නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

කුඹුකෙ ළිඳ

උසස් පෙළ පන්තියේ තාක්ෂණ විද්‍යා පාඩම මැදට වකු­ගඩු රෝග­යට අදාළ කතා­වක් ඇදී ආවේ තරුණ ගුරු­ව­රි­ය­ටත්, ශිෂ්‍ය ශිෂ්‍යා­ව­න්ටත් නොදැනී ය.

සුපු­රුදු පාඩමේ ඒකා­කා­රි­ත්වය බිඳී යෑමෙන් කවු­රුත් මොහො­ත­කට ඉස්පා­සු­වක් ලද බව පෙනිණ.

එසැණ ගුරු­ව­රි­යට අතීත කතා­වක් මතක් විය. එය දරු­වන්ට කියා ගැනීමේ උව­ම­නා­වක් ද ඇගෙන් පළ විය.

‘ළම­යිනේ මං ඔයා­ලට හොඳ කතා­වක් කියන්නං’

‘අනේ හොඳයි ටීචර්. අපි අහං ඉන්නං’

පන්තිය පුරා සියුම් හස­රැ­ල්ලක් හමා ගියේ ය. ඉන් ගුරු­ව­රිය ගේ මුව මඬල ද වැසී ගියේ ය.

‘ඔයා­ලට පොඩි චේන්ජ් එක­ක­ටයි මේක කියන්නෙ. හැබැයි මං මේ කතාව කෙටි­යෙන් කියල ඉවර කරපු හැටියෙ ආයෙත් පාඩ­මට බහි­නව. හරිද?’

‘හරි ටීචර්’

‘ඔන්න ළම­යිනේ අපි කැම්පස් එකේ දෙවෙනි හරි තුන්වෙනි හරි අවු­රු­දු­වල ඉන්දැද්දි අපේ කණ්ඩා­ය­මට පොඩි රිසර්ච් එක­කට යන්ඩ සිද්ධ වුණා’

‘ඒ කොහා­ටද ටීචර්?’

‘රජ­ර­ටට. රජ­රට පළාතෙ වකු­ගඩු රෝගෙට හේතු වෙන්නෙ මොන දේවල් ද? කියන එක හොයල බල­න්ඩයි අපි ගියේ. ජන­තාව හොයා­ගෙන ගිහිං ඒගො­ල්ලන්ගෙ අද­හස් ගන්ඩ තමයි අපිට නිය­ම­වෙලා තිබුණෙ’

‘ඉතිං ටීචර්ල ඒ පළාතෙ හැම ගෙයක් ගාණෙ ම ගියා ද? ගොඩක් කල් යන්ඩ ඇති නේද?’

‘මුළු පළා­තෙම ඇවිද්දෙ නෑ. ඒක කරන්ඩ අමාරු නිසා තෝර ගත්තු ගම්මාන කීපෙ­කට විත­රයි අපි ගියේ’

‘ඒ මොන ගම්ද ටීචර්’

‘වකු­ගඩු රෝගය ව්‍යාප්ත­වෙ­මින් තිබුණු ගම්’

‘ඉතිං එහෙම ගියා ම?’

‘ඔව්. ඉතිං වකු­ගඩු රෝගය ව්‍යාප්ත වෙමින් තිබුණු ගම් කීප­යක් පහු කර­ගෙන ඇතු­ළට යන­කොට අපි ඉබේම වාගෙ වකු­ගඩු රෝගෙ ගැන ආරං­චි­ය­ක්වත් නැති ගම­කට යැවුණා!’

‘හරි පුදු­ම­යිනෙ’

‘පුදු­මෙ­නුත් පුදු­මයි තමයි. වකු­ගඩු රෝගය සාමා­න්‍ය­ක­ර­ණය වෙමින් තියෙන පළා­තක කාලෙ­කින් වකු­ගඩු රෝගි­යෙක් හිටිය කියල අහ­ල­වත් නැති ගමක් තිය­න­වයි කිව්වම ඇත්ත­ටම අපි­ටත් පුදුම හිතුණ’

‘ඉතිං ටීචර් ඒ අය ඒ ලෙඩෙන් බේරිච්ච රහස මොකක්ද?’

‘රහස මේකයි. ඒ ගමේ හැම නාන ළිඳක් ළඟ ම, හැම බොන ළිඳක් ළඟ ම කුඹුක් ගහක් තිය­නව. ගහක් දෙකක් නෙමේ ඊට වැඩි­යත් තිය­නව. ඇත්තම කිය­නව නං ඒ ගම්මා­නෙම කුඹුක් යායක්. ඉතිං ඒ ගමේ වැඩි­හි­ටියො කියපු හැටි­යට ඔය කුඹුක් ගස්වල හීං මුල් බූසි­යක් වගේ ළිං පතු­ළට ඇදිල ළිඳේ වතුර පිරි­සිදු කර­නව. ඒ කියන්නෙ ජලයේ තියෙන මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු කොටස් උරා ගන්නව. අපිට කියපු හැටි­යට උපන් දා ඉඳල ඒ ගොල්ලො බොන්නෙ, නාන්නෙ කුඹුක් මුල්ව­ලින් පිරි­සිදු වෙච්ච වතුර. ඒ හින්ද ඒ අයට ඉහිං බහින රෝග­යක් නෑ කිය­ලයි ඒ අය කිව්වෙ’

පන්තිය නිහ­ඬව ම ඒ විස්මය විඳ ගත්තේ ය.

‘කුඹුක් ගහක් යට ඉන්න­කොට ඇඟට දැනෙන්නෙ අපූරු සිසි­ලක්. රජ­ර­ට­උෂ්ණ නිසා කුඹුක් හෙව­ණක නැව­තිලා ගිමන් අරි­න­කොට ඇඟට දැනෙන්නෙ ලොකු සනී­ප­යක්. දැන් ඔය ළම­යින්ට තේරෙ­න­වනෙ අපේ ඇස්ව­ලට පේන කුඹුක් ගහ අපට සිසිල දෙනව වගේ අපේ ඇස්ව­ලට නොපෙ­නෙන කුඹුක් මුල් අපේ ජලය පිරි­සිදු කරල දෙනව කියල’

‘ඉතිං ඇයි ටීචර් ඒ ගමේ අය ඔය රහස අනිත් අයට හෙළි කරන්නෙ නැත්තෙ?’

‘අමු­තු­වෙන් හෙළි­ක­රන්න දෙයක් නෑ ළමයො ඔය පැරණි ගම්වල කොහො­මත් කුඹුක් ගස් තිය­නව. කුඹුකෙ ළිඳෙන් දිය නාගෙන එනව කියල කවි සින්දු­වල යොදල තියෙ­න්නෙත් ඒකනෙ.වර්ත­මානෙ මේ ස්වභා­වික සම්පත නොස­ලකා හැරල තියෙන හින්දයි මේ කර­දරේ’

‘ඉතිං ටීචර්, රජ­රට පුරා ම කුඹුක් වැව්ව නං අනා­ගත පර­පුර බේර­ගන්ඩ පුළු­වන්නෙ නේද?’

‘රජ­රට විත­රක් නෙමේ ළමයො අපි කාගෙත් ළිං ළඟ කුඹුක් පැළ­යක් හිට­වන තර­මට අනා­ගත පර­පුරේ ඇඟට ගුණයි’

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්