වීර­කැ­ටි­යෙන් බිහි ­වුණු අලුත්ම සංගීත කණ්ඩා­යම ‘මාතා’ | සිළුමිණ

වීර­කැ­ටි­යෙන් බිහි ­වුණු අලුත්ම සංගීත කණ්ඩා­යම ‘මාතා’

මෙරට සංගීත කණ්ඩායම් අතරට දකුණු පළාත නියෝජනය කරමින් එක් වුණ වීරකැටියේ 'මාතා' සංගීත කණ්ඩායම මෙවර BAND OF THE WEEK විශේෂාංගයට එක්වෙයි.

ඔබ කවුරුද?

මම තිසර නිලන්ත

ඔබ සහ ‘මාතා’ සංගීත කණ්ඩායම අතර ඇති සම්බන්ධය?

මම තමයි එහි නියමුවා; ඒ කියන්නේ සංගීත කණ්ඩායමේ නායකයා.

සංගීත කණ්ඩායමට මාතා කියන නම යොදන්න හේතුව?

මේ නම දැම්මේ අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ නිවේදකයෙකු වෙන ඩෙන්සිල් නුගේගොඩ මහත්මයා. මාතා කියන නමේ අම්මා, මාතෘ භූමිය වගේ තේරුම් ගොඩක් තිබෙනවා.

ඔබ අධ්‍යාපනය හැදෑරුවේ කොහෙන්ද?

මගේ ගම වීරකැටියේ මැදමූලන. පාසල් යන්නේ මීගස්ආර මහා විද්‍යාලයට

ඒ කියන්නේ පාසල් යන කාලේම සංගීතයට නැඹුරු වුණා?

මම පාසලේ දි විෂයයක් විදියට සංගීතය කළා. රාගධාරී පැත්තට තමයි වැඩි කැමැත්තක් තිබුණේ. දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණ පවා අත්කරගෙන තිබෙනවා.

සංගීතය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කළාද?

මම කිසිම කෙනෙක් ළගට ගිහින් සංගීතය ඉගෙන ගෙන නැහැ. එහෙම ඉගෙන ගන්න තරම් ලොකු ආර්ථික පරිසරයක් තිබුණෙත් නැහැ. පාසලෙන් ඉවත් වුණාට පස්සේ ව්‍යාපාර පැත්තට යොමු වුණා.

‘මාතා’ පටන් ගන්න කලින් වෙනත් සංගීත කණ්ඩායම් එක්ක වැඩ කරලා තිබෙනවද?

අපි මුලින්ම ‘ත්‍රී පීස්‘ සංගීත කණ්ඩායමක් දිවියට විවිධ උත්සවවලට සංගීත සැපයුවා. මගේ මල්ලිත් ඒ වෙනකොට ශබ්ද ඉංජිනේරුවරයෙක් විදියට තමයි වැඩ කළේ. ඒ නිසා එයත් අපේ ගමනට ලොකු ශක්තියක් වුණා. අපේ සංගීතය ඇසූ බොහෝ දෙනෙක් ඉල්ලා හිටියා සංගීත කණ්ඩායමක් පටන් ගන්න කියලා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මාතා බිහි වෙන්නේ.

සංගීත කණ්ඩායම හැඩ කරන අනෙක් සාමාජිකයෝ කවුරුද?

කී බෝඩ්-අශේන් ශානක, බේස් ගිටාර්- ඉසුරු ශ්‍රීකාන්ත, රිදම් ගිටාර්-සංජු, ලීඩ් ගිටාර්- සඳරුවන්, ඩ්‍රම්ස්-සුපුන් රන්දික, ඔක්ටර් ෆෑඩ්-සම්පත් ප්‍රසාද්, නිවේදනයෙන්- හර්ෂ රත්නායක, ගායකයන් ලෙස තමෝද් ඉඳුවර, දිනාල් මලින්ත, දිලක්ෂ ගයාෂාන් කටයුතු කරනවා.

‘මාතා’ පටන් ගත්තේ කවුරුන් අනුකරණය කරලද?

අපි කිසි කෙනෙක් අනුකරණය කළේ නැහැ. අනෙක් සංගීත කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනය කළා. එහෙත් සනිධප සංගීත කණ්ඩායමේ බොහෝ දෙනෙක් හඳුනනවා. ඒ නිසා ඒ අයගේ ඇතැම් දේවල් හැදෑරුවා.

සංගීතය පැත්තකට දාලා ව්‍යාපාර කරන්න කියලා ගෙදරින් කියන්නේ නැද්ද?

එහෙම කියපු අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒත් සංගීතය අතහැර යන්නේ නැහැ කියන තැන තමයි මම දැන් ඉන්නේ.

කවුරුද මේ ගමන එන්න අතහිත දුන්නේ?

අම්මා, තාත්තා, අජිත් අයියා, මධුරංගි වාසනා වගේම සංගීත කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් සහයෝගය ලබාදුන්නා.

කණ්ඩායමක් ලෙස අනාගත බලාපොරොත්තුව?

“වීරකැටියේ මාතා” කියන නම කිව්ව ගමන් මුළු රටම හඳුනනවා නම්, අන්න එතැනට යෑම තමයි අපේ අරමුණ. 

Comments