මාස 6ක් හුළං වත් වදින්නේ නැතිව මං කාමරයක හිටියා | සිළුමිණ

මාස 6ක් හුළං වත් වදින්නේ නැතිව මං කාමරයක හිටියා

ඇමෙරිකාවේ සංචාරක ක්ෂේත්‍රය හෙල්ලූ අපේ මිනිසා

උපුල් ධර්මදාස

කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් නගරයේ සිට දෙපැයක් පමණ නැගෙනහිර දෙසට යන විට කොවිනා නගරය හමු වේ. එහි උපුල් ධර්මදාසගේ නිවෙසට යන විට අධි සුඛෝපභෝගී ලිමෝසීන් වර්ගයේ වාහන වලින් ගෙවත්ත පිරී තිබිණි. ඇමෙරිකාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම රටක සංචාරක ව්‍යාපාරයේ නියැළෙන ශ්‍රී ලාංකිකයකු සතුව පවතින විශාලම වාහන සංචිතය ඇත්තේ ඔහුටය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ අහස, පොළොව සහ මුහුද ජය ගත් උපුල් ධර්මදාස, සරල සාමාන්‍ය ගැමියෙකි.

උපුල්ට කවරදා හෝ ඇමරිකාවේ මෙතරම් සුවිසල් ව්‍යාපාරිකයකු වන්නට සිහිනයක් තිබුණද?

ඇමෙරිකාවට එන්න තියා ඇමෙරිකාව කියන රට ගැනවත් හීනවල කොනකවත් තිබුණෙ නෑ. දැනගෙන හිටිය ලොකුම හීනෙ තමා කොළඹ ගිහින් රස්සාවක් හොයාගෙන එදිනෙදා ජීවිතය ගත කිරීම. මම උපන්නෙ; ඉස්කෝලේ ගියේ මාතර. මුලින් ගියෙ රාහුලයට. ඒ යන අතර මට අවුරුදු 7 දි පෝලියෝ හැදුණා. ඒ කාලේ පෝලියෝවලට බෙහෙත් හොයාගෙන තිබුණේ නෑ. පෝලියෝවලට ප්‍රතිකාරයක් හොයා ගත්තෙ 1959/60 දි. පෝලියෝ හැදුණු බොහෝ දෙනෙක් මැරුණා.

ඒ රෝගය හැදුණු කාලය ඔබට මතකද?

මට මතකයි මම කුන්දු ගගහ ඇවිදිනව මොකක්ද වෙන්නෙ කියල බරපතළකමක් දැනුණේ නෑ. අම්ම මාව හැම කෝවිලක්, පන්සලක් ගානෙම අරන් ගියා. ගාල්ලෙ තොප්පි වෙදමහත්තයාගෙන් බෙහෙත් ගන්න මාව එක්කගෙන ගියා. මාස 6 ක් හුළං වදින්නෙ නැතුව කාමරයක හිටියා. දවසකට පැයක් විතර අම්ම මගේ කකුල අතගානවා. අම්ම කොච්චර නම් ගින්දරකද හිටියෙ මම සනීප වෙනකම්. මගේ පාසල් ගමන අවුුරුදු එක හමාරක් විතර අඩාළ වුණා. ළමයින්ට බෝවෙයි කියල ඉස්කෝලේ එන්න දුන්නෙ නෑ. සනීප වුණාට පස්සෙ මං ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. මාතර රාහුල, සර්වේෂස්. ශාන්ත තෝමස් කියන පාසල් 3 ටම මම ක්‍රිකට් සෙල්ලම් කළා. මට මතක සිද්ධියක් තිබෙනව .

සර්වේෂස් විදුහලේදී 1967, මහ ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන්න මට බැරි වුණා. මටම කියල පිත්තක් නොතිබුණු නිසා. ක්‍රිකට් පිත්තක් තිබුණු ළමයෙකුට ඒ අවස්ථාව හිමි වුණා. එදා මගේ දෙමව්පියන්ටවත් අනේ මට බැට් එකක් අරන් දෙන්න බැරි වුනාණේ කියල විශාල දුකක් ඇති වුණා.

1972 දී ඉස්කෝලෙන් පස්සෙ මම කොළඹට ආවා. හෝටල් පාසලේ ඉගෙන ගත්තා. හෝටල් ගණනාවකම රැකියාව කළා. පස්සෙ ජර්මන් භාෂාව ඉගෙන ගත්තා. ඒ දැනුම නිසා එයාර් ලංකා සමාගමට බැඳිලා නැව් සංස්ථාවට සම්බන්ධ වෙලා රැකියාව කළා.

ඇමෙරිකාවට ආවෙ කොහොමද?

මගේ බිරිය මුලින් ඇමෙරිකාවේ රැකියාවකට ආවා. මට නැවේ රැකියාව තිබුණා. මම මාසයක් විතර ඉඳල යන්න ඇමෙරිකාවට ආවා. ඒ ආපු ගමන තමා මේ.

ඒ කාලේ අපේ යහළුවකුට ලංකාවට යන්න වුවමනාව ඇති වුණා. මම එයාට ටිකට් එක අරන් දෙන්න ගුවන් සමාගම් හොයාගෙන හොයාගෙන ගියා. එතැනදී මට හිතුණා අමතර ආදායමක් විදිහට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මාසෙකට එක ටිකට් එකක්වත් කරමින් හිටියෙ. පොඩි රස්සාවල් කළා. මට මේසයක් වත් ගන්න සල්ලි තිබුණේ නෑ. මගෙ බිරිය තමා ඒකත් අරන් දුන්නෙ.

මට රටරටවල ගිහිල්ල ප්‍රවාහනය හා සංචාරය ගැන යම් දැනුමක් තිබුණා. මම ඒ අතරේ ඒ පිළිබඳ වැඩිදුර ඉගෙන ගත්තා. ඇමෙරිකාව දැවැන්ත රටක් නිසා ගුවන් සමාගම් රාශියක් තියෙනවා. මෙවැනි ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම හරිම අපහසුයි. මුලින් මම ප්‍රධාන සමාගම්වලට ගිහින් ඒ අයගෙන් ටිකට් අරගෙන විකිණුව. ඒ කාලේ ඒ සමාගම් අපව ගණන් ගන්නෙ නෑ. ඒත් ටිකෙන් ටික දියුණු වුණා. පසුව මගී නෞකා සමාගම්වලට සේවා සපයන්න පටන් ගත්තා.

දැන් අපට ලිමෝ වර්ගයේ බස්, මසරාති ඇතුළු ලිමෝසීන් 8ක් කැලිෆෝර්නියාවේ පමණක් තිබෙනවා.

ඒ වගේ එක වාහනයක මිල කොහොමද ?

එක වාහනයක මිල ඇමෙරිකානු ඩොලර් 125000ක් විතර වෙනව.

ඔබේ ව්‍යාපාර කොහෙද පැතිරිලා තියෙන්නේ?

ඇමෙරිකාවේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ ලොස් ඇන්ජලිස් නගරයේයි. වොෂින්ටන්, නිව්යෝර්ක්, කැනඩාවේ ටොරොන්ටෝ, දිල්ලිය සහ කොළඹ අපේ සංචාරක සමාගම ක්‍රියාත්මක වෙනව. අපි යුරෝපයේ සමාගම් සමඟ එක්ව වැඩ කරනවා. දිල්ලියේ මගේ විශාල කාර්යාලයක් තියෙනවා. වසරකට ඇමෙරිකාවෙන් ඉන්දියාවට සංචාරකයන් මිලියනයක් විතර යනවා.

ඔය කට්ටිය ලංකාවට හරවාගන්න විදිහක් නැද්ද?

සංචාරකයන් බලන කරුණු රැසක් තියෙනව. දැන් තායිලන්තයේ හෝටල්වල ගාස්තු ඉතා අඩුයි. ලංකාවේ හෝටල් හොඳයි. සංචාරකයෙකු බලන්න යන තැන්වල අයකිරීම්, ප්‍රවාහන ගාස්තු වගේ සියලු වියදම් එකතු කරලා ගත්තම ලංකාවට යන්න යන වියදම වැඩියි.

අනෙක් අතට ලංකාව ගැන වැඩි ප්‍රසිද්ධියක් නෑනේ ඇමරිකාවේ.

ඔබට ඒ වෙනුවෙන් යමක් කරන්න බැරිද?

ඇමෙරිකාව විශාල වෙළඳපොළක්. අපට විශාල වියදමක් දරන්න බෑ. මම මුදල් නැතුව එය කරන්න පුළුවන් ආකාරය පිළිබඳ ලංකාවේ රජයට පසුගිය වසර 10 පුරා උපදෙස් දුන්නා. ඒත් ප්‍රතිඵල මදි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නම එක නිලධාරියෙක් මෙහෙ කොන්සල් කාර්යාලවලට පත් කළා නම් හරි.

ලංකා සංචාරක මණ්ඩලය අදක්ෂයි කියලද ඔබ හිතන්නෙ?

ඇතැම් විට ඔවුන් වැඩිපුර අවධානය යොමු කරන්නෙ යුරෝපය දෙසටයි. ඇමෙරිකාව දෙසට යොමු වෙනව මදි. අපේ තරගකාරී ඉන්දියාව, තායිලන්තය, මාල දිවයිනට වඩා අඩු මිලට හොඳ සේවාවක් සපයන්න පුළුවන් නම් අපට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න පුළුවන්.

මේ විශාල ගමන එන්න සහයෝගය දුන් බිරිය කොහොමද ඔබට හමුවුණේ?

මට ඇය මුලින්ම මුණ ගැසුණේ 1967 නිදහස් උත්සවය දවසේයි. එයා කන්‍යාරාමයේ ක්‍රීඩිකාවක්. එයා තමයි කොඩිය අරගෙන පෙළපාළියේ මුලින්ම ගියේ. ඒ දැක්ක දවසෙම මට ඇය ගැන හැඟීමක් ඇතිවුණා. පස්සෙ ලියුම් යැව්ව යාළුවො අතේ. කථා කරන්නවත් බෑ. යාළුවෙක් සපත්තුව අස්සෙ දාගෙන ගෙනෙන ලියුම් පාසලේ වැසිකිළියට ගිහින් කියවනවා. දෙමව්පියන් මුලින්ම විරුද්ධ වුණා. මම බෞද්ධ බාබරා ක්‍රිස්තියානි. පසුව අමාරුවෙන් ගෙදරින් කැමැත්ත අරගෙන විවාහ වුණා.

බාබරා ඇමෙරිකාවට ආවට පස්සෙ මම ආවේ මාසෙන් ආපසු යන්නනේ. ආවට පස්සේ තමා තේරුණේ මේ රට සුරපුරයක් නෙමේ කියලා. එයා මට හැමදේටම උදව් වුණා. බොහෝ දෙනෙක් මුලින් මාව අධෛර්යවත් කළා. මම ගුවන් ටිකට් පත් විකුණන්න පටන් ගත්ත මුල්ම දවස්වල විශාල අධි තක්සේරුවක් තිබුණා. මං ඇමෙරිකානු මිත්‍රයෙකුට කිව්වා පළමුවෙනි අවුරුද්දෙ ඩොලර් 50000 ක විතර ටිකට් විකුණන්න බලාපොරොත්තු වෙනව කියල. එයා එක සැරේම අතේ තිබුණු බඩු මුට්ටුත් බිමට විසිකරලා විනාඩි 5ක් විතර මහා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. මට ඒ වැඩේ කරන්න කොහෙත්ම බෑ කියලයි ඔහු කිව්වේ. එ්ත් බාබරා මා වැටෙන හැම වෙලාවේම එක්ක හිටියා.

ඔබ මුහුණ දුන් දුෂ්කර අවස්ථා මතක් කළොත්.

ඇමෙරිකාව හොඳ රටක් වගේම මේක හොරුන්ගේ පාරාදීසයක්. හොර ක්‍රෙඩිට් කාඩ් වලින් වංචාවල් වෙනවා අන්තර්ජාලයෙන් ටිකට් පත් මිලට ගන්නකොට. ඒ වගේ එක අවස්ථාවක ඒජන්සියකට ටිකට් ගොඩක් විකිණුවා. එතන වැඩ කරපු කෙනා වංචාවක් කරලා අපට හොර ක්‍රෙඩිට් කාඩ් නොම්මර දීල තිබුණා. එයින් ගොඩ එන්න අපට අමාරු වුණා.

ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද?

මම හිතන්නෙ කිසිම දෙයකින් අධෛර්යවත් නොවීමයි. වැටෙන හැමවෙලේම මගේ බිරිය මාව දිරිමත් කරන්න ළඟින් හිටියා. පෝලියෝ හැදුණු දරුවකුව සිට මෙවැනි විශාල ව්‍යාපාරයක් ගොඩ නඟන්න ලැබීම ජයග්‍රහණයක්.

මම ආපු දවස්වල කෝකියෙක් විදිහට වැඩ කළා දුර බැහැර ඉස්පිරිතාලෙක. එතනට යන්න වාහනයක් තිබුණෙ නෑ මට ඒනිසා උදේ පාන්දර තුන හමාරට නැගිටලා පැය බාගයක් පයින් ඇවිදලා බස් එකක් අල්ලාගෙන පැයක් බස් එකේ ගිහිල්ල විනාඩි 45ක් දුවන්න ඕනෙ. නැත්නම් උදේ 6ට එතන ඉන්න බෑ. මං එහෙමයි දියුණු වුණේ. කිසිම දෙයක් කරන්න බෑ කියල අතහරින්න හොඳ නෑ.

 

අදහස්