අනුන්ගේ න්‍යාය පත්‍රවලට උඩගෙඩි දීම මේ වේලාවෙ නොකළ යුතුයි | සිළුමිණ

අනුන්ගේ න්‍යාය පත්‍රවලට උඩගෙඩි දීම මේ වේලාවෙ නොකළ යුතුයි

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ තත්ත්වය හා රට ඉදිරියට ඇති අභියෝග පිළිබඳ බොදු බල සේනා සංවිධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කළ සාකච්ඡාවකි‍.

පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම ජනතාව තුළ ඇති කළ භීතිය ජාතික සමඟියට, රටේ ආරක්ෂාවට ගොනු කරගැනීමට තිබූ සියලු අවස්ථා මඟ හැරී තිබෙනවා. එනිසා ඉතාම අවදානම්කාරී තත්ත්වයකයි රට තිබෙන්නේ.

මේ උන්මන්තක අන්තවාදයට මේ රටේ සියලු මුස්ලිම් ප්‍රජාව වගකිව යුතුද?

මේ ‍ම්ලේච්ඡ ත්‍රස්තවාදය ගැන දකුණේ, උතුරේ, නැඟෙනහිර මුළුමහත් රටේම ජීවත්වන සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව නොදන්නා බව සහතිකව කිව හැකියි. වහබ්වාදය, ඉව්හාන් මුස්ලිම් කියන්නේ මොකක්ද කියලවත් ඒ මිනිස්සු දන්නේ නැහැ. අපි කරන මේ හෙළිදරව් කිරීම් නිසා සිංහල මිනිස්සු වගේ ම මුස්ලිම් මිනිස්සුත් නොසන්සුන්තාවට පත්වෙලයි ඉන්නේ.

අපේ හිත්වල තිබුණු නැති, අපි කවදාවත් හිතපු නැති දේවල්නේ මේ හාමුදුරුවෝ කියන්නේ. මේ දේවල් ඇත්තද? කියලා සැකයකින් ඔවුන් බලන්නේ. ඔවුන් වහබ්වාදයට, සල්ෆිවාදයට, ඉව්හාන් මුස්ලිම් වැනි, අල්සබාබ් වැනි ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධ බව අපට පේනවා. එහෙම ඒ අය විරුද්ධ වුණත් ඒ බව ඔවුන්ට සමාජය ඉදිරියට ඇවිත් ප්‍රකාශ කරන්න මේ වහබ්වාදී මාෆියාව ඉඩ දෙන්නේ නැහැ.

ඔබ වහන්සේ ඒ කාලේ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කළේ නැද්ද?

බොහෝම වැදගත් ශීලාචාර විදියට අපි ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියල ඇරියා. 2014 දී දෙන්නෙක් එකතුවෙලා සහරාන් මේ රටින් පිට කරන්න යන බව හිටපු ආණ්ඩුවේ නායකයට, ආරක්ෂක ලේකම්ට, ආරක්ෂක අංශවලට කිව්වා. අද ජාතික ආරක්ෂාව ගැන කතා කරන උදවිය ඒ ගැන එදා කනකට ගත්තේ නැහැ.

අද මේ තත්ත්වය දඩමීමා කරගෙන කවුරු හරි දේශපාලන වාසි හොයනවා නම් මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ.

අපි ඒකට මොනවද කරන්න ඕන?

මුලින් ම අපි මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕන. මේක ඒ අයගේ දෘෂ්ටිවාදය (Ideology) පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේ ම ආගමික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න පැන නැඟුණාම මුස්ලිම් ආගමික සංස්ථාව තුළ ඊට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගත්තද කියන බරපතළ ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අද මේ රටේ බහුතරයක් වුණු සිංහල බෞද්ධ ජනතාව පිළිබඳ වාද කරන අයට කියන්න ඕන, මහා සංස්කෘතියකට උරුමකම් කියන අපි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණු, බෞද්ධ ශිෂ්ටාචාරය මත ගොඩනැඟුණු ඓතිහාසික ජනවර්ගයක්. අපි ජාතියක් විදියට මේ තරම් දුර ආවේ බුද්ධ වචනය ආරක්ෂා කළ නිසයි.

ඒකට විධිමත් කතිකාවක් ඇති වෙන්න ඕන නේද?

ඒකට මේ වෙන තුරු ඉඩක් හදලා තියෙනවද? නැහැ. මේ වගේ ම තත්ත්වයක් 1848 දීත් ඇති වුණා. 1815 දී සුද්දෝ අපිව යටත් කරගත්තා. ඒකට එරෙහිව කැරැල්ලක් ඌව වෙල්ලස්සෙන් 1818 වෙද්දී ආරම්භ වුණා. එදත් ඒ සටනෙදි මේ රටේ යමක් කමක් කළ හැකි සිංහල තරුණයෝ බොහෝ දෙනෙක් ඝාතනය වුණා. ඊට පස්සේ මේ ජාතිය දුර්වල වුණා. මිෂනාරි බලය මුළු රට පුරාම පැතිර තිබුණා. ඒ වගේ මොහොතක තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඉදිරියට ආවේ.

මේක යුද්ධ කරලා ගැටුම් ඇති කරගෙන විසඳගන්න බැහැ කියල ‍උන්වහන්සේ කල්පනා කළා. මෙය කළ හැක්කේ ආධ්‍යාත්මික දෘෂ්ටිවාදී සටනකින් පමණක් බව ‍උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ අනුව පංච මහාවාද පවත්වල මිථ්‍යා දෘෂ්ටියේ තිබෙන වරද ලේ හලන්නේ නැතිව පෙන්වල දුන්නා. අදත් අපි මේ කතා කරන්නේ උන්වහන්සේ දැමූ පදනම උඩ ඉඳලයි. අදත් අපි කරන්න ඕන ඒ දේමයි.

හාමුදුරුවන්ට කරන්න බැරි දේවල් ටිකක් දේශපාලනඥයන්ගේ පැත්තෙන් කරන්න තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නව නීති පනවන්න ඕන. තියෙන නීති වෙනස් කරන්න ඕන. අරාබි සංස්කෘතියක් මේ රටට ඕනද? නැද්ද? කියලා දේශපාලන නායකයන් අතර සාකච්ඡා ඇතිවෙන්න ඕන. නමුත් අපි කලින් කියපු දෘෂ්ටිවාදය සකස් කිරීම පිළිබඳ 75% වගකීම තියෙන්නේ භික්ෂුන් වහන්සේටයි. මේ තියෙන්නේ කුරානය පිළිබඳ ප්‍රශ්නයක් නම් බෞද්ධාගමේ විග්‍රහයන්ට අනුව අපට එය සාකච්ඡා කළ හැකියි.

සහරාන්ලා පුපුරවාගෙන මැරිච්ච එක ගැන පසුතැවීමෙන් ඵලක් නැහැ. ඒක මහා විපත්තියක්. ඊට බලපෑ හේතුව හොයලා ඒ හේතුව නැති කළොත් මුස්ලිම් ජනයාගෙන්, පොදු මහජනයාගෙන්, රටෙත් යහපතක් බවට ඒ විපත පත් කරගන්න අපට පුළුවන්.

නමුත් අපට පේනවා විවිධ අන්තවාදී කොටස් හිස ඔසවන්න උත්සාහ කරනවා.

සහරාන්ගේ බෝම්බ පුපුරවා ගැනීමට කැකිරාවේ මාළු අල්ලපු මුස්ලිම් තාත්තා පළි ද? තංගල්ලේ මුහුදු යන මුස්ලිම් ධීවරයින් පළිද? කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මනි බඩු විකුණන, හන්දිවල කඩල, වඩේ විකුණන, බෝතල් පත්තර යකඩ බඩු එකතු කරන මුස්ලිම් මිනිහා පළිද? මේ අයට ද අපි හිරිහැර කරන්න යන්නේ. කරුණාකරලා ඒ අපරා‍ධය නම් කරන්න එපා.

ඒ අහිංසක දරු පැටව් මත්‍රප්පන්නයේ මද්‍රසාවල හිර කරලා. කළු, සුදු, නිල්, දුඹුරු ලෝගුවල හිර කරලා.‍ හැමෝම එක්කම සම්බන්ධතාව ගොඩනඟන හිනාව නිකාබයෙන්, බුර්කාවෙන්, හිජාබයෙන් වහලා මොන අපරාධයක් ද මේ කරන්නේ. මේ තත්ත්වය අප දෘෂ්ටිවාදීව පරාජය කළ යුතුයි. ඒ සඳහා මධ්‍යස්ථව සිතන ආධ්‍යාත්මික නායකයන් හා භික්ෂුන් වහන්සේ මෙහි නායකත්වය ගත යුතුයි.

රතන හාමුදුරුවන්ගේ ක්‍රියාව මුස්ලිම් අන්තවාදය දෙසට මුස්ලිම් ජනතාව තල්ලු කිරීමක් විදියට ඔබවහන්සේ අර්ථ කථනය කරන්නේ ඇයි?

බෝම්බය පුපුරලා සතියක් යද්දි උන්වහන්සේ මේ උපවාසය ආරම්භ නොකළේ ඇයි? මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ ගැටලු සහගත නම්, උන්වහන්සේට ඒ බව අවබෝධ වුණා නම් උන්වහන්සේ එදා ඒකට පියවර නොගෙන හිටියේ ඇයි ?. මාසයකුත් සති දෙකකුත් ගත වුණාමද උන් වහන්සේට මේක කරන්න ඕන වුණේ. මං මේ ඒ උපවාසයට අගෞරව කරනවා නෙමෙයි. හැබැයි උන්වහන්සේ හදිසියේ මේ විදියට වාඩි වුණේ ඇයි? කියන ප්‍රශ්නය ‍මට තියෙනවා.

පසුදා ඔබ වහන්සේ නුවරට වැඩියේ සිංහල බෞද්ධ බලවේගය රතන හිමියන් වටා ඒකරාශි වෙයි කියලා බයට නේද?

එදා අපි නුවර හිටියේ. අපි එතැනට ගියා.‍ අපි එහෙම නොගිය නම් මේ අයම කියාවි ඥානසාර හාමුදුරුවන්ගේ ඇඟ බැඳල ඇති, කට වහල ඇති, වෙන මොනව හරි ගේම් එකක් ලොක්කා එක්ක ඇති. ඒක තමයි නොගියේ කියලා.

ඒ මුස්ලිම් ඇමැතිවරුන්ට සිංහල සමාජය තුළ අප්‍රසාදයක් ඇති වී තිබෙනවා. ඒත් ඒකට උත්තර හොයන්න ඕන මෙහෙමද? උන්වහන්සේට තිබුණ මේ ගැන ජනාධිපතිවරයට, අගමැතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට ලිඛිතව කරුණු දක්වන්න. ඊට නිසි පියවරක් නොගත්තොත් මෙවැනි ක්‍රියාමාර්ගයකට යන බව කියන්න. බොහෝ අය ඉතාම අවදියෙන් කල් මරමින් හිටියේ මේක පුපුරුවා හැරලා ජාතිවාදී ගින්නක් අවුළුවන්න.

ඕනම ගොනුවීමකට විනයක් තියෙන්න ඕනෑ. ඉලක්කයක් තියෙන්න ඕනෑ. අඩුම තරමින් උන්වහන්සේට අපිට මේ ගැන කියන්න තිබුණා. එහෙම නම් අපි සාකච්ඡා කරලා ඔබ වහන්සේ මේ භික්ෂු සංවිධානවල නායකත්වය ගන්න කියලා; අපි මේ වැඩේ මෙහෙයවමින් සාර්ථක කරගන්න සියලු කටයුතු යොදනවා. නමුත් උන්වහන්සේ හදිසියේ ගිහින් වාඩි වුණා. මේ වෙලාවේ කළ යුත්තේ රටේ ජනතාව උපවාස කෙරෙහි අවධානය යොමු කරවීම නෙමෙයි. නිවැරැදි ප්‍රශ්නය කෙරෙහි අවදානය යොමු කරවීමයි‍. මේවගේ දේවල්වලින් නියම ප්‍රශ්නය යට යනවා.

ඔබ වහන්සේ ප්‍රශ්නයෙන් පැනලා යන්නයි මේ හදන්නේ

මේ සිදුවීම දිහා සාවදානව බැලුවා නම් තේරෙන්න ඕනෑ මොකක්ද එතැන වුණේ කියලා. මා එතැන් යනකොටත් එතැන ගොනු වුණු පිරිසට නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මම නොයන්න අද රටේ මොන වගේ තත්ත්වයක් උදා වෙලා තියේවිද?

ඉතිං ඔබ වහන්සේ ම නේද සැණකෙළියක් කරනවා කිව්වේ?

එහෙම නොකියා කොහොමද ඔවුන් කොන්ට්‍රොල් කරන්නේ. ඒ මොහොතේ වහබ්බාදීන්ටත් අවශ්‍ය වෙලා තිබුණේ ගැටුමක්. මොකද බෝම්බ සිද්ධියෙන් පස්සේ පල්ලි ටික වටලෑවා, ගෙවල් ටික වටලෑවා, නොයෙක් ව්‍යාපාරික ස්ථාන වටලෑවා. ඒවායේ තිබිලා හමු වූණේ පිත්තල බඩු නෙමෙයි. නැත්නම් කෞතුක භාණ්ඩ නෙමෙයි. මුස්ලිම් සමාජයත් මේකෙන් ලැජ්ජාවට පත් වුණා. ඉතිං මේ වෙලාවේ ගැටුමක් ඇති වුණා නම් තමන් කඩු තියාගන්න එක සාධාරණීකරණය කරන්න මේ අන්තවාදීන්ට ඉඩ ලැබෙනවා‍. ඔවුන් කියාවි අපි මේවා තියාගත්තේ සිංහල ජනතාවගේ හිරි හැරවලින් බේරෙන්න ආත්මාරක්ෂාවට කියලා.

මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ මෝඩ විදියට තම තමන්ගේ ව්‍යාපෘති උඩට ගෙනත් අනුන්ගේ න්‍යාය පත්‍රවලට උඩගෙඩි දීම නෙමෙයි‍. සිංහයෙක් වගේ ගල එන්නේ කොහෙන්ද කියලා විමසිලිමත් වෙලා ගල ආපු දිහාව ගැන අවදානයෙන් සිටීමයි‍. ඕක නිකමට හරි ඇවිළිලා ගියා නම් විදේශ බලවේගවලට නිකම්ම ඇතුළුවෙන්න ඉඩ ලැබෙනවා. බංකොලොත් දේශපාලකයොත් සතුටින් ඉපිළෙනවා. ඒ වගේ ම ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් සභා මැතිවරණය හදිසි නීතිය ගෙනල්ලා කල් දාන්නත් ඉඩ ලැබෙනවා. ඒ නිසා හැම දේ ගැනම බුද්ධිමත්ව කල්පනා කරලයි අපි ඒ තීරණ ගත්තේ.

ඡායාරූපය - ගයාන් පුෂ්පික

Comments