෙනා අතර විවිධ රටවල පුවත්පත් වල ඔහු ගැන පළ වූ ලිපිවලින් තම ආහාර රථය සරසා තිබෙන කුමාර් අපේ රටට ආඩම්බරයක් වන්නේ මුදල් නොගෙන පවා කෙනකුගේ කුස ගින්න නිවීමට ක්‍රියා කරන තරමට ඉතා කරුණාවන්ත මෙන්ම දැඩි අධිෂ්ඨානශීලී මිනිසකු නිසායි.

අදහස්