දේශපාලන ප්‍රභූවරුන් යන එන වෙඩි නොවදින රථ හැදෙන්නේ මෙහෙමයි | සිළුමිණ

දේශපාලන ප්‍රභූවරුන් යන එන වෙඩි නොවදින රථ හැදෙන්නේ මෙහෙමයි

පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ පැවති මාතෘකා වෙනස් වී තිබේ. අලුතෙන් පැමිණි මාතෘකා බොහෝ වන අතර ඇතැම් පැරණි මාතෘකාද අලුත් වී උඩ මතු වී තිබේ. වෙඩි නොවදින මෝටර් රථ පිළිබඳ කතාවද එසේ අලුතෙන් මතුවූ පැරැණි කතාවකි.

තිස් වසරක සිවිල් යුද්ධය පැවති සමයේ අපේ රටේ වෙඩි නොවදින රථ අමුතු මාතෘකාවක් වූයේ නැත. දේශපාලන ප්‍රභූවරුන් යැයි සැලකුණු බොහෝ දෙනා එවැනි රථ භාවිත කළ අතර, එලෙස භාවිත කළ රථ රජයෙන් ලබාදුන් රථ විය. ධනවත් ව්‍යාපාරිකයන්ද තමන්ගේ මුදලින් මිලදී ගත් වෙඩි නොවදින රථ භාවිත කළේ රටේ පැවති ආරක්ෂක තත්ත්වය හමුවේ තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගැනීම වැදගත් යැයි සිතූ බැවිනි.

යුද්ධය නිමාවීමෙන් පසුව මෙවැනි රථවල අවශ්‍යතාව අහෝසි වූ නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව යළිත් වෙඩි නොවදින රථවල අවශ්‍යතාව සම්බන්ධයෙන් කතාබහ ඇති වන්නට විය.

වෙඩි නොවදින රථ සහ සෙසු සාමන්‍ය මෝටර් රථ අතර ඇති වෙනස්කම් මොනවාද? ඇත්තෙන්ම බාහිරව බැලූ විට මෙවැනි රථවල බාහිරව දැකිය හැකි වෙනස්කම් නැති තරම්ය. එහෙත් වෙඩි නොවදින රථවල අභ්‍යන්තරයේ ගමන් ගන්නා මඟීන්ට ඉතාම සුවිශේෂී ආරක්ෂාවක් ලබාදීමට නිෂ්පාදකයන් කටයුතු කර තිබීම වෙඩි නොවදින රථවල ඇති විශේෂත්වය වේ.

වෙඩි නොවදින මෝටර් රථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

1.විශේෂිත පුද්ගලයන් (VIP) ගේ භාවිතය සඳහා නිෂ්පාදනය කර ඇති මෝටර් රථ

2.හමුදාමය කටයුතු වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති මෝටර් රථ

මෙහිදී අංක දෙක යටතේ දක්වා ඇති හමුදාමය කටයුතු සඳහා නිෂ්පාදනය කරන මෝටර් රථ අතරින් බහුතරය යොදාගන්නේ යුදමය අවස්ථාවලදීය.

එහෙත් අංක එක යටතේ දක්වා ඇති මෝටර් රථ එදිනෙදා මහාමාර්ගවල දක්නට ලැබෙන, එහෙත් සෙසු මෝටර් රථ අතරින් ශක්තිමත් බව සහ ආරක්ෂාව හේතුවෙන් ප්‍රබල වෙනස්කම් පෙන්වන මෝටර් රථ වේ. අප වැඩි අවධානය යොමු කරන්නේ එවැනි මෝටර් රථ කෙරෙහිය.

එවැනි මෝටර් රථ සාමාන්‍ය මෝටර් රථ අතරින් වෙනස් වන්නේ නිෂ්පාදනයේදී එක් කරන සුවිශේෂී ආරක්ෂක ක්‍රමවේද මඟිනි. එම ක්‍රමවේද මොනවාදැයි අපට පැහැදිලි කර දුන්නේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නුවන් මදනායක මහතාය.

ඔහුගේ පැහැදිලි කිරිමට අනුව ත්‍රස්ත තර්ජන සහිත විශේෂිත පුද්ගලයකු වෙඩි නොවදින මෝටර් රථයක් භාවිත කරන්නේ යම් හෙයකින් ගමන් ගන්නා අතරතුර ප්‍රහාරයකට ලක්වුවහොත් අදාළ පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා වීම, ඔහුට සිදු විය හැකි හානිය අවම වීම යනාදී අරමුණු පෙරදැරි කරගනිමිනි. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදකයෝ රථයේ Body Structure කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති.

සාමාන්‍ය වාහනයක් නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදකයන් උත්සාහ දරන්නේ මෝටර් රථය හැකි තරම් සැහැල්ලුවට නිෂ්පාදනය කිරීමටය. එහි අරමුණ වන්නේ ඉන්ධන වැය අවම කිරීමය. එහෙත් වෙඩි නොවදින වාහන නිෂ්පාදනයේදී ඉන්ධන වැය අවම කිරීමේ අවශ්‍යතාවක් ඇති වන්නේ නැත. ඒ වෙනුවට ප්‍රධාන අරමුණ වන්නේ රථයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ ආරක්ෂාවය. එහිදී මෙවැනි වාහනවල මඟී කුටීරය හෙවත් පැසෙන්ජර් කැබිනය පමණක් ඉතා ශක්තිමත් ලෙස ඇලුමිනියම් ඇලෝයිවලින් නිෂ්පාදනය කෙරේ. ඒ අනුව පැසෙන්ජර් කැබිනය සුවිශේෂ ආරක්ෂිත ඒකකයක් ලෙස සැලසුම් කරන බව මදනායක මහතා පෙන්වා දුන්නේය. ඒ සඳහා ඇලුමිනියම් ඇලෝයිවලට අමතරව ටයිටේනියම් වැනි ලෝහ වර්ගද භාවිත කරන බවද ඔහු අමතරව පවසා සිටියේය.

වෙඩි තැබීමක් වැනි අවස්ථාවලදී ප්‍රථමයෙන්ම ඉලක්ක වන්නේ දොරවල් බැවින් දොරවල් සඳහා විශේෂ ආරක්ෂිත ලේයර්ද ඇතුළුව තහඩු ලේයර් 6ක් පමණ භාවිත කරන බව මදනායක මහතා පවසා සිටියේය. එම ලේයර් අතරින් ඇතුළතින්ම පිහිටි ලේයරය ටයිටේනියම් ඇලෝයිවලින්ද, ඊළඟ ලේයරය සෙරමික් මැට්‍රික් කොම්පොසයිට නැමති සෙරමික්වලට රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන මූලද්‍රව්‍යකින්ද, සෙසු ලේයර් අතරින් ඇතැම් ලේයර් සිලිකන් සෙරමික් කෝටිං වැනි ද්‍රව්‍යවලින්ද නිෂ්පාදනය කර යොදනු ලැබේ. ඒ අතර බෙරලියම් කොපර් නිකල් ප්ලේට්ද වේ. එවැනි සුවිශේෂ ලේයර් හේතුවෙන් රථයේ තහඩුවට එල්ල වන වෙඩි උණ්ඩයක ගමනේ වේගවත් බව ක්‍රමයෙන් අඩාළ වී රථයේ ගමන් ගන්නාගේ ජීවිතය ආරක්ෂා වේ.

සාමාන්‍ය මෝටර් රථයක ටයර්වලට වෙඩි තැබීමෙන් රථයේ ගමන අඩපණ කළ හැකිය. එහෙත් වෙඩි නොවදින සුවිශේෂ රථවලට Run Flat ටයර් භාවිත කෙරේ. එහිදී රසායනික ක්‍රියාවක් මඟින් ටයරයේ බිත්ති ශක්තිමත් කරන අතර රත් වීම වැඩිවත්ම ටයරයේ බිත්ති ශක්තිමත් වීම එහිදී සිදුවේ.

සාමාන්‍ය වාහනයක යටට රිංගා බැලූ විට රථයේ ඉන්ධන ටැංකිය ඇතුළු පද්ධති සියල්ල හොඳින් දැක බලා ගත හැකිය. එමෙන්ම ත්‍රස්තවාදීන්ට ඒ අවස්ථාව පාවිච්චියට ගනිමින් රථයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ ජීවිතවලට හානි සිදු කළ හැකිය. එබැවින් වෙඩි නොවදින මෝටර් රථවල යට ප්‍රදේශයද වානේ යෙදීමෙන් විශේෂයෙන් ශක්තිමත් කර සාදනු ලැබේ. රථය පුරා ගිනි නිවීමට යොද ගන්නා රසායනික ද්‍රව්‍ය යොදා තිබෙන අතර හදිසි අවස්ථාවකදී එවා ක්‍රියාත්මක වී ගින්න නිවා දමනු ලැබේ.

රථයේ වීදුරු දෙසට අවධානය යොමු කරන්නේ නම් සාමාන්‍ය මෝටර් රථයක වීදුරු රථයේ දුර්වලම ස්ථරය ලෙස හඳුනා ගත හැකිය. එහෙත් වෙඩි නොවදින රථවලට යොදන වීදුරු විශේෂ ස්ථර කිහිපයක්ම යොදමින් ඉතා දැඩි ලෙස ආරක්ෂා සහිතව නිපදවා තිබේ. මේ වීදුරුවලද ලේයර් කිහිපයක්ම ඇති අතර ඒ අතර ඇලුමිනියම් ඔක්සි නයිට්රයිට් යොදා සෑදූ ප්ලේට්එකක්ද, පොලි කාබනේට් ප්ලේට්එකක්ද, ඇක්‍රලික් ලේයර්එකක්ද, පොලි කාබනේට් ලේයර් එකක්ද වේ. වීදුරුවේ පිටතින්ම ඇත්තේ ග්ලාස් ලැමිනේට් එකය.

එවැනි වාහන දැඩි ආරක්ෂාව සැපයීම කෙරෙහි අවධානය යොමු කරමින් නිපදවන බැවින් අධික මිලක්ද ඒ සඳහා වැය කිරීමට සිදු වේ. එබැවින් ලෝකය පුරා ඇති මෙවැනි වාහන නිෂ්පාදන ආයතන මේවා නිෂ්පාදනය කරන්නේ ඇණවුම් අනුව පමණකි. එමෙන්ම මෙවැනි රථ නිෂ්පාදනයේදී ආරක්ෂක අංශවල උපදෙස්ද භාවිතයට ගැනේ.

එවැනි රථවල එන්ජින් ධාරිතාව 2000ට වැඩි බැවින් එන්ජිමද වැඩි බලයකින් යුක්ත වීම අවශ්‍ය වේ. රථයේ බරද වැඩිවීම නිසා සාමාන්‍යයෙන් වැඩි ගියර් පද්ධතියකින් යුක්ත වේ. බහුතරයක් නිෂ්පාදකයෝ තමන්ගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව මෝටර් රථ නිෂ්පාදනය කර දීමට කටයුතු කරති.

අදහස්