ඔයාට තනි­යම යන්ට දෙන්න බෑ | Page 2 | සිළුමිණ

ඔයාට තනි­යම යන්ට දෙන්න බෑ

යසස් එක්වරම සාකච්ඡාවට ආවේ නැත. එහෙත් ඔහුට පැවසිය යුතු දෙයක් ඇත. පවුල් අතර බල අරගලයක් පවතින බැව් දැනගත්තේ නි‍ෙවසේ නේවාසිකව සිටි ම‍නෝ වෛද්‍යවරයා ගෙනි. විශ්වාසවන්ත කෙනකුගේ සහාය අවශ්‍යව ඇති බව රාම් මෝහන් තුමා පැවසුවේය. එතුමා එසේ පවසන්ට ඇත්තේ එය නීලකට පැවසීමට විය හැකිය.

“ඇයි මචං කතා කළ? අපි මේ පොඩි ගමනක් යන්ට.”

“දැන් අපිව අමතකයි. කොහෙ යන්නද?”

“කුමාරිව ගම්පහ මල්වත්ත බලන්න එක්ක යන්න කියල. ඇයි?”

“ඇත්තෝ කති බොති කිව්වලු. මේ... උඹට වැදගත් දෙයක් කියන්ට තියෙනවා.”

“ඉක්මනට කියපං.”

“කුමාරිට උඹට දෙයක් කියන්න ඕනෑ කිව්වා.”

යසස් මහරාජා පැවසූ කතාව ඔහුට සැකෙවින් හෙළි කළේය.

“අපේ ලොක්කට සෙකියුරිටි ගාඩ්ස්ලා ගැන බයයි වගේ.”

“අද හැම රටකම බෝම්බ පිපිරීම්, මනුෂ්‍ය ඝාතන සිදු වෙනවා.”

“හිතේ කරදරයක් නැතිව කෑවෙ බීවේ බයක් නැතිව නිදා ගත්තෙ ලංකාවට ආවට පස්සෙ කියල සර් කිව්වා.”

“දැන් මෑන්ට ඕනෑ දේශපාලන වැඩ කරන්ට නෙමේ. බිස්නස් එක විශ්වාසවන්ත කෙනෙකුට බාර දෙන්නයි.”

“කුමාරි මට කිව්වා.”

“මෙහෙ දුක්විඳිනවට වඩා එහෙ යන එක හොඳයි. උඹට හොඳ පඩියකුත් දෙයි.”

“මට පඩියට යන්ට පුළුවන්ද?”

“උඹෙන් නිකං වැඩ ගන්න එකක් නෑ. තණකොළ කපන්ට හරි මාවත් ගනින්.” යසස් හිනැහෙමින් කීවේය.

“පිස්සු නැතුව වරෙන් මල්වත්තට ගිහින් යාළුවෙක් ඉන්නවා. මෑන්ස්ටත් කෙල්ලව පෙන්නල එමු.”

“හුඟ කාලෙකින් සෙට් වෙන්න බැරිව ගියා. ළඟදි රට ගියානෙ.”

******

සාමාන්‍යයෙන් රාම් මෝහන් විදේශගත වීමට පෙර අදාළ කටයුතු ඒ ඒ කළමනාකරුවන්ට පවරා යෑම සිරිත වේ. මෙවර ආවේ කාටත් රහසිනි. තමා ලංකාවට පැමිණි බව දන්නේ දුවගේ මනෝ වෛද්‍යවරයා වන මනෝජ් සිං පමණි. මේ ගමනේදී පවා සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඔහු සමඟින් පමණි.

“ඩොක්ට කොහොමද සනීපද?”

“දැන්නම් හොඳටම සනීපයි. නීලකගෙ තාත්තා හදල දුන්න වට්ටෝරු බෙහෙතෙන් පස්සෙ ලෙඩ කොහේ ගියාද දන්නෙ නෑ.”

“අර බෝතලෙන් මගෙ බඩේ අමාරුව නැත්තට නැතිවුණා.”

ඔවුහු එකවර සිනාසුණහ.

“මනෝජ් මාළිගාවෙ තත්ත්වය කොහොමද?”

“සර් ලංකාවට ගිය කතාව හැම තැනම පැතිරිලා.”

“අර මයිසූරයේ නවීන් ක්‍රිෂ්ණ දුව ගැන බලාපොරොත්තුවෙන් හිටිය. දුවගෙ පූර්ව ආත්මභාව කතාව මෑන් දන්නවා.”

“සර් ඒ කුමාරයා විතරක් නෙමේ සංජයත් කාර් කම්පනියට ඇහැගහගෙන ඉන්නෙ.”

“දැන් මගෙ බොඩි ගාඩ්ලා ගැන මම බයෙන් ඉන්නෙ. දන් මොකද කරන්නෙ?”

“කොහොමටත් තමාගෙ ආරක්ෂාව තමුන් සලසා ගන්න එක හොඳා.”

“මට කියන්ට බැරි වුණා. එයාපෝර්ට් එකේදි කණ්ඩායමක් මාව මරන්න හැදුවා.”

“නෑ... එතකොට සර්ගෙ බොඩිගාඩ්ලා.”

“උන් පැනලා ගිහින්.”

“ඉතින් සර් බේරුණේ කොහොමද? දිව්වද?”

“විදුලිය වාගෙ පැනල කෙනෙක් අපිව බේර ගත්තා.”

“හොඳ අයත් ඉන්නවා.”

“හොඳ අය නෙමේ. ඉදිරියට පැනලා මාව බේරගත්තෙ නීලක. ඔක්කොටම දුවන්න දුන්නා.”

“සර් නීලක සර්ට හම්බ වුණේ ගිය ආත්මෙ කරපු පිනක් විදිහටයි. මොන විදිහකින් හරි මේ වටිනා අවස්ථාව මඟ හැර ගන්ට එපා.”

“නෑ ඩොක්ට. දුවට වඩා මට දැන් නීලක අවශ්‍ය වෙලා තියෙනවා.”

“ගුඩ් අයිඩියා. හොඳ අදහසක්. මනෝ වෛද්‍යවරයෙක් විදිහට ඒ දෙදෙනා ගැන මම දීර්ඝ අධ්‍යයනයක් කළා. කිසියම් නිමිත්තක් පිළිබඳව මා කිසිදාක මේ විදිහේ දීර්ඝ අධ්‍යයනයක යෙදිලා නෑ.”

“මම හින්දු වරයෙක් විදිහට කුමාරි කිව්වෙ බොරුවක් කියලයි හිතුවේ.”

**********

සිතට සහනයක් දැනුණත් අප්පා කරදරයක වැටී ඇති බව සිතෙන විට දුකක් ඇතිවුණා.

ජීවිතය පුරා නීලක ආවාක් මෙන් පියාගේ ආරක්ෂාවට නීලකගෙන් උපදෙසක් පැතීමට ඇය සිතා ගත්තාය.

“අයියෙ. කුමාරි අක්කා කතා කරනවා.”

“පොඩ්ඩක් ඉන්න.”

“අනේ අයියෙ කුමාරි අක්කා එක්ක යන්ට එපා.”

“එයා කොයි වගේ තීරණක් ගනීද දන්නෙ නැහැ.”

“ඒ වුණාට ඔයා යන්ට එපා. අම්මා ඉන්නෙ බයෙන්.”

“උදව්වක් ඉල්ලාගෙන ආපු කෙනෙක්ව නිකං අරින්ට බෑ නෙ.”

“ඔයාට ඉන්දියාව එක්ක රණ්ඩු වෙන්න පුළුවන්ද?”

“ඔන්න කුමාරි එනවා.”

“මොකක්ද මේ රහස් සාකච්ඡාව.” කුමාරි සිනාසෙමින් ඇසුවාය. ඔවුන් දෙදෙනාට ඉඩදී නැගණිය එතැනින් ගියාය. නංගි ගිය පසු දෙදෙනා පසෙක තිබූ ලෑලි බංකුවක ඉඳගත්හ.

“සමාවෙන්න ඔයාට අපේ ගෙදර පහසුකම් නෑ.”

“ඔය කතාව නතර කරන්න. ඇත්තටම අපි ඔයාට ණය ගැතියි. ඔයා නැතිනම් අපි නෑ.”

“ආගන්තුක සත්කාරවලට එහා ගිය වැදගත් දෙයක් මට තියෙනවා.”

“වැදගත් දෙයක් තියෙනවා. මම නෙමේ නිල වශයෙන් අප්පා කියාවි.”

ඔහු මොහොතක් කල්පනා කළේය.

හිත හදාගෙන තීරණයක් ගැනීම අපහසුය.

“මා එක්ක ඉන්දියාවට යන්න එනව නේද?”

“මා එන එකේ තේරුමක් තියෙනවද? එහෙම නම් එන්නම්.”

“අප්පාට ආරක්ෂාව නෑ. අපේ ව්‍යාපාර කොල්ලකන්න කුමන්ත්‍රණයක් තියෙනවා. මේක සංවිධානය කරන්නෙ අපේ නෑයො.”

මෙය සාමාන්‍ය සිද්ධියක් ලෙස සැලකිය නොහැකිය. මේ ගැටලුවටත් වඩා මේ පිරිසට ආරක්ෂාව අවශ්‍යව ඇති බව තේරුම් ගත්තේය.

“අප්පා මේ වෙලාවෙ ඉන්දියාවට යන එක හොඳ නෑ. එයාට ටිකක් විවේක ගන්න කියන්න. මම මාලිගාවට ගිහින් එන්නම්.”

“ඔයාට තනියම යන්ට දෙන්ට බෑ. මාත් එනවා.”

“තනියම නෙමේ සර්ගෙ ගාඩ්ලා මා එක්ක යාළුයි. ඉන්දියාවට ගිහින් තත්වෙ බලල ඔය තුන්දෙනාව ගෞරව පිට ගෙන්වන්නම්...”

ලබන සතියට...

Comments