මෝදි සහ ප්‍රේමදාස | සිළුමිණ

මෝදි සහ ප්‍රේමදාස

මිත්‍රවරුනි, ඔබ කොංග්‍රස් පක්ෂයට අවුරුදු හැටක් දුන්නට කමක් නෑ. හැබැයි මට මාස හැටක් දෙන්න. මම ඉන්දියාව හදලා පෙන්වන්නම්' මෙහෙම කීවේ මෝඩි ය. අවුරුදු දහයක් ඉන්දියාව එක දිගට පාලනය කළ, ගාන්ධි - නේරු පවුලේ කොංග්‍රස් පක්ෂයට විරුද්ධ ව මෝඩි මැතිවරණ සටනට බැස්සේ එහෙම ය. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු දශක පහක් පමණ වරින්වර රට පාලනය කළ කොංග්‍රසයේ සෝනියා, ප්‍රියංකා, රාහුල් ඇතුළු ගාන්ධි පවුල ම මෝඩිට පහර දුන්හ. ප්‍රියංකා වරක් මෝඩිට කීවේ "නීචී රාජ්නිති" කියලා ය.

අප්‍රමාණ ගර්හාවලට මෝඩි දුන්නේ වචන පහ හයක උත්තර ය. ඒ මෝඩිය; මෝඩි දුන්නේ එහෙම උත්තර ය. දේශප්‍රේමය ගැන වහසිබස් දෙඩූ ගාන්ධිලා ආවැඩුවේ බටහිරට බව මෝඩි පුන පුනා කීවේ නැත.සෝනියා ගාන්ධි ඉතාලි සම්භවයක් ඇත්තියක බව ඔහු කිය කියා ගියේ නැත. ඒ වෙනුවට ඔහු ප්‍රතිවාදියා නිරුත්තර වෙන උත්තරයක් දුන්නේ ය. උත්තර් ප්‍රදේශයේ බහුජන සමාජ පක්‍ෂයේ ප්‍රධානී හිටපු මහඇමැතිනී මායාවතී මෝඩිට නිග්‍රහ කළා ය. බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජි කීවේ මෝඩි වඳුරෙක් කියා ය. අන්තිමට සියල්ල සිදුවුණේ මෝඩි අගමැති කරමින් ය.

"මම තේ වික්‌කා තමයි. නමුත් රට වික්‌කේ නැහැ"

2014 මැයි 26 මෝඩිගේ තරම ගාන්ධිලාට පෙනුණි. බහුතර බලය ඇති රජයක් පිහිටුවීමට ආසන 272ක් උවමනා ය.'තේ හදන කොල්ලා' ආසන 337ක් ම දිනා ගත්තේ ගාන්ධිලාට උන්හිටි තැන් අමතක කරමින් ය. මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉන්දිය ඉතිහාසය 'අලුතින්' ලීවේ එහෙම ය.

එහෙම දිනූ මෝඩි මුල් අවුරුදු දෙකේදී 'මැජික්' පෙන්නුවේ නැත. ඔහු එතෙක් අන්ත දූෂිත තැනක තිබූ රට ගොඩනැඟීමට නව ප්‍රතිසංස්කරණ ගෙනාවේය.

'මෝඩි මොනවද මේ කරන්නේ, මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා වෙනුවට මහ ලොකු ප්‍රතිසංස්කරණ කරනවා' සමහරු කීවේ එහෙම ය.

'මෝඩිට බෑ, තව ටික දවසකින් මෝඩි ගෙදර'

විරුද්ධවාදීන් කීවේ එහෙම ය.

'මෝඩිගේ අසාර්ථක බව බලාගන්න පුළුවන් දිල්ලි මැතිවරණයේදී'

ඒ කොංග්‍රසයේ සමහරු කී කතා ය.

මැතිවරණයට යන්න මෝඩි බයවුණේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, ආර්ථික ප්‍රතිසංස්කරණ වැනි බොහෝ දේ සිදුකරමින් සිටි නිසා තමන්ගේ ජය නියත බව මෝඩි විශ්වාස කළේය. 2013 තිබූ දිල්ලි මැතිවරණයෙන් ජයගෙන සිටියේ මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයයි. ඔවුන් ආසන 31ක් දිනා සිටියේ ය. කෙජ්‍රිවාල්ගේ ආමි පක්ෂය ආසන 28කි. කොන්ග්‍රසය ආසන 8කි. ගාන්ධිලාගේ කොන්ග්‍රසය තුනට ඇද දමා මෝඩිගේ පක්ෂය බලය ගත්තේ ය. මහ මැතිවරණයේ දී විශිෂ්ට ජයක් ලැබීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂයේ ශක්තිය උරගා බලන ප්‍රථම අවස්ථාව මෙයයි. නමුත් වසර දෙකකට පසු අරවින්ද් කෙජ්‍රිවාල් ප්‍රමුඛ ආමි අද්මාම් පක්ෂය ආසන 66ක් ලබාගෙන මෝඩිගේ පක්ෂය ආසන 4ට බස්සවන්නේ ය.

'මෝඩි ගෙදර යන්න ලෑස්ති වෙන්න'

විපක්ෂය කීවේ එහෙම ය.

'මෝඩිගේ ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක්. ඔහුගේ කයිවාරු විතරයි. දිල්ලියෙන් පැරදුණා කියන්නේ මෝඩි ගෙදර යන්න ඕනා'

එහෙම කතාද මෝඩිට අසන්නට සිදුවිය.

ආණ්ඩුව යන ගමන ගැන මෝඩි හරියට හිතන්නට පටන් ගන්නේ ඊට පස්සේ ය.

එහෙම වුණා කියලා මෝඩි කලබල වුණේ නැත. ඔහු කරගෙන ආ වැඩ ඒ විදිහටත්, නොකළ වැඩ කඩිනමිනුත් පටන් ගත්තේය. කඩිනමින් මෝඩි නව වැඩපිළිවලක් සැකසුවේය. ජනතා අවශ්‍යතා වෙනුවෙන් වැඩපිළිවෙල වේගවත් කළේය. 'රැඩිකල්' වෙනස්කම්වලට මුල පිරුවේය. මෝඩි ඊළඟ ඡන්දෙට ගියේ 'අලුත් වැඩ' ගොඩක් එක්ක ය.

මැතිවරණය තිබ්බේ ගුජරාටියේ ය. මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 99ක් දිනා ගන්නකොට කොන්ග්‍රසය දිනා ගත්තේ ආසන 77ක් ය.

මෝඩි ඉවරයි කීව අය තුෂ්නීම්භූත වූයේ ප්‍රතිඵලය ආවම ය.

මෝඩිට ඉන්දියාව තියා ඉන්දියාවේ ගමක්වත් බාර නොදෙන බව ප්‍රතිවාදීන් කීය. පාරම්පරික කොංග්‍රසය ඉදිරියේ මෝඩි මී පැටියෙක් බවත් කීය. එහෙව් මෝඩි කොංග්‍රසයට යන එන මන් නැති කළේ ආසන 44ට බස්සවමිනි. කොංග්‍රසය එහෙම සූ දාගෙන යද්දී මෝඩි ආසන 283ක් හිමිකරගත්තේ ය.

මෝඩි සුනාමියට කොංග්‍රසය හසු විය. වසර පහකට ඉන්දියාව බාර ගත් මෝඩි එය මෙවර දෙගුණ කළේය. මෝඩි තවත් වසර 5ට ඉන්දියාව බාර ගත්තේය.

'මෝඩිත් හරියට ප්‍රේමදාස වගේ.'

දේශපාලනයේ ඉතිහාසය දන්න සමහරු එහෙම කියයි. බලාගෙන ගියාම ඒ කතාවේ ඇත්තක් නැතුවා නොවේ.

ප්‍රේමදාස කවුද කියා නොදන්නා කෙනෙක් නැත. බිංදුවෙන් පටන්ගෙන රටේ ඉහළම තැනට ගිය ආර්. ප්‍රේමදාස දුප්පත් ම ජනතාව වෙනුවෙන් අදටත් රට ම කතා කරන වැඩ කොටසක් කළ නායකයෙකි.

මෝඩි භාරතීය ජනතා පක්ෂයෙන් එනවිට ඔහුට බොහෝ දෙනා නින්දා කළහ. තවත් අය මෝඩි මෝඩයි කීය. තව අය කීවේ තේ හදපු කොල්ලා කියලා ය. ඉන්දීය මැතිවරණ ව්‍යාපාරයේදී විරුද්ධ පාක්‌ෂිකයන් විවේචනය කළේ ඔහු තේ කොළ වෙළෙන්දෙක්‌ බවයි... මෝඩි නිර්දය ලෙස අදහස්‌ දක්‌වා කියා සිටියේ

'ඔව් ඇත්ත....මම තේ කොළ වික්‌කා ...නමුත් මම ඉන්දියාව විකුණන්නේ නැහැ' කියලා ය.

77 ප්‍රේමදාස පාර්ලිමේන්තු එන්න මැතිවරණෙට එනකොට ශ්‍රීලනිපයේ මැතිනි වගේම අනුරත් ඔහුට රිදෙන්න ගැසීය. සමහරු කීවේ 'කෙහෙල්වත්තේ ලැවරියා විකුණපු කොල්ලා'කියා ය.

හැබැයි කොළඹින් ඉහළ ම මනාප දී ප්‍රේමදාස පාර්ලිමේන්තු එවන්න මිනිස්සු කටයුතු කළහ. ප්‍රේමදාසට ගහපු අනුර ආවේ නුවරඑළිය මස්කෙළිය දෙවෙනි මන්ත්‍රී වෙලා ය.

ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී තමන්ගේ වේදනාව පිට කළේ මෙහම ය.

''මේ පුතා අද මෙතැන නැහැ. මම එයාට කියන්න ඉන්නේ, නුවරඑළිය - මස්කෙළිය දෙවැනි මන්ත්‍රි (අනුර බණ්ඩාරනායක) මේ කතා කරන්නේ කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලයි කියල. අපේ කතානායකතුමනි මට කෙසෙල්වත්තේ ලැවරියා විකුණන්න වාසනාවක් නොලැබීම ගැනයි මම කනගාටු වන්නේ. මේ ගොල්ලෝ පහත් කොට සලකන අපේ මුඩුක්කු ප්‍රදේශයේ හොඳ මවුපියන්ට සහජාතව දරුවෙක් හැටියට උපදින්න ලැබිච්ච එක මම අගේ කොට සලකනවා'

ප්‍රේමදාස වේදනාවෙන් කීවේය. ඒ විතරක් නොවේ, ප්‍රේමදාස ශ්‍රීලනිපයට මෙහෙම කීවේය.

'මට මේ වෙලාවේ කනගාටු ඇතිවෙන්නේ ඉන්දියාවේ ශ්‍රීමතී ඉන්දිරා ගැන. ඉන්දිරාව නරක් කළෙත් මෙයා. ජවහල්ලාර් නේරුතුමාගේ දුහීතෘ. අගමැති වුණාම අපි හිතුවා මුළු භාරතයට ම නව යුගයක් උදා කරයි කියලා. කොහෙද, මෙහේ ආවා තුන්හතර පාරක්. මම දැනගත්තා වැඩේ ඉවරයි කියලා. මෙයා කරපු දේමයි එයා එහෙත් කළේ. පාර්ලිමේන්තු කාලේ මෙහෙත් දික් කළා; එහෙත් දික් කළා. හදිසි නීතිය දාලා පාලනය කළා; එහෙත් කළා. මෙහේ පුතා කිට්ටු කරගත්තා; එයත් කළා. මෙහේ බෑනා කිට්ටු කරගත්තා; එහේ භන්ති ලාල්ව කිට්ටු කරගත්තා. මිනිහා සාතන් වගේ. මෙහේ වගේම දිරච්ච ලණු මිනිහත් එයාට දුන්නා.. මොකද වුණේ..මෙයාට ඉස්සරවෙලා එයාට වැදුණා.'

එහෙම පටන්ගත්ත ප්‍රේමදාස 1988 වෙනකොට ආණ්ඩුවේ ජනප්‍රියම නායකයන් 3ගෙන් ප්‍රමුඛයා ය. ගාමිනී, ලලිත්, ප්‍රේමදාස ආණ්ඩුවේ මුරගල් තුනක් වගේ විය.

සියල්ල අතර 88 ජනාධිපතිවරණයට ප්‍රේමදාස ඉදිරිපත් කරන්න කියා පාක්ෂිකයෝ ඉල්ලූහ. එහෙත් එක අතකින් ජේ ආර් නැවත ඉදිරිපත් වෙන්නට හිතුවේය. අනෙක් අතින් කුලවාදයෙන් හිස් උදුම්මාගත් ප්‍රබලයෝ ප්‍රේමදාසට තැනක් දෙනවට එරෙහි වූහ. ප්‍රේමදාස ආවොත් ඉන්නේ නෑ කී පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වූ නිශ්ශංක විජේරත්න දේශපාලනයෙන් සමුගත්තේය. ඒ මදිවට ලලිත්, ගාමිණී දෙන්නාටත් සිහින තිබිණි. සියල්ල මැද ජේ ආර් නිවැරදි ම තීන්දුව ගත්තේය.

“මේ එක්සත් ජාතික පක්ෂය තමයි අවුරුදු ගණනාවක් රට පාලනය කළ පක්ෂය. රටට නිදහස ගෙනාව පක්ෂය. මහජන පක්ෂයක් හැටියට, දුප්පත්ම මහජනයා වෙනුවෙන් අතදෙන රණසිංහ ප්‍රේමදාස මහත්මයාට නායකත්වය පවරනවා. අපි මහජනයාට හඳුන්වලා දෙනවා මෙන්න තමුන්නාන්සේලාගේ මනුෂ්‍යයෙක්. එතුමා එන්නේ උන්නැහේගේ ප්‍රතිපත්ති උඩ, උන්නැහේගේ ක්‍රියාව උඩ, උන්නැහේගේ මහජනතාවට තියෙන ආදරය උඩ, මේ රට අවුරුදු රාශියක් පාලනය කරපු දේශපාලන පක්ෂයේ එකම නියෝජිතයා හැටියටයි.”

එදා ජේ.ආර්. වැඩ කළේත් වෙනස් කළේත් එහෙමය.

එහෙම ආව ප්‍රේමදාසගේ ප්‍රතිවාදිනිය වුනේ මැතිනිය ය. හරියට ම ඒ හමුවීම 96 ඕස්ට්‍රේලියාව එක්ක ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගේදි මුණ ගැහුණා වගේ ම ය. අන්තිමට ප්‍රේමදාස මෙරට දේශපාලන ඉතිහාස කතාවත්, එක්සත් ජාතික පක්ෂ ඉතිහාස කතාවත් වෙනස් කළේ ය.

මෝඩිත් කළේ එහෙම ම ය.

ප්‍රේමදාස ගෙවල් හැදුවේ ය; හැමෝම ඊට හිනා විය. ප්‍රේමදාස ජනසවිය දුන්නේය; නිකන් කන්න දෙනවා කියා ඔහුට සමහරු හිනා විය. ප්‍රේමදාස ඇගලුම්හල් දාද්දී කීවේ 'සුද්දන්ට ජංගි මස්සනවා' කියා ය. මෝඩිටත් එහෙමම චෝදනා ආවේය.

'මම කියන්නේ අපි දේවාල හදන්න ඉස්‌සර හැදිය යුතු වෙන්නේ වැසිකිළි... අපේ කාන්තාවන් ශරීර කෘත්‍ය කිරීමේදී මහත් අපහසුතාවට පත් වෙනවා...ඉන්දියාව පුරා දේවාල තියෙනවා...නමුත් වැසිකිළි නැහැ. අපි ඇත්තට ම කනගාටු විය යුතුයි නේද..?

මෝඩි එහෙම කීවේය.

මෝඩි භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාර සභාපති ලෙස පත් කරන්න වැඩියෙන් ම වෙහෙසුණේ රාජ්නාත් සිං ය. පක්ෂය බදාගෙන සිටිය, අද්වානිව ඉවත් කොට මෝඩිට පක්ෂය අරන් දෙන්න ඔහු හුදකලා සටනක් කළේය.

ඔබතුමා නායකයා විදිහට ඉඳලා පක්ෂේ දිනවන්න මෝඩිට උදවු කරන්න. ඊට පස්සේ දිනවපු පක්ෂෙක නායකයා විදිහට විශ්‍රාම යන්න.'

අද්වානි මෝඩිට උදව් නොකරන බව දැනුණු රාජ්නාත් සිං අද්වානිට කීවේය. 88 ජේ.ආර් කළා වගේ ම අද්වානි මෝඩි ගෙනාවේ එහෙම ය.

මෝඩිට ඉන්දියාව බාර දුන්නම මෙහේ රාජපක්ෂලා කැමති වුණේ නැත. සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ගිය සාමාන්‍ය මිනිසෙක් රටක නායකයා වීම අනාගතයට 'හිතසුව පිණිස නොවන බව' රාජපක්ෂලාට නොවැටහුණා නොවේ. එහෙම හිතුවා වගේම 2015 දකුණු ආසියාවේ බලගතුම ආණ්ඩුව විදිහට තිබූ මහින්දගේ ආණ්ඩුව පෙරළිණි. "ඇමෙරිකානුවන්, නෝර්වේජියානු ජාතිකයන්, යුරෝපීයයන් සහ ඉන්දියානු රෝ ඔත්තු සේවය මට විවෘත ව ම විරුද්ධ ව කටයුතු කළා" යැයි මහින්ද රාජපක්ෂ මහතා, හොංකොං හි 'සවුත් චයිනා මෝනිං පෝස්ට්' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක දී පැවසූ බව 2015 මාර්තු 13 වැනිදා 'ඉන්දියා ටුඩේ' පුවත්පත වාර්තා කර තිබුණි. එයින් පේන්නේ මහින්දගේ මෝඩි විරෝධය ය. ඊට පස්සේ නැතත් ඉන්දියාව ලංකාව සමඟ කිට්ටු විය. එතෙක් මානව හිමිකම් චෝදනා වලදී බටහිර පැත්ත අරගෙන සිටි ඉන්දියාව නව මානයකින් ලංකාව දෙස බැලීය.

ඒ අතර මෝඩි ලංකාවට ආවේය. ජාතිවාදී, කුලී දේශපාලන කල්ලි එයින් භීතියට පත් විය. '"ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩි එනවා. එන්නේ වෙසක් බලන්න තොරණ බලන්න නෙවෙයි; කියන්නේ වෙසක් බලන්න කියලා තමයි. අපි කියනවා තමුන්නාන්සේලාට ඒ පාවා දීමට එරෙහිව මෝඩි අගමැතිට පේන්න මුළු රට ම කළු කොඩිවලින් පුරවන්න."

(විමල් වීරවංශ- 2017 මැයි 01 ගාලු මුවදොර පිටියේදී)

එයින් නොනැව්තුනු උදය ගම්මන්පිල මෙහෙම කීවේය.

"වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි. බස්නාහිර හා දකුණේ පමණක් ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බවටත් වතුකරයේ නව නිවාස 10, 000ක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක්ද කියලා අපි අහනවා. මෝඩි අගමැතිවරයා දික්ඔය දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ඉන්දීය අගමැතිවරයා ජනතාව ඇමතුවේ ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තයේ ජනතාව අමතන අකාරයෙන් බවත් දකුණු පසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ද වම්පසින් එහි මහ ඇමැතිවරයා ද සිටින බව සිතමින් තමයි ජනතාව ඇමතුවේ."

(පා. ම. උදය ගම්මන්පිල 2017 මැයි 15 දින)

ඊරිෂියාව,තක්කඩිකම ඉහවහා ගිය විට සියලු දේ පෙනෙන්නේ 'වැරදි ලෙසට' ය.

2019 මැතිවරණය ආසන්න වනවිට මෝදි ගැන තිබුණේ අමුතු චිත්‍රයකි. 2014 ජයගත් මෝදි ක්ෂණික ව ජනප්‍රිය වූයේ නැත. ඔහු ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා ඉන්දියානුවන් බොහෝ පීඩාවට පත්වූහ. වරක් ඔහු මුදල් නෝට්ටු තහනමක් ගෙන ආවේය. මුළු ඉන්දියානුවෝ ම ඔහුට දෙමාපියන් සිහිකර බැන වැදුණු අතර 2015 පැවැති බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ මෝඩි පරාජය විය. ආසන 243කින් සමන්විත බිහාර් ප්‍රාන්ත සභාවේ බහුතර බලය දිනා ගැනීමට එහි විපක්ෂ සන්ධානය සමත් වීය. ඔවුන් ආසන සංඛ්‍යාව 157ක් ගනිද්දී මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය දිනාගත්තේ ආසන 77කි.

ලංකාවෙත් එහෙම විය.

මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය දිනද්දී, ඊට වසර කිහිපයකට පසු තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය පොහොට්ටුව ජය ගත්හ.

එදා දහසක් අභියෝග මැද ආ මෝඩි පසුගියදා ආපසු ජයගත්තේය. දිල්ලි පරාජයෙන් පස්සේ ගමන වෙනස් කළ මෝඩි ඊට පස්සේ මැතිවරණවලදී පෙරට ආවේ ජයග්‍රාහී ව ය.. සරල ව කීවොත් වැරදුණු පාර හරිගස්සා ගන්නට මාස දෙකක් හොඳට ම ඇති ය. දේශපාලනයේ සතියක් යනු දිගු කලක් බව 1964දී විල්සන් චර්චිල් කීවේය. ඔහු මහමැතිවරණය දිනුවේ නූලෙනි.

රජීව් ලංකාවට එනකොට ජනාධිපති ජේ.ආර් ය. අගමැති ප්‍රේමදාසය. ටික කලකින් ජේ.ආර් ඉවත්වී ප්‍රේමදාසට ඉඩ දුන්නේය. ඔහු ජනපති විය. තමන්ගේ දෙවන ධූරකාලයේ පළමු විදෙස් සංචාරය ලෙස මෝඩි එන්නේ ලංකාවට ය. ඔහුගේ පරිවාර ඇමති එදා ප්‍රේමදාසගේ පුතා 'සජිත්' ය.

මේ වසර අගදී ජනාධිපතිවරණය එයි. ඊට පසු මෝඩිට මුණගැහෙන ලංකාවේ ජනාධිපති කවුද කියා දැන් ම අනුමාන කරන එක කල් වැඩිය.

අදහස්