පරි­ව­ර්ත­න­යක් කියන්නේ සංස්කෘති දෙකක් අතර ගනු­දෙ­නු­වක් : චූලා­නන්ද සම­ර­නා­යක | සිළුමිණ

පරි­ව­ර්ත­න­යක් කියන්නේ සංස්කෘති දෙකක් අතර ගනු­දෙ­නු­වක් : චූලා­නන්ද සම­ර­නා­යක

 

කිර්ගීසියාවේ ස්ටෙප්ස් තණ භූමි පුරා ගුල්සාරි පිට කරක් ගසමින් පොප්ලර් ගස් එකිනෙකා හා කරන මුනුමුනුව අසා සිටින්නටත්, අනතුරුව සන්තියා‍ගෝ නම් සැරිසරන කොලුවා හා එක් ව හදවතේ වන සංතුෂ්ටිය නමැති නිධානය සොයා අනවරත ගමනක යෙදෙන්නටත් කියා දුන් අපූරු පරිවර්තකයෙක් වෙයි. හේ සෝවියට් දේශය, ධනේශ්වරයේ වැලඳගැනීමත් සමඟ බිහි වන රුසියාව අනතුරුව ලතින් ඇමරිකාව ආදී ලොව පුරා ඇති රටවල නේක සංස්කෘති අප අබියසට පමුණුවන්නේ එහි විචල්‍යතාවලට අබැටක හානියක් නොවන පරිද්දෙනි. පරිවර්තනය නමැති සංස්කෘතික පාලම ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සවිඥානක හේ චූලානන්ද සමරනායක ය. හතු පිපෙන්නා හා සදිසි ව බිහිවන පරිවර්තන වසන්තයේ අතරමං නොවී, එ්කභාෂික සමාජයට තවත් සංස්කෘතියක පහස ලබන්නට නම් පරිවර්තනයක තිබිය යුතු ගුණාගුණ ගැන ඔහු මෙලෙස අප හා සංලාපයේ යෙදුණේ ය.

 

පරිවර්තකයාගේ කාර්යභාරය අප හඳුනාගන්නේ කෙසේද ?

පරිවර්තකයා භාෂා දෙකක් අතර ගනුදෙනු කරන්නෙක් නොවෙයි; ඊට වඩා සමාජ දේශපාලන, සංස්කෘතික මැදිහත් වීමක් කරන පුද්ගලයෙක්. පරිවර්තකයා කියන්නේ සංස්කෘති අතර පාලම තනන්නෙක්. පරිවර්තකයා තමයි දේශජ සාහිත්‍ය විශ්ව සාහිත්‍යයක් බවට පරිවර්තනය කරන්නේ. තොල්ස්තෝයි විශ්ව සාහිත්‍යකරුවකු බවට පත්වන‍්නේ ඔහුගේ පොත් ඉංග්‍රීසි භාෂාවට, ප්‍රංස භාෂාවට ආදී වශයෙන් පරිවර්තනය වීම නිසයි. ඒ වගේම තමයි අපේ ලේඛකයෙක් විශ්ව ලේඛකයකු බවට පත් වන්නේත් එය වෙන භාෂාවකට පරිවර්තනය වීම FYA;QFJKA තමයි. මේක ලොකු සංස්කෘතික ගනුදෙනුවක්. ඒ සංස්කෘතික ගනුදෙනුව කරන පුද්ගලයා තමයි පරිවර්තකයා කියන්නේ. තියෙන භාෂාවෙන් තම භාෂාවට පෙරළන වචන හරඹයක් කරන තාක්ෂණික පුද්ගලයෙක් නොවෙයි පරිවර්තකයා.

බොහෝවිට අප දකින්නේ ඔබ මේ මතු කරන යාන්ත්‍රික පරිවර්තන. එයින් මුල් කෘතියට වන හානියත්, අසාධාරණයත්, ඒකභාෂික පාඨකයාට වන ගැන අවධානය යොමු කළොත්..

පරිවර්තකයාට ශබ්දකෝෂයක් අවශ්‍යයයි. දැනුම, භාෂාව පිළිබඳ පරිචය යන කාරණාවල පරිධිය අනුවයි ශබ්ද කෝෂයේ අවශ්‍යතාව තීරණය වෙන්නේ. මමත් ශබ්ද කෝෂයක් පරිහරණය කරනවා. නමුත් ශබ්ද කෝෂයේ තියෙන වචනය ම ද එතැනට ගැළපෙන්නේ කියන එක තීරණය කරන්න නම් පරිවර්තකයාට යම් දැනුමක් තිබිය යුතුයි. ශබ්ද කෝෂයක්, දෙකක් තිබූ පමණින් පරිවර්තනය කරන්නට හැකි යැයි සිතීම මුළාවක්. ඒ වගේම තමන් තෝරා ගන්නා මුල් කෘතියේ ආකෘතිය, පසුබිම, ලේඛකයා පිළිබඳ ව, කතා කරන කතා ව්‍යවහාරය පිළිබඳ ආදි කාරණා සම්භාරයක් පිළිබඳ ව දැනුමක් සාහිත්‍ය පරිවර්තකයකුට තිබිය යුතුයි. පරිවර්තකයා හොඳ කියවන්නෙක් විය යුතුයි. ඒ විතරක් නොවෙයි පරිවර්තකයකුට හොඳ පුස්තකාලයක් ති‍යෙන්න ඕන.

පරිවර්තකයා කුමන රටක කෘතියක් පරිවර්තනය කළත් එය පරිවර්තිත භාෂාවට අයත් රටේ සංස්කෘතියට ගැළපෙන සේ සකස් විය යුතු යැයි ඔබ හිතනවද? විදෙස් කෘතියක් සිංහලීකරණය කිරීම සාධාරණද?

සමීප කරවීම කියන කාරණය ගොඩනැ‍ෙඟන්නේ පරිවර්තනයේ සාර්ථකත්වය ගැන සිතීමේදී පමණයි. හැබැයි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ කෘතිය සිංහලකරණය කරන්න; අන්න එතැන ප්‍රශ්නයක් තියෙනවා. රුසියානු කෘතියක් උදාහරණයට ගත්තොත් ඒ කෘතියේ එන රුසියානු කෑම බීම, ඇවතුම් පැවතුම්, ඔවුන්ගේ ආගමික විශ්වාස ආදිය සිංහලකරණය කළහොත් ඒක විහිළුවක් බවට පත් වෙනවා. අපිට ඕන ඒ කතාව කියවන්න විතරක් නොවෙයි; ඒ දේවල්වල, ඒ රටේ විශේෂත්වයත් අපි දැන ගන්න ඕන. පාඨකයා ඒ මගින් වෙනම කලාපයක් විවර කර ගන්නවා. ඒක හරියට “චීන කෑම ගමේ රසට දෙනවා” වගේ වැඩක්.

පාඨකයන් විදියට අපි ඒක බලාපොරොත්තු නොවුණත් සමහර පරිවර්තකයන් මුල් කෘතියේ ස්වාභාවිකත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ අවස්ථා අපට හමු වී තියෙනවා.

අපි පරිවර්තනයක් කියවන්නේ කතා අහන්න විතරක් නොවෙයි. අපි ඒ ඔස්සේ වෙනත් සංස්කෘති ගණනාවක් ඇසුරු කරනවා. අපි ඒ කෘති කියැවීමෙන් වෙනම කලාපයක් විවර කර ගන්නවා. ඒ පුළුල් කවුළු ඇරගන්න අපිට පරිවර්තනයෙන් බැරි නම් ඒ කෘති නොකියවා සිටීම වඩාත් හොඳයිනේ.

ඒකභාෂීය පාඨකයාට වෙනස් පරිසරයක්, සංස්කෘතියක් චිත්‍රණය කරන්නේ පරිවර්තකයායි. එහි විචල්‍යතා වෙනස් නොකිරීම පරිවර්තකයාගේ වගකීමක් නොවේද?

පරිවර්තකයාට පුළුවන් ලෝකයක් අප ඉදිරියේ මවන්න. ඒ වගේම ලෝකයක් එපා කරවන්නත් පුළුවන්. ඒ නිසා පරිවර්තකයාගේ කාර්යභාර්ය තීරණාත්මකයි. වෙනත් රටක සංස්කෘතියක් වෙනස් ප්‍රජාවක්, වෙනස් ගති පැවතුම් හඳුනාගැනීමකුයි මේ කරන්නේ. අපි ඒ ඒ රටවල්වල සංස්කෘති ඉගෙන ගත්තේ ඒ පොත් හරහා. සෝවියට් සාහිත්‍ය හරහා අපි ඉගෙනගත්තා නව සෝවියට් සාහිත්‍ය ගොඩනැඟුණු හැටි සෝවියට් නිලධාරිවාදය ගොඩනැඟුණු හැටි, ඊට කලින් තිබුණු රුසියන් සාහිත්‍යය රස විඳලා ජීවිතයේ විවිධ පැති හඳුනාගත්තා. දොස්තයෙව්ස්කි මිනිස් මනස විග්‍රහ කරගත් හැටි, චෙකොච් සමාජය විවරණය කළ හැටි; මේ හැමදෙයක් ම අපි ඉගෙනගත්තේ පොත්වලින්.

මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය ව‍ගේම තමන්ගේ රටේ පයට පෑගෙන වැලි කැටයටත් පෙම් බඳින්න රුසියන් සාහිත්‍යය මගින් අපට හැකිවෙනවා. මානව ප්‍රේමය එතැනින් එහාට ගිය සත්ත්ව ප්‍රේමය මේ හැම දෙයක් ම 'සමුගනිමු ගුල්සාරි' වගේ පොතක් පරිවර්තනය කළ ඔබට අපටත් වඩා දැනෙන්නට ඇති.

සතුන් හා මිනිසුන් අතර පවතින සම්බන්ධය, මානව ප්‍රේමය, ඒ අතර ම තමන් විසින් ම බිහි කරගත් පාලනය මනුෂ්‍යයාගේ පැවැත්මට අහිතකර මට්ටමට හැරෙන විට ඒ සඳහා දායක වූණු මිනිසුන්ට එය දැනෙන ආකාරය මේ කාරණා සියල්ලම මේ කෘති ඇතුළේ කතා කරනවා. ඒ මඟින් අපට දැනෙන දැනුම් දැකුම් පරාසය වැඩියි. මේ දේ අපට පරිවර්තනයෙන් අපේ පාඨකයාට දෙන්න බැරි නම් එය සාර්ථක පරිවර්තනයක් නොවෙයි.

ඔබ එසේ කීවත් සමහර පරිවර්තකයන් කියන දෙයක් තමයි මුල් කෘතියේ සමහර කොටස් අපට එච්චර ගැළපෙන්නේ නැති නිසා ඒ කොටස් ඉවත් කර පරිවර්තනය කළා ය කියලා. මුල් කෘතියේ කොටස් පරිවර්තන‍යේදී එසේ අතහැරිය හැකිද?

පරිවර්තනයේදී අපි ලේසි ටික විතරක් නම් පරිවර්තනය කරන්නේ ඒක නොකර ඉන්න එක හොඳයි. කෘතියක් ගත්තම එහි එන සමහර දේවල් ආයාසකර වෙන්න පුළුවන්. මුල් ලේඛකයා ඒ දේ ඇතුළත් කරන්නේ කිසියම් අදහසක් ඇතුවනේ. ඒ නිසා ඒ කිසිම දෙයක් වාරණය කිරීමට පරිවර්තකයාට අයිතියක් නෑ. එහෙම නොවුණොත් පරිවර්තනය කියවන පාඨකයා කියවන්නේ මුල් කෘතිය නොවෙයි. සමහර විට පරිවර්තකයා ආයාසයෙන් කියවනවා කියලා අතහරින දේ තවත් පාඨකයකුට කැමති ම කොටසක් විය හැකියි.

ඉස්සර සමහරු චෝදනා කළා, රුසියන් පොත්වල එන චරිතවල නම් කියවන්න බෑ කියලා. නම් කියවන්න බෑ කියලා අපට රුසියන් නම් වෙනුවට සිංහල නම් දාන්න බෑනේ. පරිවර්තකයකුට අයිති නැති එක කාරණයක් තමයි මුල් කෘතිය සංස්කරණය කිරීම. එය පරිවර්තකයා නොකළ යුතුම දෙයක්.

‘යුද්ධය හා සාමය’ කෘතිය පරිවර්තනය කිරීමට පෙර සිරිල් සී පෙරේරා ‘යස්නායා පොල්යානා’ හි මාස තුනක පමණ කාලයක් නැවතී එහි පරිසරය අධ්‍යයනය කළ බව අප අසා තිබෙනවා. පරිවර්තකයාගේ මේ කැපවීම ගැනත් එයින් ලැබෙන ඵල ගැනත් ඔබේ අදහස.

පරිවර්තකයා කියන්නේ හොඳ කියවීමක් සහිත කෙනෙක් වීම අනිවාර්යයිනේ. පරිවර්තකයා කියන්නේ තමන් පරිවර්තනය කිරීමට තෝරා ගන්නා පොතට පමණක් සීමා වූණු පුද්ගලයෙක් නොවිය යුතුයි. ඔහු හැකි සෑම විට ම තමන් පරිවර්තනය කිරීම සඳහා තෝරාගත් කතුවරයාගේ අනෙක් කෘතිත් කියවන්නට ඕන. ඊට අමතරව තමන්ටත් හොඳ තේරීමක් තියෙන්න ඕන. ලංකාවේ පරිවර්තකයන්ට තියෙන අවාසනාවක් තමයි අපි තෝරාගන්නා කෘති බොහෝමයක් ලංකවේ නැති වීම. එතකොට අපිට ඒවා පිටින් ගෙන්නා ගැනීමට සිදු වෙනවා. ඒක ආර්ථික වශයෙන් අසීරු කාර්යයක්. ඒ වගේම පරිවර්තකයා කියන්නේ අනවරත ඉගෙන ගන්නෙක්. තමන් කරන කාර්යය ගැන ඔහුට වගකීමක් තිබෙන්නට ඕන. මේ සියලුම දේ එක්වන්නේ නැතිනම් පරිවර්තකයකුට පවතින්නට බැහැ.

සමහර විට පරිවර්තකයාට කෘතියට අදාළ ඒ පරිසරයට ගිහින් ඒ සංස්කෘතික වෙනස්කම් විඳින්නට බැරි වන්නට පුළුවන්. උදාහරණයක් විදියට ‘සමුගනිමු ගුල්සාරි’ පරිවර්තනය කරද්දී 'ගුරු ගීතය' කියවද්දී අපිට ස්ටෙප්ස් තණ භූමි ගැන සිතින් මවාගත් විචිත්‍ර චිත්‍රයක් හැරෙන්න වෙන මුකුත් දැකලා නෑ. අඩුම තරමේ රූපවාහිනිය වත් ඒ ‍කාලේ නැහැ. හැබැයි කෘතිය කියවද්දි අපිට ලොකු පරිකල්පනයක් ගොඩනැඟුණා. ඒ නිසා පරිවර්තකයා කියන්නේ සංස්කෘතික හුවමාරුවක් කරන්නෙක්. ඔහුගේ කැප වීම අගය කළ යුතු වන්නේ ඒ නිසයි. සිරිල් සී. පෙරේරා වැනි පරිවර්තකයන් නිසා මහාර්ඝ විදෙස් සාහිත්‍යයක් ඉතිරි වුණා. අපි හැමෝටම ඒ ඒ පරිසරවලට යන්න බැරි වේවි. ඒත් අද තාක්ෂණය දියුණුයි. කැප වීමක් තියෙනවා නම් මොනවද කරන්න බැරි

මේ සියලු කතාබහ ගොඩනැ‍ඟෙන්නේ පරිවර්තකයා කියන්නෙ තවත් නිර්මාණකරුවකු ය යන නිගමනය අපට දෙමින් නේද?

පැහැදිලිව ම. පරිකල්පනය ගොඩනැඟීම ගැන අප කතා කරන්නේ ඒ නිසා. දැන් ඉස්සර වගේ නොවෙයි අන්තර්ජාලය තියෙනවා, සිනමාව තියෙනවා. ඉතා පහසුවෙන් අපිට ඒ අදාළ දේවල් සොයා ගැනීමේ හැකියාව තියෙනවා. අපි හුදෙක් කෘතියක් නොවෙයි මේ පරිවර්තනය කරන්නේ. සංස්කෘතික ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවට ඇතුළේ පරිවර්තකයා නිර්මාණශීලී වුණොත් තමයි පාඨකයාට ඒ කෘතිය විඳින්නට හැකිවෙන්නේ. යාන්ත්‍රිකත්වයෙන් ඔබ්බට ගිය වින්දනීය පුද්ගලයා මුණගැහෙන්න නම් පරිවර්තකයා වඩාත් සුක්ෂම ව මුල් කෘතියට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි.

පරිවර්තනය සඳහා පොත් තෝරා ගැනීමේ ක්‍රම‍වේදය ගැන අවධානය යොමු කළොත් බොහෝවිට එය කෙරෙන්නේ ප්‍රකාශකයා මගින්. එවිට පරිවර්තකයාගේ වින්දනීය සීමාව ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙනවා. මේ ගැන ඔබේ අදහස?

මම පරිවර්තනයට කෘතියක් තෝරාගැනීමේදී ප්‍රකාශකයා මත යැපෙන්නේ නෑ. මගේ අදහස්වලට ගැළපෙන මගේ දැක්මට ගැළපෙන පොතක් තමයි මම පරිවර්තනය කරන්නේ. ඒකට ප්‍රකාශකයා කැමති නම් ඒක ප්‍රකාශනය කරාවී. මට මේ සම්බන්ධයෙන් කතා කරද්දී ගෞරවය දෙන්න ඕන කෙනෙක් ඉන්නවා. ‍ඒ ජනක ඉණිමංකඩ. මම සිරගත වෙලා ඉදපු කාලේ “සමුගනිමු ගුල්සාරි” පොත පරිවර්තනය කළා. මට අදහසක් තිබුණේ නෑ; මේක පළ කරන්න. ජනකගේ පොත් සාප්පුවේ මම පාඨකයෙක්. මම ගිහින් පොත් ‍තෝරද්දී දවසක් ජනක ඇහුවා මොකුත් පරිවර්තනය කරන්න අදහසක් නැද්ද කියලා. මම ඊ‍ට පස්සේ ජනකට ‘සමුගනිමු ගුල්සාරි’ අත්පිටපත දුන්නා. පස්සේ දවසක මම මම ජනකගෙන් ඇහුවා “මොකද පරිවර්තනය ගැන කියන්නේ” කියලා; එතකොට ඔහු කිව්වා දැන් ඒක ටයිප්සෙටින් කරන ගමන් තියෙන්නේ කියලා.

ඒකට හේතුව ජනක ඉණිමංකඩ හුදු ප්‍රකාශකයකු පමණක් නොවීම. එහෙත් බහුතරය එහෙම වෙන්නෙ නෑ.

ඒක තමයි ඇත්ත. ලංකාවේ ප්‍රකාශකයෝ පර්වර්තනය කරන්න කැමති ලෝකයේ වැඩියෙන් ම විකුණුණ පොත්; විඳපු පොත් නොවෙයි. මම පරිවර්තනය කරපු පොත් 95% ක් ම වෙන රටවලින් ගෙන ආව ඒවා. පරිවර්තකයා හිතනවා නම් මට පිටුවකට මෙච්චර ගානක් ගෙවනවා නම්, මම ඒ ප්‍රකාශකයා දෙන පොත පරිවර්තනය කරනවා කියලා; අපි ලොකු ප්‍රශ්නයක් හදාගනිමින් සිටින බව කියන්න ඕන. පරිවර්තකයා කුලීකරුවකු විය යුතු නැහැනේ. අපි එතැනින් ගැලවිය යුතුයි. ඒක තීරණය වෙන්නේ පරිවර්තකයාගේ දැක්ම මත.

ලෝකයේ හොඳ ම පොත් තෝරා ඒවා පරිවර්තකයන් අතට දෙන වැඩපිළිවෙළක් නොවීම නිසා ඇතිවන ගැටලු මොනවාද?

ප්‍රකාශකයන් මේක කරන්නෙ නෑ. බලධාරීන් මැදිහත් වෙන්නේ නෑ. පළ විය යුතු කෘති ගැන මේ ර‍ෙට් කාටවත් හැඟීමක් නෑ. මක්සිම් ගෝර්කි, එච්.ජී. වේල්ස්ට ලියුමක් යවලා තියනවා “වේල්ස්, අපේ රටේ දරුවන් වෙනුවෙන් කෘති ලියන්න. මම පරිවර්තනය කරන්නම් අපේ දරුවන්ට කියවන්න පොත් ඕන.”කියලා.

ගෝර්කිට චෙකොෆ් වරක් කියනවා “ගෝර්කි, මට සල්ලි තියෙනවා නම් ගමක ගෙයක් අරගෙන පුස්තකාලයක්, සත්වාගාරයක්, මී මැසි පෙට්ටි ටිකක් තියලා අපේ ගුරුවරුන්ට ලොකු වැඩබිමක් හදලා දෙනවා කියලා. එයාලා වගා කරාවි; නිර්මාණ කරාවී; සංගීතය විඳීවි කියලා. මේ මිනිසුන්ට මේවා නැති නිසයි ‍මේ ප්‍රශ්නෙ. අපට පොහොසත් ගුරුවරු හිටියා නම් මේ පරම්පරාවට මෙහෙම වෙන්නේ නෑ” කියලා.

මෙහෙම කියන අය අපේ රටේ ඉන්නවද? අපට හරිහමන් පුස්තකාලයක් තියෙනවද? ජී.බී. සේනානායක කියනවා. 'කොළඹ මහජන පුස්තකාලය මගේ සරසවිය' කියලා. නමුත් ඒ සරසවිවලින් අපට අද දෙයක් ලැබෙනවද? මේවට මැදිහත් වෙන්න කවුරුවත් ඉන්නවද? නැහැනේ. බුද්ධිමය දායකත්වයට ඉඩ හදන්න ඕන රජය විසින්. කිසිම රජයක් ඒ දේ කරන්නේ නෑ.

මේ තත්ත්වවලට වගකිව යුත්තන් නිහඬ ව සිටිනවා යැයි සිතෙන්නේ නැද්ද? විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා ස්වාධීන බුද්ධිමතුන් පවා...

ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, පාසල් ගුරුවරුන්, ස්වාධීන බුද්ධිමතුන් මේ හැම දෙනාට ම මේ තත්ත්වය ගැන ලොකු වගකීමක් තියෙනවා. දේශපාලකයාට බැණලා වැඩක් නෑ. ඔහුට ඡන්දවලින් එහාට පේන ඇහැක් නැහැ. එහෙම පේන දේශපාලකයන් අපට හමුවෙලා නෑ. අපේ කරෙන් ගිහින් අපටම පහරලා අපේ ඇඳුමෙන් කට පිහිදාගන්න දේශපාලකයන් පිරිසක් නේ අපට හමු වෙලා තියෙන්නේ. එයාලා පැත්තකින් තියමු; මේ රටේ බුද්ධිමත් ප්‍රජාව මොනවද කරන්නේ. මැන්ඩෙලා කියනවා ඕක ලස්සනට “නරක මිනිසුන්ගේ ක්‍රියාවට වඩා බරපතළ, හොඳ මිනිසුන්ගේ නිහැඬියාව” කියලා.

මේ චෝදනාව ඔවුන්ට ඉදිරිපත් කළාම ඔවුන් කියන්නේ කතා කළාට වැඩක් නෑ; අපිට පුළුවන් ද ඕවා වෙනස් කරන්න කියලා.

අපි හැමෝට ම කලකිරීම් බහුලයි. එහෙත් ඒ කලකිරීමට යට වෙලා නිහඬ ව ඉන්නවා කියන්නේ අනාගත පරම්පරාවට විත්තිකාරයකු වෙනවා කියන එකයි. සමාජය ඉදිරියේ විත්තිකාරයකු නොවී මිය යන්නට ලැබෙනවා නම් කියන‍ දේ හරි මේ අය සිතනවා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ.

අදහස්