විචාරයට විචාරයක් | සිළුමිණ

විචාරයට විචාරයක්

සමහරුන් ලියන්නේ අනුන්ට ය; තවත් සමහරුන් ලියන්නේ ආතක් පාතක් නැතිව ය; තවකෙක් තවකකු විවේචනය සඳහා ලියයි; තවත් සමහරෙක් පැසසුම් පතා ලියයි. ලියන්නේ කුමක් වුවත්, කාට වුණත් කාටවත් ඇති ප්‍රශ්නය කුමක්දැයි ඔබට ගැටලුවක් මතු වීමට ඉඩ ඇත. සිතිවිලි මුදාහළ ඉනික්බිති පැසසුම්, ගැරහුම් තනි වදනකින් කියන්නේ නම් විවේචන අවැසි ද?

තමා ගැන නිසි තක්සේරුවක් ඇති ලේඛකයාට සහෘදය අදහස් මිස විවේචන අවැසි ද කියා සිතුණේ නාරායන් කියවද්දී ය. අසල්වැසි රටේ නාරායන් කියවන්නට කාලවේලාවක් නැති අපේ බොහෝ පාඨකයන්, අපට බොහෝ ආගන්තුක ලේඛකයන් සොයා දේස දීපංකරේ කරක් ගසන්නේ ඒ රටේ පාඨකයන්ටත් වඩා ඇතැඹුලක් සේ ඔවුන් දන්නා සේ ය. කෙසේ වෙතත් නාරායන් ද තමන්ගේ නිර්මාණ අනුන් කියවිය යුතු ම යැයි සිතුවේ නැත. ඔහු එසේ කීවේ පුහු අහංකාරකමකින් නම් නොවෙයි; තමාගේ ලියැවිල්ල ගැන, ලේඛකයකු ලෙස තමාගේ මෙහෙවර ගැන ඔහුට ගානක්, මිම්මක් තිබුණු බැවිනි. ඔහු සිතුවේ ලෝකය තමාට පෙනෙන ආකාරය, කියවාගන්නා ආකාරය සාහිත්‍යය නමැති කැන්වස් රෙද්ද මත සටහන් කළාට පසු තමාට ඉන් එහා කාරියක් නැති බව ය. ගරු සම්මාන, ප්‍රශස්ති ගායනා බලාපොරොත්තුවෙන් නිර්මාණ කරන බො‍හෝ දෙනකුට නාරායන් කියැවීම කෙතරම් අගනේ දැයි සිතෙන්නේ මෙන්න මේවා නිසා ය. ලේඛනයේ රන්සුනු සොයන අපට ලේඛකයාගේ මේ අභිමානය බෙහෙවින් වැදගත් ය.

නාරායන් පාඨකයන්ට බොරු කළේ නැත; ඔවුන් මුළාවේ දැම්මේ හෝ සිහින කතරක අතරමං කළේ නැත; තමාට පෙනෙන්නට, දකින්නට තිබෙන දෑ ලිව්වේ ය; ඒවා කියවූ පාඨකයෝ තම තම නැණ පමණින් ඊට අර්ථකථන සපයා ගත්හ. වෙන මොනවාට බොරු කළත් ලේඛනයේද; නිර්මාණකරණයේදී ද බොරු කළ නොහැකි යැයි කී තවත් ලේඛකයෙක් මා මතකයට එයි; ඒ ඇන්ටන් චෙකොෆ් ය. ඔහු නිර්මාණකරණයට බොරු නොකළ බැව් කියන්නට ඔහුගේ කෙටිකතා සම්භාරය නිදසුන් ය. ඒවා ඔහුගේ ජීවිතය කියවා; ඉනික්බිති අපේ ජීවිත ද කියවන්නට පටන් ගන්නේ ය. මේ නිර්මාණකරුවන‍්ගේ ජීවිත ද සරල ය; මහ පොළොවේ ස්පර්ශය හඳුනන සුලු ය. එබැවින් ඔවුන් ලියන්නේ ද පාඨකයාගේ ජීවිතයේ විවිධ කාලවකවානු ගැන ය; ඒ කියන්නේ ඔබේ, මගේ ජීවිත ගැන ය.

ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි වීමේ ඉතිහාසයක් අපට ඇත. සමාධි පිළිමය, සඳකඩපහණ ඈ මූර්ති කලාවේ විශිෂ්ටතම නිර්මාණ සේ ම නවකතා ඉතිහාසය උඩුයටිකුරු කළ නවකතාකරුවෝ ද, කවියෝ ද, නාට්‍යකරුවෝ ද අපට සිටියහ; අදත් සිටිති; හෙටත් සිටිනු ඇත. ඒවායේ වටිනාකම තක්සේරු කරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් පැන නැඟෙන්නේ මට විතරක් නොවේ යැයි සිතේ. වෙනත් අරමුණු උදෙසා බිහිවෙන නිර්මාණ ගැන එදා කතා කරන්නට වැඩි පිරිසක් සිටියේ නැත; අද එය දෙගුණ තෙගුණ වෙමින් පවතී. පටු අරමුණු වෙනුවෙන් බිහිවන නිර්මාණ කලා නිහීනයන්ගේ පටු අරමුණුවලට සමපාත වෙමින් එදා ද පැසසුම් ලැබුවේය; වන්දනාවට ලක් වූයේය. අද ද එසේ ම ය. රියන් ගණනින් මැන සාදන පිළිම වහන්සේ ද; හන්දි ගානේ ඉදි කරන බුදු පිළිම වහන්සේ ද තනන්නේ පෙර කී උසස් ගණයේ නිර්මාණ කළ, ඒවායෙන් ලෝක පූජිත වූ මේ රටේ උදවිය ම ය. විවිධ සම්මාන උත්සව හැඩ කරන්නේ ද සිතාගත නොහැකි නිර්ණායක දෙන්නේ ද මේ රටේ සම්මාන විනිසුරන් ම ය; මේ ලංකාවේ පමණක් සිදු වන්නක් නොවේ; අසල්වැසි ඉන්දියාවේ ද, එතැනින් එහාට ගිය විට හමුවන සෑම රටක ම ද සිදු වන්නකි. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය මිහයිල් ෂොලහොව් වැනි ලේඛකයන් සිටියදී බොරිස් පැස්ටනක්ට හිමි වීමේ කතාව ඒ සම්මානය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාව දක්වා දුරදිග යන්නේ ඒ නිසා ය. මේ එකිනෙකට පරස්පර විරෝධ සිදුවීම් ගැන සිතද්දී ඒ සඳහා හේතු වන්නට ඇතැයි සිතෙන කරුණක් ම සිතට නැඟේ.

නිර්මාණකරුවන් රටේ ජීවත් වන අනෙක් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ද්වීරූපතාවෙන් යුතු යැයි මා කිවහොත් ඔබ එකඟ වනවාද? ඔවුන්ගේ නිර්මාණ ජීවිතය හා සාමාන්‍ය ජීවිතයත්, චින්තනයත් සපුරා වෙනස් ය. නාරායන් හෝ චෙකොෆ් නිර්මාණකරුවන්ට නිර්මාණකරණයේදී බොරු කළ නොහැකි යැයි පැවසුවාට අපේ බොහෝ නිර්මාණකරුවන්ට එය අදාළ නොවේ. කුඩා සන්දියේදී සමහර කවි හා වෙනත් නිර්මාණ කෘති නිර්මාණය කළ නිර්මාණකරුවන් දේවත්වයේ ලා සලකන්නට තරම් අපට ඔවුන් කෙරේ ගෞරවයක්, භක්තියක් පැවතිණි. වයසින් වැඩෙත්ම ඔවුන්ගේ නිර්මාණ අපේ ජීවිත වලට ඈදා ගන්නේ කෙසේදැයි සිතමින් පුරුෂාර්ථ වගා කරගන්නට අපි උත්සාහ කරන්නෙමු. තවත් ටික කලෙකදී ඔවුන් සජීව ලෙස ඇසුරු කරන්නට ලැබුණු කල්හි, ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයත්, චින්තන විලාසයත් හා ඔවුන්ගේ නිර්මාණ අභ්‍යන්තරයත් අතර කෙතරම් වෙනසක් පවතින්න‍ේ දැයි සිතෙන්නට පටන් ගනී. තම නිර්මාණ ඔස්සේ මහා මානව දයාවක් පතළ කරන සමහර කවීන්ගේ, නවකතාකරුවන්ගේ පොදු ජීවිතයේ ඔවුන්ගේ කුහක වත හා පිළිවෙළ ගැන දැනෙද්දී, විඳින්නට ලැබීමේදී ඒ දෙක අතර වන ‍පරස්පර විරෝධය දරාගත නොහුණු තරම් වෙනස් ය. එවිට අර නිර්මාණ ඔස්සේ පතළ කළ මහා මානව දයාව හුදු ආටෝපිත වූවක් බව දැනෙන්නට පටන් ගනී. ඒ ද්වීරූපතාව ඉවසිය නොහැකි තරම් කටුක ය. චෙකොෆ්ලා, නාරායන්ලා කියැවීමේ වැදගත්කම මතුවන්නේ එවැනි තත්ත්වවලට මුහුණ දීමේදී ය. ඔවුහු නිර්මාණයත්, ජීවිතයත් එකට එක් කර සුන්දර වියමනක් තනති. ඒ වියමන සත්‍යයෙන් වැඩි ඈත නොවේ. නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට වඩා වැදගත් වන්නේ් යථාර්ථය ද, මායා යථාර්ථය ද යන්න වැදගත් වන්නේ අපේ දිශානතිය සොයා ගැනීමට අවශ්‍ය නිසා ය. ඒ කෙසේ වුවත් මේ සියල්ල කියවා තිබීම නම් රන්සුනු හා සේ ම වටනේ ය.

[email protected]

අදහස්