ඡන්ද දිනය තීරණය කරන්නෙ මම විතරක් නෙවෙයි | සිළුමිණ

ඡන්ද දිනය තීරණය කරන්නෙ මම විතරක් නෙවෙයි

ජනාධිපතිවරණය පවත්වන දින වකවානුව පිළිබඳ විවිධ මත තිබෙනවා. දිනය ගැන යම් තීරණයක් ගෙන තිබෙනවාද?

මේ වසරේ නොවැම්බර් මාසයේ 15 වැනිදා හා දෙසැම්බර් 7 වැනිදා අතර දිනයක මීළඟ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වෙනවා. ඒ දින දෙකද ඇතුළත්ව.

ඇයි මේ කාල පරාසයක් දක්වන්නේ? නිශ්චිත දිනයක් දැනුම් දීමට කොමිසමට හැකියාවක් නැත්ද?

ජනාධිපතිවරයා දිනයක් නියම කළොත් පුළුවන්. එසේත් නැත්නම් සැප්තැම්බර් අවසාන සතිය වන විට අප දිනය ප්‍රකාශ කරනවා. ඒ වන තුරු කොමිසම බලා සිටිනවා ජනාධිපතිවරයා දිනයක් දැනුම් දෙන තුරු.

ජනාධිපතිවරණය සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ හෝ වෙනත් දේශපාලන පක්ෂ නායකයන් සමඟ හෝ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවාද?

ජනාධිපතිවරණය සම්බන්ධවම නොවෙයි, ලබන 11 වැනිදා පස්වරුවේ දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක් පවත්වනවා. එහිදීී මැතිවරණ සම්බන්ධ කටයුතුවලට අමතරව ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය, ඡන්ද හිමියන් දැනුවත් කිරීම, මාධ්‍ය උපමාන, දේශපාලන පක්ෂවල ආචාරධර්ම හා අලුතින් යෝජනා කර ඇති නීති සංශෝධන ගැනත් සාකච්ඡා වෙනවා. අපේ වැඩි බලාපොරොත්තුවක් තිබෙන්නේ ජනාධිපතිවරණය ගැන නොවෙයි, පළාත් සභා මැතිවරණය ගැනයි.

එය මේ වසරේ පවත්වයිද?

පැවැත්විය යුතුයි, ජනාධිපතිතුමා, අගමැතිතුමා මෙන්ම කථානායකතුමාත් පොරොන්දු වෙලා තිබෙනවා පළාත් සභා ඡන්ද විමසීම ඉක්මනින්ම පවත්වන්න ඕනෑ කියලා.

මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාපයක් පිළිබඳ කතා වෙනවා. ජනතාවට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ ගැන පැහැදිලි කළොත්...

දෙවන මනාපයක් විතරක් නොවෙයි, තුන්වන මනාපයත් ජනාධිපතිවරණයකදී ගණන් කරන්න සිදු වන්න පුළුවන්. ජනාධිපතිවරණයකදී තමන්ගේ මනාපය පරිදි පළමුවන කැමැත්ත අංක 1 ලෙසත්, දෙවැනි කැමැත්ත අංක 2 ලෙස හා 3 වැනි කැමැත්ත අංක 3 ලෙසත් යෙදිය හැකියි. අපේක්ෂකයො 5 දෙනෙක් ඉදිරිපත් වූ අවස්ථාවක සම්පූර්ණ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් යම් අපේක්ෂකයකුට ලබාගන්න නොහැකි වුණොත් වැඩිම මනාප ලැබූ අපේක්ෂකයන් දෙදෙනා හැරෙන්නට අනෙක් තිදෙනාගේ ඡන්ද පත්‍රිකා පසෙකින් තබනවා. උදාහරණයක් හැටියට: යම් අපේක්ෂකයන් 5 දෙනකු අතුරින් එක් අයකු වලංගු ඡන්දවලින් 40%ක්, දෙවැන්නා 30%ක් හා අනෙක් අය පිළිවෙළින් 15%ක්, 10%ක් හා 5%ක් ලෙස ලැබූවායැයි සිතමු. එවිට පළමුවෙන් 15%ක් ලැබූ තැනැත්තාගේ දෙවන මනාපය කාටදැයි විමසා බලනවා. ඔහුගේ ඡන්දවල දෙවන මනාපය ලකුණු කර ඇත්තේ 40% ගත් අපේක්ෂකයාට නම් ඒ ඡන්ද ඔහුට හිමි වන අතර, ඒ දෙවන මනාපය ලකුණු කර ඇත්තේ 30% ගත් අපේක්ෂකයාටනම් ඒ මනාප ඔහුටයි හිමි වන්නේ. යම් විදිහකින් දෙවන මනාපය ලැබී ඇත්තේ 10% ගත් අපේක්ෂකයාට නම් එය නොසලකා තුන්වන මනාපය කාටදැයි විමසා බලනවා. ඒ තුන්වන මනාපය 40%ක් හෝ 30%ක් ලබාගත් අපේක්ෂකයාට නම් එය ඒ අපේක්ෂකයාගේ ගණනයට එකතු වනවා. එහෙත් අපේ රටේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ මනාප ලකුණු නොකර ඍජුවම තමන් කැමැති අපේක්ෂකයාට කතිරය ගැසීමටයි. එහිදී වුවද 40% හා 30% යන අගයන් දෙක එකතු කර එය 100% ලෙස සලකා එයින් 50%කට වැඩියෙන් ගත් තැනැත්තා තෝරාගනු ලබනවා. ඇත්තෙන්ම 50%ක් හා තවත් එක් ඡන්දයක් අවශ්‍යයි තෝරා පත් කරගැනීමට. යම් අයුරකින් ප්‍රතිඵල සමාන වුව හොත් කුසපත් ඇදීමෙන් ජනාධිපතිවරයා තෝරාගන්නවා.

එය සිදු කෙරෙන්නේ කෙසේද?

කොමිෂන් සභාවේ අභිමතය පරිදි සිදු කෙරෙන්නේ.

එහෙත් මීට පෙර එවැනි අයුරකින් තෝරා පත් කරගෙන නැහැ නේද?

නගර සභා, ප්‍රාදේශීය සභාවලදී සිදු කෙරුණා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදීත් සිදු කෙරුණා.

ජනාධිපතිවරණයකදී එවැනි කුසපත් ඇදීමක් සිදු කර නැහැ නේ..

තවම නැහැ. අපි 1982 සිට මේ වන විට ජනාධිපතිවරණ පවත්වා ඇත්තේ සුළු සංඛ්‍යාවක් නේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද?

ශ්‍රී ලංකා පුරවැසියෙක් විය යුතුයි. වයස අවුරුදු 35 සම්පූර්ණ වී තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබිය යුතුයි. එමෙන්ම නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඔහු දැනට මන්ත්‍රීවරයෙක් නම් හෝ කලින් මන්ත්‍රීවරයෙක්ව සිටි අයෙක් නම් හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීනව හෝ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකියි.

විවාහකයකු විය යුතු බවට නීතියක් නැත්ද?

ඒවා බොරු කතා. විවාහ වීම, සිංහල බෞද්ධ වීම වගේ ඒවා ව්‍යවස්ථාවේ නැහැ.

අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවිය හැකි බවට නීතියෙන්ම පනවා ඇති නිර්ණායක ගැන පැහැදිලි කළොත්...

ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකියි. දෙවරක් ජනාධිපති ධුරය දැරූ අයට නැවත ඉදිරිපත් විය නොහැකියි. සිහි විකල් අයකු ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කරනු ලැබූ අයකුටත් දෝෂාභියෝගයක් මඟින් ජනාධිපති පදවියෙන් පහ කරනු ලැබූ අයකුටත් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයකුටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි. එමෙන්ම මරණීය දණ්ඩනයට නියම වූ අයකුටත් ඉදිරිපත් වන්න බැහැ. පිළිගත් පක්ෂයක නම් 50,000ක ඇප මුදල් තැන්පත් කළ යුතුයි. ස්වාධීන අපේක්ෂකයකු නම් රුපියල් 75,000ක ඇප තැබිය යුතුයි. ඇප මුදල් වැඩි කරන්න කියලා අප ඉල්ලීමක් කිරීමටත් බලාපොරොත්තු වනවා.

නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ කිනම් හේතු මතද?

නාම යෝජනාවක් බාර ගැනීම එකක්; ප්‍රතික්ෂේප කිරීම තව එකක්. අහවල් සුදුසුකමට යටත්ව පිළිගන්නවාද, නැද්ද යන අනියමාර්ථ ප්‍රශ්නවලට කොමිෂන් සභාව පිළිතුරු දෙන්නේ නැහැ. අයදුම්පතක් ප්‍රතික්ෂේප වන්නේ එහි මූලික සුදුසුකම් නැති බව කොමිසම විසින් සලකා බැලීමෙන් පසුවයි. මැච් එකක් ගහනකොට එන්නේ ෆුල්ටෝස් පන්දුවක්ද නැත්නම් යෝකර් එකක්ද කියල කලින් දන්නෙ නැහැ නේ. එන විදිහටයි පහර දෙන්නේ. කලින් තීරණය කරන්නවත්, කියන්වත් බැහැ ඒ ගැන. ඒ වගේ තමයි අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමත්. අප මූලික කටයුතුවලට යටත්ව බාර ගන්නවා. දෙවනුව එය ප්‍රතික්ෂේප වන්න පුළුවන්.

මේ වසරේ පවත්වන මැතිවරණවලදී අලුතින් ඡන්දය ප්‍රකාශ කළ හැකි පුරවැසියන් සංඛ්‍යාව කොපමණද?

මේ වසරේ අලුතින් 231,229ක පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ පිරිසට අලුතින් එකතු වී ඇති ඡන්දදායකයන් පිරිස කොපමණද?

2015ට වඩා 2019 මැතිවරණයේදී අලුතින් ඡන්දදායකයන් 947,606ක් - ඒ කියන්නේ ලක්ෂ 10කට ආසන්න පිරිසකට- ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න අවස්ථාව සැලසී තිබෙනවා.

ජන අනුපාතය අනුව මේ වැඩි වීම පෙන්වා දිය හැකිද?

නැහැ. කොමිසම කිසි විටෙන ජන අනුපාතය අනුව ඡන්ද හිමි නාම ලේඛන සකසන්නේ නැහැ. ජාතිය ආගම කුලය දුප්පත් පොහොසත්කම් මේ කිසි දෙයක් ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ වන්නේ නැහැ. ජීවත් වන මිනිසාට අනිවාර්යෙන්ම සමානව උරුම වන්නේ ඡන්දය හා මරණයයි. අප එහිදී ඔහුගේ ඡන්දය වෙනුවෙන් කටයුතු කරනවා.

විදෙස්ගත වූවන්ට ඡන්දය දිය හැකි ක්‍රමවේදයක් තවම නැහැ නේද?

නැහැ. ඔවුන් ඡන්දය භාවිත කරනවා නම් ලංකාවට පැමිණිය යුතුමයි. අන්තර්ජාතික ක්‍රමවේදයක් තිබීම නම් වැදගත්.

ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන්කමක් තිබෙනවාද?

මොනම හේතුවකට වත් කල් දාන්න බැහැ, ඔන්න ලෝකෙ පෙරළෙනව වගේ තත්ත්වයක් ආවොත් ඉර නොපායා අද්භූත දෙයක් වගේ වුණොත් කල් දාන්න සිදු වේවි.

යම් අයුරකින් ඔබට බලපෑමක් ආවොත් කල් දාන්න කියලා?

කවුරු බලපෑම් කරන්නද? සැප්තැම්බර් මාසෙ අවසන් සතිය වන විට ජනාධිපතිවරයා දිනයක් ලබා නොදුන්නොත්, අනිවාර්යෙන්ම දිනය තීරණය කරනවා.

දිනය තීරණය කිරීමේදී ඔබ ගන්නා නිර්ණායක තිබෙනවාද?

මම නෙමෙයි දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම විසින්, මම එහි සභාපතිවරයා පමණයි.

නව ඡන්ද හිමි නාමලේඛන මේ වන විට ලබා දී තිබෙනවා, ඒ හරහා නව ඡන්ද දායකයන්ට මේ මැතිවරණයට ඡන්දය භාවිත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ නේද?

නැහැ, අපි තවම නාම ලේඛන ලබාගනිමින් පවතිනවානේ.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධව කොමිසමේ කාර්යභාරයේ යම් වෙනස්කමක් තිබෙනවාද?

ඔව්, ඉස්සර මැතිවරණ කොමසාරිස්වරයා මෙන් නොවෙයි, දැන් මෙහි තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා එකතු වෙලා තමයි යම් තීරණයක් ගන්නේ.

මැතිවරණ නීති උල්ලංඝනය වීම් සියලු මැතිවරණවලදී සිදු වනවා, ඉදිරි මැතිවරණවලදී ඒ සම්බන්ධව ගෙන ඇති අලුත් ක්‍රියාමාර්ග මොනවාද?

ඔබ හිතනවද දැන් දූෂණ සිදු වනවා කියා, මධ්‍යස්ථානවලදී නම් කොහෙත්ම නැහැ. එය ලෙහෙසි-පහසු කාර්යයක් නෙමෙයි. ගණන් කිරීමේ මධ්‍යස්ථානවල වුණත් නිරීක්ෂණ නියෝජිතයන් ඉන්නවා නේ? ඔවුන් ඒ ගණන් කිරීම පිළිබඳ සහතිකයක් පවා ලබා දෙනවා.

ප්‍රතිඵල සම්බන්ධව 'කොම්පියුටර් ජිල්මාට්' ඇති නොවන බවට අපේක්ෂකයාට දිය හැකි සහතිකය, නැත් නම් ප්‍රායෝගිකව එසේ නොවන බවට දිය හැකි සහතිකය කුමක්ද?

කොම්පියුටර් ජිල්මාට් වෙන්න කිසිම විදිහක් නැහැ. යම් අත්වැරදීම් සුළු වශයෙන් වෙන්න පුළුවන්. එහෙත් ඒ තත්ත්වයන් පවා වළක්වන්න අප කටයුතු කරමින් ඉන්නෙ. සමහරු කියනවා අපි ඡන්ද මැෂින් කියලා, ඇතැම් විට පවසනවා අනෙක් පක්ෂයේ අය හොර ඡන්දවලින් ආවා කියලා, මම අහනව ඕව කියන අයත් ඇවිත් පත් වෙලා ඉන්නෙ ඒ විදිහට හොර ඡන්දවලින්ද කියලා. එවිට කතා නැහැ. ඒත් කවදාවත් ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත් විපක්ෂනායකතුමාවත් ඒ වගේ කතා කියලා නැහැ. ඒ ගැන මම සිහිපත් කරනවා.

මෙවර මැතිවරණයේදී නිරීක්ෂක සහාය ලබාගැනීමට අදහස් කරන්නේ කෙසේද?

විදේශීය නිරීක්ෂක සහාය අවශ්‍ය නැහැ. ඒත් දේශපාලන පක්ෂ කුමන තීරණයක් ඒ සම්බන්ධයෙන් ගනියිද කියන්න අපි දන්නේ නැහැ. එහෙත් ලංකාවේ නිරීක්ෂණ කණ්ඩායම්වල සහාය ලබාගන්න අපි අපේක්ෂා කරනවා. අවශ්‍ය නම් ආසන්න රටවල අයට මැතිවරණය නරඹා යන්න පුළුවන්.

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධව අධිකරණයේ සහාය පතා තිබෙනවා. කොමිසම ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් තිබෙනවාද?

පළාත් සභා මැතිවරණය පවත්වන්න කොමිසම වශයෙන් අපට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. නඩු දැමීම අපට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අවශ්‍ය අයට නඩු දාන්න කියල අපි 2018 අවුරුද්දේ අගෝස්තුවල කිව්වෙ. ඒ අය නඩු දැම්මෙ මේ අවුරුද්දෙ මාර්තුවල. ගිය අවුරුද්දෙ නඩු දැම්ම නම් මෙලහකට ඡන්දෙ තියලත් ඉවරයි. කොහොමත් පළාත් සභා ඡන්දය ඔක්තෝබර්වල පවත්වන්න බැරි වුණොත් මම මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා. මම ඒ බව කලින්ම කියා තිබෙනවා.

ඔබ ඉල්ලා අස් වූ පමණින් මේ ගැටලුවට විසඳුමක් ලැබේවියැයි සිතනවාද?

ජනතාවගේ මතයක් තියෙනවනේ පළාත් සභා මැතිවරණය කල් යෑමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වගකියන්න ඕනෑ කියලා. ඒ නිසා මම සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා. ඒත් කොමිසමේ සාමාජිකයකු ලෙස ඉන්නවා.

මේ දිනවල නව ඡන්ද හිමි නාම ලේඛන ලබා දී තිබෙනවා, ඒ සමඟ වයස අවුරුදු 15ට වැඩි අයට අයදුම්පතක් හා ඡන්ද හිමියන්ගේ ආදායම්, යාන-වාහන ආදි තොරතුරු ඇතුළත් නව අයදුම්පතකුත් ලබා දී තිබෙනවා, එහි අරමුණ කුමක්ද?

අප කිසිම අයදුම්පතක් එසේ ලබා දී නැහැ. ඡන්ද හිමි නාම ලේඛනයත්, වයස අවුරුදු 15ත්-17ත් අතර අයට පිරවීමට තවත් අයදුම්පතක් වශයෙන් දෙකක් පමණයි ලබා දුන්නේ. එවැනි ජනතා වත්කම්, යාන-වාහන, ඉඩ-කඩම් ගැන විමසනවා නම් ඒක නීති විරෝධියි. ඇතැම් විට එවැනි අයැදුම්පතක් ග්‍රාම නිලධාරීන්ගේ පහසුව පිණිස ලබා දුන්නා වන්න පුළුවන්. එහෙත් ඡන්ද හිමි නාම ලේඛන සමඟ එවැනි දේ දීම කිසි සේත්ම නොකළ යුතුයි. අඩුම වශයෙන් ආරක්ෂක තොරතුරු හෝ ඡන්ද හිමි නාම ලේඛනය සමඟ ලබා නොගත යුතුයි. ඒවා ඡන්ද හිමි නාම ලේඛන බෙදා දෙන අවස්ථාවේ බෙදා දීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. එහෙත් ඒ වෙනස පෙන්වා, ඒවා දිය යුතුයි.

එපමණක් නොවේ; මීට පෙර අවස්ථාවල අරමුදල් තර කිරීම පිණිස කොඩි අලෙවිය, එහෙමත් නැත් නම් ආධාර එකතු කිරීම් සිදු කළ අවස්ථා තිබෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධි ක්‍රියා.

යම් කිසි විධියකින් ජනාධිපතිවරණයයි, පළාත් සභා ඡන්දයයි දෙකම එකම කාලසීමාවක පවත්වන්න වුණොත් කරන්න පුළුවන්ද?

ඇයි බැරි? අපට දවස් 7ක් වගේ කාලපරාසයක් තිබුණාම හොඳටම ඇති. මැතිවරණ දෙපාර්තමේන්තුව 1983 වසරේ මැයි 18 වැනිදා පාණදුර, කළුතර, අම්බලන්ගොඩ හා තංගල්ල අතුරු මැතිවරණය පැවැත්වූවා. ඒ හතරේම නගර සභා ඡන්ද විමසීමත් ඊට දින දෙකකට පස්සේ ඒ කියන්නේ මැයි 20 වැනිදා තිබ්බා.

එහෙත් දිවයින පුරා පවත්වන ජනාධිපතිවරණය වගේම පළාත් සභා මැතිවරණයකදී තත්ත්වය ඊට වඩා බරපතළයි නේද?

මැතිවරණයකදී ලොකු පොඩි කියල වෙනසක් නැහැ. ඒක හරියට සර්පයා ලොකු වුණා පොඩි වුණා කියල විස අඩු වෙන්නෙ නැහැ වගේ තමයි. ඡන්දෙකට ගත යුතු ක්‍රියාමාර්ග ලොකු වුණත් පොඩි වුණත් එකම තමයි. අපේ වගකීම එයින් අඩු වන්නේ නැහැ.

ඔබගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මේ වසරේ මැතිවරණ දෙකක් එන බවයි...

දෙකක් නෙමෙයි මැතිවරණ තුනක් පවත්වන්න අපි බලාපොරොත්තු වනවා. ප්‍රධාන මැතිවරණ දෙකට අමතරව ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයත් පැවැත්විය යුතු වනවා. අපි සූදානමින් ඉන්නෙ.

මේ පළාත් සභා ඡන්ද ප්‍රමාදය ගැන ඍජුවම වගකිව යුත්තේ කවුරුද?

එක් එක් අය තනි තනිව මෙන්ම දේශපාලන පක්ෂ ලෙසත් වගකිව යුතුයි.

කොමිසම පළාත් සභා ඡන්දය අමතක කරලා වගේ දැන් ජනාධිපතිවරණය කරළියට ඇවිත්. පක්ෂවලටත් ඒ වගේමයි...

පළාත් සභා ඡන්දය පවත්වන්න මැතිවරණ කොට්ඨාස ගැන පැහැදිලි නිර්ණායකයක් තිබිය යුතුයි. ඒ සීමා නිර්ණය නැහැ. සීමා නිර්ණ පනත දැන් අක්‍රිය වෙලා තිබෙන්නෙ. සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට ගැසට් කරන්න බැහැ, තවම වාර්තාව බාර නොදීපු නිසා. එනිසා අක්‍රිය ක්‍රමය අත්හැරදාලා, දැන් තියෙන්නේ අධිකරණය හරහා පැරැණි ක්‍රමයට ඡන්දය පවත්වන්න පියවර ගැනීමයි.

පළාත් සභා 8කම දැන් මැතිවරණ පැවැත්විය යුතු කාලය ඇවිත්. පක්ෂවලටත් ගානක් නැහැ වගේ... ඔවුන්ට මේ සම්බන්ධව අධිකරණයට යා නොහැකිද?

දැන් අධිකරණයට ගිහින්නෙ තිබෙන්නේ... මේ වන විට ඒ සම්බන්ධව නඩු 6ක් විතර තිබෙනවා. ඊට අමතරව ජනාධිපතිවරයාට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්නත් බලාපොරොත්තු වන බව යම් නිරීක්ෂණ කණ්ඩායමක් ඉඟි කර තිබෙනවා.

සේයාරුව - දුෂ්මන්ත මායාදුන්න

Comments