ඒ කාලේ අපේ වටි­නාම වස්තුව කතු­රයි | සිළුමිණ

ඒ කාලේ අපේ වටි­නාම වස්තුව කතු­රයි

කිරි දරු­වන් 500 කට වැඩි­යෙන් මෙලො­වට උප­ද්දවූ වින්නඹු මවක් කියන කතා

1948 කවු­ඩුල්ල ජන­ප­දය ඉදිවී පනහ දශ­කය වන­විට මහ කැලය එළි­පෙ­හෙළි වී යම්තම් ජන­පද ඉදි­වූවා පමණි. දහ­සක් බාධක මැද දිවි ගමන ගොඩ නඟ­න්නට මිනි­සුන් අප්‍ර­මාණ දුක්විඳි යුග­යක කන්දක් පල්ලා දරු­වන් මෙලො­වට උප­ද්ද­න්නට වෙර­ද­රන මවු­ව­රුන්ට ශක්ති­යක් වූ දිරිය මව­කගේ ජීවිත ආව­ර්ජ­නයේ කථා­වයි මේ.

ඇය නමින් ලීලා­වතී අත­ප­ත්තුය. මේ වන­විට දිවි­ග­මනේ 91 වැනි විය ගත කර­න්නීය. කිරි­කැ­ටි­යන් 590 ක් පමණ බිහි කිරී­මට දායක වී ඇති බව ඇය මහත් අභි­මා­න­යෙන් පව­ස­න්නීය. විය­පත් වුවද ඇය තව­මත් හොඳින් කන් ඇහෙන ඇස් පෙනෙන හොඳ සිහි­යෙන් යුතු ශරීර සෞඛ්‍ය­යෙන් යුතු දිරිය මවකි. ඇගේ උප­න්ගම කොළඹ දෙහි­වල ය. ඒ කාලයේ දෙහි­වල සතු­න්වත්ත සෑදී­මට ඉඩම් දී ඇත්තේ සිය මුතුන් මිත්තන් බව ඇය පව­සයි.

“මම හැදුණේ වැඩුණේ ‍පාසල් ගියේ දෙහි­වල වුණත් මට අවු­රුදු 18 ක් විතර වෙන­කොට මගේ නෑනා කෙනෙකු වන ඇලිස් නෝනා සමඟ තමයි ජීවත් වුණේ. මගේ නෑනා රාජ­කාරි කළේ තල­ව­කැලේ රෝහ­ලක. ඇය ගමේ දරු­වන් බිහි කිරීම ගැන හරිම ජන­ප්‍රි­යයි. මමත් ඇය සමඟ ඇගේ සහ­යට බඩ­දරු අම්මලා ඉන්න ගෙව­ල්ව­ලට යනවා වින්නඹු රාජ­කා­රි­යට.

නෑනාගේ තනි නොත­නි­යට අත් උද­ව්වට යන කොට වින්නඹු ජීවි­තය පිළි­බඳ හොඳ අත්දැ­කීම් ලැබුවා. පසු­කා­ල­යක බයක් නැතුව එම කට­යු­තු­ව­ලට පුරුදු වුණා. ඒ කට­යු­ත්තදි අපි ගෙන යන ලොකුම වටි­නාම හා අත්‍ය­වශ්‍ය භාණ්ඩය තමයි පිරි­සුදු අලුත් කතුර. එය කහ­ව­තු­රින් හෝදල පිරි­සුදු රෙදි කඩක ඔතා­ගෙන මහ වස්තු­වක් ගෙන යන විදි­හට තමයි ගැබිනි අම්ම­ලාගේ ගෙව­ල්ව­ලට ගොඩ වදින්නේ.

සම­හර ගෙව­ල්ව­ලදී දරු­ව­ටයි අම්ම­ටයි කර­ද­ර­යක් නැතිව බබා වදා දෙන්න කියලා කිරි අම්මා දාන­ය­කට ඒ අය බාර වෙනවා. තවත් අය ගම්බාර ශුද්ධ සූනි­යම් දෙවි­යන්ට පහ­නක් දල්වලා කිය­නවා වැදූ ගෙයි ලෙඩ හැදෙන්නේ නැතුව බබා ලැබෙන්න කියලා. පනහ දශ­කයේ පුල්ල­යාරේ දෙවි­යන් ගැන පුදුම භක්ති­යක් විශ්වා­ස­යක් ජන­තා­වගේ තිබුණේ.

බඩ දරු අම්මලා බරෙන් නිද­හස් කරන්න යන කොට මහ රාත්‍රියේ කැලය මැදින් යන්න වෙනවා. හුළු අත්ත බැඳ­ගෙ­නයි යන්නෙ. ඒ කාලයේ යාන වාහන මෝටර් සයි­කල් ත්‍රිවිල් කාර් වගේ දේවල් තිබුණේ නෑ. බර භාග ගොන් කරත්ත තමයි තිබුණෙ. රාත්‍රි මැදි­යම් කාලයේ පාන්දර කාලයේ මේ සඳහා යන්න වෙනවා. ඒ වගේ වෙලා­වට මම මින්නේරි දෙයි­යන්ට පහ­නක් දල්වලා පඬු­රක් වෙන් කරලා අතු කෑල්ලක් ගහක එල්ලලා යනවා. අපි දෙන පිං බාර­ගෙන පුල්ල­යාර් දෙවි­යන් අම්මත් දරු­වත් මාත් ආරක්ෂා කරන්න කියලා තමයි මේ සියලු දේ කරන්නෙ. හුඟක් වෙලා­වට අලු­යම ජාමෙට තමයි බඩ දරු අම්ම­ලාට විළිරුදා අමාරු හැදිල “වෙද හාමිනේ මුණ ගැහෙන්න ආවේ” කියලා මා කැටුව යන්න වැඩි­පුරම එන්නේ පිරිමි අයයි. ඒ එද්දි සම­හරු මත්පැන් බීලයි එන්නේ. ඒ අය කොහොම ආවත් මගේ හිතට කිසිම බයක් සැකක් ආවේ නෑ.

එක දව­සක් රාත්‍රි නමය දහය විතර වෙන කොට මා එක්ක යන්න කීප දෙනෙක් ආවා. මමත් සූදා­නම් වෙලා ඒ අය සමඟ ගියා. මගේ තනි­යට මල්ලිත් ආවා. මල්ලිත් උස මහත හැඩි දැඩි යෝධ පුරු­ෂ­යෙක්. මේ අය මාව රව­ට්ටා­ගෙන කැලය පැත්තට ගොස් මට අත­වර කර­න්නයි සූදා­නම් වුණේ.

ඔවුන් අතේ කෑලි පහේ එව­රස්ට් ‍‍ටෝච් එක­කුත් තිබුණා. තවත් අය කැලය ඇතුළේ ඉඳලා ආවා. ලොකු ටෝච් එක ඒ මනු­ස්ස­ය­න්ගෙන් උදුර ගත්ත මල්ලි ටෝච් එකෙන් හා අතින් පයින් ඒ අයට ගැසුවා. උන්ට හරි­යට කෙළින් හිට­ග­න්න­වත් බෑ. මත්පැන් බීලා හිටියේ.

මම හිඟු­ර­ක්ගොඩ පොලි­සි­යට ගිහිල්ලා පැමි­ණි­ල්ලක් කළා. ඒ මිනිස්සු පොලි­සි­යට ගෙන්නලා අව­වාද කරලා වැඳලා මගෙන් සමාව ගන්න කීවා. මීට පස්සෙ ඔය වගේ පහත් වැඩ කරලා මේ පැත්තේ එන්න එපා කියලා පොලි­සියෙ ලොකු මහ­ත්තයා කිව්වා.

මීට පස්සේ ළමයි ගොඩ දාන්න රාත්‍රි කාලයේ යන්න තහ­නම් කියලා පොලි­සි­යෙන් මට අව­වාද කළා.

බබා ලැබෙද්දි බබා ජීවත් වූ බැලුම් බෝල­යක් වගේ වැදැ­මහ සම­ඟයි දරුවා එළි­යට එන්නේ. අපි ළමයා දෝතින්ම අර­ගෙන කතු­රට වැඳලා අර­ගෙන පෙක­ණි­වැල කප­නවා. දරුවා වැදැ­මහ ඇතුළේ ජීවත් වෙන කොට පෙකෙණි වැලෙ­නුයි සිරු­රට අවශ්‍ය ශක්තිය විට­මින් ජීව පදාර්ථ පෝෂ­ණය ලැබෙන්නේ. බොහෝ දරු­වන් එළි­යට එන­විට ඔළුව හිරවී ඔළු­ක­ටුව බුරුල් වීම නිසා ඔළුව දිගැටි හැඩ­යක් ගන්නවා. ඒ වෙලා­වට අපි ඔළුව අත­ගාලා යථා තත්ත්ව­යට ගන්නවා. ගැහැ­නි­ය­කට තුන් ලෝකයේ තිබෙන එකම අමා­රුව තමයි විළි රුදාව. විළි රුදාව සමඟ තමයි දරුවා කෙරෙහි මුළු ජීවිත කාලය තුළම ආද­රය සෙනෙ­හස බැඳීම ඇති වෙන්නේ. බොහෝ දුරට වැදූ ගෙව­ල්වල නෑදෑයො අම්මල ආච්චිලා සියලු දෙනාම එකතු වී පිරිත් කීම පටන් ගන්නවා. ඒ සම­ඟම විවිධ තැන්ව­ලදි අංගු­ලි­මාල පිරිත, ජය­මං­ගල ගාථා, නර­සිංහ ගාථා පිරිත, අභි­ස­ම්භි­ධාන පිරිත ආදිය කිය­නවා. යශෝ­ද­රා­වත තුන් සර­ණය වගේ දේව­ලුත් කිය­නවා.

බබා අර­ගෙන හෝදලා ඉවර වෙලා අම්මට පෙන්වා වැඩි හිටි­ය­කුට තාත්තට බබාගෙ නැන්දට මාමාට අත්තා මුත්තට වඩා­ගන්න දෙනවා. ලැබුණේ ගෑනු ළම­යෙක් නම් “කම්බා­යක්” කියාද පිරිමි ළම­යෙක් නම් “සර­මක්” කියා වඩා ගන්න දෙනවා. වින්නඹු රාජ­කා­රියේ කට­යුතු ඉවුර වුණාම හිතට දැනෙන්නේ ලොකු සතු­ටක්. එය හද­ව­තින්ම එන සියුම් ආඩ­ම්බ­ර­යක්. “ඔන්න අපේ වැඩය ඉව­රයි. ඉතින් අපට යන්න අව­සර පෙර ගමන් කාරයෝ ඉස්සර වෙමුකො” යයි මම සිනා­මුසු මුහු­ණින් කිය­නවා.

“මගෙ අම්මා ගොඩ දාල දුන්නට දෙන්න දෙයක් නෑ. අපි ජීවිත කාල­යක් කළ පිං වෙද හාමි­නේට ලැබෙ­නවා. ඒ වගේම තව තවත් අපේ දරුවෝ ගොඩ දාන්න ශක්තිය වෙර වීරිය ලැබිල නිදුක් නි‍රෝගි වෙන්න ඕනෑ” කියලා එතැන සිටින අය මට පිං දෙනවා.

දරු­වන් එළි­යට ගන්න ගිය තර­මක් ගියේ පයි­න්මයි. මිනිස්සු පනහ දශ­කයේ හරිම දුෂ්කර කටුක ජීවිත ගත­කළේ. හරිම දුප්පත් නූගත් අස­රණ අහිං­සක මිනිස්සු චාරිත්‍ර වාරිත්‍ර වුණත් හරි­යට දන්නේ නෑ. වැඩි දෙනෙක් හිතා­ගෙන ඉන්නේ මම ඒ අයගෙ මේ කට­යුත්ත කරන්න බැඳිලා ඉන්නවා වගේ. සම­හ­රුන් මා එක්ක යන්න එන­කොට තිබුණු සැල­කිල්ල වැඩේ ඉව­ර­වෙලා එන­කොට නැති­ත­රම්. මම ඕවා මොක­වත් ගණන් ගත්තේ නෑ. මගේ යුතු­කම හා වග­කීම අවං­කව කළා නම් මට හරි යනවා. ඒ පිං බලෙන් මම අදත් සතු­ටින් සැපෙන් සනී­පෙන් ඉන්නවා.

හිඟු­ර­ක්ගොඩ, කවු­ඩුල්ල යෝධ ඇළ බටු­කො­ටුව මැදි­රි­ගි­රිය කිරි­මැ­ටිය වගේ ප්‍රදේ­ශ­වල බබාල සිය ගණ­නක් ගොඩ අරන් තියෙ­නවා. මම ගොඩ­දාපු ළම­යින්ට දැන් වයස තිහ හත­ළි­හ­ටත් වැඩියි. ඒ අය පාරේ යන කොට මට මතක් වෙනවා ඒ අයගෙ මවු­පියො. ඒ පවුල් පිළි­බඳ මට හොඳ හැඟී­මක් තිබෙ­නවා.

සම­හර මවු­පි­යන් දරුවා ගැනී­මට කළ උද­ව්වක් වශ­යෙන් දර­ක­ර­ත්ත­යක් ගෙනත් බානවා. ඒ කාලයේ දර කර­ත්තය රුපි­යල් තුනයි පන­හයි. නැති­නම් ගොයම් කප­පු­වාම හාල් ටිකක් ගෙනත් දෙනවා. ඔය කාලයේ හිඟු­ර­ක්ගොඩ රෝහල නෑ. ළමයි හම්බු­වෙන්න ගියෙ හත­මුණ ගැබිනි වාට්ටු­ව­ටයි. දැන් එය කාන්තා පරි­වාස හා අනාථ ළම­යින් සුර­කින මධ්‍ය­ස්ථා­න­යක්. බොහෝ දුරට වයස දාසයෙ දාහතේ ගැටි­ස්සි­යන්ට ළමයි ලැබෙන්න ගියාම හරිම අමා­රුයි. කෑ ගහ­මින් පිස්සු­වෙන් වගේ දුව­නවා. ගම­ටම ඇහෙන්න කෑග­හ­නවා. ලැජ්ජා බයක් නැතුව විළි රුදා­වෙන් හරි­යට ඇඟ දෙකට කපලා වගේ ළතෝණි දෙනවා. මේ වගෙ දේවල් මට හොඳට හුරුයි.

බොහෝ විට සම­හර විට බඩ­දරු අම්මලා දවස වරුව අමා­රු­වෙන් වේදනා විඳ­නවා. මම ඒ වෙලා­වට කරන්නේ හොඳට වැඩි­පුර ඇවි­ද්ද­ව­නවා. ඇවි­දල ඇවි­දල “දැන් බෑ” කියන කොට කෙඳි­රි­ගාන කොට ඇඳට ගන්නවා. ඊට පස්සේ දරුවා පහ­සු­වෙන් ලැබෙ­නවා.

සම­හර වෙලා­වට ඔළුව පැත්තෙන් නොවෙයි. කකුල් දෙක හරි අත හරි එළි­යට එනවා. වැදැ­මහ එළි­යට එන කොට දරුවා ලේව­ලින් නෑවිලා ඉන්නේ. ඒ වෙලා­වට මට කව­දා­වත් අපු­ලක් පිළි­කු­ලක් ගඳක් දැනිලා නෑ. නිකම් පිළී­ග­ඳක් වගේ එනවා.

සම­හර මවු­ව­රුන් හයි­යෙන් තට­මන කොට මල­පහ පිට­වෙ­නවා. මම ඒවා පිළි­කු­ලෙන් තොරව ශුද්ධ පවිත්‍ර කර­නවා. බොහෝ මවු­ව­රුන්ගේ දරු­වන් ලැබෙන්න ඉන්න කොට ඔන්න මෙන්න තියලා පිය­යුරු කිරි­ව­ලින් පිරිල නිකම්ම කිරි එළි­යට ඇවිත් හැට්ට කිරි­ව­ලින් තෙමෙ­නවා.

ඒ කාලෙ ඉස්සෙ­ල්ලාම දරු­වාට රන් කිරි කට ගෑම කර­නවා. දරුවා ලැබුණු ගමන් තන­කිරි ටිකක් ඉවත් කරලා පොවන කිරි මුර­ය­ටත් රන්කිරි කට ගානවා කිය­නවා. ඒ කිරි බිව්ව­හම තද­බල ලෙඩ දුක් හැදෙන්නෙ නෑ කියලා මත­යක් ති‍යෙනවා. සම­හර අය වෙනත් මව­කගේ කිරි ටිකක් පීරි­සි­ය­කට ගෙනල්ලා රත්‍රං මුද්දක් ගල ගා කිරි­ව­ලට දාලා කටේ ගානවා. ඒ ක්‍රම­ය­ටත් රන්කිරි කට ගානවා කිය­නවා. එහෙම කිරි දිවේ ගාපු­වාම ඇඟ පාට වැටෙන කථා­ව­කුත් තිය­නවා.

පැරණි මවු­වරු තන­කිරි එරෙන්න කියලා වැව් මාළු ලූල් මාළු හා කොස් පොළොස් හදලා කන්න දෙනවා. ඒ වගේම කිරි දරුවා කාම­රයේ තනි කරලා එළි­යට යන වෙලා­වට කොට්ට යටට ගිර­යක් හරි යකඩ කෑල්ලක් හරි තිය­නවා.

දරුවා බිහි වූවාට පසු දින කීප­යක්ම යන තුරු මිරිස් හොද්දක් හදලා දෙනවා බොන්න හා බත් කන්න. ඒකට කියන්නේ ගම්මි­රිස් හොද්ද කියලා. පළ­පු­රුදු අය මේ හොද්ද රසට සුව­ඳට හද­නවා. උළු­හාල් ගම්මි­රිස් කොත්ත­මල්ලි ඉඟුරු සූදුරු මාදුරු ගොරක හෝ සිය­ඹලා දමා හොද්ද පද­මට පාස්සලා කායම වගේ හදා­ගෙන දින කීප­යක් ම දෙනවා. සම­හර බබාලා උප­දින කොටම කොණ්ඩය හොඳට වැවිලා තියෙ­නවා. කළු­පා­ටට ලස්ස­නට. ඒ වෙලා­වට නැක­තක් බලන්නෙ නෑ. එවේ­ලේම කෙස් රොදක් කප­නවා.

බබාලා ලැබෙන්න ඉන්න විට සම­හර අම්මලා ආගම භක්තිය දේව විශ්වා­සය මත නොයෙක් ආරක්ෂා කෙම්විදි පව­ත්ව­නවා. සම­හර අය ගැබ්බර මවගේ අතේ බෙල්ලේ ඉණේ පිරිත් නූල් බඳි­නවා. තවත් අය අංගු­ලි­මාල පිරිත කිය­මින් යටි බඩේ තෙල් ගානවා පහ­සු­වෙන් දරුවා ලැබෙන්න කියලා. තවත් සම­හර වින්නඹු අම්මලා දරුවා උපන් වෙලේම අවශ්‍ය සියලු වැඩ කට­යුතු කරලා ලොකු තේහැඳි දෙකක් එකට ගහ­නවා දරු­වට ඇහෙන්න.

කිරි දෙන වෙලා­වට සාළු­වක් කරේ දා ගන්නවා පපු ප්‍රදේ­ශය නොපෙ­නෙන්න. සම­හර අම්මලා දෙතුන් පාරක් කාරලා හයි­යෙන් තුහ් තුහ් කියලා කෙළ ගහ­නවා වස් ඇරෙන්න කියලා. ඕවා ගැමි සංස්කෘ­තියේ තිබෙන සිරිත් විරිත්.

වැදූ ගෙය කිලි ගෙයක් බවට පිළි­ගැ­නී­මක් තිබෙ­නවා. බොහෝ අය වැදූ ගෙව­ල්ව­ලට යන කොට රත්‍රං සුර­යක් හැර තම සුරය ගලවා දෙහි දොඩම් වැනි පැඟිරි ගහක එල්ලා යනවා. නැවත ආ විගස කහ ටිකක් ගාලා සුවඳ දුම් අල්ලලා සුරය කරට දා ගන්නවා.

සම­හර මවු­ව­රුන්ට කිරි එරෙන කොට උණ ගැනෙ­නවා. බබා ලැබුණු අලුත මවු­වරු නිද­හසේ එළියේ පහ­ළියේ කිරි දෙනවා සාලෙ ස්තෝප්පුවේ ගෙපිලෙ. ඒ වගෙ වෙලා­වට වැඩි­හිටි අය කිය­නවා “ඕකිගෙ කට ඇහැ හොඳ නෑ උඹ පල­යන් ගේ ඇතු­ළට” කියලා නපුරු කෙනෙක් මඟ එන­කොට.

වැදූ ගෙව­ල්ව­ලින් එන කොට බොහෝ අය අලුත් රෙද්දක් රුපි­යල් දාහක්, පන්සී­යක් දෙසිය පන­හක් වට්ටි­යක තියලා රෙද්‍ද­කින් වහලා දෙනවා. ගමක වින්නඹු අම්මට පුදුම ගරු සැල­කි­ල්ලක්. පිළි­ගැ­නී­මක් වගේම භක්ති­ය­කුත් ඒ කාලේ තිබුණා. ‍

අම­ර­සූ­රිය ගල­ප්පත්ති ‍
ඡායාරූප - හිඟු­ර­ක්ගොඩ ‍සමූහ

අදහස්