ක්‍රිකට් උමතුව පැතිරෙයි | සිළුමිණ

ක්‍රිකට් උමතුව පැතිරෙයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 14 වැනි තරගය ලෙස අද ලන්ඩන් නුවර ද ඕවල් පිටියේදී ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව තරග කරයි. මෙවර තරගාවලිය ආරම්භ කරමින් මෙතෙක් පැවැති තරගවලදී දැවැන්තම ජය වර්තා කර ගැනීමට සමත් වූයේ බංග්ලාදේශය දකුණු අප්‍රිකාවට එරෙහිවයි. බංග්ලාදේශය මුල්වරට දකුණු අප්‍රිකාව පරාජය කළේ 2007 දීයි. බංග්ලාදේශය 251- 08 යි. දකුණු අප්‍රිකාව 184 – 10 යි. ඒ අනුව බංග්ලාදේශය ලකුණු 67කින් එකි තරගය ජය ගත්තේය. මේ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙපිලම තරග දෙක බැගින් ජය ගෙන තිබේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර 1983 – 2015 දී තරග 11ක් පවත්වා ඇති අතර එහිදී ඉන්දීයාව තරග තුනක් ජයගෙන තිබෙන අතර ඔස්ට්‍රේලියාව තරග අටක් ජයගෙන ත‍ිබේ. අවසන් වරට දෙපිළ තරග කළේ 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදීය. එහිදී ඉන්දියාව පරාජය කරමින් ලකුණු 95ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

පළමු සහ දෙවැනි තරග දෙකම පිට පිට පරාජය වූ දකුණු අප්‍රිකාව - බ. ඉ. කොදෙව්වන්ට එරෙහිව 10 දා තරග බිමට පිවිසෙයි. බ.ඉ. කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ 1992 සිට 2015 දී දෙපිල තරග 6කදී මුණගැසී ඇති අතර එහිදී දකුණු අප්‍රිකාව තරග 4ක් සහ බ.ඉ. කොදෙව්වන් තරග 2ක් ජය ගෙන තිබේ. අවසන් වරට දෙපිල මුණගැසුණේ 2015 දීය. එහිදී දකුණු අප්‍රිකාව - කොදෙව්වන්ට එරෙහිව ලකුණු 251ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ බංග්ල‍ාදේශය බ්‍රිස්ටල්හීදී තරග බිමට 11දා පිවිසෙයි. දෙපිල අතර මෙතෙක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2003 – 2015දී අවස්ථා තුනකදී මුණ ගැසී ඇති අතර එහි තරග තුනම ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. දෙපිල මුල්වරට තරග කළේ 2003දීය. එහිදී ශ්‍රී ලංකාව කඩුලු 10කින් බංග්ලාදේශය පරාජය කළේය. 2007 දී ශ්‍රී ලංකාව ලකුණු 198කින් බංග්ලාදේශය පරාජය කළේය. 2015 දී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය පරාජය කළේ ලකුණු 92කින්ය. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය 12දා තරග බිමට පිවිසෙයි. 1975 – 2015 දක්වා දිවයන දෙපිලේ ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් තරග 9ක් පවත්වා ත‍ිබේ. පාකිස්තානය තරග 4ක් සහ ඔස්ට්‍රේලියාව තරග 5ක් ජයගෙන තිබේ. පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අවසන් වරට මුණගැසුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදීය. එහිදී ඔස්ට්‍රේලියාව කඩුලු හයකින් පාකිස්තානය පරාජය කළේය.

13වැනිදා ඉන්දියාව සහ නවසීලන්තය නොටිංහැම්හිදී තරග බිමට පිවිසෙයි. 1975 – 2003 දක්වා දිවෙන දෙපිලේ තරග ඉතිහාසයේ මෙතෙක් පවත්වා ඇත්තේ තරග 7කි. නවසීලන්තය තරග 4ක් සහ ඉන්දියාව තරග 3ක් ජය ගෙන තිබේ. දෙපිල ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙවර හමුවන්නේ තරගාවලි තුනකට පසුව වීමද විශේෂත්වයකී. අවසන් වරට දෙපිල තරග වැදුණේ 2003 තරගාවලියේ සුපිරි හය වටයේදීය. එහිදී නවසීලන්තය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීයාව සමත් විය. ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉපැරැණිම සාමාජිකයන් දෙපළක් වන මෙවර සත්කාරකයන් වන එංගලන්තය සහ දෙවරක් ලෝක ශූරයන් වන බ.ඉ. කොදෙව්වන් 14දා තරග බිමට පිවිසෙයි. දෙපිල මුල්වරට මෙකි තරගාවලියේ මුණ ගැසී අත්තේ 1979 දීය. අවසන් වරට මුණ ගැසී ඇත්තේ 2011 දීය.

1979 අවසන් මහා තරගයට තරග කළේද එංගලන්තය සහ බ.ඉ. කොදෙව්වන්ය. එහි අඛණ්ඩව දෙවැනි වරටත් කොදෙව්වන් ලෝක ශූරයන් වූයේ එංගලන්තය ලකුණු 92කින් පරාජය කරමින්ය. අවසන් වරට දෙපිල තරග කළේ 2011 දීය. එහිදී එංගලන්තය ලකුණු 18කින් කොදෙව්වන් පරාජය කළේය. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය 15 දා පැවැත්වෙයි. ඒ ලන්ඩන් ද ඕවල් පිටියේදීය. ශ්‍රී ලංකාව 1996 ලෝක ශූරයන් වූයේ ඔස්ට්‍රේලියාව පරාජය කරමින්ය. ඔස්ට්‍රේලියාව හතරවැනි වරට ලෝක ශුරයන් වූයේ 2007 ශ්‍රී ලංකාව පරාජය කරමින්ය.

1975 – 2015 දක්වා දිවෙන දෙපිලේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් තරග 9ක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකාව එක් තරගයක් (1996 අවසන් තරගය) ජය ගෙන ඇති අතර තරග 7ක් පරාජය වී තරගයක් විසඳුමකින් තොරව අවසන් ව තිබේ. අවසන් වරට දෙපිල තරග වැදුණේ 2015දීය. එහිදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව ලකුණු 64කින් ජය ගත්තේය. 2011 ඛෙත්තාරාම පිටියේ පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය. දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය 15 දා කාර්ඩිෆ් හිදී තරග කරයි. දෙපිල අතර පැවැත්වෙන ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගය ද මෙයයි.

නුවන් ප්‍රදීප්

ඇෆ්ගනිස්තානයට එ‍ෙරහිව ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දැමූ නුවන් ප්‍රදීප් තරගයේ වීරයා වීමට ද සමත් විය. ලෝක කුසලාන තරගාවලියක නුවන් සහභාගී වූ මුල්ම තරගය මෙය වීමද විශේෂත්වයකි. සිය එක්දින තරග දිවියේ මෙතෙක් හොඳම පන්දු යැවීම ද මෙය වීය.

දිමුත් වාර්තා අතරට

ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වාර්තා රැසකි. ඒ අතුරින් 2003 – 15 දක්වා අඛණ්ඩව මෙකී තරගාවලියේ සුවිශේෂ වාර්තා හතරකට හිමිකම් කියූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ සිය මුල්ම තරගයේදී ද වාර්තාවකට හිමිකම් කීමට සමත් වූහ. ඒ නවසීලන්තය සමඟ තරගයේදී දිමුත් කරුණාරත්න ඉනිම ආරම්භ කරමින් සියල්ලන්ම දැවී යන තෙක් ම නොදැවී ක්‍රීඩා කරමින්ය. ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙවැනි ඉනිමක් ක්‍රීඩා කළ දෙවැන්නා දිමුත්ය. ප්‍රථමයා බටහිර ඉන්දීය කොදෙව්හි රිඩ්ලි ජේකබ්ස්ය. ජේකබ්ස් 1999 ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 49ක් රැස් කර තිබේ. කොදෙව් පිල ලකුණු 110 කට දැවී ගොස් තිබේ. ඉනිම පුරා නොදැවී ක්‍රීඩා කළ ජේකබ්ස් පන්දු 142කට මුහුණ දී තිබේ. මෙවර ශ්‍රී ලංකාව - නවසීලන්තය හමුවේ ලකුණු 136කට දැවි ගිය අතර දිමුත් පන්දු 84 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 52ක් රැස් කළේය. ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිස නොදැවී සිටිමින් රැස් කළ මුල්ම අර්ධ ශතකය මෙන්ම වැඩිම ලකුණු සංඛ්‍යාවද දිමුත් සතුය.

මැතිව්ස් 4ට ඕනෑ

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් අංක හතර ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

මැතිව්ස් අංක හයට ක්‍රීඩා කරන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ. කණ්ඩායමේ ආරම්භක පිතිකරු විදියට කුසල් ජනිත් ක්‍රීඩා කරන්න ඕනෑ. (ඇෆ්ගන් තරගයේදී කුසල් ආරම්භක පිතිකරුවකු ලෙස අගනා අර්ධ ශතකයක් රැස් කළේය.) ළහිරු අංක තුනට ක්‍රීඩා කළ යුතු බවද ඩිල්ෂාන් පෙන්වා දෙයි.

‍ජෝ රූට්

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම ශතකය රැස් කළේ එංගලන්තයේ ජෝ රූට්ය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ රූට් රැස් කළ දෙවැනි ශතකය ද මෙයයි.

ශ්‍රී ලංකාව - ඇෆ්ගන් මට්ටු කරයි

ක්‍රිකට් ලෝක කුසලාන දෙකකට උරුමකම් කියන, ලෝක පූජිත ක්‍රිකට් තරු බිහි කළ ශ්‍රී ලංකාවට, තවමත් ක්‍රිකට් ලෝකයට නවකයන් වන ඇෆ්ගනිස්තානය අභියෝග කරනවා නම්, එය ඇෆ්ගනිස්තාන කණ්ඩායම දකින බියකරු සිහිනයක් බව ප්‍රකාශ කළේ ක්‍රිකට් ලෝක කුසලානය අඛණ්ඩව දෙවතාවක් දිනූ සහ තෙවැනිවර අනුශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් බිහි කළ විශිෂ්ට පිතිකරුවකු වන බ්‍රයන් ලාරායි. ලාරාගේ එකි ප්‍රකාශයට අංශු මාත්‍රයකවත් අසාධාරණයක් නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කාර්ඩිෆ්හි පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ලකුණු 34කින් ජය ගැනීමට සමත් වූහ. දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන විට සිටියේ ඉතා දුර්වල මට්ටමකය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් තරග කළේ පසුගිය අනුශූරයන් වූ නවසීලන්තය සමඟය. එකී තරගයෙන් අන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සමඟ තරගයට පිවිසෙන විට ඔවුන් බොහෝ පුරසාරම් ‍දොඩවා තිබුණි. ඒ අතරම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන්ද එතරම් ම විශ්වාසනීය භාවයක් ගොඩනැගී නොතිබිණි. මෙකී තත්ත්වය කොතරම් බැරෑරුම් ලෙස කණ්ඩායමට බලපෑම් එල්ල කර තිබුණේද යත්, ශ්‍රී ලංකා ඇෆ්ගන් තරගයට පෙර ලසිත් මාලිංග මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හැම කෙනෙක්ම තමන්ට පවරා තිබෙන රාජකාරිය නිසි ලෙස ඉටු කරන්න ඕනෑ. එහෙම නැති වුණොත් අපට ටීම් එකක් විදියට ඉදිරියට යන්න බැරිවෙයි. මාලිංග එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව මොන තරම් පසුබෑමකට ලක්ව තිබෙනවාද යන්න පසක් කරමින් ය. තරගයක් පරදිනවා ඒක අමතක කරනවා. ඊළඟ තරගයට යනවා. ඒකත් අමතක කරනවා. මෙහෙම ගියොත් නම් අපට හැමදාම මේ විදියට නම් ඉදිරියට ම යන්න පුළුවන් වෙයි.

තමන් දක්ෂතා දක්වන්න ඕනෑ කියන මතයේ ඉඳගෙන ක්‍රීඩා කළ යුතු බව පවසන මාලිංග, මම ටීම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ජ්‍යෙෂ්ඨයන් විදියටත්, කණ්ඩායමේ ඉන්න 15 අතරත් තරගකාරිත්වයන් සම්බන්ධයෙන් ලැජ්ජාවක් වගේම බයක් අපට තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපට මෙතනින් එහාට යන්න බැරිවෙයි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ තරග අතරින් බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව මෙන්ම එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැති තරග දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. බංග්ලාදේශය - දකුණු අප්‍රිකාව සමඟ තරගයට පිවිසෙන විට දකුණු අප්‍රිකාව සිය මුල්ම තරගය එංගලන්තය වෙතින් ලකුණු 104 කින් දරුණු ලෙස පරාජය වී තිබුණි. බංග්ලාදේශය මෙවර මුල්ම තරගයට පිවිසුණේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. දැවැන්ත ලකුණු සටහනක් එක් කළ බංග්ලාදේශය ලකුණු 21කින් ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කළේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් කියවෙන නමක් වන සත්කාරක එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් සත්කාරකයන්ගේ දෙවැනි බලාපොරොත්තුව බිඳ දමමින් ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ ප්‍රථම සහ දෙවැනි ශතක ද්විත්වයම එංගලන්තයේ ජෝ රූට් (107) සහ ජොස් බට්ලර් (103) රැස් කිරීමට සමත් වුවද එය පරාජයෙන් තම කණ්ඩායම ගලවා ගැනීමට ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හත් වැනිදා තරග වැදීමට නියමිතව තිබුණි. 1975 – 2011 දක්වා දෙපිලේ ලෝක කුසලාන තරග ඉතිහා‍සයේ දෙපිලම තරග 7කට මුහුණ දී ඇති අතර එකී තරග සියල්ලම පාකිස්තානය ජය ගෙන තිබේ.

Comments