අතන මෙතන ගිය අය රතන හිමියන් දුටු කල! | සිළුමිණ

අතන මෙතන ගිය අය රතන හිමියන් දුටු කල!

ඉස්ලාම් අන්තවාදයට සහාය දක්වන බවට චෝදනා එල්ල වී ඇති මුස්ලිම් දේශපාලකයන් තිදෙනකු ඒ ධුරවලින් ඉවත් විය යුතු බව දැඩි සේ ප්‍රකාශ කරමින් සිටි අතුරලියේ රතන හිමි පසුගිය 31 වැනිදා සිකුරාදා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඓතිහාසික මහ මළුවට වැඩම කළේ මාරාන්තික උපවාසයකට අවතීර්ණ වන්නටය.

ඒ වන විටත් රටේ ජනතාවගේ ලේ තිබුණේ රත් වූ තත්ත්වයකය. එයට හේතු රැසක් විය. එකක්: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාවයි. අනෙක: එයින් පසු රටේ දේශපාලකයන් තමන්ගේ වාසියට කළ-කී දෑය. මෙතෙක් කලක් රටේ තිබුණු සංහිඳියාව වෙනුවට ජන කොටස් අතර එකිනෙකා කෙරෙහි සැක-සංකා සහිත ඇසකින් බලන්නට හුරු වන පසුබිමක් නිර්මාණය විය. සිංහල ජනතාව සෑම මුස්ලිම් ජාතිකයකු දෙසම සැකයෙන් බලන තත්ත්වයක් රටේ නිර්මාණය විය. මේ පසුබිමේ මුස්ලිම් ජනතාව කිසියම් ආකාරයක බියට පත්ව ජීවිකාව ගෙන යන ස්වරූපයක් දක්නට ලැබිණි. බුර්කාව ඇතුළු ඉස්ලාම් ආගමික සංස්කෘතියේ පවත්නා වත් පිළිවෙත් හා නීති සමාජයේ එළිපිට විවේචනයට ලක් වන තත්ත්වයක් මේ ඔස්සේ රට තුළ ඇති විය. මේ කටයුතුවලදී මහා සංඝරත්නය පෙරමුණ ගෙන කටයුතු කරන ස්වරූපයක් දක්නට ලැබිණි. ඉස්ලාම් අන්තවාදයට සහයෝගය දක්වන බවට බස්නාහිර හා නැ‍ඟෙනහිර ආණ්ඩුකාරවරුන්ටත්, අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාටත් චෝදනා කරමින් තනතුරුවලින් ඔවුන් ඉවත් කරන ලෙස රජයට බලපෑම් කරන මට්ටමක් දක්වා මේ විරෝධතා ඉහළ ගියේය. සිර දඬුවම් විඳිමින් සිට ජනපති සමාව යටතේ නිදහස ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි සමාජ කරළියට පැමිණීමත් සමඟ මේ විරෝධතා තවත් ප්‍රබල විය. මහනුවර කෙන්ද්‍ර කරගනිමින් කඩ-සාප්පු වසාදමා රතන හිමිගේ ඉල්ලීමට සහයෝගය දක්වමින් ආරම්භ කළ විරෝධතාව රටේ ස්ථාන කිහිපයක් වෙත පැතිර යද්දී මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ජනපති හා අගමැති වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියේ කඩිනමින් මේ සම්බන්ධව තීන්දුවක් ගන්නා ලෙසයි.

මේ සිදුවීම් පෙළ එකට පෙළගැසෙන අතරතුර ඉකුත් සඳුදා (3) අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මහනුවරට පැමිණ රතන හිමියන්ගේ සුව-දුක් විමසීම තුළ කතෝලික ජනතාවගේද යම් උද්දීපනයක් සිදු විය. මේ සියල්ල සිදු වන්නේ හුදෙක් ඉහත කී මුස්ලිම් දේශපාලකයන්ට තනතුරුවලින් ඉවත් කිරීමට බල කිරීම පිණිස විනා ඔවුන් සම්බන්ධයෙන් පවතින චෝදනා හමුවේ ගත යුතු නෛතික පියවර කෙරෙහි බල කරමින් නොවේ. රතන හිමිගේ මේ පියවර ලේ රත් වුණු සිංහල, බෞද්ධ, කතෝලික සහ දමිළ ජනතාවගේද උද්දාමයට හේතුවක් විය. එය රැල්ලක් බවට පත් වන්නේ ඒ නිසාය.

උපවාසයට සිව් දිනක් ගත වෙමින් තිබියදී අසාද් සාලි හා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරු තම ධුරවලින් ඉල්ලා අස් වීමේ ලිපි ජනපති වෙත යොමු කළහ. මේ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැමිණ දැනුම් දීමත් සමඟ රතන හිමි උපවාසය අත් හළේය. ඒ වන විට මහනුවර සිට කොළඹ දක්වා භික්ෂූන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජන පිරිසක් සමඟ පාගමනක් යමින් සිටි ඥානසාර හිමි ඒ ගමන අතරමඟ නතර කළේය. භික්ෂූන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජන කොටස් චෝදනා එල්ල කළ ඇමැති රිෂාඩ් බදූර්දීන් සමඟ ආණ්ඩුවේ තනතුරු හෙබවූ සියලු මුස්ලිම් මහජන නියෝජිතයන් ඇමැතිකම් හා නියෝජ්‍ය ඇමැතිකම් අත්හරිමින් ප්‍රකාශ කර සිටියේ අදාළ චෝදනා සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදු කර ඉන් නිවැරදිකරුවන් ලෙස තහවුරු වන තෙක් තනතුරු බාර නොගන්නා බවයි.

මේ විරෝධතා අතර සිටි කැපී පෙනෙන භික්ෂු චරිතය වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමා විසින් මෙහෙයවන ලද පාගමන ගැටඹෙන් නතර කොට මාධ්‍ය හමුවේ ගෙන හැර පෑ අංශක 180 හැරවුම කාගේත් අවධානයට ලක් විය. ඥානසාර හිමි කොළඹට පැමිණ රතන හිමිගේ ක්‍රියාපිළිවෙත විවේචනය කළේය. රතන හිමිගේ ක්‍රියාව නිසා සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලු විය හැකි බවත්, එය දැවැන්ත අපරාධයක් බවත් උන් වහන්සේ ප්‍රකාශ කළේය. රතන හිමිගේ උපවාසය සම්බන්ධයෙන් පමණක් නොව, පසුගිය දිනවල රට තුළ ආගමික අන්තවාදයට විරුද්ධ වීමේ නාමයෙන් සිදු වුණු බොහෝ දේ එලෙස ජාතීන් අතර විරසකය වර්ධනය කරන අදූරදර්ශි දේවල්ය. ඒ අතින් බලන කල ආගමික අන්තවාදයේ සලකුණක් ලෙස හංවඩු ගැහුණු ඥානසාර හිමිගේ කතාව අතිශය යථාර්ථවාදිය.

මේ සමඟ රටට හිතැති තවත් ප්‍රවණතාවක් සංඝ සමාජය තුළින් මතු විය. ඒ පසුගිය බදාදා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමිගේ මූලිකත්වයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය අස්ගිරි මහා විහාරයට කැඳවා රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන අංශ ඇතුළු ක්ෂේත්‍ර පහළොවක් ඔස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා කර මහා සංඝරත්නයේ සාමූහික පණිවිඩයක් රට හමුවේ තැබීමය. මෙරට මුස්ලිම් ජනතාවට එරෙහිව සංඝයා වහන්සේ මූලික වී බෞද්ධ ජනතාව මෙහෙයවන බවට මතු වෙමින් තිබූ කතා-බහට තිත තබන්නට මේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සාකච්ඡාව ඔස්සේ මතු වුණු කරුණු-කාරණාවලට හැකියාව ලැබිණි. අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නිල ආරාමයේ පැවති මේ සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය මතු කළ ප්‍රධාන කාරණයක් වූයේ අන්තවාදයට සහයෝගය දැක්වූ බවට කිසිදු චෝදනාවක් එල්ල නොවූ මුස්ලිම් ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යළිත් තනතුරු භාර ගෙන රටේ ඉදිරි ගමනට ඔවුන්ගේ සහයෝගය දිය යුතු බවයි.

අන්තවාදි මුස්ලිම් කණ්ඩායමක් දියත් කළ ප්‍රහාරය ඔස්සේ රටේ ඇති වූ අර්බුද දේශපාලන වාසි සඳහා යොදාගැනීමට පිරිසක් උත්සාහ කරද්දී ඊට ඍජුව හා වක්‍රව ඇතැම් භික්ෂූන් වහන්සේගේද සහාය හිමි වූ බව රටම දන්නා කරුණකි. රතන හිමි උපවාසය ක්‍රියාත්මක කරද්දී උන් වහන්සේගේ දුක-සැප බලන්නට පැමිණි දේශපාලනඥයන් එහිදී කළ කතාවලින් මේ පිළිබඳ අවබෝධයක් ලැබීම අපහසු නොවේ.

මේ සියලු කරුණු මැද ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බෞද්ධ අන්තවාදයක් මතු වෙමින් තිබිණි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ සංඝ මූලස්ථානවල නාහිමිවරුද මේ මතවාදය ඉවසන්නේය යන හැඟීම සමාජය වෙත කාන්දු වෙමින් තිබූ මොහොතක මල්වතු අස්ගිරි උභය විහාරීය මහනාහිමිවරුන් මුල් වී පැවැත්වූ ත්‍රෛනිකායික භික්ෂූ හමුව බෞද්ධ අන්තවාදය කරපින්නා ගත් පිරිසට අතුල් පහරක් එල්ල කළාක් මෙන් විය. මෙහිදී ගනු ලබන තීන්දු-තීරණ අන්තවාදීන් තවත් ශක්තිමත් කරනු ඇතැයි බොහෝ අය අනුමාන කළත්, මේ සාකච්ඡාවල අවසන් තීන්දුව රතන හිමිගේ උපවාසය දින ජාත්‍යාලයෙන් උද්දාම වී නැටූ අන්තවාදීන්ගේ සතුටට හේතුවක් නොවුණාට සැක නැත. ඒ සම්බන්ධව අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි, ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි පැවසූයේ සිංහල-බෞද්ධ ජනතාව යම් ඉලක්කයක් නැති අතාර්කික ප්‍රවණතා පසුපස යන්නේ නම් එය වැළැක්වීම සහ නිසි මඟ පෙන්වීම සංඝරත්නයේ වගකීම බවයි. මේ නිර්මාණය වූ රැල්ල ඊනියා බෞද්ධ ප්‍රබෝධයකට ලඝු කිරීමෙන් සිදු වන්නේ බෞද්ධ දර්ශනයේ හරය හෑල්ලු වීම බව එයින් ගම්‍ය වෙයි. උන් වහන්සේ තවදුරටත් පැවසුවේ අතීතයේ පටන් මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකට එක්ව සාමයෙන් හා සමඟියෙන් ජීවත් වූ බවයි. අප මේ ජන කොටස් දෙක එකට එක්ව දේශපාලන කටයුතුවල පවා නිරත වූ බවත් පවසන උන් වහන්සේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු ඒ සියල්ල උඩු-යටිකුරු වීමෙන් රටේ ජාතික හා ආගමික සමඟියට විශාල හානියක් වූ බවද අවධාරණය කරති.

මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම බැහැර කර ඉදිරි ගමනක් යා නොහැකි බව සිංහල-බෞද්ධ ජනතාව තේරුම් ගත යුතුව තිබේ. අන්තවාදි කණ්ඩායම්වලට සහයෝගය දක්වා ඇති බවට යම් ඇමැතිවරයකුට හෝ දේශපාලනඥයකුට හෝ චෝදනා එල්ල වන්නේ නම් ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාළ චෝදනා සත්‍යයද නැද්ද යන්න සම්බන්ධව රටට ස්ථිර ප්‍රකාශයක් කිරීම රජයේ වගකීමය. එමෙන්ම අදාළ පරීක්ෂණවලට සහයෝගය දී තම නිර්දෝෂිභාවය රටට ඔප්පු කර පෙන්වීම චෝදනාවට ලක්ව සිටින දේශපාලනඥයන්ගේ යුතුකමය. මේ අතර කිසිදු අයුරකින් චෝදනාවකට ලක් නොවූ මුස්ලිම් මැති-ඇමැතිවරුන් තනතුරු අත්හැර චුදිතයන්ගේ ගොඩට වැටීමෙන් සමාජය තුළ පැහැදිලි බෙදීමක් නිර්මාණය වන බවද ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කරති.

ආගමික අන්තවාදය පෝෂණය කළ පිරිස් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම මෙවැනි ක්‍රියා අනුමත නොකරන මුස්ලිම් ප්‍රජාවට සමාජය තුළ සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වීමට පසුබිම සකස් කිරීමට හේතු වන කාරණයකි. චෝදනා එල්ල වූ අයත්, චෝදනා එල්ල නොවූ අයත් එක ගොඩකට වැටීමෙන් සිදු වන්නේ ඔවුන් සැම එකයි යන හැඟීම සමාජගත වීමය. අනෙක් අතට අද සාම්ප්‍රදායික මුස්ලිම් තරුණයන්ට අන්තවාදීන් සමඟ එකම රැඳවුම් කාමරයක ගත කරන්න සිදුව තිබේ. අන්තවාදයට කිසිදු සම්බන්ධතාවක් නැති මුස්ලිම් තරුණයන් මේ රැඳවුම් මධ්‍යස්ථානවලින් එළියට එන විට සමාජ වෛරය සමඟ ඊනියා අන්තවාදි අදහස්වලින්ද මොළ සේදී ආවොත් අනාගතයේ අප රටට පමණක් නොව මේ කලාපයටද ඇති වන තර්ජනය අප අවබෝධ කරගත යුතුය.

තවත් ජාතියකට එරෙහිව කෙරෙන වෛරි ප්‍රකාශ අනුමත කරන්නට සංඝ මූලස්ථානයට නොහැකිය. සාමාන්‍ය ජන සමාජය හිතන-පතන ආකාරය අනුව තීන්දු-තීරණ ගැනීමේ හැකියාවක් මහාවිහාරයන්ට නැත. සිංහල-බෞද්ධ දේශපාලනඥයන් මෙන්ම සෙසු ජාතික දේශපාලනඥයන් හා ප්‍රභූන් නිරන්තරව මහනාහිමිවරු බැහැදකින්නට පැමිණෙන බව අප තේරුම් ගත යුතුව ඇත.

මේ මොහොතේ සියලු දෙනා කළ යුත්තේ වෛරී ප්‍රකාශ සිදු කර ජාතීන් අතර භේද ඇති කිරීම නොව, ජාතික සමඟිය ගොඩනැඟීම පිණිස කටයුතු කිරීමය. මෙය දේශපාලනඥයන් විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබේ. මෙරට තුළ සියලු ආගමිකයන් ආවරණය වන පරිදි පොදු නීතියක් ක්‍රියාත්මක විය යුතුය. සමාජ ආරක්ෂාවට තර්ජනයක් වන ඇඳුම්-පැලඳුම් තහනම් කිරීම ඇතුළු ක්ෂේත්‍ර 15ක් ඔස්සේ මහා සංඝරත්නය කරුණු සාකච්ඡා කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ සුභ සිද්ධිය පිණිසය. මෙලෙස ගනු ලබන තීන්දු-තීරණ ජනපති, අගමැති හා විපක්ෂ නායක ඇතුළු දේශපාලන නායකත්වය එක් ස්ථානයකට කැඳවා දැනුවත් කිරීමට මහානායක ස්වාමීන් වහන්සේ තීරණය කර තිබේ.

පවතින අර්බුදකාරි තත්ත්වය යටතේ රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක පැහැදිලි ලෙසම අවිනිශ්චිතතාවක් ගොඩනැඟී ඇත. ජනතාව තුළ උපදින කෝපයට හෝ ක්‍රෝධයටද සාධාරණ පදනමක් තිබේ. මෙය දුරු කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග මහා සංඝරත්නය විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ලියවිල්ලක් ලෙස පාලකයන්ට ඉදිරි පත් කරන්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකට එකතු වී කටයුතු කරමු යන පණිවිඩයද සමඟය.

පසුගිය කාලය තුළ එන-එන දේශපාලකයන් අතේ පිරිත්නූල් බඳිමින් ඔවුන් දෙන සිව්පසය පිළිගන්නා මහා විහාරයීය භික්ෂූන් වහන්සේ පිළිබඳ බෞද්ධ සමාජය තුළද යම් විවේචනයක් තිබිණි. ඊටද හේතු වූයේ උන් වහන්සේ රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් තීරණාත්මක එසේ නැති නම් සාධනීය ප්‍රවේශයකට නොඑළඹෙන නිසාය. එසේ වුවද මේ විවේචන සපුරා බැහැර කිරීමට සිදු වන්නේ පසුගියදා උන් වහන්සේ විසින් ගන්නා ලද මේ යහපත් ප්‍රවේශයයි.

අනෙක් අතට බොහෝ විට පසුගිය කාලය තුළ සිදු වූයේ රතන හිමි වැනි භික්ෂූන් වහන්සේ නිසා අතන මෙතන නිර්මාණය වූ සියලු රැලිවල වාසිය විපක්ෂ දේශපාලනය විසින් කර මුලින් ඔසවාගැනීමය. පසුගිය ත්‍රස්තවාදි ප්‍රහාරයේ වගකීමෙන් මිදිය නොහැකි ආණ්ඩුව එයින් පසු සාධනීය වැඩ කොටසක් ඉටු කළ බව අප පිළිගත යුතුය. එක් අතකින් අන්තවාදයේ අල ගිය මුල ගිය තැන් සියල්ල කෙටි කලක් තුළ සුද්ද කරන්නට රටේ ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.

ඒ නිසාම මේ වන විටත් එක් එක් රටවල් තම රටවල සංචාරකයන්ට පනවා තිබූ වාරණ කෙමෙන් ඉවත් කරමින් තිබේ. ආගමික අන්තවාදයට වැට-කඩුලු බැඳෙන නීති-රීති සම්පාදනයට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ඉතා ඉක්මනින් පියවර ගනිමින් සිටී. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවල තොරතුරු එකිනෙක එළියට එමින් තිබේ. හානි වූ දේවස්ථාන පිළිසකර කරමින් තිබේ. වින්දිතයන්ට වන්දි ලැබී තිබේ. වගකිව යුත්තන් කවුරුන්දැයි අනාවරණය වෙමින් තිබේ. ඒ අනුව බලන කල රජයක් ලෙස ඊට අදාළ කටයුතු සියල්ල පාහේ වගකීම් සදහගතව ඉටු කරමින් තිබේ. එය ඇතැමකුට වේදනාවකි. මේ වේදනාව සමනය කරගැනීමට ජාතිවාදය අවුස්සමින් අතන මෙතන ගිය අයට රතන හිමියන් විසින් ගන්නා ලද පියවර ලොකු සහනයක් විය.

Comments