වෙසක් සඳ හා රාමලාන් සඳ | සිළුමිණ

වෙසක් සඳ හා රාමලාන් සඳ

මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන රඟමඬල මත ප්‍රදර්ශනය වන්නේ ත්‍රාසය, භීතිය, සංත්‍රාසය, උත්ප්‍රාසය, කුතුහලය ඇතුළු නව නළු රස දනවන නාට්‍යයක් බව කෙනෙකුට හැඟී ගියත් එය ඊට වඩා බෙහෙවින් ම වෙනස් විකාර රූපී නාටකයක් ලෙස තේරුම් ගැනීමට ද බාධාවක් නැත. අතුරලියේ රතන හිමියන්ගේ උපවාස ජවනිකාව මෙන්ම දොස්තර සාෆිගේ වඳ සැත්කම් ජවනිකාව ඒ ප්‍රධාන නාට්‍යයේ අන්තර්ගතය සමඟ සම්බන්ධ ප්‍රබල අංක දෙකක් බව නිසැක ය. එහෙත් ඒ සමාජ දේශපාලන රඟමඬල පමණක් නොව සියලු ප්‍රේක්ෂක සමූහයම අන්දමන්ද කළ ජවනිකාවක් බවට පත්ව තිබෙන්නේ ආණ්ඩුවේ ඇමති, රාජ්‍ය ඇමති ආදී වගකීම් අතහැර එක්වරම වේදිකාව මත ප්‍රාදුර්භූත වු මුස්ලිම් නායක දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරයයි. මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව අතර භේදයක් ඇති නොවීම සඳහා මේ මුස්ලිම් දේශපාලනඥයෝ සියලු දෙනා ම ඉවත් වූ බව කියති. එහෙත් මෙය මේ ජාතීන් වෙන වෙනම බෙදා වෙන් කිරීමක් ලෙස දකින අය ද සිටිති. අපගේ මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ පොදු මතය වූයේ ද මේ මුස්ලිම් දේශපාලනඥයන් වෙන් වෙන්ව සිටීමෙන් ජාතික සමගිය ගොඩනැඟීමට වඩා එයට බාධා සිදුවිය හැකි බව ය.

මල්වතු පාර්ශ්වයේ නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන්ගේ අවධාරණය වූයේ මෙබඳු අර්බුදයකදී බෙදි වෙන්වීම නොව එකට එක් ව යථාර්ථයට මුහුණ දීම ඉතා වැදගත් හා බුද්ධිමත් ප්‍රතිචාරය බව ය. ඇත්ත වශයෙන් ම 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය මුස්ලිම් සමාජය ම ප්‍රකම්පිත කළ එකකි. එහෙත් ඒ ප්‍රහාරය ඉතා සීමිත අන්තවාදි පිරිසකගේ මූග්ධ ක්‍රියාවක් බව රටේ බොහෝ දෙනකුගේ පිළිගැනීම විය. ඒ අතර ඒ අන්තවාදයට යම් යම් අනුග්‍රහ, අනුබල, ලබා දුන් බවට මුස්ලිම් දේශපාලනඥයන් කීප දෙනෙකුට ම නමින් චෝදනා එල්ල වී තිබුණි. ඒ කවුරුන්දැයි ජනතාව දැන සිටි රහසකි. රිෂාඩ් බදියුදීන් අමැතිවරයා මෙන්ම අසාද් සාලි, හිස්බුල්ලා ආණ්ඩුකාරවරු ද ජනතාවගේ සැකයට ලක් වී සිටියහ. එහෙත් ආණ්ඩුවේ සිටි වෙනත් මුස්ලිම් නායකයකුට කිසිවෙක් ඇඟිලි දිගු නොකළහ. රිෂාද් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් විය. එයට ජ.වි.පෙ. පමණක් නොව දෙමළ සන්ධානයේ සමහරුන්ගෙන් ද සහාය ලැබෙන බව ප්‍රකාශ විය. එහෙත් මුස්ලිම් ඇමතිවරුන් ලෙස රජය නියෝජනය කළ සියලු දෙනාම ඉල්ලා අස් වූයේ රිෂාඩ් වෙනුවෙන් ද යන සාධාරණ සැකය බොහෝ දෙනෙකුට ඇතිවිය.

රජයේ නිල බල වලින් ඉවත් වූ මුස්ලිම් දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය හුදු අව්‍යාජ එකක් නොවන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. මේ කිසිවකුට ආණ්ඩුව තුළ තිබුණු හිමිකම් වරප්‍රසාද අහිමි වී නැති බව ද රහසක් නොවේ. අපගේ අදහස වන්නේ ද කුමන කරුණු ඉදිරිපත් කළත් එය සිදු නොවිය යුතු දෙයක් බව ය. රිෂාඩ් ඇමතිවරයාට දැඩි චෝදනා එල්ල වෙද්දීත් ඔහු ඒ සියල්ල කරබා ගෙන සිටියේ ය. එය ජනතාවගේ ද අප්‍රසාදය වඩවන ක්‍රියාවකි. රජයේ තවත් ඇමතිවරුන් කීපදෙනෙක් ම මෙයට පෙර සිය ඇමතිකම් අත්හළ බව අපට මතක ය. ඒ අස්වීම් සිදු වූයේත් දූෂණ චෝදනා විමර්ශන කටයුතු වලට බව ප්‍රකාශ විය. එහෙත් එබඳු විමර්ශන සිදු වූයේද? ඔවුන්ගේ චෝදනා නිශ්ප්‍රභ වූයේද? යන්න නම් අපි නොදනිමු.

මේ රටේ දේශපාලන හැසිරීම්වල තිබෙන විකට ස්වරූපය එබඳු ය. මේ පසුබිම තුළ මුස්ලිම් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් අස්වීම ද මාධ්‍ය සන්දර්ශනයකට වඩා වෙනස් ලෙස කිසිවෙක් නොදකිති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ ද මෙලෙස මුස්ලිම් ඇමතිවරුන් එක පෙළට ආණ්ඩුවෙන් ඉවත් වීම භයානක දෙයක් බව ය. ත්‍රෛයිනායක මහානාහිමිවරුන්ගේ සංවේගය ද ඒ ඉල්ලා අස්වීම පිළිබඳ ව පළවී තිබුණි. මේ පුවත ජනමාධ්‍ය වාර්තා කර තිබු‍ණේ ද උත්‍ප්‍රාසය දනවන ආකාරයෙනි. අපි ඊට වඩා ඒ පිළිබඳව කථා නොකරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන්ගේ උපවාසය පිළිබඳවද වචනයක් කිව යුතුය. උන්වහන්සේගේ දේශපාලනය පිළිබඳ අපට ද විවේචන තිබේ. 2004 සිට පාර්ලිමේන්තුව නියෝජන කරන උන්වහන්සේ පක්ෂ කීපයකින් ම සිය මන්ත්‍රී ධුර ලබා ගත් බව ද පෙනේ. එහෙත් උන්වහන්සේ දේශපාලන වශයෙන් සංවේදී අවංක හිමිනමක් බවට සැකයක් නැත. 2015 ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රබල චරිතයක් වූ උන්වහන්සේ අපේක්ෂා කළ යහපාලනය ගොඩනැඟී නැති බව අද උන්වහන්සේ සෘජු ව ම ප්‍රකාශ කරන්නකි. මේ තත්ත්වය එ.ජා.ප.යේ සමහර ප්‍රබල චරිත වලට දිරවා ගත නොහැකි වී තිබෙන බව ද රහසක් නොවේ. උන්වහන්සේට සිවුරු දරාගත් මත්ත්‍රීවරයෙකැයි අවලාද නඟන්නේත් ඒ රිදුම් නිසා විය යුතුය. එහෙත් රතන හිමියන් මෙවර උපවාසය සඳහා යොමු වන්නේ මහජනතාව අපේක්ෂා කළ තීන්දුවක් ගැනීමට ආණ්ඩුව අසමත් වීම නිසා ය. කෙසේ හෝ වේවා උන්වහන්සේගේ උපවාසය නිසා ඇති වූ සමාජ කැළඹීම සුළු පටු නොවීය. කිතුනු ජනතාවගේ පමණක් නොව රටේම ආදරයට පාත්‍රව සිටින මැල්කම් රංජිත් අගරදගුරුතුමාත් උන්වහන්සේ සමීපයට ගොස් ඒ ක්‍රියාදාමය සාධාරණීකරණය කළේය. එය ද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ ලේ කුපිත කරවන්නක් වී තිබේ. මේරටේ දේශපාලනය වෛරයේ මෙන් ම බල අරගලයේ රළු ප්‍රකාශන බව බොහෝ අවස්ථාවල පැහැදිලි වී තිබේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කළ යුතු පිළිවෙල නොදන්නා දේශපාලන චරිත මෙන්ම ඇන්ජීඕ චරිතද අපට අලුත් අත්දැකීමක් නොවේ.

කෙසේ හෝ සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් අතර සහයෝගය අද ජාතික සමගියට අත්‍යාවශ්‍ය දෙයක් බව බොහෝ ආගමික නායකයෝ ද ජනතාව ද තේරුම් ගෙන සිටිති. ජාතිවාදී හිසේ කැක්කුම සුව නොවන අයට ඒ දේශපාලන ප්‍රතිචාර හොඳ පිළිතුරක් දී ඇතැයි යන්න අපගේ අදහස ය. මේ උද්ගත වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය මුස්ලිම් සමාජය මතට හෙළීම අසාධාරණ බව මුල සිට ම මෛත්‍රී ජනාධිපතිවරයාගේ අස්ථානය විය.

‍ මේ අන්තවාදී චෝදනා එල්ල වූ අසාද් සාලි හා හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ආරක්ෂා කරන බවට සමහරු ජනාධිපතිවරයාට ද චෝදනා කළහ. එහෙත් ජනාධිපතිවරයා ඉතා විචක්ෂණ ව හා රාජය තාන්ත්‍රිකව ඒ ගැටලුව විසඳා ගැනීමට සමත් විය. ජනාධිපතිවරයා මගින් ආණ්ඩුකාරවරුන් ඉවත් කරවා ගැනීමේ ප්‍රයත්නය තුළ කිසියම් දේශපාලන අරමුණක් ද විය. ඒ ජනාධිපතිවරයාට මුස්ලිම් විරෝධී ලේබලය ඇලවීමට ය. එහෙත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමෙන් ඒ අර්බුදයද සමථයකට පත් විය. අනෙක් අතට බස්නාහිර අභිනව ආණ්ඩුකාර ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් මුස්ලිම් නායකයකු මෙන්ම හිටපු කොළඹ නගරාධිපතිවරයකු ද වන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත්කිරීම ද මුස්ලිම් සමාජයට දෙන ලද අගනා සුබ පණිවිඩයකි. එනම් රාජ්‍ය නායකයා ලෙස තමන් කිසිවිටෙක ජාතිකත්වය මත පදනම්ව අගතිගාමී දේශපාලන වුවමනාවන්ට ඉඩ නොදෙන බව ය. රාමලාන් දින උත්සවයට එක්වූ ජනාධිපතිවරයා එහිදීත් ප්‍රකාශ කළේ ‘අපි එකට සිටිමු’ යන්නයි. ජනාධිපති මැදුරේ පැවති ඉස්තාර් උළෙලේදී මෛත්‍රී ජනාධිපතිවරයා කළ අවධාරණය වූයේ ජාතීන් වශයෙන් ගැටුම් ඇති කර ගතහොත් රට විනාශ වන බව ය. රටේ සියලු ජන කොටස් වලට නිදහසේ ජීවත්විය හැකි සාධාරණ සමාජයක් ගොඩනැංවීම තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංකය බව ජනාධිපතිවරයා ඉඳුරා කරන ප්‍රකාශයක් බව ද අපි දනිමු. එහෙත් කිසිදු අන්තවාදී චෝදනාවක් එල්ල නොවූ මුස්ලිම් ඇමතිවරුන් එබඳු චෝදනා එල්ල වූ ඇමතිවරයකු සමඟ එකට සිට ගැනීම නම් බරපතල දේශපාලන සංඥා හා අර්ථ ගැබ් වූවක් බව මෙහිදීත් අපට සිහිපත් වේ.

මෙයට පෙර ද අප විසින් සඳහන් කරන ලද පරිදිම බලලෝභී දේශපාලනයත්, ජාතිය මත පදනම් වූ භේදයත් මේ රටට ඕනෑවටත් වඩා හානි සිදු කර තිබේ. 2015 දී තම දේශපාලන කඳවුරට වඩා ජාතික සමගියත් රටට අලුත් වෙනසක් ලබා දීමත් උදෙසා කැප වූ නායකයා ලෙස මෛත්‍රී ජනාධිපතිවරයාට මේ රට බාර විය. එහෙත් ඒ ජනතා අපේක්ෂාව සුනු විසුණු වී ගිය ආකාරයත් එයට හේතු වු කරුණුත් ජනතාව හොඳින් දනිති. ඒ පිළිබඳ යළි අටුවා ටීකා ලිවීම ද අනවශ්‍ය ය. එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. පක්ෂ දෙක ම එයට වගකිව යුතු වුවද එයට තුඩු දුන් ප්‍රතිපත්තිමය ගැටුමක් ද වූ බව අප තේරුම් ගත යුතුය. මේ වන විට ජනාධිපති හා අගමැති අතර තිබෙන විරසකය මෙන්ම දෙපැත්තේම පසු පෙළ සිට එකිනෙකාට එල්ල කර ගන්නා ප්‍රහාර ගැන ද ජනතාව තුළ නිවැරදි වැටහීමක් ඇත. එසේ වුවද තවමත් අපේ දේශපාලනය තුළ සිදුවන බොහෝ හැසිරීම් වලින් තහවුරු වන්නේ තම දේශපාලන පක්ෂවල මෙන්ම සගයන්ගේ බැදීම් වලට ප්‍රමුඛතාව ලබා දීම විනා කාලීන අර්බුද විසඳා ගැනීමට උචිත උපාය මාර්ග හා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පරිණත බවක් නොපෙන්වන බව ය. අද රටේ තිබෙන සමාජ ආර්ථික කඩා වැටීම් සියල්ලට එය හේතු වී තිබේ. රටේ හෙට දවස අඳුරේ තැබීමට මේ පටුගාමී දේශපාලන හැසිරීම් හේතු වන බව ඒ බොහෝ අය දනිති. මෛත්‍රි ජනාධිපතිවරයා මේ අර්බුදය දුටුවේ යහපාලන ආණ්ඩුවේ පළමු ප්‍රතිවිරෝධය වූ මහබැංකු වංචාව පිළිබඳ සිද්ධියේදීය. ඊට පසුවද ජනාධිපතිවරයා දූෂණය, වංචාව පිටු දකින සමාජයක හා දේශපාලන හැසිරීමක අවශ්‍යතාව තහවුරු කර තිබේ.

කෙසේ හෝ අද ජනතාව තුළ ඇත්තේ කිසියම් අවිනිශ්චිත බවක් හා සංකීර්ණ දේශපාලන අවුල් සහගත සමාජයක තමන් හිරවී සිටින ආකාරයේ හැඟීමකි. බොහෝ දෙනෙකු අවධානය යොමු කරන ජනාධිපති අපේක්ෂකයා කවරෙක් ද යන්න දැනගැනීමට ඒ ජනතාවගෙන් බහුතරයට අවශ්‍ය ද නැත. පොහොට්ටුවෙන් පිට කිසිවකුට ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට කෙරෙන ගර්ජන ද ඇසෙයි. එහෙත් මේ ඒ පිළිබඳ විවාදයට උචිත වේලාවක් ද නොවේ. ජනතාවට අවශ්‍ය සාමකාමී රටකි; සන්සුන් සමාජයකි. වර්ගවාදී හා ආගම්වාදී අසනීපවලට ප්‍රත්‍යක්ෂ ඖෂධ නැති බවද ඔවුහු තේරුම් ගෙන සිටිති. දේශපාලන බොර දියෙහි මාළු බෑම අතිශය අවදානම් ක්‍රීඩාවක් බව ද ඔවුහු පසක් කර ගෙන සිටිති. මේ මුස්ලිම් අන්තවාදය ඊළාම් ත්‍රස්තවාදයට වඩා බිහිසුණු එකක් බව ද ඔවුහු දනිති.

නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හිස එසවූ වහාබ්වාදය, තව්හිද් ජමාත් කල්ලිය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස පුපුරා යන තෙක් ආණ්ඩුව මෙන්ම මුස්ලිම් දේශපාලන නායකයන් ද නිදා සිටීම ගැන ඔවුන්ට තිබෙන්නේ සාධාරණ කෝපයකි. මේ මුස්ලිම් අන්තවාදය මුස්ලිම් සමාජය අනුමත නොකරන බව සිංහල ජනතාව මෙන්ම කිතුනු ආගමිකයෝ ද ඉඳුරා දනිති. අද ඒ මුස්ලිම් අන්තවාදයට විරෝධය දක්වමින් තව්හිද් පල්ලි කඩා බිඳ දැමීමටද මුස්ලිම් ජනතාව ඉදිරිපත් ව සිටිති. එහෙත් ඒ කිසිවකුට සංවේදී නොවන මුස්ලිම් දේශපාලනඥයෝ ද සිටිති. අද අපට පෙනෙන යථාර්ථය නම් සිංහල දෙමළ මුස්ලිම් යන ජනකොටස් වල බහුතරය ජාතික, ආගමික භේද දුරලමින් ශ්‍රී ලංකිකයන් ලෙස එකට ජිවත් වීමට දක්වන අවංක කැපවීම ය. සියලු අන්තවාදීන් පරාජය කිරීම සඳහා සියල්ලන්ම එක් විය යුතු බවට ඔවුන්ගේ හෘදය සාක්ෂියෙන් කෙරෙන ඇමතුමට ඔවුන් සංවේදී බව අප තේරුම් ගත යුතුය. අද රටට අවශ්‍ය එබඳු ජාතික ව්‍යාපාරයකි. සමානත්මතාව මෙන්ම සංස්කෘතික අනන්‍යතාව නිවැරදිව වටහාගත් එක් රටක් නිර්මාණය කර ගැනීමට සුදුසු ජාතික නායකයා ගැන ඔවුහු විමසිලිමත් ව සිටිති.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයට තුඩු දුන් වහාබ්වාදය මෙන්ම තව්හිද් කල්ලිය මුලිනුපුටා දමා ශ්‍රී ලංකික අනන්‍යතාවෙන් යුතු මුස්ලිම් සමාජයක් ගොඩ නගා ගත යුතුය යන අදහස අද ප්‍රබල ව නැඟෙයි. එහෙත් එපමණකින් ම මුස්ලිම් සමාජය නිවැරදි වේ යැයි සිතිය හැකිද? තවමත් අරාබි පන්නයේ මුස්ලිම් සිහිනවල ජිවත්වන අය සිටිති.

සිංහල සමාජය තුළ වුවද බටහිර අනුකාරක පන්තියක් සිටිති. පරගැතියාවේ ගිලී ගිය බටහිර පන්නයට හුරු වූ ඔවුන්ගේ බස, ඇඳුම, පැවතුම තිතට අනුකරණය කරන ඒ සිංහල පන්තියට ද ස්වදේශිකත්වය වැදගත් නැත. ගමින් නගරයට පැමිණ ඇතැම් ගැමි චරිත පවා මේ බටහිර පන්නයට ගොඳුරු ව සිටිති. ස්වදේශිකත්වය අගය කරන ගමෙන් පැමිණි මෛත්‍රී ජනාධිපතිවරයා වැනි ජාතික සංස්කෘතික අනන්‍යතාවකින් යුතු නායකයන් මේ දේශපාලනයට එක්වීම ද ඒ පන්තියේ නොසතුටට හේතු වී තිබීම පුදුමයක් නොවේ. මේ රටේ ඉතිහාසය තුල සිංහල සමාජය සමඟ එක්ව සිටි මුස්ලිම් සමාජය ශීඝ්‍රයෙන් එතැනින් ඉවත් කළ මුස්ලිම් නායකයෝ හා ආගමික නායකයෝ සිටිත් නම් මේ විනාශයට නිසැකයෙන්ම ඔවුහු වගකිව යුතු වෙති. වහබ්වාදය හා ජිහාඩ්වාදයට ඒ සමාජය ඇද දැමූ අය නිවැරදිව හඳුනා ගැනීම අද අවශ්‍ය ව තිබේ. ආණ්ඩුවේ සිටින මුස්ලිම් ඇමතිවරුන් එම පදවි වලින් ඉවත් වීමෙන් පමණක් එබඳු වැරදි වලට වගකිව යුතු අයට අත් සෝදා ගත නොහැකි බවද පෙන්වා දිය යුතුය. අප දන්නා පරිදි දහතුන දහහතර සියවස් තරම් ඈත අතීතයක සිටම ලංකාව මව්බිම කරගත් මුස්ලිම් වරුන්ට සිංහල බෞද්ධ හෝ කිතුනු හින්දු ආදි කිසිදු භේදයක් තිබුණේ ද නැත. සිංහල බෞද්ධ සහජීවනය ඔවුන් අත්දැකීමෙන්ම දන්නා දෙයකි.

ටී.බී.ජයා වැනි මුස්ලිම් නායකයන්ට හිමි වී තිබෙන ඵෙතිහාසික බුහුමන ද රහසක් නොවේ. ශ්‍රී පාදයට ගොස් එය අපේ උරුමයක් බව කීමට මුස්ලිම් ජනයාට මෙන්ම සිංහලයාට ද බාධාවක් නැත. මේ සිංහල බෞද්ධ රටකැයි මුව පුරා සතුටින් ප්‍රකාශ කිරීමට තරම් කෘතවේදී මැල්කම් රංජිත් අගරදගුරුතුමා වැනි උතුමෝ ද සිටිති. ඒ අතරේ භික්ෂුත්වයට, සිංහලත්වයට ගරහන මෝඝ පුරුෂයෝ ද සිටිති. බුදුන් වහන්සේගේ විශිෂ්ට සූත්‍රයක් වන කාලාම සූත්‍රය අතට ගත් ඇන්ජීඕ කාරයන් එයට දෙන අර්ථ කථන පිළිගැනීමට තරම් සිංහල බෞද්ධයෝ කලබල නොවෙති. වෙසක් පොහෝ දිනට නැඟෙන්නේත්, රාමලාන් දිනට නැඟෙන්නේත් එකම සඳක් බව අපි දනිමු. ඒ සඳ දෙස ඕනෑම ඇසකින් බැලීමට තිබෙන බාධාව කුමක්ද? තතු මෙසේ හෙයින් මුස්ලිම් සමාජය මූලධර්මවාදී සාහසිකයන්ගෙන් ගලවා ගැනීම අද දවසේ මුස්ලිම් නායකයන්ගේ වගකීම බවද සඳහන් කළ යුතුය. එමතු නොව මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි සාධාරණ සමාජයක් බිහිවන්නේ වාර්ගික, ආගමික මෙන්ම පන්ති භේදයෙන්ද දුරස් වූ මානව ශිෂ්ටාචාරයකදී පමණි. එහෙත් එබඳු සමාජයක් කරා යන ශිෂ්ටාචාරයේ ගමනට ලෝකයම හරස් වන බවද අප තේරුම් ගත යුතුය. ඉතින් කාත්තන්කුඩිය අරාබියක් බවට පත් කිරීම සඳහා ඒ ලෝකයෙන්ද අනුබල ලැබී නැතැයි අපි කෙසේ කියමුද?

 

අදහස්