අපේ ජනපති අපේක්ෂාව චමල් රාජපක්ෂයි | සිළුමිණ

අපේ ජනපති අපේක්ෂාව චමල් රාජපක්ෂයි

• පසුගිය පාස්කු දින ඇති වූ සිදු වීමත් සමඟ උද්ගත ව පවතින දේශපාලන වාතාවරණය තුළ අපේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ කුමන කාරණාවලට ද?

ඇතිවන නොසන්සුන්තා, කැළඹීම් හා ඇතැම් ප්‍රහාර ඒවා කරණකොටගෙන ඇතිවන සිද්ධිදාම සියල්ලක් ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නපුරක්. ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ මැතිවරණ පමණක් ම නෙවෙයි, මිනිස්සුන්ට නිදහසේ සංවිධානය වීමට ඇති අයිති ය. ඒ සියල්ලක් ම හදිසි නීතිය යටතේ යටපත් කර තිබෙනවා. එනිසා අද බොහෝ දෙනා එලෙස සංවිධානය වීම අත් හැර තිබෙනවා. අති වී තිබෙන තත්ත්වය තුළ හදිසි නීතිය නැතිව බැරි නිසා ඊට අප එකඟත්වය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් රටක ප්‍රජාතන්ත්‍රවාදයට හදිසි නීතිය කියන එක නරක ම දෙයක්. හදිසි නීතියක් තියාගෙන හරියාකාරව ඡන්දයකට සූදානම් වීමටවත්, ඡන්දයකට යන්නවත්, වෙනත් ආකාරයකට ජනතාවගේ මතයක් පළ කිරීමටවත් අවස්ථාවක් නැහැ. එනිසා අප මේ තියෙන තත්ත්වය ඉක්මණින් සන්සුන් කරගෙන සාමාන්‍ය තත්ත්වයට පත් විය යුතු වෙනවා. මේ හදිසි නීතිය ඉවත් කර ගැනීම තමයි අද අප ගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය

• හැමවිටම බටහිර කුමන්ත්‍රණ ගැන ඔබලා හඬ නඟනවා. ඇත්තට ම මේවට පදනමක් නෑ නේද?

ඇයි නැත්තේ, මේ වනවිට විවිධාකාරයේ කටයුතු මේ රට තුළ සිදුවෙමින් පැවතිනවා. විශේෂයෙන් ඇමරිකාව සමඟ විවිධ ගිවිසුම් ඇති කරගැනීමට ආණ්ඩුව පෙළඹී සිටිනවා. අද ‘සෝෆා’ ගිවිසුමට අප ලව්වා එකඟත්වය ගැනීමට ආණ්ඩුවේ ලොකු උත්සාහයක් තිබෙනවා. ඇමරිකාව සමඟ මුලින් ඇති කරගෙන තිබුණු ‘ඇක්සා’ ගිවිසුමට වඩා දුරදිග යන ‘ඇක්සා’ ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙනවා. ඒ ගිවිසුම් මඟින් අපි අනුකූලත්වය ලබාදී ඇත්තේ ඇමරිකානු හමුදාවන්ගේ උවමනා වෙනුවෙන් ලංකා භූමිය යොදාගැනීමටයි. මේ කටයුතුවලදී ඔවුන්ට හිමිවන වරප්‍රසාද කවරකාර විය යුතුද යන්නත් ඒ තුළ සඳහන්ව ඇති බව අපට ආරංචියි.

• ඔය කියන ගිවිසුම් ඔබ දැක්කද?

ඇත්තෙන්ම එය මා දැක නැහැ. නමුත් මා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ‘ඇක්සා’ගිවිසුම ගැන මා විමසා සිටියා. ඒ මොහොතේ මා විදේශ කටයුතු අමාත්‍යංශය හා ඇමරිකානු තානාපති කාර්යාලය එක්ව කළ ගනුදෙනුවක් පිළිබඳ ලියමනකුත් එතුමට ඉදිරිපත් කළා. ඒ වෙලාවේ එතුමා මේක මේ පරණ ගිවිසුමක්නෙ කියලා මඟ ඇරියා.

• එතුමා වැරදි නැහැ නේද?

ඔව් ඒක ඇත්ත. මේක මේ චන්ද්‍රිකාගේ කාලේ ඇති කරගත්ත ගිවිසුමක්. නමුත් එදා එළඹුණු ගිවිසුමේ පරිමාවට වඩා අති විශාල පරිමාවකට මේ ගිවිසුම ගෙනිහින් තිබෙනව බව ආරංචියි. මේක පිටු 80ක් පමණ වන තරම් ලොකු ගිවිසුමක්. නමුත් එදා තිබුණෙ පිටු 04ක පමණ ගිවිසුමක්. මේ ගිවිසුමේ තියෙන දේවල් ක්‍රියාත්මක වුණොත් අපේ ස්වෛරී භාවයට විශාල ගැටලුවක් ඇති වෙනවා.

• හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාත් මේ ගිවිසුමට අත්සන් කළා නේද?

ඔව්, ඒ අර පරණ ගිවිසුම අලුත් කිරීමක් හැටියට. නමුත් ඒකට අලුතින් කිසිම දෙයක් එකතු කරල තිබුණෙ නැහැ. ඒ වුණත් ඒදා ඒ ගිවිසුම ඔවුන් අලුත් කරන කොටත් අප ඒකටත් විරුද්ධ වුණා. ඒ ගැන අප මහින්ද මහත්තයගෙන් ඇහුව්වාම ‘බයවෙන්න එපා ඒ කිසිදෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ’ කියල කිව්වා. මොකද මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නම් ජනාධිපතිතුමාගේ අනුමැතිය අවශ්‍යයි. ඇත්තටම එහෙම කිසිදෙයක් ඒ කාලේ වුණේ නැහැ. ‘සෝෆා’ගිවිසුමත් අප අධ්‍යයනය කරමින් තිබෙනවා. එය මීටත් වඩා බරපතලයි. මීට අමතරව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කියන අරමුදල හරහා ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් වෙනුවෙන් එක්තරා ගිවිසුමකට ඇතුළු වෙන්න යනවා. මේක ආර්ථික ගිවිසුමක්. මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ගිවිසුමක්. පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නොවන ගිවිසුමක්. මේවා නිළධාරියකු අත්සන් කළ පමණින් ක්‍රියාවට නැංවිය හැකියි.

• බලය ලබා ගැනීමේ පටු දේශපාලන අරමුණු ඇතිව ජාතිවාදය අවුස්සමින් ක්‍රියා කිරීම රටකට කොයිතරම් යහපත්ද?

මේ රටට සංවර්ධනය වෙන්න ඕන නම්, සංවර්ධනය ජනතාව අතර බෙදී යන ආකාරයේ එකක් වේන ඕන. එහෙම වෙන්න නම් ජාතික එක්සත් කමක් තිබෙන්නට ඕන. ජාතික එක්සත් කමක් කියල කියන්නේ ලාංකික අනන්‍යතාව යටතේ කවුරුත් ඇතුළත් වෙන තැනකට ගමන් කිරීමයි. ඒ සඳහා වූ වැඩ පිළිවෙලක් ක්‍රියා මාර්ගයක් දැක්මක් මතවාදයක් ඇති දේශලාලන බලවේගයක් අප රටේ ඇති විය යුතුයි. එසේ ඇති නොවී අපිට මේ රටට යහපතක් කරන්න බැහැ. මේ රට ඉදිරියට ගෙනියන්නත් බැහැ. ඇතැම් අන්තවාදී හා බෙදුම්වාදී කණ්ඩායම් ඉන්නවා. ඔවුන් නිෂ්ක්‍රීය කර පරාජය කර; සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැ‍ලේ මේ සියලු දෙනාටම එකට සහයෝගයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කළ යුතුයි. ඒ සඳහා දිනපතා ජනතාව දැනුවත් කළ යුතුයි. එහෙම නැතුව මේ එක්සත් කම ඉබේ ඇති වෙන්නේ නැහැ.

• මේ වාර්ගික ගැටුම් ඇති වීම වැලැක්වීමට කුමක්ද මුලින් කළ යුත්තේ?

මේ වාර්ගික ගැටලු විසඳන්න නම් මුලින්ම අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යා යුතුයි. ඉහළ ජීවන මට්ටමක් පවතින රටවල මෙවැනි වාර්ගික ගැටුම් ඇති වන්නේ නැහැ. ඒ සඳහා ජනවාර්ගික එක්සත් කමක් ඇති විය යුතුයි. ජනවාර්ගික එක්සත් කමක් තිබුණොත් විතරයි ඉහළ ජීවන මට්ටමක් ළඟා කර ගන්න පුළුවන්. මේදෙකේ තියෙන අන්තර් සම්බන්ධය අඳුනගෙන ඒ අනුව අප කටයුතු කළ යුතුයි.

• නමුත් විපක්ෂය ඔබ ඔය කියන වාර්ගික එක්සත් කම ඇති කිරීමට වඩා ජාතිවාදය ඇති කිරීමටයි ඔවුන්ගේ දෘෂ්ටිවාදය මෙහෙය වන්නේ ?

විපක්ෂය තුළ විවිධ මතධාරීන් ඉන්න පුළුවන්. නමුත් ඒ මතධාරීන්; මුස්ලිම් හා දමිළ ජනකොටස් ආන්තික කළ යුතුයි, නැත්තම් ඔවුන් මේ රටේ අඩු අයිතිය තියන පිරිසක් බවට පත් කළ යුතුයි, සිංහලයන්ට පමණක් මේ රටේ අයිතිය ලබාදිය යුතුයි කියල කවුරුවත් කියන්නේ නැහැ. සහරාන්ලාගේ පහරදීම් ගැන කතා කළත්, ෂාෆි වෛද්‍යවරයා ගැන කතා කළත් ඔවුන් කතා කරන්නේ මුස්ලිම් ජනයාට විරුද්ධව නෙවෙයි. ඒ ත්‍රස්තවාදයට විරුද්ධවයි. ඒ නිසා පොදුවේ ගත්තහම විපක්ෂය තුළ එහෙම ජාතිවාදී අදහසක් නැහැ.

• එහෙම නම්, මුස්ලිම් ජනතා නියෝජිතයන් ඉලක්ක කරගෙන මේතරම් පහර දෙන්නේ ඇයි?

ඒක වැරදියි. අප රිසාඩ් බදුර්දීන්ට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවට අපි රවුෆ්හකීම්ට කබීර් හසීම්ට,මුජබර් රහුමාන්ට හෝ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට විරුද්දව එහෙම දෙයක් ගේන්නේ නැහැ. මේක මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දමිළ ප්‍රශ්නයේදි නම් ඩග්ලස් දේවානන්ද ඇරුණම අනෙක් සියලු දෙමළ නියෝජිතයින් දෙමළ ජාතිකවාදී හැඟීම උඩ උතුර නැගෙහිර වෙනම බලයක් ගොඩනැඟීමේ අදහසින් යුතුව තමයි ඉන්නේ.

ප්‍රසිද්ධියේ කතා නොකළත් හැමෝම තම ජනවර්ගයේ අයිතිය රැකගන්න ඕන කියන තැන ඉඳලයි කටයුතු කරන්නේ. එහි අවසාන අර්ථය අපේ ජනවර්ගයට අපේ ප්‍රමුඛත්වය තිබෙන්න ඕනෑ කියන එකයි. ඒ තැනින් මේ හැමෝම ගලවා ගැනීම ලේසි වැඩක් නෙමෙයි. මේ තත්ත්වය වෙනස් වෙන්නේ රටේ ගොඩනැඟෙන ජන විඥානය අනුවයි. ඒ නිසා ජන විඥානය ගොඩනැඟීමේ ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා. ඒවට ජාතිවාදීව ප්‍රතික්‍රියා කිරීමෙන් උත්තර ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නට අප විසින් පැහැදිලි දර්ශනයක් ගොඩ නඟාගත යුතුයි. අප ඒකාබද්ධ විපක්ෂය තුළත් මේ අදහස ගොඩනගමින් තිබෙනවා. නමුත් ඒ මතය පිළිගන්න හැමෝගෙම සූදානමක් තියෙනව කියල මම කියන්නේ නැහැ. දැනට ඒ අය අතරේ ජාතිවාදි ස්වරය නැතිව ප්‍රකාශ නිකුත් කිරීමට අප යම් බලපෑමක් කර තිබෙනවා කියන සතුට අපට තියෙනවා.

• වාර්ගිකත්වය මූලික කරගත් පක්ෂ ඇති වී තිබීම රටට යහපත් ද?

මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ අනන්‍යතාවෙන් යුත් දේශපාලන පක්ෂ නැති වීම නිසයි. ප්‍රධාන දේශපාලන පක්ෂ ලාංකීය අනන්‍යතාවක් තුළ නම් තිබෙන්නේ වෙනත් වෙනත් ජනවර්ග පදනම් වෙච්ච පක්ෂ ඇති වීම වැළැක්වෙනවා. නමුත් ප්‍රධාන ප්‍රවාහය තුළ සිංහල බෞද්ධ වාර්ගික ප්‍රමුඛත්වය මතුවෙනවා නම් ඊට සමානව අනෙකුත් ජනවර්ගයනුත් තමන්ගේ වාර්ගික අනන්‍යතාව නියෝජනය කරන පක්ෂ නිර්මාණය කර ගන්නවා. ප්‍රධාන පක්ෂ දෙක වාර්ගික අනන්‍යතාව පිළිබිඹුවන ආකාරයට නම යොදා නොමැති වුවත් ඔවුන් තීරණ ගන්නේ, මෙහෙයවෙන්නේ සිංහල බෞද්ධ බහුතරයේ එකතුවක් හැටියටයි. මේකට විසඳුම තමයි, සියලු ජනවර්ගයන් ඒකරාශි කරගෙන පොදුවේ හැමදෙනාගේම අභිලාශයන් නියෝජනය වන පක්ෂ ගොඩනැඟීමයි.

• ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැරසිභාවය මුළුමනින්ම ඉවත් කරගෙන නැහැ නේද?

එතුමා පුරවැසි භාවය ඉවත් කිරීමේ පියවර අරගෙනයි තිබෙන්නේ. මං දන්න ආකාරයට එය ඇමරිකාව විසින් පිළිගනිමින් තිබෙනවා. ගැටලුවක් තිබෙනව නම් තිබෙන්නේ එතුමාට විරුද්ධව අපරාධ චෝදනා තිබෙනවා නම් පමණයි. මේවන තෙක් එතුමාට විරුද්ධව කිසිම අපරාධ චෝදනාවක් නැහැ. මුදල් අලාභයක් වුණයි කියල වන්දියක් ඉල්ලල නඩුවක් දාල තියෙනවා. නමුත් ඒ නඩුව ඔහුගේ පුරවැසිභාවය අතහැරීමට හරස් වෙන්නේ නැහැ.

• එළඹෙමින් තිබෙන ජනාධිපතිවරණයේදී මේ රටට වඩා වැදගත් වෙන්නේ මිල්ටරි නායකයෙක්ද? එහෙමත් නැත්නම් සියලු ජනතාවගේ අනුමැතිය හිමිවන සංවේදී නායකයෙක්ද?

එක් පැත්තකින් මේ රටේ ජනතාවගේ වුවමනාව වෙන්නේ; ඉස්ලාම් අන්තවාදයත්, දෙමළ ජාතික බෙදුම්වාදී අන්තවාදයත් හා සිංහල බෞද්ධ අන්තවාදයත් අතර ඇති විය හැකි ආන්තික අන්තවාදී කණ්ඩායනුත් ආදී වශයෙන් මේ සියලු ක්‍රියාකාරිත්ව නිශ්ක්‍රීය කරවන ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි නායකත්වයක්. දෙවනුව මේ රටේ ජාතික යහපත සලසන ඔවුන්ගේ නිදහස අරක්ෂා කරන නායකත්වයක් රටට ඕන. තුන් වෙනුව ජනතාවට සංවේදී වූ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයත් රටට ඕන. හතරවෙනුව ජීවන මට්ටම අතින් හා මානව සංවර්ධන දර්ශකය අතින් මුළු දකුණු ආසියාවෙන් ම අපි ඉන්නේ ඉතා ඉහළ තැනක. ඒ තත්ත්වය ඇති වී තිබෙන්නේ මේ රටේ පවතින සුබසාධන ක්‍රමය නිසයි. එනිසා මේ සුබසාධන රාජ්‍ය ආරක්ෂා කරන නායකයකු රටට අවශ්‍යයි. අවසාන වශයෙන් මේ සියල්ල සමඟින් ලංකීයත්වය තුළ සියලු ජාතීන් ගොනු කරගත හැකි නායකත්වයක් රටට අවශ්‍යයි. මේ සියලු දෑ කළ හැකි නායකයකුයි අද රටට අවශ්‍ය.

• දැනට ඔබලා ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කර තිබෙන චරිතය යටතේ මේ තත්ත්වය රට තුළ ඇති කළ හැකියි කියන විශ්වාසය තියෙනවද?

අපේ පක්ෂයෙන් අපි යෝජනා කර තිබෙන්නේ චමල් රාජපක්ෂ මහතාව. අප ඒ නම යෝජනා කළාට පාක්ෂිකයන් අතරේ හොඳ ප්‍රතිචාරයක් ඒ සම්බන්ධයෙන් අපට පෙනෙන්නට නැහැ. නමුත් එය නිවැරදි යෝජනාව බව අප විශ්වාස කරනවා.

• ඒ සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදය පක්ෂය තුළත් පාක්ෂිකයන් තුළත් ගොඩනැඟිය හැකියි නේද?

ඔව්, අප තවමත් උත්සාහ කරනවා. නමුත් අපේ උවමනාව විතරක් මදියි. විෂය බද්ධව තිබෙන තත්ත්වයත් මේකට බලපානවා. විෂය බද්ධව අපේ යෝජනාවට තිබෙන ඉඩ කඩ අඩු නම් අපට එය වලක්වන්න හෝ අතික්‍රමණය කරන්න බැහැ. තියෙන තත්ත්වය අපට පිළිගන්න වෙනවා.

අදහස්