ඔරලෝසු චක්‍රයට අනුව අපේ පෝෂණ අවශ්‍යතාව පිරි මහන්න බෑ | සිළුමිණ

ඔරලෝසු චක්‍රයට අනුව අපේ පෝෂණ අවශ්‍යතාව පිරි මහන්න බෑ

ක්‍රීඩාවට මෙන්ම සාමාන්‍ය ජිවිතයට පෝෂණය කොපමන ඉවහල් වෙනවාද? නමුත් අපි ඒ පිළිබඳ දැනුවත්ද? සාමාන්‍ය ජිවිතයේ දී නීරෝගී ජිවිතයක් උදෙසා එක් එක් පුද්ගලයකු තම වයස, උස හා බර අනුව ලබාගත යුතු පෝෂණය ගැන දැනුමක් අප ලබා තිබේද? එ මෙන්ම ක්‍රීඩකයකු සාමාන්‍ය පුද්ගලයකු මෙන් තුන් ගුණයකින් තම පෝෂණ අවශ්‍යතා වර්ධනය කර ගත යුතුයි. ඒ ගැන දැනුවත්ද? මේ පිළිබඳ අප හා සංවාදයක නියැලුනේ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සාමාජිකයකු වන ඩී.අයි. අනුරසිරි මහතායි. ඔහු ගණිතය පිළිබඳද ප්‍රමාණීක දැනුමකින් හෙබී ගණිතඥයකු ලෙසද පෙනී සිටියි. ස්වයං අධ්‍යාපනය තුළින් තම දැනුම වර්ධනීය සාධනීය මට්ටමකට වර්ධනය කරගෙන ඇති අනුරසිරි මහතා ගණිතය පිළිබඳ පොත් කිහිපයක් ලියා පළකර ඇත. වෘතියෙන් ගොවියකු ලෙස එදිනෙදා වැඩවල නිරතවන අනුරසිරි මහතා. සිංගප්පූරුව හා තායිලන්තය වැනි රටවල පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගවලට සහභාගී වී මැරතන් තරගයන්ගෙන් පදක්කම් ද ලබා ඇත.

සාමාන්‍ය මිනිසුන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ පෝෂණ ඌනතා ඔබ දකිනවාද?

ඉන්දියන් සාගරයේ ආරෝග්‍ය ශාලාව බවට තව නොබෝ කලකින් ලක්වීමේ ප්‍රවනතාවයක් තමයි පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව මක්නිසාද යත් අද නිසි ක්‍රමවේදයක් අනුව පෝෂණ ක්‍රියාවලියක් සිදුවන්නේ නෑ. අද අපි ඔරලෝසුව කේන්ද්‍රිය කරගෙන තුන් වේල අනුභව කරන කාල සටහනක් නිර්මාණය කරගෙන වේල් තුනක් දිනකට අනුභ කරමින් සිටිනවා. නමුත් ඒ අනුභවය තුල නිසි පෝෂණ ක්‍රියාවලියක් සිදුවනවාද කියා සැක සහිතයි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකියන් ලෙස අපි මෙම ක්‍රමවේදයට තමයි හුරුවී සිටින්නේ.

ඇයි ඔබ ඒ ක්‍රමවේදයේ දූර්වලතා දකින්නේ.

16 වන සියවසේ දී තමයි මානවයාගේ පෝෂණය ආරම්භ වන්නේ එදා සිටම වැඩිවශයෙන් මාංශභක්ෂික ආහාර රටාවකට තමයි අප හුරු වී සිටියේ. නමුත් ආගමික පසුබිම මත මේ ක්‍රමවේදය ක්‍රමයෙන් වෙනසකට බඳුන් වුනා. මුළු ලෝකයේම ආහාර රටාව වෙනස්වෙලා තිබෙනවා. නමුත් අපි තවමත් තුන්වේල අනුභව කරමින් සිටින්නේ. විශාල බත් පිඟානක් හෝ පාන් ගෙඩියක් ඒ තුළ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන තිබෙනවාද කියා සැක සහිතයි. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා පිෂ්ටය නම් තිබෙනවා. ජලය දිනකට කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතුද? ප්‍රෝටීන් කොපමණ ප්‍රමාණයක් දිනකට අවශ්‍යද? කිසිම කෙනෙක් මේ පිළිබද නිසි දැණුවත් බවක් නෑ. දැනුවත් කිරීමට උවමනාවක්ද නෑ. වෛද්‍යවරු පවා නිසි දැනුවත් කිරීමකින් තොරව ජනතාව මුලා කරමින් සිටිනවා.

ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ කාටද?

එක පාර්ශ්වයකට එල්ල කරන චෝදනාවක් නෙමෙයි. මෙයට වගකිවයුතු පාර්ශ්ව ගණනාවක් සිටිනවා. ඔවුන් ඔවුන්ගේ වගකීම්වලින් මග හැරලයි සිටින්නේ. මගේ පදිංචිය අනුරාධපුරය, කහටගස්දිගිලිය, අඹගහ වැව. අපි පුංචි කාලයේ දී අපට තිබුණු පෝෂණිය ආහාර අනුභවය අද සිටින දරුවන්ට නෑ. මගේ පියා හැම විටම අපිට ප්‍රෝටීන් බහුල ආහාර ලබාදීමට කටයුතු කළා. ඔහු දඩයමේ ගියකෙනෙක්. ඒ ගියේ අද යන දඩයම් ව්‍යාපාරයේ නෙමෙයි. දඩයමක් ලැබුණු දවසට ගමටම ඒ දඩමස බෙදා දුන්නා. ඉතිරිය දුමේ දැම්මා. කරවල මාළුවක් වේවා පොලොස් ඇඹුලක් වේවා හැම කැමකටම ඒ දඩමස හාමු කලා. ඒ කාලේ අපේ ගෙදර දුමේ දඬමස් නොතිබුණු මොහොතක් නෑ අපි නාගරීක පරිසරයෙන් බැහැරව සිටි නිසා මේ දේවල් තිබුණා. ඒ නොවුනත් අපගේ කෑම වේල හැමදාමත් හුරුකලේ ප්‍රෝටීන් බහුල ආහාර වේලකට. අද මට දරුවන් තිදෙනකු හා මුනුපුරන් මිනිපිරියන් සිටිනවා. ඔවුන්ව මා හුරුකර තියෙන්නෙත් ප්‍රෝටීන් බහුල ආහාර වේලකට. ඔවුන් මස් මාංශ හා අල බතල වැනි සමබර ආහාර වේලක් අනුභව කරනවා. නමුත් කාලසටහනකට අනුගතව නෙමෙයි. තමන්ට බඩගිනි ඇති වුණු මොහොතක ඔවුන් ආහාර අනුභව කරනවා.

මම ඔබට යොමු කළ පැනයට නිසි පිළිතුරු ලැබුණේ නෑ? මේ ප්‍රශ්ණයට වගකිව යුත්තෝ කවුරු ද?

වයඹ විශ්වවිද්‍යාලයෙන් පෝෂණවේදීන් 200ක් පසුගිය වසරේ දී පිටවුනා. අද වනතුරු ඔවුන් කිසිවකුට පත්විම් ප්‍රදානය කර නෑ. මම ඒකයි වගකීව යුත්තන් තම වගකීම් මගහැරලා තිබෙනවයි කියන්නේ. ඔවුන් එම පත්වීම් ලබා නොදෙන්නේ පෝෂණවේදීන් ස්ථාපනය නොකරන්නේ බලධරයන්ගේ පැවැත්මට. වෛද්‍යවරුන්ට මෙහි යම් වගකීමක් තිබෙනවා. ඔවුන්ද එම වගකීමෙන් බැහැරවයි කටයුතු කරන්නේ. ඒ ඔවුන්ගේ පැවැත්ම උදෙසා.

ඔබ වගකීමෙන්ද මෙම චෝදනාව නඟන්නේ?

ඇත්තෙන්ම ඔව්. අපිට තිබුණේ ලෝකයට විවර නොවුණු ආහාර රටාවක්. මම ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුවට හා තායිලන්තයට ගිහින් තිබෙනවා. ඉදිරියේ දී බෘෘනායි රාජ්‍යයට යෑමට නියමිතයි. මම සිංගප්පූරුවට ගිය වෙලාවේ සිංගප්පූරුවේ සාමාන්‍ය හෝටලයකින් මම ලබාගත් කෑම වේල කිසිවිටකත් මගේ මව් රටේ සාමාන්‍ය කැම කඩයකින් මට ලැබෙන්නේ නෑ. එම රටවල් නිසි පෝෂණ ක්‍රීයා පටිපාටියකට අනුගතවයි එම කැම වේල විකුණන්නේ නමුත් ලංකාවේ එහේම නෑ. මධ්‍යම ප්‍රමාණයේ බත් කෝප්පයක් සමඟ මාළු හෝ මස් අවශ්‍ය ප්‍රමාණයට සලාදයක් පෝෂණයෙන් ඉහළ ව්‍යාංජන දෙකක් ඇතුළු පෝෂ්‍ය දායි ගුණාත්මක කෑම වේලක් තමයි එදා මට සිංප්පූරුවේදි ලැබුණේ. බත් පාර්සලයි මස් පාර්සලයි අතට ගත්තම කෝකද මස් කෝකද බත් කියලා වෙනස හදුනා ගන්න බෑ. නමුත් ලංකාවේ දී කැම වේලක් ගන්න හෝටලයකට ගියාම විශාල බත් පිඟානකට අඟලකටත් අඩු පුංචි මාළු කෑල්ලක් හෝ මස් කෑල්ලක් හා තේ හැන්දෙන් බාගයක් බැගින් ව්‍යාංජන දෙකක් තමයි ලැබෙන්නේ. අද පිෂ්ටයට පමණයි ලංකාවේ කැම වේලේ අනුගත වෙලා තිබෙන්නේ. සමබර පෝෂණයක් නෑ. ප්‍රෝටීන් නෑ. පිරිසිදු නෑ. මුදල පමණයි වැදගත්. ලබාදෙන කෑමවේල වැදගත් නෑ.

 ඔබ පවසන අන්දමට මෙරට සිටින ජනතාව, මානව සම්පත පෝෂණ ඌනතාවය කින්ද පෙළෙන්නේ?

සියලුම පිරිස නෙමෙයි. ප්‍රතිශතයක් ලෙස වැඩි පිරිසක් පෝෂණ ඌණ තාවයකින් තමයි පෙළෙන්නේ. වැඩියෙන් පිෂ්ටය අනුභව කරමින් විටමින් බහුල නැවුම් එළවළු පළතුරු පලාවර්ග මග හරිමින් ඔරලෝසු මුහුණතට අනුගත වෙමින් තුන්වේල යාන්තමින් පිරිමහා ගනිමින් තමයි ජිවත් වෙන්නේ. කොහෙත්ම නිසි පෝෂණයක් ලැබෙන්නේ නෑ. ඔරලෝසු මුහුණතින් පරිබාහිරව තමන්ට බඩගිනි වෙලාවට කැම ගැනිමේ ක්‍රමවේදයක් අපට නෑ.

පෝෂණවේදියකු ලෙස අද පෙනී සිටින ඔබ කොහොමද ක්‍රීඩාවට යොමු වුණේ?

මම අධ්‍යාපනය හැදැරුවේ ගමේ පාසලෙන්. නමුත් මට ඉහළට අධ්‍යාපනය කිරිමට හැකියාවක් තිබුණේ නෑ. මම පාසලේ දී ක්‍රීඩාවට යොමු වුණත් අපට අවස්ථාවක් තිබුනේ නෑ. ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. මම ක්‍රීඩා පුහුණු කිරිමේ දී කවපෙත්ත විසිකිරීමෙන් දක්ෂතා දැක්වුවා. නමුත් පාසල් මට්ටමින්වත් ජාතික මට්ටමින්වත් සමස්ත ලංකා මට්ටමින්වත් ඉදිරියට ඒමට හැකි වුණේ නෑ. ශාරීරික අභ්‍යාස ගුරුවරුන්ගේ තෝරාගැනීමෙන් පිට අපට අවස්ථාව තිබුණේ නෑ. තරගවලට ඉදිරිපත් වෙන්න. අපි එදා ගුරුවරුන්ගෙන් එ් පිළිබඳ ප්‍රශ්ණ කරන්න ගියේ නෑ. ගුරු ගෞරවය අපි රැක්කා. නමුත් අද ඒහෙම නෑ, මම හැමදාම කිලෝ මීටර් 5ක් දුවලා තමයි මගේ දින චර්යාව පටන් ගන්නේ. මම ගොවිතැන් කලත් හැමදාම උදේට කිලෝ මීටර් 5ක් දුවනවා. එදා ඒ දිවිල්ල අදත් තියෙනවා. අද මට වයස අවුරුදු 58යි. අදත් මම ක්‍රීඩාවේ නියැලෙනවා. ක්‍රීඩාවේ දිගටම නියැලුණා. තරග ඇතුව හෝ නැතුව ජයග්‍රහණ ඇතුව හෝ නැතුව මම ක්‍රීඩා කළා.

ඔබ ක්‍රීඩාවෙන් පෝෂණවේදයට යොමු වුණේ ඇයි?.

මට හැමදාමත් තිබුණු ප්‍රශ්නය තමයි මිනිසුන් ලෙඩ වෙන්නේ ඇයි කියන ප්‍රශ්ණය. මම ඒ පිළිබද කිවීමට යොමු වුණා. කියවීමෙන් පර්යේෂනයට. පර්යේෂන කිරීමට යොමු වුණම තමයි මම සොයාගත්තේ පෝෂණ ඌනතාව නිසා තමයි මිනිසුන් ලෙඩ වෙන්නේ කියලා.

අද වන වට උතුරු මැද පලාතේ වකුගඩු රෝගය විශාල පිරිසකට තිබෙනවා.මම වකුගඩුරෝග පිළිබඳ පර්යේෂණ ගණනාවක් කළා. දොස්තරලා කියන දේ නෙමෙයි වකුගඩු රෝගයට මුල වෙනම කාරණයක්. ඒ දේ පැවෑසුවාට කිසිවකු ඒ පිළිබඳ අවධානය යොමුකළේ නෑ එදා සිටිය සෞඛ්‍ය ඇමැතිට මම ඒ පිළිබඳ වාර්තාවක් දුන්නා. නමුත් එයට කිසිම ප්‍රතිචාරයක් නෑ. මගේ පර්යේෂණ අද පවතින්නේ ලෙඩවෙන්නේ ඇයි කියන එකට හේතු සොයන්නයි. කවුරුවත් ඒ පිළිබඳ අවධානයක් යොමුකරන්නේනෑ.

ඔබ ක්‍රීඩකයකු ලෙස මෙරට ක්‍රීඩාව තුළ පෝෂණය තුළින් සිදුවිය යුතු වෙනස්කම් දකින්නේ කවර ආකාරයකටද?

මෙරට සිටින ක්‍රීඩකයන් ජාතියේ පිනට පහළවු ක්‍රීඩකයන්. නමුත් නිසි කළමනාකරණයකින් හා දක්ෂතා පූර්ණය කිරීමෙන් වර්ධනීය වු ක්‍රීඩකයන් අපට නෑ. ක්‍රීඩා පුහුණු පිටියකට ගියොත් අපට දැකගත හැකි ක්‍රීඩකයන්ගේ නොයෙකුත් ලෙඩ රෝග හා මානසික ආතතීන්වලින් හෙබි ක්‍රීඩකයන්. නමුත් පුහුණුකරුවන් කිසිවකුත් ඔවුන්ගේ ලෙඩ රෝග හා මානසික ව්‍යාකුලතා හදුනාගෙන නිසි ප්‍රතිකාරයක් යෝජනා කරන්නේ නෑ. පුහුණුකරවන්ට අවශ්‍ය ක්‍රීඩකයාගේ පුහුණුව පමණයි. පෙරදිනයට වඩා වැඩි ජවයකින් අද දින පුහුණු විම්වල ක්‍රිඩකයා නිරත කරවීමයි පුහුණුකරුවන් අද කරන්නේ. නමුත් ක්‍රීඩකයාට ඇති ආබාධ පෝෂණ ඌනතා හා මානසික ආතතීන් වෙත අවධානය යොමුකොට එක් එක් ක්‍රිඩකයාට අනුචිත ලෙස පුහුණුවීම් රටාවක් නිර්මාණය කිරීම තුළින් මෙයට වඩා වැඩි ක්‍රීඩා කෞශල්‍යක් අපට සිටින ක්‍රීඩකයන්ගෙන් ලබා ගත හැකියි. කිසිවෙක් මේ පිළිබඳ අවධානය යොමු කරන්නේ නෑ.

ඔබ පවසන පරිදි ඔබ උසස් අධ්‍යාපනය හැදැරු කෙනකු නොවෙයි. නමුත් ගණිතඥයකු හා පෝෂණවේදියකු ලෙස පෙනී සිටිනවා.

ඇල්බට් අයින්ස්ටයින්ට වගේම මමත් පාසල් කාලයේ ඩයිනික්සියා රෝගයෙන් පෙළුණු කෙනෙක්. මම එන්.සී.ජී. විභාගය වත් සමත් වන්නට පුළුවන් වු කෙනකු නෙමෙයි.. මම ඒ විභාගයෙන් සමත් වුණේ කෘෂිකර්ම විෂය පමණයි. ඒ ඉරිගහන්නට තිබුණු නිසා. මට එවකට භාෂාව හරියට බෑ. නමුත් මම කියවීමට හුරු වුණා. විභාගය අසමත් වී පාසලෙන් පිට වුණාට පස්සේ මනෝ විද්‍යාව හා දර්ශණය පිලිබදව කියවිමට හුරුවුණා. මම කියවපු පොතක තිබුණා බුද්ධිමතුන්ගේ ඌනතාවය නිසා තමයි බුද්ධිවර්ධනයක් නොවන්නේ කියා. ඒ අතර කොතලාවල මහතා සිංහලයට පරිවර්තනය කළ ස්විස් ජාතික ජින්පියාජෝගේ මනෝ විද්‍යාවේ න්‍යාය කියන පොත මට කියවීමට අවස්ථාව හිමිවුණා. කොතලාවල මහතා කියන විදිහට ජින්පියාජෝ මෙම පර්යේෂණග්‍රන්ථය මඟින් ඉදිරිපත් කරන දේවල්වලඵල නෙලා ගත යුත්තේ ඉදිරි පරපුරයි. මට ඒ දේ හරියට කාවැදුණා. මම ඒ අනුව නොයෙකුත් මනෝවිද්‍යාත්මක පොත් කියවීමට යොමු වුණා. ජින්පියාජෝගේ දැක්ම ගැන මම පර්යේෂණ කිරිමට යොමු වුණා. ඒ වකවානුවේ දී තමයි මට 89 දෙවන තරුණ කැරැල්ලට සහයෝගය දිම නිසා සිරබත් කන්නට සිදු වුණේ. මම මාස අටකුත් දින 21ක් හිරගෙදර සිටියා. ජින්පියාජෝ කියපු විදියටම මම බුද්ධි වර්ධන ව්‍යායාමවල නිරතවෙමින් ජින්පියාජෝගේ නියාය ප්‍රායෝගීකව හසුරුවන්ට යොමු වුණා. කියවීම හා බුද්ධිවර්ධන ව්‍යායාමවල නිරත වුණා.

ඒ කියන්නේ 89 දෙවන තරුණ කැරැල්ලේ ඔබ ක්‍රීයාකාරී සාමාජිකයෙක්.

නෑ. මමත් දැනුමේ පිපාසය මත ක්‍රියාකළ කෙනෙක්. මට හිමි වු මස අටකුත් දින 21ක් වූ හිරගෙදර ජීවිතය මගේ අධ්‍යාපනයේ නව මානයකට මා යොමු කිරිමට සමත් වුණා. හිරගෙදරට මාව බලන්න එන මගේ බිරිය රැගෙන එන බත් පාර්සලය ඔතාගෙන එන පත්තර පිටුව මගේ දැනුමේ කේන්ද්‍රස්ථානය වුණා. මම තව තවත් කියවීමට යොමු වුණා. ඒ කියවීම තුලින් මම ලේඛනයට යොමු වුණා. මගේ පොත් කිහිපයක් දැනට පිටවී ති‍ෙබනවා. තවත් පෙත් කිහිපයක් මුද්‍රණයේ පවතිනවා. ජනතාව මළාකරන ජෝ‍යතිෂය පිළිබඳ පොතකුත් ඒ අතර වෙනවා.

පෝෂණවේදියකු වශයෙන් පෙනීසිටින ඔබ ගණිතඥයකු ලෙස යම් දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත්ව තිබෙනවා.

කියවීම හා බුද්ධිවර්ධන ව්‍යායාමවල නිරතවෙමින් ජින්පියාජෝ අධ්‍යනය කරමින් සිටන මට කායික වර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවෙනවා. මම කායික වර්ධනය ගොඩනගාගත්තට එය පෙන්නුම් කළ නොහැකියි. ජින්පියාජෝ කියන විදිහටම කායික වර්ධනය ගොඩනගා ගත් කෙනකු තාර්කික බුද්ධියෙන් හා ගණිත සංකල්පවලින් තමයි කායික වර්ධනය පෙන්නුම් කළ යුත්තේ. අන්න ඒ හැදැරීම මත මමත් ගණිත සංකල්ප කෙරෙහි යොමුවෙනවා. 1992 දී ගණිත ඔලිම්පියාඩ් කියන ගණිත සංගමයේ සාමාජිකයකු ලෙස මම සාමාජිකත්වය හිමිකරගන්නවා.

මම ඒ අනුව ගණිතයට යොමුවෙනවා. ගණිත ගැටලු සමීකරණ විසදීමට ස්වයං අධ්‍යාපනයේ නිරත වෙනවා ඒ අනුව මම ගණිත විද්‍යාවේ ප්‍රයෝගික ගැටලු නිරාකරනය කරගැනිම උදෙසා වෙහෙසුණා මෙරට සිටන ගණිතඥයන්ගේ ඇසුරක් ගෙඩනගා ගන්න මට අවස්ථාව ඒ තුලින් උදා වුණා. ඔය අතර ඔලිම්පියාඩ් මැතමැටික්ස් කියන අන්තර්ජාතික සංගමයේ ක්‍රීයාකාරී සාමාජකයකු ලෙස ද මම සම්බන්ධතා පවත්වාගෙන දැනුම ගොඩනගා ගනිමින් සිටියා.

ගණිතය පිළිබද පොතපත ලිවේ පිළිගත් අධ්‍යාපනයක් හැදැරීමෙන් පසුවද?

මට ගණිතඥ මහාචාර්ය ඇපාසිංහ මහතාව ඇසුරුකරන්න ලැබෙනවා. ඔහුත් සමඟ ගණිත ගැටලු විසදිමට යොමුවන මම ගණිතය පිළිබඳ පොතක් ලියන්නට ලකලැස්ති වන විට ගණිතඥ මහාචාර්ය ඇපාසිංහ මහතා ගැටලුවක් විසදීමට මට බාර දුන්නා. මම ඒ ගැටලුව විසදුවා. මම විසදුමත් සමඟ ඇපාසිංහ මහතා හමුවුණාම එතුමා මට කිවා. හරී අනුරසිරී මිනිහෙකුට සිවිලිම අල්ලන්න උවමනා විට ඉනිමගක් අවශ්‍යයි. එම නිසා ගැටලුව විසදපු ආකාරය පියවරෙන් පියවර ලියාගෙන එන්න කියා. ඇපාසිංහ මහතා මට කීවා. මම ඒ4 කොල 6කින් එම ගැටලුව විසදපු ආකාරය ගැන ලියාගෙන ගිහාම ඇපාසිංහ මහතා එක පිටුවක් කියෙව්වා. කියවලා මට කිවා අනුරසිරි මට හරි වෙහෙසයි මගේ වයසත් එක්ක මට මේක තවදුරටත් කියවන්න බෑ කියලා. ගණිතඥ මහාචාර්ය ඇපාසිංහ මහතා මට කිවා. එදා ඒ මොහොතේ ඇපාසිංහ මහතාව හමුවට ආවා ඔවුගේ ගෝලයකු වු මහාචාර්ය රාමසිංහ මහතා. ඇපාසිංහ මහතා එම පිටු 6ක ලියවිල්ල රාමසිංහ මහතාට දුන්නා. එතුමා එය කියවා මට කිවා අනුරසිරි ඔය ගැටලුවලින් පලක් නෑ. පුළුවන්නම් ප්‍රමාගේ අවසන් ප්‍රමේය පුළුවන්නම් විසදාගෙන එන ලෙස මම එම අභියෝගය බාරගත්තා. මම එම ගැටලුවත් විසදුවා. එය මහාචාර්ය රාමසිංහට කිවාම ඔහු මට කිවා එය ඉදිරිපත් කරන්න කියා. එය විසදපු ක්‍රමවේදය කියන්න කියා කිවා මම කිවා මම ඉදිරිපත් කරන්නන් හැබැයි විද්වත් කමිටුවක් කැදවන්න කියා. නමුත් ඒකට රාමසිංහ මහතා කැමැති වුණේ නෑ. අදටත් එය එළිදක්වන්න මට පුළුවන් වුණේ නෑ.

ඔබ ගණිත ගැටලු විසදීමෙන් ඉවත් වෙලා පෝෂණවේදීයකු ලෙස ද අද පෙනී සිටින්නේ?

නෑ මම ගණිතඥයකු ලෙස විශාල වැඩකොටසක් කළා. මම ගණිතයෙන් ඉවත්වෙලා නෑ. මට අවසන්ථාවක් නෑ. මට අන්තර්ජාතිකව මම විසදපු ගණිත ගැටලු එළිදක්වන්න අවස්ථාවක් හිමිවුණේ නෑ මෙරට සිටන ගණිත ප්‍රාඥයන් ඇසුරුකලා තර්ක කළා නමුත් මට අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඇමෙරිකානු මධ්‍යස්තානයේ සහය ඇතිව ගණිතය පිලිබද ප්‍රකාශන ආයතනයන් සමඟ සම්බන්ධතා ගොඩනගාගත්තත් මට අන්තර්ජාතකව මගේ තාර්කික දැනුම ප්‍රදර්ශනය කිරිමට අවස්ථාවක් ලැබී නෑ. එක් අවස්ථාවක් ඔස්ට්‍රේලියාවට යැමට අවස්ථාව හිමිවුණා. නමුත් මට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය මට විසා ලබාදුන්නේ නෑ.

ගණිතඥයකු ලෙස පෝෂණවේදීයකු ලෙස ඔබගේ ඉදිරි දැක්ම කෙසේද?

මගේ බලාපොරොත්තුව තමයි. ඉංග්‍රීසි භාෂාව තවත් ප්‍රගුණකර රුසියන් භාෂාව ද හදාරා ගණිතය පිළිබඳ මම යන ගමනේ නව මාවතකට යොමුවෙන්න. ඒ වගේම දෙමළ භාෂවත් ප්‍රගුණ කර වෛද්‍ය විද්‍යාව හැදැරීමට මම බලාපොරොත්තු වෙනවා.

නිරෝගිමත් මානවයෙක් ගොඩනැගිම තමයි මගේ මේ ගමනේ අරමුණ.

මම ඒ වෙනුවෙන් අදටත් අධ්‍යාපනය හදාරනවා. අන්තර්ජාලය ඔස්සේ විවිධ අධ්‍යාපනික ක්‍රමවේදයන් ප්‍රගුණ කරමින් තමයි මම සිටින්නේ.

අදහස්