දකුණේ දේශපාලනය උතුරට දැනුණ හැටි | සිළුමිණ

දකුණේ දේශපාලනය උතුරට දැනුණ හැටි

වසර තිහකට වඩා වැඩි කාලයක් මේ රටේ යුද්ධයක් පැවතියද සිංහල හා දෙමළ වශයෙන් වූ ජාතිවාදයේ ගති ලක්ෂණ දක්නට ලැබුණේ අල්ප වශයෙනි. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසුව උද්ගතව ඇති තත්ත්වය ඊට වෙනස්ය. උතුරේ දේශපාලන හැසිරීම ප්‍රකට වන්නේ කවරදාටත් වඩා වෙනස් විදිහටය. රතන හිමියන් මහනුවර මාරාන්තික උපවාසයක් ආරම්භ කරන විට උතුරේ දෙමළ තරුණයෝද උන්වහන්සේට සහාය දක්වමින් වවුනියාවේ උපවාසයක් ඇරැඹූහ.

උතුරේ දෙමළ දේශපාලනඥයෝ, සිංහල බෞද්ධ බලවේගවලින් උතුර පිරවීමට රජය උත්සහ කරන බවට චෝදනා කළත් මුස්ලිම් අන්තවාදීන්ගේ සටනට සහාය දක්වමින් කටයුතු කළහ. ලංකාවේ මුස්ලිම් දේශපාලනඥයන්ට රතන හිමියන් විරුද්ධ වෙද්දී උතුරේ දෙමළ ජනතාව සිටියේ රතන හිමියන් සමඟය. උතුරේ දෙමළ දේශපාලාන්ඥයන්ගෙන් බහුතරයක් සිටියේද රතන හිමියන් සමඟය.

මුස්ලිම් දේශපාලනඥයන් සිය අමාත්‍යධුරවලින් ඉවත් වූ බව දැනුම් දීමත් සමඟම උතුරේ වවුනියාව හා යාපනය පළාත්වල එක දිගටම රතිඤ්ඤා දැල්වෙන්නට විය.

ඊළගට ඔවුන්ට ප්‍රශ්නය වූයේ රතන හිමියන් ගන්නා තීරණයයි. උන්වහන්සේ උපවාසය අත්හළ බව කී සැණින් උතුරේ දෙමළ තරුණයන් පවා ඔල්වරසන් දෙමින් ඔවුන්ගේ ප්‍රීතිය පළ කළේ රතන හිමියන් නිරුපද්‍රි වීම පිළිබඳ වූ සතුටෙනි. එහෙත් රතන හිමියන් සිය උපවාසය අත්හැරීමත් සමඟම දෙමළ ජාතික සංධානය උද්ගතවූ තත්ත්වය දේශපාලනිකව තමන් වෙත හරවාගැනීමට කටයුතු කරන බව පෙනුණත් පොදු ජන මතය ඇත්තේ වෙන තැනකය.

ඒ අවස්ථාවලදී උතුරේ දෙමළ ජනතාව පෙන්නුම් කළේ ජාතිවාදයක් නොව රට පිළිබඳ යම් ඉදිරිගාමී හැඟීමකි. අනාගතයේදී මුස්ලිම් අන්තවාදීන් නිසා විශාල ව්‍යවසනයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි යන බිය මේ දෙමළ වැසියන් තුළ ඉතා තදින් පැළපදියම් වී තිබේ.

සරණාගතයන් වවුනියාවට

ඒ තත්ත්වය තේරුම් ගැනීමට ඉතාම කදිම නිදසුන වන්නේ පාකිස්තාන අනාථ වැසියන් පිරිසක් වවුනියාවට රැගෙන ඒමේ සිද්ධියයි.

පාකිස්තාන අනාථ වැසියන්ට රටේ කොතැනකවත් ආරක්ෂාව නැති වූ තැන ඔවුන් මහ රාත්‍රියේ රැගෙන එන ලද්දේ වවුනියාව පූංතෝට්ටම් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් වෙතය.

පාකිස්තාන අනාථ වැසියන් 38 දෙනෙකු එම යුද හමුදා කඳවුරට රැගෙන එන ලද බව ප්‍රකාශ වීමත් සමඟම කලබල වූ වවුනියාවේ දෙමළ සංවිධාන වහාම ඔවුහු වවුනියාවෙන් පිටමං කළ යුතු බවට බල කළහ. නමුත් මේ පිරිස සිටියේ යුද හමුදාව භාරයේ නිසා දෙමළ සංවිධානවලට ඊට එහා යෑමට නොහැකි වූ තැන ඔවුන් කළේ පළාතේ බෞද්ධ හින්දු කතෝලික පුජකවරුන් හමු වී හදිසියේම කඩා පාත් වූ මේ ප්‍රශ්නයට යම් සහනයක් ලබාගත යුතු බවයි.

දින දෙකකින් වවුනියාවේ ආගමික නායකයෝ සියලු දෙනාම එක් වී බලධාරීන් හමු වී මේ පාකිස්තාන අනාථ වැසියන් පළාතෙන් පිටමං කරන මෙන් ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම් වන්නියේ යුද හමුදා බලධාරීන් වෙත යොමු වීමත් සමඟම බලධාරීන් ආගමික නායකයන්ට කියා සිටියේ ඉතාම ඉක්මනින් සිය රටවලට ඔවුන් යැවීමට කටයුතු යොදන නිසා මේ අවස්ථාවේදී කලබලයක් නොකරන ලෙසයි.

ආගමික නායකයෝ මේ තත්ත්වය ඉතා අසීරුවෙන් ඉවසා සිටියදී රජය කළේ යුද හමුදාව ලවා තවත් පාකිස්තාන අනාථ වැසියන් 77 දෙනෙකු එම කඳවුරටම රැගෙන ඒමය. දැන් පූංතෝට්ටම් යුද හමුදා කඳවුරේ විදේශීය අනාථයෝ 115 දෙනෙක් සිටිති.

ඒ පිළිබඳ දැන් යළිත් වරක් වවුනියාවේ ආගමික නායකයෝ සාකච්ඡා කරමින් සිටිති. ඒ අතරවාරයේ ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ මේ රටේ විවිධ පළාත්වල සිටින 1600ක් තරම් වූ විදේශීය අනාථ වැසියන්ව වවුනියාවට රැගෙන ඒමට රජය කටයුතු කරන බවයි.

මේ අනාථ වැසියන් රඳවා තැබීම සඳහා යුද්ධයේ අවසන් කාලයේදී වන්නියේ වැසියන් ලක්ෂ තුනක් පමණ පැමිණ ලැගුම් ගත් වවුනියාව සෙට්ටිකුලම මැණික්ෆාම් අනාථ කඳවුරු භූමිය ප්‍රදේශය තෝරාගෙන ඇති බවටද මේ දිනවල කතා බහක් පැතිර යමින් පවතී.

නමුත් ඒ ක්‍රියාව සම්බන්ධයෙන් වවුනියාවේ දෙමළ සංවිධාන දක්වන ප්‍රතිචාරය කිසි විටකත් යහපත් එකක් නොවේ. මේ දෙමළ සංවිධාන නියෝජිතයන් හින්දු ආගමික නායකයන්ද කැටුව බෞද්ධ භික්ෂූන් වහන්සේ හමුවීමට පැමිණ ඒ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්නේ මේ අනාථ වැසියන් යුද හමුදාව බාරයේ සිටීම නිසාය.

පාකිස්තාන අනාථ වැසියන් 38 දෙනා වවුනියාවෙන් පිටමං කරගැනීමට උත්සහ කළ අවස්ථාවේදී රජයෙන් හා යුද හමුදාවෙන් ඊට සහනයක් නොලැබී ඒ විරෝධය පවතින අතරතුර තවත් අනාථ වැසියන් වවුනියාවට රැගෙන ඒමට උත්සහ කරන්නේ පළාත තුළ ප්‍රශ්න හා ගැටලු වැඩි කිරීමට බව හින්දු පූජකවරයෙක් කියා සිටියේය. ඔහු කියා සිටියේ එම ක්‍රියාව රතන හාමුදුරුවන් මුස්ලිම් දේශපාලනඥයන් ඉවත් කරවීමට කටයුතු කරද්දී රජය යළිත් වරක් මුස්ලිම් ජාතිකයින්ම ඒ තනතුරුවලට පත් කිරීම වැනි ක්‍රියාවක් බවයි.

තවමත් ක්‍රියාත්මක වව්නියාවේ තව්හිද් පල්ලිය

කෙසේ වෙතත් වවුනියාවේ ක්‍රියාත්මක මේ දෙමළ සංවිධාන කීපය වවුනියාවේ පට්ටානීචූර් පළාතේ පිහිටි තව්හිද් පල්ලියක් ඉවත් කළ යුතු බවටද මේ දිනවල දැඩි විරෝධයක් පවත්වමින් සිටී. ඔවුන් කියා සිටින්නේ තව්හිද් පල්ලි තහනම් කළ බවට රජය ගැසට් නිවේදනයක් පවා නිකුත් කොට තිබියදී මේ රටේ එවැනි පල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන කාරණයයි.

නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමට පොලීසියක් හා වෙනත් ඒ සම්බන්ධයෙන් වූ ආරක්ෂක අංශ සිටියදී ඔවුන් ඔවුන්ගේ රාජකාරිය පැහැර හරින බවටද වවුනියාවේ දෙමළ සංවිධානවලින් චෝදනා එල්ල වෙමින් පවතී.

ඒ නීති විරෝධී තව්හිද් පල්ලිය වවුනියාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ සංවිධාන කීපයක් පළාතේ සංස්කෘතික නිලධාරීවරයාගෙන් ඉල්ලිමක් කොට ඇත.

එතැනින් නොනැවතුණු එම පිරිස වවුනියාවේ විශාලතම පල්ලිය හා ප්‍රධාන මෞලවිවරයා සිටින පල්ලිය වන ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත ගොස් මේ තව්හිද් පල්ලිය ඉවත් කරන ලෙස ඉල්ලිමක් කොට තිබේ. කැකිරාවේදී තව්හිද් පල්ලියක් ඉවත් කරන ලද්දේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ අනුදැනුම හා මූලිකත්වය මත මෙන්ම වවුනියාවේ මේ පල්ලියද ඒ ආකාරයෙන් ඉවත් කරනලෙසට දෙමළ සංවිධාන මතක් කොට තිබේ.

එහෙත් ඒ ඉල්ලීමට ආරක්ෂක අංශවලින් හෝ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් හෝ කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

මෙහි අවසාන ප්‍රතිපලය විය හැක්කේ ඉතා භයානක සිදුවීම් මාලාවකි. මිනිසුන් හා විවිධ සංවිධාන නීතිය අනුව හා සදාචාරය අනුව යමින් යම් යම් දේ ඉටු කරගැනීමට උත්සහ කරන අතරතුර ඒවා නීත්‍යනූකූලව ඉටු නොවන විට නීතිය අතට ගන්නේ සාමාන්‍ය මිනිස්සුය. පසුව ආරක්ෂක අංශ ඇතුළු බොහෝ දෙනෙකු ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන්නේ ඒ පිරිස්ය.

අයි.එස් මෞලවිගේ පල්ලියක්

පාස්කු ඉරිදා මේ රටේ ස්ථාන කීපයකම සිදු වූ බෝම්බ ප්‍රහාර සාධාරණීකරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ මුස්ලිම් මෞලවිවරයා සම්බන්ධකම් පවත්වා ඇත්තේද වවුනියාවේ එම තව්හිද් පල්ලිය සමඟය. ඔහුට වවුනියාවේ පට්ටානීචූර් පළාතේ වෙනම මුස්ලිම් පල්ලියක මෞලවි ධුරය ලබා දී ඇතත් ඔහු දේශන පවත්වා ඇත්තේ වවුනියාවේ දෙමළ සංවිධාන ඉවත් කළ යුතු බවට බලපෑම් කරන මේ තව්හිද් මුස්ලිම් පල්ලියේය.

මක්කම වන්දනාවේ ගොස් සිටි ඒ මෞලවිවරයා ප්‍රහාරයට පසු දිනයේම එය සාධාරණය කොට ලෝකයටම බොහෝ දේ ප්‍රකාශ කළද ඔහුව අත්අඩංගුවට ගැනීමට පාර කැපුණේ උතුරේ දෙමළ සංවිධාන වල ක්‍රියාකාරිත්වය නිසාය.

මෞලවිවරයා මේ වන විට බන්ධනාගාරගත කොට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතියද ඔහු විසින් තව්හිද් පල්ලිය ඔස්සේ කරන ලද දේශනවල අඩංගු වූ අන්තර්ගතයන් හා ඒ දේශන වල ප්‍රතිපල තවමත් සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව පෙන්වා දෙන්නේ උතුරේ දෙමළ සංවිධාන විසින්මය.

මන්නාරමේ අවුල

මුස්ලිම්වරුන්ට පල්ලියෙන් උගන්වන ලද බොහෝ දේ ඔවුන්ගේ මනසේ මේ දිනවල හොල්මන් කරනු ඇත. ඒ සඳහා හොඳම උදාහරණය මන්නාරම නගරයයි.

උතුරේ වැඩිම මුස්ලිම් පිරිසක් වාසය කරන නගරය මන්නාරම නගරයයි. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව තවමත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව නැත්තේද මන්නාරම නගරයේය. වැසීගිය ඇතැම් වෙළඳසල් තවමත් විවෘතව නැත. මන්නාරමේ මුස්ලිම් වැසියන්ගේ එදිනෙදා කටයුතු විධිමත්ව කරගෙන යා නොහැකි බවට ඔවුන් විවිධ සංවිධානවලට දුක් ගැනවිලි ඉදිරිපත් කොට තිබේ. ඒ සෑම දුක් ගැනවිල්ලකම සඳහන් කොට ඇත්තේ මන්නාරමේ සිටින සෙසු ජනතාව තමන්ව සැක කරන බවය. ඔවුන්ට පෙර මෙන් නිදහසේ සිටීමට මන්නාරමේ හැකියාවක් නැති බවද ඔවුන් පවසා ඇත.

මන්නාරමේ මුස්ලිම් ජනයා හැරුණු විට සිටින බහුතර ජනතාව දෙමළ ජනතාවය. සිංහල වැසියන් සිටින්නේ පවුල් කීපයක් පමණි. ඒ හැරුණු විට මන්නාරමේ සිටින අනෙක් සිංහල ජන කොටස අයත් වන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් ගොඩටය. ඒ නිසා මන්නාරමේ සිටින මුස්ලිම් වැසියන් සිංහල වැසියන්ගේ සැකයට භාජනය වන බව කිසි සේත්ම කිව නොහැකිය.

ඒ නිසා ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ සඳහන් සෙසු ජාතිය දෙමළ ජනයා විය යුතුය. නමුත් මන්නාරමේ දෙමළ ජනතාව ජාතිවාදය පෙරට ගෙන කටයුතු කරන පිරිසක් නොවේ. එහෙත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ පිරිසක් වන්නේ කතෝලික දෙමළ ජනතාවය. මන්නාරමේ දෙමළ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් ධීවරයෝය. ආගමට අනුව දෙමළ කිතුනුබැතිමත්තුය. එපමණ ව්‍යසනයක් වී තිබියදීත් ඔවුහු පාඩුවේ ජීවත් වූහ.

දැන් මන්නාරමේ මුස්ලිම්වරුන්ට ජීවත් විය නොහැකිව ඉතා අසරණ වී සිටින්නේ යැයි කියන මැසිවිල්ල හා දුක් අඳෝනාව විමසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට පවා එහි යෑමට සිදු වී තිබේ. ඔවුහු එහි ගොස් මේ පිරිස් සමග සාකච්ඡා කොට යම් විසැඳුමක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටිති.

යාපනයේ මුස්ලිම් විරෝධතා

යාපනයේ මුස්ලිම්වරුන් පිරිසක් යාපනය මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී අයි.එස්.අයි.එස්.ත්‍රස්තවාදීන්ට එරෙහිව විරෝධතාවයක් දක්වන ලද්දේ පසුගිය සතියේදීය. ඊට පෙර මීගමුව හලාවත වැනි පළාත්වලද එවැනි විරෝධතා කීපයක් දක්නට ලැබිණි.

මුස්ලිම්වරුන්ගෙන් මේ විරෝධතා දක්නට ලැබුණේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් බොහෝ කාලයක් ඉකුත්ව යෑමෙන් පසුවය. එසේ සිදු වූ විරෝධතාවලද දක්නට ලැබුණේ ඉතා ඇල්මැරුණු හා උදාසීන තත්ත්වයකි.

ඇමරිකාව මුස්ලිම් රටවල් කීපයකට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සෑම මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටම ඇමරිකාවට එරෙහිව විශාල විරෝධතා පැවැත්විණි. නමුත් මේ අන්තවාදි මුස්ලිම් ප්‍රහාර හෙළා දකිමින් ලංකාව තුළ දැවැන්ත විරෝධතා මාලාවක් කරගෙන යෑමට මුස්ලිම්වරුන්ට මෙතෙක් නොහැකි වී තිබේ.

ඒ අනුව ලංකාවේ මුස්ලිම්වරුන් කාට හෝ බියෙන් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඒ බිය කාටදැයි නොකීම නිසා මේ රටේ මුස්ලිම්වරු සෙසු ජාතීන්ගේ උදහසට හා සැකයට ලක් වී සිටිති.

අදහස්