රාවණා පර­පුරේ මිනි­සුන් සොයා ලග්ග­ලට | සිළුමිණ

රාවණා පර­පුරේ මිනි­සුන් සොයා ලග්ග­ලට

* වසර පන්ද­හක් පැරැණි ඉති­හා­ස­යක්
* යක්කම පිදීම හා සූර්ය වන්ද­නාව තව­මත්

විශ්වය බිහිවු දා සිට මහ­පො­ළොවේ පහළ වු විවිධ පුද්ග­ල­යින් සම්බ­න්ධ­යෙන් සමා­ජයේ පව­තින්නේ සදා­කා­ලික මත­ක­යන්ය. බොහෝ අව­ස්ථා­වල එම පුද්ග­ලයෝ ජාතික වීර­යන් බවට පත්වෙති. එසේත් නොමැ­ති­නම් සාමාන්‍ය මිනිසා අභි­බවා ගිය මහා බල­යක් සහිත පුද්ග­ලයෝ බවට පත්වෙති.එසේ වන්නට බලපෑ කරැණු හා ඔවුන්ගේ ක්‍රියා­කා­ර­කම් ඒ අතර ප්‍රධාන තැනැක් ගනියි.

මේ විව­ර­ණය මෙතැන් සිට දිග හැරෙන්නේ වසර පන්ද­හ­ස­කට වඩා ඉති­හා­ස­යක් ඇතැයි කියැ­වෙන ජන සමූ­හ­යක් වටා ගෙතුණු අපූරු තොර­තුරු සොයා ගිය ගම­නක තොර­තුරු ඔබ වෙත ගෙන එන්න­ටය.

මාතලේ දිස්ත්‍රි­ක්කයේ ලග්ගල - පල්ලේ­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් රණ­මුරේ, නාරං­ග­මුව හා ඇටැ­න්ව­ලමේ යන ගම්මාන කිහි­පය වටා අපගේ මේ කතාව ගලා යන්නේය.මේ ගම්මාන ලෝක උරු­ම­යක් වන නකල්ස් කඳු රක්ෂි­ත­යට මායිම්ව හා එහි පහස විඳි­මින් පිහිටා ඇත්තේය.

ශ්‍රි ලංකාවේ වෙනත් ප්‍රදේශ හා සස­ඳද්දී මේ ගම්මා­න­ව­ලට විශේ­ෂ­ත්ව­යක් හිමි­වන්නේ ඇයි? ඉති­හා­සය පුරා අපට හමුවූ ජන කොට්ඨාස අත­රින් රාවණා පර­පු­රෙන් පැවත එන පිරිස් ලෙස හඳු­න්වනු ලබන මේ පිරිස් වත්මන් සමා­ජ­යට සුවි­ශේෂි වන්නේ කුමක් අර­භයා ද යන්න සෙවී­මද අපගේ මේ චාරි­කාවේ එක් අර­මු­ණක් විය.

දෙවි­යන් කෙරෙහි ඇති අති මහත් වු භක්තිය හුදු විද්‍යාව අභි­බවා යන කාර­ණා­වකි.

විදු ඇසට ගෝචර නොවන එහෙත් ප්‍රායෝ­ගි­කව අත් දැකිය හැකි මේසා සුව්සල් මිනිස් කොට්ඨා­ස­යක් අද­ටත් භක්ති­යෙන් අද­හන හා පිහිට ලබන මේ රාවණා කතා පුවත ලග්ග­ලට ආවේ­ණික බව මේ ගමනේ දී ලද තොර­තුරු අනුව අපට පසක් විය. මෙකී ගම්මාන ආශ්‍රිත බොහෝ ස්ථාන හඳු­න්වනු ලබන්නේ ද රාවණා නාමය සහි­ත­වය. රාවණා ගම, රාවණා වෙද පර­පුර, රාවණා ඇල්ල ආදී බොහෝ නම් මේ පරි­ස­රයේ දී අපට හමුවේ. මේවා ඉබේ පැමි­ණියා ද යන්න මෙහි දි විම­සිය යුතුය.

යම්කිසි ශිෂ්ටා­චා­ර­යක් බිහි­වන්නේ ජන සමූ­හ­යක ක්‍රියා­කා­ර­කම් ආශ්‍ර­යෙනි. ලග්ගල අද­ටත් ඉති­රිව පව­තින සිරිත් අතර යක්කම පිදීම හා සූර්ය වන්ද­නාව ඊට කදිම උදා­හ­රණ සප­යයි.

හේන් ගොවි­තැන ඔවුන්ගේ මූලික ආදා­යම් මාර්ගය කර­ගත් සමයේ සිට වත්මනේ ද මේ ගම්මා­න­වල ජනයා අඩුක්කු පුදති.

අඩුක්කු පිදීම යනු ගමේ කවුරු වගා­වක් කළ ද එහි මුල් කොටස දෙවි­යන් උදෙසා පූජා කිරී­මය.

එය ඉතා­මත් භක්ති­යෙන් සිදු­ක­ර­න්නක් වන අතර මොවුහු සිය අස්වැන්නේ අග්‍ර­ඵ­ලය දෙවි­යන්ට පුද­න­තෙක් ආහා­ර­යට ගැනීම ප්‍රති­ක්ෂේප කරති.

හිරු තැටි­යක ආධා­ර­යෙන් සූර්ය නම­ස්කා­රය

සනු­හරේ යකුන්ට අඩුක්කු පිදීම ලෙස හැඳි­න්වෙන මේ පූජා විධි වස­රක් පාසා අද­ටත් ලග්ගල ගම්මාන රැසක සිදු­ක­රනු ලබයි. සූරිය වන්ද­නාව යනු ඉර මූලික කර­ගත් පුජා­වකි. රාවණා සූරි­ය­වං­ශි­ක­යෙකු බව පව­සන මේ ගම්මු එදා රාවණා විසින්ද සිදු­ක­රන ලද සූරිය වන්ද­නාව අද­ටත් සිදු­ක­රති.

යක්කම ලෙස හඳු­න්වනු ලබන මේ වන්ද­නා­වවේ දී ආයුධ පේ කිරිම, යාතිකා කිරිම හා හිරු තැටි­යක ආධා­ර­යෙන් සූරිය නම­ස්කා­රය කිරීම යන කාරණා ඉටු­ක­රයි.

අඩුක්කු පිදිම කෙත­රම් බල­වත් ද යත් කෙනකු සිය අස්වැන්න අඩුක්කු පිදි­මට එක් නොක­රන්නේ ද ඔවුන්ගේ පවු­ල්වල අය ලෙඩ­දු­කෙන් පීඩි­ත­වන බවට අද­ටත් ලග්ගල ගැමියෝ අද­හති.

සදා­හ­රිත කඳු යායෙන් වටවී ඇති මේ ගම්මා­න­වල ගැමියෝ තව­මත් ඉතා සරල දිවි පෙවෙ­තක් ගත කරති.

බොහෝ­විට ජංගම දුර­ක­ත­න­යක් හෝ ඔවුන්ගේ අතේ නොමැ­ති­ත­රම්ය. හුදෙක් මහ පොළොව හා පොර බදි­මින් රාවණා දෙවි­යන්ට පුද සත්කාර කර­මින් දිවි ගෙවති. මොවුහු රාවණා දෙවිඳු බණ්ඩාර දෙවි­යන් ලෙසද හඳු­න්වති. රාවණා දෙවිඳු සෑම කල්හිම සෑම ව්‍යස­න­ය­කින්ම තමන් රක්ෂා කරන බවට ඔවුහු අද­හති. කිසි­යම් හෝ උව­දු­ර­කදී රාවණා දෙවි­යන් සිහි­කි­රීම මොවුන් වෙතින් නිර­තු­රුව සිදු­ව­න්නකි.

මේ ගම්මුන් ලකේ­ගල හඳු­න්වන්නේ රාවණා සතු­වූ­වා­යැයි පැව­සෙන දඬු­මො­නර යානය අහ­සට එසවූ ස්ථානය ලෙසය.

දුම්බර ප්‍රදේ­ශයේ ඇති දිය කදුරු ලකේ­ගල පාමුල සිට පොළොව අභ්‍ය­න්ත­ර­යෙන් ගලා­විත් නාරං­ග­මුව විලෙන් මතුව වත්මන් මොර­ග­හ­කන්ද හා කළු ගඟ පෝෂ­ණය කරන බවට පැරැණි මත­යක් පවතී.

ලග්ගල ගැමි­යාගේ ජීවන රටාව වෙනස්ය. ආවේ­ණික බස් වහ­ර­කට මෙන්ම ආහාර රටා­ව­කට ද ඔවුහු හිමි­කම් කියති. බොහෝ අව­ස්ථා­ව­ලදී මිශ්‍ර ව්‍යංජ­නය ඔවුන්ගේ ආහා­ර­වල දක්නට ලැබෙන දෙයකි. උදා­හ­ර­ණ­යක් ලෙස කවුපි ව්‍යංජ­න­යට දඹල හෝ වෙනත් එල­ව­ළු­වක් එක්කි­රිම ඔවුන්ගේ සිරි­තය. අල ව්‍යංජ­න­යට කැකිරි ද එක්කි­රිම තවත් උදා­හ­ර­ණ­යකි.

මෙහි කිසි­යම් වැද­ග­ත්ක­මක් වේදැයි අපි විම­සීමු. බර ආහා­ර­යක් ගැනීම බර වැඩ කරන මේ ජන­යාගේ ශරී­ර­යට අව­ශ්‍යය.

අනෙක් කරුණ නම් ව්‍යංජන කිහි­ප­යක් ඉවී­මේදී යොදන සෙසු අමු­ද්‍ර­ව්‍යද අඩුය. පෝෂණ ගුණය මෙන්ම අර­පි­රි­මැස්ම ද විය­දම අඩු­වීම ද මෙහිදි සිදු­වෙයි. නිවෙසේ පිසී­මට මදි­පාඩු එල­ව­ළු­ව­ක්වේ­නම් එය ඉව­තට දැමීම අද බොහෝ අද ඇතැම් ගෘහ­ණි­යන්ගේ සිරි­තකි. (උදා­හ­රණ ලෙස බෝංචි කරල් 2ක් අල ගෙඩි­යක් හෝ බටු ගෙඩි­යක්) නමුත් ලග්ගල ගැමි කාන්තාවෝ මේ සියල්ල ප්‍රයෝ­ජ­න­යට ගතිනි. ඔවුන්ගේ ඇති විශේ­ෂ­ත්වය ද එයයි.

සැත­පුම් 30 - 40 ගමන පයින්

අපි­රි­මිත දේව භක්ති­ය­කින් යුතු ලග්ගල ගැමියා කිසිදා සිය එදි­නෙදා කට­යුතු සිදු­කි­රිමේ දී බැහැ යන වච­නය භාවිත නොක­රයි. හැකි සෑම අයු­ර­කින්ම තමන්ට හැකි පම­ණින් දෙවි­යන් උදෙසා පුද පූජා පව­ත්ව­මින් මේ සුන්දර නකල්ස් වන පෙතට ආද­රය කර­මින් ඒ රැක­ග­නි­මින් දිවි ගෙවති. බොහෝ විට මේ පිරි­ස­ර­යට වින කරන්නේ බාහි­රින් පැමි­ණෙන පිරිස්ය.

වස­රක් පුරා නොනැ­වතී නිසො­ල්මනේ ගලා බසින දිය දහරා මේ ලග්ගල ප්‍රදේ­ශයේ සුල­භය. ඒවාට කැළි කසළ එක්ක­රන්නේ ද අප­විත්‍ර කරන්නේ ද ලග්ගල ජනයා නොව බාහිර පුද්ග­යින්ය.

එනි­සාම ජිවයේ පැවැත්ම උදෙසා ඝෘජු දාය­ක­ත්ව­යක් ලබා­දෙන සොභාව ධර්මයේ අපූරූ නිර්මා­ණ­යක් වන නකල්ස් කඳු පංතිය ආරක්ෂා කිරිම කාගෙත් යුතු­ක­මක් ලෙස ඔවුහු අද­හති.

“අපි කැලෙන් කෝටු­වක් කපන්නේ ඉඳ­හි­ට­ලයි. මේ කැලේ තිබ්බොත් තමයි අපි ආරක්ෂා වෙන්නේ. මේක රාවණා දෙවි­යන්ගේ අඩ­විය. මේක ආරක්ෂා කොරන එක අපේ යුතු­ක­මක්” ලග්ගල නාරං­ග­මුව ගැමි­යෙක් පැව­සීය.

රාවණා දෙවි­යන් යනු හුදු කල්පි­ත­යක්ම නොව යථා­ර්ථ­යක් බව පසක් කරන මේ ගැමි­යන් අද­ටත් කියන්නේ එතු­මන්ගේ පිහිට තමන්ට තිබෙන බවයි.

එනි­සාම ඔවුහු රාවණා අද­හති. පුද සත්කාර කරති. ඔවුන්ට අනුව මේ සරල ගැමි ජීවි­තය ඔවුන්ට යහ­ප­තකි.

මේ සුන්දර ගම් කීපයේ කළ සංචා­ර­යේදී අපට හමුවූ බොහෝ දෙනෙකු නිරෝගී දිවි පෙවෙ­තක් ගත කරන අන්දම අපි දුටු­වෙමු. මේ කඳු­කර මංපෙත් හරහා ඔවුන් ඇවිද යන්නේ පාග­ම­නිනි. ඒ අතර සැත­පුම් 30ක 40ක දුරක් දින­පතා පා ගම­නෙන් යන උද­විය වෙති. ඔවුන්ට කිසිදා කකුල් කැක්කු­මක් නැත. කොටින්ම ඉසෙන් බහින ලෙඩක් නැත.

සියලු වැඩ අත්තම් ක්‍රම­යට

ගම්මුන් අතර සිදු­වෙන වැඩ කට­යුතු බොහො­ම­යක් අත්තම් ක්‍රම­යට සිදු­කි­රීම මේ ගම්වල තව­මත් දක්නට ලැබෙයි. මෙය අප රටේ අතී­තයේ සිට පැවත ආ ශ්‍රම හුව­මාරු ක්‍රම­යකි. ගෙදර වහ­ලයේ පොල් අතු සෙවිළි කිරීමේ සිට කමතේ ගොම­මැටි ගෑම දක්වාද කුඹුරු වැඩ මෙන්ම වත්ත පිටියේ සියලු වැඩද ලග්ගල දී තව­මත් සිදු වන්නේ අත්තම් ක්‍රම­ය­ටය. එය හුදෙක් එකි­නෙකා අතර සහ­යෝ­ග­යෙන් හා බැඳී­මෙන් සිදු­වන ක්‍රියා­ව­ලි­යකි.

අප රටේ දුරා­තී­තයේ සිට පැවත ආ මේ සාමූ­හික ක්‍රියා­ව­ලිය අවා­ස­නා­ව­කට මෙන් අද ඉති­රිව ඇත්තේ පළාත් කීප­යක පමණි.

යන්ත්‍ර මන්ත්‍ර ගරු­කම් ගැන සැඟ­වුණු කතා

ලග්ගල රණ­මුරේ රාවණා පර­පුර නොහොත් යක් පර­පුර පිළි­බඳ බොහෝ දේ අද ඉති­හා­ස­යට එක්ව තිබේ. යන්ත්‍ර­මන්ත්‍ර බලි තොවිල් හා ගුප්ත­විද්‍යා කට­යුතු සම්බ­න්ධ­යෙන් ප්‍රච­ලිත මේ යක් පර­පුරේ ඇත්තන්ගේ දස්කම් තව­මත් මේ ප්‍රදේ­ශයේ සැඟව පවතී. ඔවුන්ගේ ඉල්ලීම මත ඒ සම්බ­න්ධ­යෙන් මෙම ලිපි­යෙන් අනා­ව­ර­ණය නොකෙ­රෙන අතර ලග්ගල ගැමි­යන් සම්බ­න්ධ­යෙන් පර්යේ­ෂ­ණ­යක නිර­ත­ව­න්නෙ­කුට මෙහිදි සොයා­ගත හැකි බොහෝදෑ සැඟව ඇති බව පම­ණක් සට­හන් කරමි.

කාල­යක් තිස්සේ ඉතා සරල දිවි­පෙ­වෙ­තක් ගත කළ මේ ජන­තාව වෙතට අද­ව­න­විට සංව­ර්ධ­නයේ අරු­ණළු එබි­කම් කරන බවක් ද පෙනේ. ඇතැම් පිරිස් මේ වත්මන් සංස්කෘ­තියේ කොට­ස්ක­රු­වන් බවට පත්වෙ­මින් සිටිති. කෙසේ­වෙ­තත් දුරා­තී­තයේ සිට පැවත එන සිය පර­ම්ප­රාවේ සැඟ­වුණු බොහෝ දෑ අද­ටත් ආරක්ෂා කර ගනි­මින් රාවණා දෙවි­යන් යදි­මින් කට­යුතු කරන පිරි­සක් දැනුදු මේ ලග්ගල පුර­ව­රයේ ඉතා නිහ­ඬව කල්ගෙ­වති.

ඉන්දික අරුණ කුමාර

අදහස්