ඇ‍මෙරි­කානු තානා­පති අතේ සේයා­ප­ටල ලේක්හ­වු­සි­යට එවූ පත්ත­ර­කා­රයා | සිළුමිණ

ඇ‍මෙරි­කානු තානා­පති අතේ සේයා­ප­ටල ලේක්හ­වු­සි­යට එවූ පත්ත­ර­කා­රයා

‘සිළුමිණ’ පත්‍රයෙන් ලැබූ උත්තේජනය නිසා ඔහු ප්‍රබෝධවත්ව දිගටම කවි ලියා ඇත. පසු කලෙක ඔහුට ලේක්හවුසියේ රැකියාවක් ලබාගැනීමට ද ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මෙසේ පත්තර කලාවට පිවිසුණ ඔහුට පත්‍ර කලා ගුරුවරයා ව‍ූයේ ‘සිළුමිණ, කර්තෘ වූ එදා කවුරුත් ‘ලොකු සර්’ නමින් හැඳින්වූ පියසේන නිශ්ශංක මහතා බව කුලරත්න බුලත්සිංහලයන් කෘතවේදීව සිහිපත් කරයි. කුලරත්න මුලින් ම බැඳී ඇත්තේ ‘දිනමිණ’ ට ය. තමා රැකියාවට පැමිණි අවස්ථාවේ නවාතැනක් ද සොයා දී ගුරු උපදෙස් සපයා ඇත්තේ ප්‍රධාන උප කර්තෘ ඩී. එෆ්. කාරියකරවන මහතා ය.

 

‘බුලත්ගම’ කී පමණකින් අපේ මතකයට නැ‍ඟෙන්නේ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස (ක්‍රි.ව. 1795 – 1891) හිමියන් හෙවත් බුලත්ගම හාමුදුරුවන්ය. දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘ආනන්ද ජවනිකා’ වාර්තාමය නාටකයේ එන ගිරංචියා (බන්දුල විජේවීර) නම් චරිතය කියන දෙබසක් මේ.

“බුලත්ගම හාමුදුරුවන්ට සියම් රජ්ජුරු‍වෝ දුන්නු ආධාරවලින් ඒ හාමුදුරුවෝ අච්චු කන්තෝරුවක් පටන් අරගෙන සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සඳහා සටන් කරන්නට පත්තරයක් පටන් ගත්තා. දැන් අපි ඉන්නේ ගාල්ලේ; බුලත්ගම හාමුදුරුවන්ගේ ඒ පරමානන්ද විහාරේ.”

1860 ජූනි මාසයේ ගාල්ලෙන් ඇරඹ‍ූ ‘ලංකා ලෝකය’ පත්‍රය ගැන බුලත්ගම හාමුදුරුවන්ගේ භූමිකාව රඟපෑ (කිංස්ලි දිසානායක) කියන දෙබසකි මේ.

“ඒ කියන්නේ 1860 ජූනි මාසෙ ලංකාවේ පළ කරපු පළමු වැනි බෞද්ධ සිංහල ආරංචි පත්‍රය ‘ලංකා ලෝකය’. සියම් රජ්ජුරුවන්ගෙන් කුරුන් දාහක්, ඒ කියන්නේ පවුම් 212 ක් හා සිලිං 10 කුත් ලැබිල, තවත් ගාල්ලේ හිතවතුන්ගෙන් ලැබුණු පවුම් 181 කුත් ඇතුළුව එංගලන්තයෙන් ගෙන්වා ගත්තු මුද්‍රාංකන යන්ත්‍රයකින් ගහපු මේ පත්‍රයෙන් දන්වා සිටින පරිදි...”

අලුත් නුවරට නුදුරු බුලත්ගම රදළ පරම්පරාවකින් ‍උපත ලද උන්වහන්සේගේ පියා බණ්ඩාරනායක විජයසිංහ වීරකෝන් මුදියන්සේලාගේ බුලත්ගම මහ දිසාවේ තුමා ය. කෙහෙල්ගමුවේ රදළ පේරුවට අයත් මෙතුමාගේ පරප‍ුරේ අය දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දැරූ බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ලියූ “සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ” කෘතියේ සඳහන් වෙයි.

බුලත්ගම හිමියන්ගේ මේ තොරතුරු කීවේ පත්‍ර ලෝකයේ කවියකු කෘතහස්ත පත්‍ර වාර්තාකරුවකු, කැමරා ශිල්පියෙකු හා පත්‍ර කතුවරයකු වශයෙන් ‘සිළුමිණ’ හා ‘දිනමිණ’ පුවත්පත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුලරත්න බුලත්ගම මහතා ගැන මේ ලිපියේ පසුබිම සකසා ගන්නට ය. බුලත්ගම හිමියන්ගේ ඥාති පරම්පරාවෙන් එන කුලරත්න මහතා තම මුත්තාවූ ඒ හිමියන් ගෞරවයෙන් සිහිපත් කළේ ය.

කුලරත්න බුලත්ගම කවියා ලියූ කවි පෙළක් මා මුල්වරට කියව‍‍ූයේ දස හැවිරිදි වියේ ය. 1957 ‘නවයුගය’ සඟරාවට ඔහු ලියූ ‘ඒ මහා කාරුණිකයන් හා සසෝදරාව’ නම් ඒ කාව්‍ය රචනාව සහිත සඟරාව තවමත් මා සතු ව ඇත. මේ ලිපිය ලිවීමට පෙර ‍මම එම කවි පෙළ නැවත කියවීමි. එහි ආරම්භක කවිය මෙසේ ය.

දරුවකු සමඟ නැළවෙන මව රජ ගේක

තනිකර දමා යාමෙන් පසු මහ රෑක

බුදු බව ලබා කරමින් මග ආ ලෝක

හිමි යළි කිඹුල්වත් පුරයට වැඩි සේක

මේ කවි පන්තිය ලියන විට කුලරත්න බුලත්ගම තරුණ කවියාට වයස අවුරුදු 24 ක් පමණ ඇත. ‍ඔහු ලිය‍ූ කවි පනහ දසකයේ ‘සිළුමිණ’ පත්‍රයේ පළවූ අතර එ් පත්‍රයට විචිත්‍ර වි‍ශේෂ වාර්තා සපයා ඇත. ඔහු කවියකු නිසා ඒ වාර්තා පාඨකයාගේ සිත ඇද බැඳගත් බව ඒවා කියවන අද අපට පුළුවන. ‘සිළුමිණ’ ට ලියූ ඇතැම් වාර්තා නිසා ඔහු අමාරුවේ වැටුණු අවස්ථා ද නැතුවා නොවේ. ‍ඔහු හැම වාර්තාවක් ම ‘සිළුමිණ’ ට ලීවේ තම හෘදය සාක්ෂියට එකඟව ය. මිනි රෙකෝඩ් යන්ත්‍ර නොතිබුණු එකල පරම සත්‍යය තම වාර්තා සැපයීම නිසා ඔහු හැම අභියෝගයක් ම ජයග්‍රහණය කර ඇත. අද අනූ එක් හැවිරිදි මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා තම ඒ අසිරිමත් යටගියාව සිහිපත් කරමින් ජීවිතයේ සැද‍ෑ සමය ගත කරයි.

1928 ජූලි මස 19 වැනිදා කුරුවිට හිග්ගස්වත්තේ උපත ලැබූ උපාලි කුලරත්න බුලත්ගම මූලික අධ්‍යාපනය ලැබුවේ කුරුවිට හිග්ගස්වත්තේ සිංහල පාසලිනි. එය අද මහා විද්‍යාලයකි. ඉන්පසු රත්නපුරයේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුත් ව නේවාසික සිසුවකු වශයෙන් වසර කිහිපයක් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා එහි පරිසරය හිතකර නැති නිසා එතැනින් රත්නපුරයේ සීවලී විද්‍යාලයට ඇතුළත් වී ඇත.

“සීවලී විද්‍යාලයට බැඳීම මට ලොකු අස්වැසිල්ලක් වුණා. එහි පැවති බෞද්ධ පරිසරයත්, විවෘත බවත් අගය කළ මගේ ජීවිතයේ පිබිදීම ඇතිවුණේ එහිදී. වයස් සීමාවක් නොතිබුණු එකල පණ්ඩිත හාමුදුරුවන් පවා අප සමඟ එක පන්තියේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට පැමිණ සිටියා. දිවයිනේ නමගිය කවියකු වූ බඹරකොටුවේ සුධර්ම හිමි ද ඉන් එක් අයෙක්. ඔහුගේ ඇසුර අපගේ කවිත්වය දියුණු වීමට බෙහෙවින් ඉවහල් වුණා. උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව අපි රත්නපුරේ සීවලී කලා මණ්ඩලය නමින් කලා හවුලක් ඇති කරගෙන බොහෝ දේ කළා. එදා මා සමඟ සීවලියේ එක පන්තියේ සිටි අද සම්මානිත මහාචාර්ය ආරිය රාජකරුණාත් මාත් සාහිත්‍ය සමිතියේ වාද විවාද පැවැත්වූ හැටි දැනුත් සිහිවෙනවා. පසුකලෙක සිනමා විචාරකයකු ලෙස මුළු රටේ ම ප්‍රකට වූ ජයරත්න විලේගොඩ (ජයවිලාල්) ද මගේ සමකාලීන පාසල් ශිෂ්‍යයෙක්.”

කුලරත්න පාසල් වේලාවෙන් පසු රත්නපු‍රේ ‍හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ පිරිවෙනේ (අද එය පාසලකි) ඇසුරෙන් සිංහල පාලි සහ සංස්කෘත ආදී භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබාගෙන ඇත. ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුව ද පාසල්වියේදීම සෑහෙන සිංහල දැනුමක් ලබා තිබුණි.

“සීවලී විද්‍යාලයේ අපට ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වූයේ ඒ පිළිබඳ හසල දැනුමක් ඇති ද්‍රවිඩ ජාතික ගුරුතුමෙක්. ඔහු කොතරම් රසවත් ව ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වූයේ ද කිවහොත් ෂෙලී, වර්ඩ්ස්වර්ත්, ලෝංෆෙලෝ වැනි කවියන්ගේ කවි දැනුත් මට කටපාඩමින් මතකයි. ලෝං පෙලෝ කවියාගේ (East Wind and the morning star) නමැති කවි පෙළට තදින් මගේ සිත ඇදී ගියා. සිංහල භාෂාව ගැනත් කවිත්වය ගැනත් සෑහෙන දැනුමක් තිබුණ නිසා ඒ කවි පෙළ සිංහලයට නැගීමට සිත් වුණා. ඒ වනවිට මම ඉගෙනුම ලබමින් සිටියේ අටවැනි පන්තියෙ. ‘පෙරදින සුළඟ හා ඉරබටු තරුව’ යනුවෙන් එය සිංහල කවියට පෙරළා ‘සිළුමිණ’ පත්‍රයට යැව්වා. එය සිළුමිණේ කාව්‍ය තීරයේ මුලටම පළවී තිබෙනු දැක අසීමිත සතුටක් ලැබුවා. එදා ‘සිළුමිණ’ කර්තෘවරයා වූයේ ශ්‍රී ලාල් ලියනගේ මහතා බව පසු කලෙක දී දැනගන්න ලැබුණා. එවකට මහනුවර සිටි මගේ වැඩිමහල් සොහොයුරා මට ප්‍රශංසා කොට රු. 5 ක පෝස්ටල් ඕඩරයක් එවා තිබුණා.”

‘සිළුමිණ’ පත්‍රයෙන් ලැබූ උත්තේජනය නිසා ඔහු ප්‍රබෝධමත්ව දිගටම කවි ලියා ඇත. පසු කලෙක ඔහුට ලේක්හවුසියේ රැකියාවක් ලබාගැනීමට ද ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මෙසේ පත්තර කලාවට පිවිසුණ ඔහුට පත්‍ර කලා ගුරුවරයා ව‍ූයේ ‘සිළුමිණ කර්තෘ වූ එදා කවුරුත් ‘ලොකු සර්’ නමින් හැඳින්වූ පියසේන නිශ්ශංක මහතා බව කුලරත්න බුලත්සිංහලයන් කෘතවේදීව සිහිපත් කරයි. කුලරත්න මුලින් ම බැඳී ඇත්තේ ‘දිනමිණ’ ට ය. තමා රැකියාවට පැමිණි අවස්ථාවේ නවාතැනක් ද සොයා දී ගුරු උපදෙස් සපයා ඇත්තේ ප්‍රධාන උප කර්තෘ ඩී.එෆ්. කාරියකරවන මහතා ය. එකල දිනමිණෙ කර්තෘ මාණ්ඩලිකයන් කුලරත්නට හොඳට මතකය. විමල් අභයසුන්දර, බී.ඒ. සිරිවර්ධන (පසුව ඇත්ත කර්තෘ විය) සිසිර කුමාර මානික්ක ආරච්චි, සිරි රණසිංහ, සිසිල් ඉලංගකෝන්, ද ප්‍රවෘත්ති කර්තෘවරුන් වූ පූජිත විජේතුංග, යූ.එල්. චන්ද්‍රතිලක, බන්දුල මෙත්තානන්ද හා එකම කර්තෘ මාණ්ඩලික කාන්තාව හේමා ගුණවර්ධන මේ පිරිසය. ඉන්පසු කර්තෘ තනතුරුවලට පත්වූ මීමන ප්‍රේමතිලක, ධර්මපාල වෙත්තසිංහ, එස්. සුබසිංහ, විමලසිරි පෙරේරා, ඇම්.ඒ. ද සිල්වා යන මහතුන්ගෙන් තමා ලැබුණු සහාය අගය කරන ඔහු බෙනඩික්ට් දොඩම්පේගම, සුමනා සපරමාදු හා ඩයස් ගුණරත්න (අද මහාචාර්යවරයෙකි) ගැන ද මතකය අවදි කළේ ය.

“මා විසින් ම ගන්නා ලද ඡායාරූපයකට (Caption) එක හැටියට කවියක් ලියා ‘කව් ඇසට පෙනෙන හැටි’ යන විශේෂාංගයක් මුලින් ම ‘සිළුමිණේ’ පළ කළේ මා ය. ඒ මීමන ප්‍රේමතිලක මහතා කර්තෘ පදවිය දරණ කාලේ” කුලරත්න කීවේය.

පත්තර රැකියාව කරමින් සිටියදීම ඔහුට ගුරුපත්වීමක් ලැබිණ. ඒ වනවිට ඔහු තුළ තිබූ චිත්‍ර කලාව ගැන පිළිබඳ චිත්‍ර කලා ඩිප්ලෝමා සහතිකය ලබා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග පරීක්ෂකවරයකු ලෙස ද පත්වීමක් ලැබ වසර කිහිපයක් ම සේවය කර ඇත. මේ අතර ඔහු අර්ධ කාලීන මාධ්‍යවේදියකු ලෙස මහනුවර ලේක්හවුස් ශාඛා කාර්යාලයේ දිගු කලක් සේවය කළේ ය. මේ කාලයේ ලේක්හවුස් ආයතනයේ පසුකලක කර්තෘ පදවි ලැබූ දෙල්තොට චන්ද්‍රපාල, ඩී.සී. කරුණාරත්න, පර්සි ජයමාන්න, කුමාර් වෙත්තසිංහ සහ පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ධර්මසේන පතිරාජ එකල පාසල් සිසුන් ය. වැඩි දෙනෙක් ධර්මරාජගේ සිසුවෝ ය.

කවියට පෙම් බැඳි කුලරත්න හවසට ලේක්හවුස් (මහනුවර ශාඛාවට) ගොස් ‘සිළුමිණ’ ට කවි ලියුවේය. ඒ අතරම ගුවන් විදුලියේ ‘කවි මුළුවට’ කවි ලීවේ ය. 1955 වසරේ සමස්ත ලංකා ගුවන් විදුලි කවියා ලෙස ද තේරී ඇත්තේ ද ඔහු ය.

එකල ලේක්හවුස් මහනුවර කාර්යාලය හවසට සරස්වතී මණ්ඩප‍යක් වීලු. එහි නොවැරදිම ගොඩවදින උගතුන් අතර හරිශ්චන්ද්‍ර විජේතුංග (ධර්මරාජයේ ආචාර්ය) මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න, ඩයස් ගුණරත්න (පසුව මහාචාර්ය ආර්.ඩී. ගුණරත්න), ගුණදාස අමරසේකර (එදා වෛද්‍ය ශිෂ්‍යයකි) සහ වන්ත කුමාර කැපී පෙනුණ බව කුලරත්නයෝ පවසති.

“මහනුවර සේවය කරන්ට ලැබීම එක් අතකින් මට ලොකු වාසියක් වුණා. රටේ නමගිය විශේෂ විද්වතුන් පිරිසක් ඇසුරු කිරීමටත් හිතවත්කම් පවත්වාගෙන යෑමටත් මට මෙහිදී අවස්ථාව ලැබුණා. සරච්චන්ද්‍ර, ඩී.ඊ. හෙට්ටිආරච්චි, ඩබ්ලිව්.එස්. කරුණාරත්න, සිරි ගුණසිංහ, සෙනරත් පරණවිතාන, එෆ්.ආර්. ජයසූරිය, ඇම්. ශ්‍රී රම්මණ්ඩල යන මහාචාර්යවරු පමණක් නොවෙයි එදා සරසවියේ උපකුලපති නිකලස් ආටිගල මහතා ද ඒ අතර හිටියා.‍ මේ උගතුන් සමඟ සාකච්ඡා කරලා මම ඒ අයගේ නම්වලින් ලිපි ලිව්වා. ඒවා සිළුමිණ, දිනමිණ පත්‍රවල පළ වුණා. මේ අවස්ථාව මට භය නැතිව භාර දුන්නේ දිනමිණ කර්තෘ ඇම්.ඒ. ද සිල්වා මහතා. ඒ කාලේ කාලීන සිද්ධියක් (Current Topic) මුල් කරගෙන පිටු හතරක අතරේක සතියකට වරක් පළ කරන්න සිල්වා මහතා අදහස් කළා. මට ඒකෙ වගකීම බොහෝ විට පැවරුණා. ඒ කාලේ තිබුණේ විශ්වවිද්‍යාල දෙකයි. පේරාදෙණියේ හා කොළඹ විතරයි. ඒ කාලේ ඕනෑම විෂයක් ගැන විශේෂඥ දැනුමක් ඇති උගත්තු (විශේෂයෙන් භාෂාව සාහිත්‍යය, කලාව, පුරාවිද්‍යාව, බුද්ධ දර්ශනය, සංස්කෘතිය ගැන) හිටියේ පේරාදෙණියේ. ඒ හැම කෙනෙකු සමඟ ම මම සාකච්ඡා කරලා අතිරේකයට ලිපි සකස් කළා. ඒ උගත්තු මා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා මම හරියට වැඩේ කරයි කියලා. එපමණක් නොවෙයි මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලා, දියවඩන නිලමේ ගේ පණිවුඩ පවා මට ම ලියලා පළ කරන්න අවසර දීලා තිබුණා. දිනමිණ පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය සැරසීමට මට බොහෝ අවස්ථාවල ලැබුණා.

බුද්ධ ජයන්ති සමයේ වෙසක් පසළොස්වක් දා දළදා මැදුරෙන් බුදුරැස් විහිදුණු පුවතක් ගැන අසන්නට ලැබී දියවඩන නිලමේ සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විමසා එම පුවත සැණෙකින් මම ‘දිනමිණ’ ට දුන්නා. එය දිනමිණේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ‘දළදා මැදුරෙන් බුදුරැස් විහිදෙයි’ යනුවෙන් පළ විය. ඒ 1956 මැයි 31 වැනිදා ‘දිනමිණ’ පත්‍රයේ.”

මෙවැනි සිද්ධීන් රැසක අත්දැකීම් කුලරත්නයන් සතුව ඇත. එකල ජරාජීර්ණ ව තිබූ මහියංගණ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර එහි මුදුනේ චූඩාමාණික්‍ය පැලඳවීම සිදුව ඇත්තේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතිනි. ඒ උත්සවය වාර්තා කිරීමට ලේක්හවුසියෙන් කුලරත්නත්, ලංකාදීපයෙන් ආරියවංශ පතිරාජත්, (එකල තිබී ඇත්තේ මේ සිංහල පත්‍ර දෙක පමණි) ගුවන් විදුලියෙන් විජිතනන්ද මැණික්දිවෙල සහභාගි වී ඇත. මේ කාලයේ අතිදුෂ්කර ප්‍රදේශයක් වූ බිම්තැන්න හෙවත් මහියංගණයට ටෙලිෆෝන් පහසුකම් ආදිය නොතිබූ අතර අගමැති තුමා උත්සවයට යන නිසා එදාට පමණක් විශේෂ දුරකථන මාර්ගයක් සකසා තිබූ බව කුලරත්න කියයි.

“උත්සවය අවසානයේදී මා ලේක්හවුසියෙන් කියා දුරකථනය ඉල්ලා ගෙන උත්සවයේ සමපූර්ණ වාර්තාව දිනමිණ හා සිළුමිණට දුන්නා. ඒ වනවිට වේලාව සවස 5 ට පමණ ඇති. මම ගන්නා ලද ඡායාරූප ඇතුළත් ෆිල්ම් ‍රෝල කොළඹට යවන්නේ කෙසේ දැයි සිතමින් ඉන්න කොට ඇමෙරිකානු තානාපතිවරයා (‍ඔහුගේ නම අද මට මතක නැහැ) දැක ඔහු සමීපයට ගියා. ඔහු මට සිනාවකින් සංග්‍රහ කළා. මම ඉංග්‍රීසියෙන් කථා කළා.

“මට ඔබතුමාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. මම ලේක්හවුස් එකේ රිපෝටර් කෙනෙක්.”

“සත්තකින් ම මම ඔබට උදව් කිරීමට සතුටුයි.”

“මේ උත්සවයේ මම ගත්තු පින්තූර තියෙන ෆිල්ම් රෝල ඔබට කොළඹට ගෙන ගිය හැකි ද? ලේක්හවුස් එක් සේවකයෙක් ඔබේ නිවසට පැමිණ එය ගනීවි. මට කරන ලොකුම උදව්වක් ඒ.”

“Oh, yes we must help the press” කිය‍ූ තානාපතිවරයා දළ සේයා පට රෝල ඔහුගේ සාක්කුවේ දා ගත්තා.

තානාපතිතුමාට ආරක්ෂක හා පෙර ගමන් රථ යොදා තිබුණු නිසා ඉක්මනින් කොළඹ යන්ට ඇති.

මා මහියංගණයේ සිට සිළුමිණ ප්‍රවෘත්ති කර්තෘට ටෙලිෆෝනයෙන් කථා කොට මගේ Film Roll එක තානාපතිතුමා අතේ එවා තිබෙනවා. ඔහුගේ නිවසට කිසිවකු හෝ යවා එය ගෙන්න ගන්න කිව්වා.” එවිට ප්‍රවෘත්ති කර්තෘ මට මෙහෙම කිව්වා.

“තමුසෙ හරි මිනිහෙක්. පණිවුඩකාරයා තානාපතිවරයෙක් නේද? බලනවා ඒ මනුස්සයාගේ නිහතමානිකම. එයාම ලේක්හවුස් එකේ පඩි පෙළ නැඟලා ඇවිත් මගේ අතට ම ෆිල්ම් රෝල දුන්නා.”

ඒ කාලෙ පත්‍රයක දෙවැනි මුද්‍රණය පිට කරන්නේ රෑ 10 ට. මහියංගණයේ සවස 5 ට පැවති උත්සවයේ තොරතුරු ඡායාරූපත් සමඟ පසු දින උදෑසන දිනමිණේ පලවී තිබිණි. සියලු නවීන පහසුකම් ඇති අදත් එවැන්නක් කිරීම පහසු කාර්යයක් නොවෙයි. එය මා කළ තවත් වැඩක්.”

මහියංගණ චෛත්‍යයේ කොත මුදුනේ චූඩා මාණික්‍යය පැලඳවීමට යෑම සඳහා විශේෂ ආධාරකයක් සාදා තිබූ අතර එහි උඩට අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමඟ යෑමට ඉඩ ලැබී ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. පත්තරවලින් පැමිණි කුලරත්නටත්, ආරියවංශ පතිරාජටත්, ගුවන් විදුලියේ විජිතනන්ද මැණික්දිවෙලට උඩට යාමට අවසර ලැබිණ. එහි කොත මුදුනේ සිටි මේ කිහිපදෙනාගේ ඡායාරූපයක් ගැනීමට ලංකාදීප ඡායාරූප ශිල්පියාට හැකි විය. එහිදී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා තමා අසලම සිටි කුලරත්න බුලත්ගම ගේ කරට අත දාගෙන සිටි ඡායාරූපයක් ඔහු ළඟ ඇත. (මෙහි පළවන්නේ ඒ ඡායාරූපයයි. ඒ එදා අගමැතිවරු පත්තරකාරයන්ට සැලකූ හැටි.

‍“ජේ‍.ආර්. ජයවර්ධන මහතා මගේ වාර්තාවක් නිසා ලේක්හවුසියට නඩු දැම්මා. සිරිමාවෝ අගමැතිනියගේ කාලේ ඇති ව‍‍ූ කුමන්ත්‍රණයක පිටුපස කතාව මම ලියූ නිසා. මගේ රාජකාරිය හරියට කළ නිසා මම නඩුවෙන් නිදහස් වුණා.”

ඒ වගේ ම හිටපු අධ්‍යාපන ඇමැති වගේ ම හිටපු දියවඩන නිලමේ පදවිය දැරූ කාලයේ නිශ්ශංක විජේරත්න මහතා මාව පුවත්පත් මණ්ඩලයට කැඳවා තිබුණා. දළදා පෙරහරට ඉදිරියෙන් පත්තිනි දේවාලයේ පෙරහරක් ගිය බව කියවෙන වාර්තාවක් ලියූ නිසා. පසුව දියවඩන නිලමේ තුමා පිළිගත්තා වෙනත් වාර්තාකරුවකු තමා පටලවාගෙන ඇති බව. දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංක මහතා වෙනුවෙන් පත්තර වාර්තාවක් වෙනුවෙන් මම වරක් උසාවියටත් ගියා. මගේ පත්‍ර කලා ජීවිතයේ ගුරු දෙවියා ව‍ූ නිශ්ශංක මහතා වෙනුවෙන් මම උසාවි ගිහින් එතුමාව නිදොස් කළා.” කුලරත්නයන් අපට තවත් රසකතා කිහිපයක් මතක් කළේය. ඔහු සිළුමිණ ට එදා ලියූ වාර්තා අනුව ‘උසාවියේ රසකතා’ පොතක් “නොව පැරණිය කවි සරණිය” නමින් කවි පොතක් ද ලියා ඇත.

1990 වසරේ ලේක්හවුසියෙන් ඉවත් වූ ඔහු මධ්‍යම පළාත් සභාවේ ප්‍රවෘත්ති ලේකම් ලෙස කටයුතු කොට ‘ද කැන්ඩි නිවුස්’ (The Kandy News) නමැති ඉංග්‍රීසි පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා ලෙස ද කටයුතු කොට ඇත.

එම පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයාව ඇත්තේ මහාචාර්ය ස‍ෑම් සමරසිංහ ය. ඔහු සේවය කොට ඇත්තේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ය. ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ‍පළ වූ එම පුවත්පතේ වසර අටක් සේවය කොට වයස අවුරුදු 85 ක් වනවිට ඉන් ඉවත් වී දැන් විවේක සුවයෙන් කටුගස්තොට ශ්‍රී රත්නපාල මාවතේ අංක 555 නිවසේ ගත කරයි. ඔහු වසර 60 කට අධික කලක් පත්‍ර කලාවේ සේවය කොට ඇත. ශාස්ත්‍ර විශාරද උපාධිය ලබා ඇති කුලරත්න බුලත්ගම නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ‘කලා භූෂණ’ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත. “කාව්‍ය පරමේශ්වරා”, “කිවිපති” සහ “ප්‍රතිභා ප්‍රණාම‍‍” සම්මාන ලැබී ඇතත් මේ කිසිවක් ඔහු භාවිත නොකරන බව ද අපට පවසා සිටියේ ය.

“මට මගේ නම පමණක් සෑහෙයි. කුලරත්න බුලත්ගම ඒ ඇති” ඔහු කීවේය.

මාතලේ නෙලුම් විශාඛා සූරියආරච්චි මෙනෙවිය සමඟ කුලරත්න බුලත්ගම විවාහ විය. ඔවුන්ගේ එකම පුතු ගැමුණු බළකායේ කර්නල් සම්පත් ශ්‍රී ධම්මික බුලත්ගම ය. කුලරත්න බුලත්ගමගේ 91 වැනි වියට පිවිසීම නිමිත්තෙන් මේ ලිපිය සම්පාදනය විය.

තවමත් ලිවීම හා කියවීම කරන කුලරත්න බුලත්ගම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මෑතක දී ලියූ කාව්‍ය සංකල්පනාවක් මට දුරකතනයෙන් කියවීය.

“යටගිය දවස දෙවඟනකගේ අරුංගලේ

පැටලුණු නිසා මගෙ මේ කවි සරුංගලේ

එදවස පටන් දෙවඟන සහ නිසංසලේ

පසුවෙමි අතරමඟ ජීවන ගිමන්හලේ

 

මට මේ ගිමන් හල දැන් හොඳටම හුරුය

වටපිට හැමදේම සොඳුරුය පියකරුය

කටුකය මෙහි විසුම යන කියමන බොරුය

සතුටින් සිටිය හැකි නම් දිවි මඟ සරුය

 

මැඩගෙන සියලු බාධක එඩිතරව හිත

බලමින් මෙතෙක් දුර ආ දිග ගමන් වෙත

දස වැනි දසකෙට මා දැන් පැමි‍ණ ඇත

මෙතැනින් එහා යන මඟ පැහැදිලිව නැත 

 

අදහස්