අප ඉල්ලා අස් වුණේ එල්ල වන චෝදනාවලට සාධාරණව මුහුණ දීමටයි | සිළුමිණ

අප ඉල්ලා අස් වුණේ එල්ල වන චෝදනාවලට සාධාරණව මුහුණ දීමටයි

ඉස්ලාම් අන්තවාදීන්ට සහාය දක්වන බවට රජයට සම්බන්ධ මුස්ලිම් දේශපාලනඥයන් තිදෙනකුට පමණක් චෝදනා එල්ල වද්දී ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස් වුණේ ඇයි?

මේක හරියට තේරුම් ගන්න ඕනෑ. මේ ප්‍රශ්නය නිසා සමස්ත මුස්ලිම් ජනතාව දිනෙන් දිනම භීතියට පත් වෙමිනුයි හිටියේ. එක එක දවසට එක එක්කෙනා වෛරය, ක්‍රෝධය ඇවිස්සෙන ප්‍රකාශ කළා. සෝදිසි මෙහෙයුම්වලින් පස්සේ මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් ආරක්ෂක අංශ මඟින් රඳවාගෙන ඉන්නවා. ඒ නිසා ඉස්ලාම් ආගමිකයන්ට ඉතා වැදගත් සමයක් වන රාමසාන් මාසය තුළ අපේ ජනතාවගෙන් පිරිසක් ගත ‍කළේ සිරගෙවල්වල. අනෙක් අතට මිනුවන්ගොඩදී අපේ අයට ගහන්න කඩු උස්සගෙන ආපු අය දවස් දෙකෙන් එළියට දැම්මා. නීතිය අපට සාධාරණව සිදු වූවාද කියන-එක ගැන අපට සැකයි. මේ ගැන අප විටින් විට අගමැතිවරයා දැනුවත් කළා. ඒත් මේ ප්‍රශ්නය තවම විසඳිලා නෑ. එල්ල වන චෝදනාවලට සාධාරණව මුහුණ දීමටයි අප ඉල්ලා අස් වුණේ.

මුස්ලිම් ඇමැතිවරුන් ආණ්ඩුවේ ඇමැතිධුරවලින් ඉවත් වීම සංවේගයට කරුණක් බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසා තිබෙනවා. උන් වහන්සේ ඉල්ලා සිටින්නේ යළි ඇමැතිධුර බාරගෙන රටට වැඩ කරන ලෙසයි...

උන් වහන්සේලා එවැනි ඉල්ලීමක් කිරීම පිළිබඳ මා සතුටු වනවා. මා මුස්ලිම් ජාතිකයකු වුණාට මටත් මගේ මාමා වන ඒසීඑස් හමීඩ් මහතාටත් පාර්ලිමේන්තුවට යන්න ඡන්දේ දුන්නේ මුස්ලිම් ජනතාව පමණක් නොවේ. සිංහල බෞද්ධ ජනතාවත් අපට විශාල ලෙස ඡන්ද දී තිබෙනවා. හමීඩ් ඇමැතිතුමා වගේම මාත් මැතිවරණවලදී අපරාජිතව සිටින්නේ ඒ නිසයි. ඡන්දයකින් ජය ගත් පසු අපත් ආශීර්වාද ගැනීමට මහනාහිමිවරුන් බැහැදකිනවා. හැබැයි මේ ප්‍රශ්නය ටිකක් බරපතළයි. මුස්ලිම් ජනතාව කිසිදු හේතුවක් නැතිව අත්අඩංගුවට ගැනීම අපට විඳදරාගන්න අමාරුයි. මේ පිළිබඳ නිකම් හිටියොත් මුස්ලිම් සමාජය අප ප්‍රතික්ෂේප කරාවි. ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු නිසයි මෙවැනි පියවරක් ගත්තේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුත් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට අප ගරු කරන අතරම ස්තුතිය පිරිනමනවා.

මුස්ලිම් ඇමැතිවරුන් තවම ඉල්ලා අස්වීමේ ලිපි භාර දී නැති බවටත් වාර්තා පළ වනවා නේද?

එතැන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. අප හැමෝම එකතු වෙලා සාකච්ඡා කරලා තමයි ඇමැතිධුරවලින් අස් වෙන්න තීරණය කළේ. අප ලියුමක් හදලා ඒ ලියුමේ හැමෝම අත්සන් කරලා අගමැතිවරයට බාර දුන්නා. එත් අගමැතිවරයා පසුව කීවා එක ලියුමකට හැමෝම අත්සන් කරලා ඉල්ලා අස්වෙන්න බෑ, එක එක්කෙනා වෙන වෙනම ලිපි ඉදිරිපත් කරන්න කියලා. ඒක දැන් අපි කරනවා.

මේ ඉල්ලා අස් වීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බලපාන්නේ කොහොමද?

අප පසු පෙළ මන්ත්‍රීන් ලෙස සිට ආණ්ඩුවට සහාය දෙනවා.

මද්‍රාසා පාසල් නියාමනයට ඔබ අමාත්‍යාංශයෙන් යම් වැඩ පිළිවෙළක් සකසා තිබෙනවාද?

මද්‍රාසා කියන්නේ දහම් පාසල් වගේ ආගම උගන්වන ආයතනවලටයි. උසස් මට්ටමේ මද්‍රාසා පාසල් 317ක් පමණයි තිබෙන්නේ. මේවායේ පාලනයක් අපට කිසිදා තිබුණේ නෑ.

මේකට පනතක් ගෙනත් නීතියට අනුකූලව සිදු කළ යුතු බව මේ ප්‍රහාර එල්ල වෙන්න කල් තියාම අප කල්පනා කළා. ප්‍රහාරයෙන් පසුව මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් හදලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. පසුව ජනාධිපතිවරයා කීවා තවත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පුළුල්ව ඉදිරිපත් කරන්න කියලා. පස්සේ මේ ගැන නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරන්න කීවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට පත් කරන්න කියලා. අප ඊට කැමතියි.

වත්මන් ගැටලුවට යෝජනාවක් තමයි ජාති අනුව, ආගම් අනුව පාසල් වර්ග නොකර සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට පොදු එක පාසලක අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන අදහස...

මමත් ඒ මතය දරන කෙනෙක්. මිශ්‍රපාසලක ඉගෙනගැනීම ඉතා හොඳයි. මටත් ගොඩක් සිංහල යාළුවෝ ඉන්නවා. පුංචි කාලෙම අප ආගම් අනුව ළමයි වෙනස් කළාම ලොකු වෙනකොටත් ඒ අදහස්වල එල්බගෙන සිටිනවා. මුස්ලිම් අයත්, දෙමළ අයත් සිංහලෙන් ඉගෙන ගන්න කැමැති වුණත් ඊට අවස්ථාවක් නෑ. මුස්ලිම් අයට සිංහල පාසල්වල ඉගෙනගන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ අවස්ථාව වැඩි කළොත් හොඳයි.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ සංහිඳියාව වෙනුවෙන් ඔබේ යෝජනාව කුමක්ද?

මුස්ලිම් අය ගැන මං කියන්නම්. මගේ අත්දැකීම් අනුව මේ ප්‍රශ්නය ඇති වෙන්නත් කලින් මුස්ලිම් ජනතාව ගැන සැකයක් තිබුණා. අපේ පල්ලිවලට වෙනත් ආගමික අයට ඇතුළු වන්න පරිසරයක් නෑ. ඒවා වෙනස් කළ යුතුයි. අපේ පල්ලිවල දේශනා සිංහල භාෂාවෙන් පවත්වන්න, ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා වඩම්මලා, උන් වහන්සේලාටත් ඇසෙන පරිදි දේශනා පවත්වන්න කටයුතු කළ යුතුයි.

වෙනත් ජාතීන්ට අප උදවු කළ යුතුයි. කුරුණෑගල සිදු වූ ප්‍රහාර බලන්න මං ගියා. ගම්වල බීමට වතුර නැති නිසා අපේ පල්ලිවලින් තමයි ඒ සිංහල ගම්වලට බීමට වතුර දී තිබෙන්නේ. හැබැයි පසුගිය දිනවල සිද්ධීන්වලදී මේ සිංහල ගම්වල අයම තමයි පල්ලියට පහර දෙන්න ඇවිත් තිබෙන්නේ!

පල්ලිවල කඩු තියාගත්තේ සොහොන් පිටි සුද්ධ කරන්න කියා ඔබ කීවා. ඒ මතයේ තාමත් ඉන්නවාද?

එදා මාධ්‍ය සාකච්ඡාවට විශාල පිරිසක් ඇවිත් හිටියා. ඉතා උණුසුම් තත්ත්වයක් තිබුණේ. මං කිව්වේ සාමාන්‍යයෙන් පල්ලිය වටේම තියෙන්නේ සුසාන භූමි සමහරවිට මරණයක් වුණාම සුසානභූමිය සුද්ධ කරන්න කඩු පාවිච්චි කරනවා කියලා. 'කඩු' කියන ප්‍රශ්නය අහන කොට මගේ හිතට ආවේ අර 'කැත්ත' කියන-එක. ඒක තමයි මාධ්‍යයෙන් ලොකුවට දැම්මේ. සොහොන් පිටි සුද්ධ කරන්න අපි කැති පාවිච්චි කරනවා.

Comments