අප මේ පසු කරමින් ඉන්නේ ඉතා සංවේදී කාලයක් | සිළුමිණ

අප මේ පසු කරමින් ඉන්නේ ඉතා සංවේදී කාලයක්

මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම ඔබ පක්ෂය දකින්නේ කෙසේද?

පසුගිය කාලය පුරා සමස්ත මුස්ලිම් ප්‍රජාවටම එරෙහි ප්‍රහාරයක් ක්‍රමානුකූලව ඇති වෙමින් ආවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සිටින මුස්ලිම් නියෝජිතයන් එළවාදැමීමෙන් සිදු වන්නේ ඉස්ලාම් අන්තවාදයට පාර කැපීමක් කියලා අප අනතුරු ඇඟවූවා. මෙවැනිම සිදුවීමක් 1983දී පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීන් එළවාදැමීමෙන් පසුවත් ඇති වුණා. එයින් පසුව දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවට පත් වුණ් එල්ටීටීඊයයි. මේ අත්දැකීම හරහා පාඩමක් ඉගෙනගන්නේ නැතිව දිගින් දිගටම මුස්ලිම් ජනතාවට පහර දුන්නා. මේ ක්‍රියාදාමයේ පසුපස ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ජාතිවාදය හරහා බලයට එන්න දඟලන අයයි. ඇතැම් විට තම සේවා දිගුව හදාගන්න උත්සාහ ගන්නා රජයේ සේවකයන් පටු අරමුණුවලට යෑමට දැරූ උත්සාහයේ ප්‍රතිඵල තමයි මේ අත්විඳින්නේ. මේ තත්ත්වයට ඒ දේශපාලකයන් වගේම ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා භාවිත කළ ඇතැම් අයත් වගකිව යුතුයි.

එහෙත් චෝදනා එල්ල වූ කිහිප දෙනා වෙනුවෙන් සියලු දෙනා ඉවත් වීම ගැටලුවක් නේද?

මේ අවස්ථාවේ ඔවුන් කණ්ඩායමක් ලෙස ඉවත් වීම වැරදියි. ඒ නිසා ජනතාව අතර අවිශ්වාසය සැකය තවත් වැඩි වන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ ඒ ඉවත් වීමට බලපෑවේ චෝදනා එල්ල වූ අය ආරක්ෂා වීමට වඩා සමස්ත මුස්ලිම් ජනතාවට එල්ල වුණු පීඩනය ලෙසයි මා දකින්නේ. සිදුවීමට සම්බන්ධ හා සැක කටයුතු පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින අතරතුර තමයි මේ ප්‍රහාර එල්ල වන්න පටන් ගත්තේ. ඇතැම් තැන්වල ශාරීරික ප්‍රහාර වගේම සමහර වෙලාවට මානසික ප්‍රහාරයක් බවටත් එය පත් වුණා. ඇතැම් වෙලාවට මුස්ලිම් ජනතාව බස් එකට නග්ගගත්තෙ නැහැ, ත්‍රිරෝද රථයට නංවාගත්තෙ නැහැ. වෙළෙඳසලකට ඇතුළු වන්න ඉඩ දුන්නෙ නැහැ. ඇතැම් මාධ්‍ය පවා 'ඇයි මුස්ලිම් ජනතාවට පහර දෙන්නේ නැත්තේ?' යන්න අර්ථ ගැන්වෙන පරිදි මාධ්‍ය හැසිරවූවා. මේ සියල්ල විසින් ඇති කරපු පීඩනය තමයි මේ පුපුරා ගියේ.

විපක්ෂයේ ඇතැම් දේශපාලකයන් සහරාන්ගේ සහෝදරයන් වගේ කියලා බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා තිබුණා. කාවද ඉලක්ක කළේ?

21 වැනිදා ප්‍රහාරයෙන් සහරාන් කළාට වැඩි දෙයක් වයඹ පළාතේ ප්‍රහාරවලින් සිදු වුණා. ඒ ඔස්සේ ශ්‍රී ලංකාව සුළු ජන කොටස්වලට ජීවත් වන්න බැරි රටක් කියලා ලෝකයට පෙන්නුම් කෙරුණා. මීට පෙර දෙමළ ජනතාවටත් එවන් තත්ත්වයක් උදා වුණු බව අන්තර්ජාතික ප්‍රජාව හමුවට ගියා. ඒ නිසයි මේ පටු අන්තවාදීන්ගේ ක්‍රියා සහරාන්ගේ නිවුන් සහෝදරයන් කරන වැඩ වගේ පේන්නෙ.

මුදල් ඇමැතිවරයාට පන්සල්වලට එන්න එපා කීම, ඔහු සහභාගි වන උත්සව වර්ජනය කිරීම බුදු දහමට එකඟද? එය සාධාරණයැයි ඔබ සිතනවාද?

අප මේ පසු කරමින් ඉන්නේ ඉතා සංවේදි කාලයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් මෙන්ම මෙන්ම බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමිකයන් මේ අවස්ථාවේ සමාජයේ දිවි ගෙවන්නේ යම් කිසි ආතතියකින්. ඒ නිසා යම් සුළු සිදුවීමක් පවා දරුණු ලෙස පුපුරා යන්න පුළුවන්. උදාහරණයක් ලෙස: ඇඟේ හැපීමක්, එසේත් නැත් නම් හදිසි අනතුරක්, නැත් නම් තවත් අයකු දෙස බැලීමක් පවා ජාතිවාදි අන්තවාදි ගැටුමක් දක්වා දුර දිග යන්න පුළුවන්. ඒ නිසා කොතරම් සත්‍ය කරුණක් වුවත් ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කරන්න පෙර දෙවරක් සිතා බැලිය යුතු වනවා. මුදල් ඇමැතිවරයාගේ ඇතැම් ප්‍රකාශ අඬන්න ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වන්න පුළුවන්. එයින් ජනතාව තුළ ආවේගයක් ඇති විය හැකියි. එයින් අන්තවාදීන්ට තම ජාතිවාදි මතවාද පතුරුවන්න ඉඩ-කඩ නිර්මාණය වනවා.

අතුරලියේ රතන හිමිගේ උපවාසය සම්බන්ධව ඔබේ පක්ෂයේ මතය කුමක්ද?

මහනායක හා අනුනායක හිමිවරුන් උන් වහන්සේගේ උපවාසයත් සමග නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනය මීට දින කිහිපයකට කලින් නිකුත් කළා නම් වඩාත් වටිනවා. සැලකිල්ලට ගත යුතු වටිනා කරුණු රැසක් උන් වහන්සේ ඉදිරිපත් කර තිබෙනවා; රතන හිමිගේ ක්‍රියාවේ ප්‍රතිඵලය විචක්ෂණශීලිව ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන ඉන් එහාට කතා කිරීම සුදුසුයැයි මා සිතන්නේ නැහැ.

හෝමාගම රෝහලේ වෛද්‍යවරියක බුර්කා තහනමට විරෝධය පා රැකියාවෙන් ඉවත් වන්න තීරණය කර තිබෙනවා...

සංස්කෘතිය කියන්නෙ එක තැන පල් විය යුතු දෙයක් නෙමෙයි. එය කාලයත් සමග වෙනස් විය යුතුයි. ලෝකයේ කිසිම සංස්කෘතියක් එක තැන තිබී නැහැ. ඒ නිසා ලෝකයේ යම් භූගෝලීය කලාපයක ඇති වුණු යම් සංස්කෘතික ලක්ෂණයක් දිගටම පවත්වාගෙන යා යුතුයි කියා නියමයක් නැහැ. එක් ජන වර්ගයක සිරිතක් නිසා අනෙක් ජාතීන්ට සැකයක් ගැටලුවක් නිර්මාණය වනවා නම් ඒ සංස්කෘතික ලක්ෂණ වෙනස් කිරීමට කටයුතු කළ යුතුයි. මෙරට අරාබිකරණයට පත් වීම කිසි සේත් අනුමත කරන්න බැහැ.

20 වන සංශෝධනය ක්‍රියාත්මක නොවන බවක් නේද දැන් පෙනෙන්න තිබෙන්නේ...

20 වන සංශෝධනය ක්‍රියාත්මක කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි පක්ෂයක් ලෙස අප කටයුතු කළේ. පාර්ලිමේන්තුවේ 3න් 2ක බලය ලබාගෙන එය සම්මත කරන්න අප කටයුතු කළත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනවරම ලබාගත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඒ ජනවරමට පයින් ගසා කටයුතු කළ නිසා එය රටට අහිමි වූවා.

ජනාධිපති අපේක්ෂකයා මේ වන වට ප්‍රකාශ කරන බව කිවුවත් තවම ඒ ගැන කිසිදු ප්‍රකාශයක් ඔබ පක්ෂයෙන් දැනගන්නට නැහැ...

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත් සමඟ සියල්ලට වඩා ජාතික ආරක්ෂාවට මුල් තැන දී කටයුතු කරන්න සිදු වුණා. ඒ නිසා අපටත් බොහෝ දේශපාලන කටයුතු කල් දමන්න සිදු වුණා. කෙසේ වෙතත් ලබන මස අවසන් වන විට අපේ පක්ෂය වටා එකතු වන විවිධ ප්‍රගතිශීලි බලවේග සම්බන්ධව රටටම දැනගන්න ලැබේවි.

අදහස්