පුළුල් මිනි­සකු පිළි­බඳ ආව­ර­ණක් | සිළුමිණ

පුළුල් මිනි­සකු පිළි­බඳ ආව­ර­ණක්

මට මතක හැටියට 2015 අග භාගය දක්වා ‘රසඳුන’ සාර සංග්‍රහයෙහි කර්තෘත්වය දැරුවේ සුනිල් මිහිදුකුලය. 1960 වසරේ සැප්තැම්බර් මාසෙ 22දා මෙලොව එළිය දුටු ඔහුට 55 වියේදී සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදුවුණා. ඒත් ඔහු ලිවීමට විරාමයක් ලබා දුන්නේ නැහැ. තමන් දන්නා හඳුනන ප්‍රවෘත්ති කතුවරුන්ගේ ආරාධනයෙන් ඔහු පත්තර කිහිපයකටම ලිපි ලිව්වා. ස්ථිර සේවයේ සිටියදීම අනපේක්ෂිත ලෙස ඔහු හට වැලඳුණු මාරාන්තික රෝගයක් නැවතත් දරුණු ලෙස මතු වූණේ ඒ අතරතුර. රෝගී තත්ත්වය අමතක කරලා පුවත්පත් ලිපි සම්පාදනයේ සහ ග්‍රන්ථකරණයේ යෙදී සිටියදීම ඔහුගේ රෝගය උත්සන්න වෙලා 2017 මැයි මස අගභාගයේදී ඒ කියන‍්නේ හරියටම වසර දෙකකට පෙර සුනිල් මොලොවින් සමුගත්හ.

සුනිල් පියවරෙන් පියවර මාධ්‍යවේදියකු ලෙස ගොඩනැඟුණු පත්තර කාරයෙක්. පාසල් වියේ අග භාගයේදීම පික්චර් පිස්සෙකු වූ ඔහු පාසල් වියෙන් පස්සේ එළැඹුණු සංක්‍රාන්ති සමයේදී අගනුවර නිතර පැවැත්වූණු සිනමා, සාහිත්‍ය නාට්‍ය සහ සංගීත සම්මන්ත්‍රණ ආදියට ඉව අල්ලන්නට වුණා. නොබෝ කලකින්ම ඔහු පුර්වෝක්ත සම්මන්ත්‍රණ, සිනමා වැඩමුළුවල කැපී පෙනෙන චරිතයක් වුණා. ගුණසිරි සිල්වා, ප්‍රේම් දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි වැනි මාධ්‍යවේදීන් ඇසුරු කරන්නට ඔහුට අවස්ථාවක් ලැබුණේ මේ සම්මන්ත්‍රණ ඔස්සේයි. මුලින්ම සුනිල් යථෝක්ත මාධ්‍යවේදීන්ගේ කලා සංග්‍රහ වලට ලිපි ලිව්වා. කලක් නිදහස් මාධ්‍යවේදියකු වූ ඔහු පසුව වෘත්තීය මාධ්‍යවේදියකු වුණා.

දශක තුනක් ඉක්මවා ගිය දීර්ඝ කාලපරාසයක් ඔස්සේ දිව ගිය සුනිල් ගේ මාධ්‍යවේදය සියුම් ලෙස පිරිස්සීමේදී ඔහු වචනයේ පරිසමාප්තාර්යෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ බව මනාව පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔහු තම වෘත්තීය ජීවිතයේදී පුවත්පත් කතුවරයෙකු ලෙස ප්‍රකට කළ අදීනත්වයත් අපේ සැලකිල්ලට යොමු කළ යුතු වෙනවා. ඔහුගේ සමකාලීන මාධ්‍යවේදීන්, සහෝදර කලාකරුවන්, බොහෝ විද්වතුන් ඒ වගේම ප්‍රවෘත්ති පාඨකයන් ඔහුගේ මේ අදීනත්වය පැවසූ බව එයට ගරු කළ බව අප හොඳාකාරම දන්නවා. ඔහුගේ ඒ අදීනත්වය ඉවසන්නට බැරිවුණේ මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රවල කුහකකමකින් පිරුණු අතළොස්සකට පමණයි.

සති අන්ත ‘සිළුමිණ’ පුවත්පත සමඟ පාඨක ඔබ වෙත තිළිණ කරන ‘රසඳුන’ නිර්මාණය සහ සංස්කරණය මුලින්ම භාර වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේට. ඔහු ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශනවලට වගේම සමස්ත පුවත්පත් කලාවටම ආභරණයක් වූ අප සැමගේ නොමද ගෞරවයට පාත්‍ර වූ සාර්ථක, ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඔහු විසින් නිර්මාණය කොට පෝෂණය කළ ‘රසඳුන’ ඔහුගේ ඇවෑමෙන් භාර කෙ‍රුණේ තවත් පළපුරුදු මාධ්‍ය වේදියකු වූ රෝහණ වෙත්තසිංහයන්ට. රෝහණගෙන් පස්සේ ‘රසඳුන’ සංස්කරණයේ වගකීම පැවරුණේ සුනිල් මිහිදුකුල යන්නට. ඔහු එය සාර්ථකව පවත්වා ගෙන යෑමේ අභියෝගය භාරගත්තෙ ලොකු වගකීමකින් යුතුවයි. දශකයක් පුරා ‘රසඳුන’ සංස්කරණය තුළින් ඔහු තම වගකීම ඉමහත් කැපවීමකින් යුතුව සාර්ථකව ඉටු කළ බව ඔහුගේ කාලයේ ‘රසඳුන’ අධ්‍යයනය කිරීමේදී මැනවින් පැහැදිලි වෙනවා. එය කවර කලෙක වත් බොළඳ, ග්‍රාම්‍ය ටැබ්ලොයිට් පත්තරයක් වූයේ නැහැ. ප්‍රේක්ෂක නිම්වළලු පුළුල් කෙරෙන ප්‍රශස්ත මට්ටමකට එය ගෙන ඒමට ඔහු කටයුතු කළ ආකාරය අපි හොඳාකාරවම දන්නවා. වර්තමානය දක්වාම ටැබ්ලොයිට් පුවත්පතක් ලෙස එහි සාර්ථකත්වය සුරැකීමට ගමගේ ගේ පටන් සුනිලුන් දක්වා එහි නියමුවන් කටයුතු කළ ආකාරය ඉවහල් වූ බව පැහැදිලියි.

මාධ්‍යවේදීයකු ලෙස සුනිල් ප්‍රකට කළ අධිෂ්ඨානය වගේම ලේඛකයකු ලෙස 1989 පටන් මියෙන මොහොත දක්වා ම ඔහුගේ මෙහෙවරද කිසිසේත් ම ලඝුකොට සලකන්නට බැහැ. සුනිල් ප්‍රථමයෙන්ම ලේඛකයකු ලෙස දොරට වැඩියේ 1989 දී ඔහු ලියූ ‘රුක්මණී දේවී’ නිළිය, ගායිකාව සහ ජනප්‍රිය සංස්කෘතිය නමැති කෘතිය තුළින්. එය මූලික වශයෙන් සිංහල සිනමාව හා බැඳුණු කෘතියක්. ඔහු එතැන් පටන් 2015 දක්වා ග්‍රන්ථ 22ක් නිකුත් කළා. ඉන් ග්‍රන්ථ 17ක් ම සිනමාව විෂය කරගත් කෘතීන්. ඔහු සිනමාව සමඟ කොතරම් තදින් බැඳුණු චරිතයක් වී දැයි එමඟින් අපට පැහැදිලි වෙනවා. යොවුන් වියේදීම සිනමා කෘතීන් නැරඹීමට තදින් ඇබ්බැහි වූ සුනිල් පසුව විදෙස් සිනමා කෘතීන් නැරඹීමෙන් බහුල ලෙස සිනමා සඟරා සිනමාව විෂයෙන් ලියැවුණු ග්‍රන්ථ පරිශීලනයෙන් ඒ පිළිබඳව ප්‍රාමාණික විෂයානුබද්ධ දැනුමක් තමන්ගේ ජීවිතයට එකතු කර ගත්තා. අනතුරුව ඔහු විචක්ෂණ ලෙස පාඨක අවධානය යොමුකර ගන්නා සුළු ආකර්ෂණීය සරල ශෛලියකින් සිනමාව ගැන පතපොත ලිව්වා. ඔහුගේ සෙසු ග්‍රන්ථ 5න් 2ක් නාට්‍යකලාව විෂය කරගත් ග්‍රන්ථ. ඉතිරි ග්‍රන්ථ 3 බිහිවූයේ ඒ වන විට ඔහු විවිධ පුවත්පත්වලට ලියූ ඉතා ජනප්‍රිය තීරු ලිපි සංස්කරණය තුළිනුයි. සුනිල් නිම කළ තවත් ග්‍රන්ථ 2ක් මුද්‍රණාද්වාරයෙන් නිකුත් නොවී අත් පිටපත් වශයෙන් පවත්නා බැව් දැන ගන්නට ලැබුණා.

මේ අනුව ඔහු තමන්ගේ මරණ මංචකයේ සිට ලියූ ඔහුගේ 25වැනි අවසන් කෘතිය වන්නේ රංජිත් ධර්මකීර්ති නාට්‍යාව ලෝකනයයි. සුනිල් විශ්‍රාම යාමෙන් පස්සේ 2014 වසරෙදී ‘සරසවිය කර්තෘ’ ඔහුගේ සහෝදර මාධ්‍යවේදී අරුණ ගුණරත්නයන් ගේ ආරාධනයෙන් සරසවිය පුවත්පතට ‘නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ ජීවිතය මැයෙන් ලිපි පෙළක් ලිවීම ඇරැඹුවා. ඉමහත් කැපවීමකින් ඒ සඳහා අවශ්‍ය නිවැරැදි දත්ත වලට ඉව අල්ලමින් ඔහු ලියූ එම ලිපි පෙළ ඇරැඹු‍ණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගෙන් එම ලිපි පෙළේ 9 වැන්න ලෙස ඔහු සම්බන්ධ කර ගත්තේ ප්‍රවීණ නාට්‍යකරුවකු වූ රන්ජිත් ධර්මකීර්තිව. ඔහු රන්ජිත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වලා අවශ්‍ය, අදාළ ලිපිලේඛනවල පිටපත් ඔහු වෙතින් ලබා ගෙන එම ලිපිය සාර්ථකව නිමකළා.

ඉන් පෙර නාට්‍යකරණය අරබයා සුනිල් රන්ජිත් ධර්මකීර්ති සමඟ විවිධ පුවත්පත් උදෙසා සම්මුඛ සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබුණා. මේ සාකච්ඡා ඇසුරෙන් ධර්මකීර්තිගේ නාට්‍යාවලියේ සුවි‍ශේෂ පරිණතභාවයක් නිරීක්ෂණය කළ සුනිල් ඒවා විමර්ශනය කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ යෝග්‍යතාව පිළිබඳ යෝජනාවක් ගෙනාවා. එම යෝජනාව පිළිගත් ධර්මකිර්ති එම ග්‍රන්ථය සැකසීමේ වගකීම සුනිලුන් වෙත පැවරුවා. ඒ වන විට සුනිල්ගේ රෝගී තත්වය නැවත වරක් හිස ඔසවමිනුයි තිබුණේ.

තමා පෙළූ ව්‍යාධිය පිස දමන්නට එම වගකීම ප්‍රතිකර්මයක් ‍වේ යැයි සිතූ සුනිල් වහාම එකී ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලිය හාර අවුස්සා එහි සියලු තොරතුරු පාඨක අවධානයට යොමු වන සේ හකුලා දක්වමින් ධර්මකීර්ති මහතා සමඟ කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකින් යුතුව ඒ වගේම ධර්මකීර්තිගේ සමකාලීන විද්වතුන් ඔහුගේ නාට්‍ය නිර්මාණ අරබයා පළ කළ මත ඇතුළත් එම ග්‍රන්ථය ඔහු බොහෝ දුරට නිම කළත් මාරාන්තික රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා එය නිම කර ගන්නට සුනිල්ට නොහැකි වුණා. සුනිල්ගේ ලේඛන කෞශල්‍යය ඉස්මතු කරන නිසැක ලෙසම හරවත් ග්‍රන්ථයක් වීමේ ඉඟි පළ කෙරෙන එකී ග්‍රන්ථයේ සුළු සුළු ඌනතා සකසමින්, ධර්මකීර්ති නාට්‍යාවලියේ අඩු තොරතුරු සම්පාදනය කරමින් අප විසින් සංස්කරණය කරන ලද රන්ජිත් ධර්මකීර්ති නාට්‍යවලෝකනය නම් වූ අනගි ග්‍රන්ථය තව නොබෝ කලකින් පාඨක ඔබ වෙත තිළිණ කරන්නේ සුනිල් මිහිඳුකුල නමැති පුළුල් මාධ්‍යවේදියා, මාධ්‍යවේදියකු වන්නට, ලේඛකයකු කරන්නට කළ මෙහෙයට උපහාරයක් ලෙසිනුයි. සුනිල්ගේ 25වැනි ග්‍රන්ථය වන එකී කෘතිය ඔහුගේ අවසාන ග්‍රන්ථය වීම විශේෂයකි.

සුනිල් මිහිඳුකුල අපේ කාලයේ බිහි වූ ප්‍රකට ආදීන මාධ්‍යවේදියෙක්, ප්‍රවීණ ලේඛකයෙක්. ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැතයෙකි. ඒ සැමටම වඩා කුහක කමින් මුළුමනින්ම බැහැරව අංකූර ලේඛකයන් හට ලියන්නට අත හිත දුන් සොඳුරු මිනිසෙක්. දිසාවන් රැසක් ඔස්සේ තම දක්ෂතා ප්‍රකට කළ එවන් වටිනා පුද්ගලයකු 56 වැනි විය ඉක්ම වූ ගමන් ම වාගේ ජීවිතයෙන් සමුගැනීම අපේ අවාසනාවක් . ඔහු තවදුරටත් ජීවත් වුණා නම් අප සිත් පුබුදු කරන ලිපි පුවත්පත්වලට සපයනවා වගේම අගනා ග්‍රන්ථ පාඨක දෝතට පිරිනමනවා නිසැකයි. ඔහු තවත් එක් කලාකරුවකු නොවන්නේ ඒ අරුතෙන්.

සුනිල් පුවත්පත් ඔස්සේ පළ කළ ලිපි මඟින් ග්‍රන්ථ හරහා පාඨකයන් පෝෂණය කිරීම මඟින් කළ සේවාව කලා ලෝකයේ සදානුස්මරණය වනවා නිසැකයි. 

Comments