ජන­ප්‍රි­යම සංගීත කණ්ඩා­ය­ම වීමට සිහින දකින කොටු­ගොඩ | Page 2 | සිළුමිණ

ජන­ප්‍රි­යම සංගීත කණ්ඩා­ය­ම වීමට සිහින දකින කොටු­ගොඩ

අපේ රටේ සංගීත කණ්ඩායම් අතරට එක් වුණ කොටුගොඩ ‘අග්‍රා‘ සංගීත කණ්ඩායම මෙවර රසඳුන BAND OF THE WEEK සමඟ කතාබහට එක් කරගත්තෙමු.

ඔබ කවුරුදැයි හඳුන්වා දෙමින් කතාබහ අරඹමු.

මම පාලිත පෙරේරා. මගේ ගම් පළාත වත්තල මහබාගේ. ඒත් දැන් පදිංචිය කොටුගොඩ. මම පාසල් ගියේ මත්තුමගල කරුණාරත්න මහා විද්‍යාලයට.

අග්‍රා සංගීත කණ්ඩායම හා ඔබ අතර ඇති සම්බන්ධය කුමක්ද?

මම එහි නායකයා වගේම කළමනාකරු ලෙසත් කටයුතු කරනවා.

ඒ වුණාට ඔබ වෘත්තියෙන් නිවේදකයෙක්?

ඔව්. මම නිවේදකයෙක්. විශේෂයෙන් ප්‍රසංග වේදිකා නිවේදකයෙක්.

නිවේදකයෙකු වුණ ඔබ කොහොමද සංගීත කණ්ඩායමක නායකත්වය දරන්නේ?

මම ප්‍රසිද්ධ වේදිකාවේ නිවේදන කටයුතුවලට එක්වෙන්නේ 1994 වසරේ සිටයි. එහිදී වැඩිපුරම නිවේදන කටයුතු කළේ සංගීත ප්‍රසංග වලයි. එහි ලබාගත්ත අද්දැකීම් එක්ක තමයි සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්න තීරණය කළේ.

වාදනය හෝ ගායනය ගැන නොදැන සංගීත කණ්ඩායමක් මෙහෙයවන්න පුළුවන්ද?

එම විෂය දැනගෙන ඉන්නවානම් හොඳයි. එහෙත් හොඳ පිරිසක් තෝරගෙන ඔවුන් මෙහෙයවන්න පුළුවන් නම් ගායන ශිල්පියෙක්, වාදන ශිල්පියෙක් නොවීම ප්‍රශ්නයක් වේවි කියලා මම හිතන්නේ නැහැ.

ඔබ මුලින්ම පටන් ගන්නේ ‘සරසි‘ සංගීත කණ්ඩායම?

ඔව්. 2001 වසරේදි තමයි මම ‘සරසි‘ සංගීත කණ්ඩායම පටන් ගන්නේ. වසර 12ක් විතර ඉතා සාර්ථකව කරගෙන ගියා. එහෙත් හිතපු නැති විදියට එක් මොහොතක එය නතර කර දමන්න මට සිදු වෙනවා.

ඒ ඇයි?

මගේ සංගීත කණ්ඩායමේ හිටපු වාදන ශිල්පියෝ දෙන්නෙක් අපෙන් ඉවත් වෙලා වෙනත් සංගීත කණ්ඩායමකට එකතු වෙනවා. ඇත්තටම ඔවුන්ට මගෙන් කිසිම වරදක් වෙලා නැති වෙලාවකයි ඔවුන් ගලවාගෙන යන්නේ. ඒ සිදුවීමත් සමඟ මට කලකිරීම් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට ‘සරසි‘ සංගීත කණ්ඩායම නතර කර දමන්නේ.

ඇයි එහෙම නම් යළි සංගීත කණ්ඩායමක් පටන් ගද්දි ‘සරසි‘ වෙනුවට ‘අග්‍රා‘ නම යෙදුවේ?

මුල් සංගීත කණ්ඩායමට ‘සරසි‘ කියන නම යෙදුවේ අහම්බයෙන්. ඒත් නැවත සංගීත කණ්ඩායමක් පටන් ගනිද්දි මම මගේ වේලාව බලලා, ඒ අනුව අරීසෙන් අහුබුදු මහත්තයගෙන් ලබා ගත් නමක් තමයි ‘අග්‍රා‘ කියලා දැම්මේ. එහි තේරුම අග්‍රගණ්‍ය කියන තේරුමයි.

කවුරුද කණ්ඩායම හැඩ කරන අනෙක් සමාජිකයන්?

කී බෝඩ්- අනිල් රසාංග, ලීඩ් ගිටාර්-ඉසුරු ලියනගේ, රිදම් ගිටාර්- ශානික් රන්දීර්, බේස් ගිටාර්- මලිත් කරුණාරත්න, ඔක්ටර් ෆෑඩ්- කසුන් චිරන්ත, ඩ්‍රම්ස්- කවීන් සුදාරක. ගායන ශිල්පීන් ලෙස සමීර චතුරංග, ශේහාන් හර්ෂ, නිලාන් හෙට්ටිආරච්චි. මේ සියලුදෙනාම වෘත්තියක් විදියට තමයි මෙහි කටයුතු කරන්නේ.

මේ තරම් සංගීත කණ්ඩායම් තිබෙන රටේ අග්‍රාට එහි ඉඩකඩ තිබෙනවද?

මම විශ්වාස කරන විදියට ලංකාවේ තිබෙන ජනප්‍රිය සංගීත කණ්ඩායම් දහය අතරේ අපි ඉන්නවා. ඒකට හේතුව අපි කරන දේ හරියට කරනවා. මොකද අවුරුදු ගණනක් ප්‍රසංග වේදිකාවේ ලබාගත් අද්දැකීම් එක්ක මම තිබෙන ඉඩකඩ ගැන හොඳට හොයල බලලා තමයි මෙය පටන් ගත්තේ. එහි නියම ප්‍රතිඵල ලබාගන්න මේ වෙනකොට පුළුවන් වී තිබෙනවා.

මේ තරම් දුර එන්න ශක්තියක් වුණේ කවුරුද?

මගේ බිරිය හේමන්ති රාජපක්ෂ. ඇය විශාල සහායක් ලබා දෙන නිසා වැඩටික පහසුවෙන් කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේ මගේ මිත්‍රයන්, සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්. ඒ වගේම නම් ගම් කියන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමෝම මේ අවස්ථාවේ මතක්කර සිටිනවා.

සංගීත කණ්ඩායමක් විදියට අනාගත බලාපොරොත්තු මොනවද?

ඕනෑම සංගීත කණ්ඩායමක එකම අරමුණ රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායම බවට පත්වෙන එක. අපේ අරමුණත් ඒකමයි. 

Comments