නිදහසේ පියඹන කුරුල්ලන් අල්ලා අතමිට සරු කරගන්නා නරුමයෝ | සිළුමිණ

නිදහසේ පියඹන කුරුල්ලන් අල්ලා අතමිට සරු කරගන්නා නරුමයෝ

කැකිරාව මැතිවරණ බල ප්‍රදේශයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පල්ලේ කාගම ගම්මානයේ ගුලිපෙත්තාව නමින් කොටසක් තිබේ. මෙම ගම්මානයේ වැසියන් බහුතරය හේන් ගොවිතැනින් හා කුඹුරු ගොවිතැන් කරමින් තම ජීවිකාව රැක ගන්නෝ වෙති. බහුතර ජනතාවක් පිනට දහමට ලැදිව දැහැමින් ජීවිකාට රැකගෙන යද්දි එක්කෙනකු දෙදෙනකු සිදුකරන පාපකාරී ක්‍රියා නිසා මුළු ගම්මානයටම ගෙන එන්නේ කැළලකි.

මෙම ගම්මානයේ එක් නිවෙසක ජීවත් වන පවුලක් කසිප්පු ජාවාරමේ නිරත වන අතර ඔවුන් අහිංසක කුරුල්ලන් අල්ලා විකිණීමේ ජාවාරමක් කරගෙන යන බව අපට ආරංවි විය.

අප එහි ගියේ මේ කුරුලු ජාවාරම් කතාවේ ඇත්ත නැත්ත සොයාය. අපට තොරතුරු ලබාදුන් පුද්ගලයා සඳහන් කළ තොරතුරු අනුව අපි අදාළ නිවෙසටම ගියෙමු.

“පරෙස්සමෙන් යන්න. සැකයක් හිතෙන්න කථාකරන්න එපා. ගෙයි කුස්සිය පැත්තටම ගිහිල්ලා වාහනය නතර කරන්න. ඒ පැත්තේ තමයි කුරුල්ලෝ කූඩු කරලා ඉන්නේ. මේ මිනිස්සු කසිප්පු ජාවාරමෙන් තමයි ජීවත් වෙන්නේ. ‍කසිප්පු වීදුරුවට වහ වැටුණු කිහිප දෙනෙක් එහේ ඉන්නවා.” අපට ඔත්තුව දුන් පුද්ගලයා උපදෙස් දුන්නේ එසේය.

අප එහි යද්දී ඉදිරියට ආවේ කාන්තාවකි. උස මහත කාන්තාවක වූ ඇගෙන් අප වෙත එල්ලවූ ප්‍රශ්න වැලකි.

“කොහෙද යන්නේ? මොකක්ද උවමනාව?”

“අනේ අක්කේ, මම දුර ඉඳලා ආවේ. මගේ යාළුවෙක් මේ ළඟඳි හිරේ ගියා. එයා නිදහස් කරගන්න නම් කුරුල්ලෝ 14ක් නිදහස් කරන්න කියලා කපු මහත්තයෙක් කීවා. ඒ කපුවා ළඟ ඉන්න ගෝලයා තමයි කිව්වේ මෙහෙට එන්න කියලා.”

කාන්තාවගේ සැරපරුෂ කතාව විලාසය වෙනස්වී සුහද ලීලාවක් මුහුණට එක්විය. අප සුහදව පිළිගනිමින් අසුන් ගන්නා ලෙස ආරාධනා කළ ඇය හා ආගිය තොරතුරු කතා කර මා පැමිණි කාරණාවට බැස්සෙමි.

“මට සත්තු බලන්න පුළුවන්ද?”

ඇය මා කුරුලු කූඩු කරා කැටුව ගියාය.

එහි නානාප්‍රකාර කුරුල්ලන්ය. ඒ අතර වී කුරුල්ලන්, සැළලිහිණියන්, ගිරවුන් හා පරෙවියන් දක්නට ලැබිණි. ඇතැම් කුරුල්ලන් එකරොත්තට හිර කරලාය. කුරුල්ලෝ තමන්ට ආවේනික හඬින් නාද කරති. උන් ඒ පවසන්නේ තමන්ගේ දුක නොවේදෝයි මට සිතිණ.

“කොහොමද? කුරුල්ලෝ කීදෙනෙක් ගන්නවද?” ප්‍රශ්නය ඇගෙනි.

“14ක් ඕනෑ. ගාණ කීයද?”

“අයිතිකාරයා එනකල් ඉන්න. මං කෝල් එකක් දෙන්නම්.” ඇය දුරකථනයෙන් කෙනකු අමතා මද වේලාවක් සිටින ලෙස මට දැනුම් දුන්නාය. මද වේලාවක් ගතවිය. අයිතිකරුවා පැමිණෙන බවක් නොපෙනේ. ඔහු පැමිණීමට බොහෝ වේලාවක් ගත වනබවක් ඇය පැවසුවාය.

“දැන් කුරුල්ලෝ ගන්නවාද?”

“නැහැ. මම කුඩුවක් අරන් ආවේ නැහැ. කූඩුවකුයි, සල්ලියි අරගෙන මම හෙට එන්නම්”

ආපසු එන අතරමඟදී මුණ ගැසුණු ගම්මුන් හා මම කතාබහට වැටු‍ණෙමි.

“මේ මිනිස්සු මහා පව් කාරයෝ. ආත්මයක් ගැන හිතන්නේ නැහැ. අහිංසක සත්තු අල්ලලා කූඩු කරලා විකුණනවා. එක පාරක් නම් අහුවුණා. වැඩක් නැහැ. ටික දවසක් නතර කරලා තියලා ආයෙත් වැඩේ පටන් ගත්තා. සමහර දවසට මේ ‍පොඩි කූඩුවක 300ක් විතර දානවා. සමහර කුරුල්ලෝ මැරිලා යනවා තෙරපිලාම”

මේ පාපතරයින් කුරුල්ලන් අල්ලා ගන්නා විදිය ද ඔහු විස්තර කළේය.

“මේ මිනිස්සු ළඟ ඉන්නවා හීලෑකරපු කුරුල්ලෝ. උන්ට හොඳට කන්න දෙනවා. උන්ගේ කකුලේ නූලක් ගැට ගහලා පියාඹන්න හැරලා ආයේ නූලෙන් පස්සට අදිනවා. එතකොට මේ කුරුල්ලෝ කෑ ගහනකොට අනික් කුරුල්ලෝ එකතුවෙනවා. එතකොට දැලක් දානවා. එක පාර කුරුල්ලෝ 6ක් 7ක් දැලට අහුවෙනවා.

මේ මිනිසුන් අල්ලන කුරුල්ලන්ගේ මිල ගණන් දෙයාකාරයකි. ඔවුන්ගේ නිවෙසට ගොස් කුරුල්ලන් මිලදී ගන්නේ නම් වී කුරුල්ලන් ජෝඩුවක් රුපියල් 150කි. ගිරව් ජෝඩුවක් 1500ත් 2000ත් අතර මිලකට අලෙවි කෙරේ. සැළලිහිණියන් රුපියල් 1000ත් 1500ත් අතර මිලක ද පරෙවියන් රුපියල් 1000ක් 1500ක් අතරද වෙයි. නමුත් ප්‍රදේශයෙන් පිටට ගොස් කුරුල්ලන් අලෙවි කරද්දී මිල ගණන් වෙනස්ය. එවිට වී කුරුල්ලන් ජෝඩුව රුපියල් 500කි. ගිරව් ජෝඩුව රුපියල් 3000ත් 4000ත් අතර මිලකටත් සැලලිහිණියන් රුපියල් 3000ත් 4000ත් අතර මිලකටත් අලෙවි කෙරේ. පරවියන්ගේ මිලද එසේමය.

“කුඹුරුවල ගොයම් කැපෙන කාලෙට කුරුල්ලන් අහුවෙනවා අඩුයි. අනික් කාලේට විශේෂයෙන්ම කුඹුරු පැහෙන කාලේට ඒවා කන්න එන කුරුල්ලන් තමයි මේ අය අල්ල ගන්නේ. මේක අවුරුද්ද පුරාම කෙරෙන වැඩක්. එක පැත්තක කුරුල්ලෝ නැතිවෙනකොට තව පැත්තකට යනවා. මේ අය පල්ලේකාගම, දම්පැලැස්සාගම, මරදන්කඩවල, කාගම, පහලවෙම්බුව, ඉපලෝගම, ගෝනපතිරාව හ සේනපුර වගේ තැන්වලට ගිහිල්ලා තමයි කුරුල්ලන් අල්ලන්නේ. ගමේ මිනිස්සු මෙයාලට ලොකු විරෝධයක් දක්වන්න බයයි. මේ අය මැරයෝ වගේ. මැරබලයෙන් තමයි ජිවත් වෙන්නේ. ඒ මදිවට කණ්ඩායමක් ඉන්නවා. මෙතැන කසිප්පු ජාවාරමත් සිද්ද වෙනවා. කසිප්පුවලට අහුවණු අය කුරුලු ජාවාරම්කරුවාට වඩා සැරයි.” ගම්මු පවසති.

යම් අයකු මේ කුරුලු ජාවාරම පිළිබඳව වනජීවි නිලධාරින්ට පැමිණිලි කිරීමෙන් පසු මොවුන් අත්අඩංගුවට පත්වූ අතර එය මාධ්‍ය මගින්ද ප්‍රචාරය කෙරිණි. එහෙත් කාලයක් නතරව තිබූ කුරුලු ජාවාරම දැන් නැවතත් ආරම්භ කර ඇතැයි ගමේ උදවිය පැවසූහ.

“කුරුල්ලෝ මේ ගම්වලදි හරි ආශාවෙන් නිදහසේ පියාඹන්නේ.‍ මුන් නගරයට අරන් ගියාම කූඩුවල හිරකරලා ඉන්නේ. මහා අපරාධයක්” යැයි අපට හමුවු තවත් අයෙක් පැවසීය.

“මේ අයට විතරක් වරද පටවන්න බැහැ. අපේ මිනිස්සු කුරුල්ලෝ මිලදී ගන්න නිසානේ මේ අය මේ ජාවාරම දිගටම කරන්නේ. තවත් අය අන්ධ භක්තිය නිසා බාරහාරවලට කුරුල්ලෝ නිදහස් කරන්න මිලදී ගන්නවා. නිදහසේ ඉන්න කුරුල්ලෙක් අල්ලලා හිර කරලා තියලා නිදහස් කරලා ලබල සැනසීම මොකද්ද කියා ඒ අය හිතන්නේ නැහැනේ” යනුවෙන් ගමේ වැඩිහිටියෙක් අප හා අදහස් පළකරමින් කීය.

“කවුරුහරි හිරේ ගියාම එයා නිදහස් කරගන්න නම් කුරුල්ලෝ නිදහස් කරන්න ඕනෑ කියලා තවත් සමහරු මතයක් හදාගෙන. ඒ අයත් කුරුල්ලෝ ගන්න මෙහෙට එනවා. ඉතිං ජාවාරම්කාරයොත් මේක ප්‍රයෝජනයට අරගෙන වැඩි ගාණට කුරුල්ලෝ දෙනවා. පරිසර සංවිධාන වගේම සත්ව හිංසන වැළැක්වීමේ ආයතන වලින් මේ ජාවාරම නතර කරන්න ඉක්මනින් මැදහත් වෙන්න කියලා අපි ඉල්ලනවා.”

සේයාරූ - තලාව සමූහ

Comments