ක්‍රිකට් කිරුළට ‍කණ්ඩායම් දහයක් තරග හතළිස් අටක් | සිළුමිණ

ක්‍රිකට් කිරුළට ‍කණ්ඩායම් දහයක් තරග හතළිස් අටක්

දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර අද ලන්ඩන් ඕවල් පිටියේ දී පැවැත්වෙයි. මෙවර තරගාවලිය ආරම්භ වූයේ සත්කාරක එංගලන්තය සහ එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්ත ම කණ්ඩායම ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව අතරයි. මෙවර තරගාවලිය මූලික වටයේ තරග 45කින් අවසන් පූර්ව තරග දෙකකින් සහ අවසන් මහා තරගයෙන් වශයෙන් සමස්ත තරග 48කින් සමන්විතය. මෙවර තරගාවලිය ආරම්භයට පෙර පැවැති පුහුණු තරගවලදී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ගලිවර්ලා ලෙස විචාරකයන්ගේ අවධානය දිනා ගත් එංගලන්තය සහ ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුවේ පරාජය වූ අතර, එකි තරග දෙක පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය ද යොමු විය. එමෙන්ම වැඩි කතාබහට ලක් නොවුණ ද පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය හිමි කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නව නායක දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ තරග කළ පුහුණු තරග ද පරාජය විය.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය මෙවර සත්කාරකත්වය දරමින් ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසුණේ අංක එකේ කණ්ඩායම ලෙසයි. පිළිවෙළින් ඉන්දීයාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ප්‍රථම ස්ථානය පහ අතර රැදෙන්නට සමත් වන විට, පාකිස්තානය, බංග්ලාදේශය, බ.ඉ. කොදෙව්, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය හයවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා ස්ථානගත විය. ශ්‍රේණිගත කිරීම්වල හතරවැනි සහ පස්වැනි ස්ථාන හිමි කර ගත් නවසීලන්තය අවසන් වරට 2015 පැවැති තරගාවලියේ අනුශූරයන් වූ අතර, පස්වැනි ස්ථානය හිමි ඔස්ට්‍රේලියාව එකි තරගාවලියේ ශූරයන් විය. මෙකී තරග ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව පස්වතාවක් එනම් වැඩිම වතාවක් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය නායක විරාත් කෝලි පෙරමුණේ පසුවෙයි. එහි දෙවැනි තැන හිමි වන්නේ ද තවත් ඉන්දියානුවකු වන රෝහිත් ශර්මාටයි. ප්‍රථම දහදෙනා අතරට එකඳු ලාංකේය පිතිකරුවකු හෝ ඇතුළත් නොවන අතර, සිය දෙනා අතරට ඇතුළත් වන්නේද නව දෙනකු පමණි. මෙකී නව දෙනා අතරින් නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, දනුෂ්ක ගුණතිලකට මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකිරීම ද විශේෂත්වයකි. පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානය ද ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රාට හිමිව තිබේ. ප්‍රථම දහදෙනා අතරට එකඳු ලාංකේය පන්දු යවන්නෙකු හෝ ඇතුළත් නොවේ.

හතරේ ජය කාට ද?

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ (2003 – 15) මෙතෙක් මුණ ගැසී ඇත්තේ අවස්ථා තුනකදී පමණි. එහිදී බංග්ලාදේශය එක් තරගයක් ජය ගෙන තිබෙන අතර ඉතිරි තරග දෙක දකුණු අප්‍රිකාව ජය ගෙන තිබේ. දෙපිල මෙතෙක් එක්දින පිටියේ තරග 20 කට මුහුණ දී ඇති අතර එහිදී බංග්ලා‍ෙද්ශය තරග තුනක් ජයගෙන ඇති අතර දකුණු අප්‍රිකාව ඉතිරි තරග 17ම ජය ගෙන තිබේ.

වාසිය එංගලන්තයට ද?

තුන්වැනි දා සත්කාරක එංගලන්තය සහ පාකිස්තානය තරග බිමට පිවිසෙයි. 1979 – 2003 දක්වා දිව යන දෙපිලේ ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරග 9ක් පවත්වා ඇති අතර එහිදි දෙපිලම තරග හතර බැගින් ජය ගෙන තිබේ. ඉතිරි තරගය විසඳුමකින් තොරව අවසන් ව තිබේ. 2003 න් පසු පැවැති 2007 – 11-15 තරගාවලි තුනේදීම දෙපිල මුණ ගැසී නොමැති අතර අවසන් තරගාවලියේදී, එංගලන්තය ජය ගෙන තිබේ. සමස්තයක් ලෙස එංගලන්තය සහ පාකිස්තානය අතර මෙතෙක් එක්දින තරග 87ක් පවත්වා තිබේ. එහිදී එංගලන්තයට ජයග්‍රහණ 53කි. පාකිස්තානයට ජයග්‍රහණ 31කි.

වාඩුව පිරිමසයි ද?

හතරවැනි දා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය තරග බිමට පිවිසෙයි. 2015 දී හා පුරා කියා ලෝක කුසලාන තරගාවලියේ දෙපිළ මුණ ගැසී තිබේ. එහිදී දෙපිළ අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමි විය. මෙතෙක් දෙපිල අතර තරග තුනක් පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව තරග 2ක් ජය ගෙන තරගයක් පරාජය වී තිබේ. පසුගිය ආසියානු තරගාවලියේදී ලැබූ මේ නින්දා සහගත පරාජය කණපිට පෙරළා ගැනීමට ශ්‍රී ලංකාවට කදිම අවස්ථාවක් උදා වී තිබේ. එහෙත් දෙපිළ අතර අවසන් තරගයෙන් ලත් ජයත් සමඟ ඇෆ්ගනිස්තානය ද මේ තරගයට ඉහළ මානසිකත්වයකින් පිවිසෙනු ඇත.

නවසීලන්තයට ම යයි ද?

පස්වැනි දා පසුගිය ක්‍රිකට් ලෝක කිරුළේ අනුශූරයන් සහ බංග්ලාදේශය තරග කරයි. 1999 – 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙපිළ තරග 4කදී මුණ ගැසී ඇති අතර එකී තරග සියල්ලම නවසීලන්තය ජයගෙන තිබේ. දෙපිළ අතර මෙතෙක් තරග 34ක් පවත්වා ඇති අතර, එහිදී නවසීලන්තය තරග 24ක් සහ බංග්ලාදේශය තරග 10ක් ජයගෙන තිබේ.

වෙනසක් වෙයි ද?

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව පස්වැනි දා තරග බිමට පිවිසෙයි. 1992 – 2015දී දෙපිළ තරග හතරකදී ක්‍රිකට් කිරුළේදී මුණ ගැසී ඇති අතර එහිදී ඉන්දියාව තරග තුනක් ජයගෙන තිබේ. ඉතිරි තරගය ජයපරාජයෙන් තොරව අවසන්ව තිබේ. දෙපිළ එක්දින තරග පිටියේ අවස්ථා 83කදී මුණ ගැසී තිබේ. ඉන්දියාව තරග 34ක් ජය ගෙන තිබෙන අතර දකුණු අප්‍රිකාව තරග 46ක් ජය ගෙන තිබේ. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව තුනකි.

කැන්ගරුවෝ සම වෙයි ද?

හයවැනිදා ඔස්ට්‍රේලියාව සහ බ.ඉ. කොදෙව් අතර තරගය පැවැත්වෙයි. ඔස්ට්‍රේලියාව 1987 – 99 – 2003-07-15 ලෝක ශුරයන් වන අතර බ.ඉ. කොදෙව්වන් 1975 – 79දී ලෝක ශූරයන් වී තිබේ. 1975 – 2007 දක්වා දිව යන දෙපිළේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරග 9ක් පවත්වා ඇති අතර එහිදී කොදෙව්වන් තරග 5ක් ජය ගන්නා විට ඔස්ට්‍රෙලියාවට ජයග්‍රහණ 4කි. දෙපිළ අතර මෙතෙක් එක්දින තරග 139 ක් පවත්වා ඇති අතර එහිදී ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණ 73කි. කොදෙව්වන්ට ජයග්‍රහණ 60කි. සම වූ සහ නොවිසිඳුණු තරග 6කි.

රැල්ලට යයි ද?

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හත්වැනි දා තරග කරයි. දෙපිළ 1975- 2011 දී ලෝක කුසලාන තරග මාලාවේ තරග 7කදී එකිනෙකා මුණ ගැසී ඇති අතර එකී තරග සියල්ලම ජය ගැනීමට පාකිස්තානය සමත්ව තිබේ. එතෙක් මෙතෙක් දෙපිළ අතර එක්දින තරග 153ක් පවත්වා ඇති අතර පාකිස්තානය තරග 90 ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ප්‍රමාණය 58කි. සම තරගයකි. නොවිසිඳුණු තරග හතරකි.

එංගලන්තයට අවාසියක් වෙයි ද?

එංගලන්තය සහ බංග්ලාදේශය අටවැනි දා තරග බිමට පිවිසෙයි. 2007 -15 දී ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙපිළ මුණ ගැසී ඇත්තේ තරග තුනකදීයි. තරග දෙකක් එංගලන්තය ජය ගෙන තිබේ. බංග්ලාදේශයට ජයග්‍රහණයකි. දෙපිළ අතර මෙතෙක් එක්දින 20ක් පවත්වා ඇති අතර එහිදී එංගලන්තය තරග 16ක් සහ බංග්ල‍ාදේශය තරග 4ක් ජය ගෙන තිබේ.

ගලිවර් ද? ලිලිපුට් ද?

අටවැනි දා පසුගිය ක්‍රිකට් කිරුළේ අනුශූරයන් සහ ඇෆ්ගනිස්තානය තරග කරයි. 2015 අවසන් ලෝක කුසලාන තරගාවලියේදී දෙපිළ තරග කළ අතර එහි ජය නවසීලන්තයටයි. දෙපිළ තරග කර ඇත්තේ ද එක් තරගයක් පමණි.

Comments