නන්දිමිත්‍ර යෝධයා උපන් නැඟෙනහිර කඩරොද ගමට ගියෙමු | සිළුමිණ

නන්දිමිත්‍ර යෝධයා උපන් නැඟෙනහිර කඩරොද ගමට ගියෙමු

වන්නියේ පහත් තැනි බිම්වල ඒකතාන රිද්මය උත්කර්ෂයට නැගුණ සෙයකි. තැනි බිම මතින් එක පැහැර පැතිර විහිදී යන ඒ තුමුල ගිරි පව්ව මත හිඳිමි. හාත්පස රන්වන් සැඳෑ හිරු රැසින් නැහැවෙමිනි. පසෙකින් ක්ෂිතජයෙහි ගිලී නොපෙනී යන වනදහනය. පෙරිය පුලියම්කුලම වැවෙහි ශේෂ වී ඇති සිඟිති දියත්ත රන්වනින් රැලි නංවා හමා එන සිහිල් සුළං රොදක් කොපුල් සිප ගෙන ගලා යනු දැනේ. ලොවේ සොඳුරුම අරුම කලතා හනා සිතුවම් කළ මනරම් සිතුවමක් නෙත් මානයේ මැවෙනු වැන්න.

අප පය ගසා සිටින්නේ ඉතිහාසයක් රංජනය කළ අභිමාවත් පුදබිමකය. මහාවංශය ප්‍රකාරව මේ බිම අයත් වන්නේ ඓතිහාසික පාචීණකණ්ඩරාජියට ය. පාචීණකණ්ඩරාජිය මහා කච්චකොඩිය, එරුපොතාන, කිඹුලාගල, නිරාවිය ආවරණය කළ පෙදෙස බව නාගයන් ගේ පා සටහන් කෘතිය කළ පී. වීරසිංහයෝ පවසති. පාචීණකණ්ඩරාජිය යන පාලි නාමයෙන් හඳුන්වන ලද ග්‍රාමය නැගෙනහිර කඩරොදය. නැගෙනහිර කඩරොද මහාවංශ ප්‍රකාරව නන්දිමිත්‍ර යෝධයාගේ උපන් ගමය. රළාරයන්ගේ ප්‍රමුඛතම සේනාපති වූ මිත්‍ර සෙනවි තැනගේ නැඟණියන්ගේ පුතු වූ එතුමෝ නැගෙනහිර කඩදොර කර්මාන්ත ගමෙහි චිත්තපබ්ත සමීපයෙහි උපත ලබන්නාහු යැයි මහාවංශකරුවෝ කියති.

මහාවංශකරුවා කියන මේ කතාව ලිඛිතව තහවුරු කරන්නේ කිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ලිපි කිහිපයකිනි. එරුපොතානෙහි චිත්‍ර ගුහා නමින් හැඳන් වූ ඓතිහාසික ලෙනෙහි වූ කටාරම් ලිපියෙහි පරුමක සතනසත ගේ දුවණිය වූ පරුමක මිත්‍ර ගේ භාර්යාව වූ පරුමකලු ඵුෂා විසින් කරවන ලද ලෙන සතර දිගින් වැඩි නොවැඩි සංඝයා වෙත පූජා කරනු ලබයි යන්න සඳහන්ය. මෙම කටාරමේ සඳහන් පරුමක මිත නන්දිමිත්‍ර වී යැයි පැනේ. පරුමක යනු ප්‍රධානියා ය. පරුමකලු එහි ස්ත්‍රී ලිංග පදයයි. මහාකච්චකොඩියෙන් හමුවන තවත් ලෙන් ලිපියකට අනුව සේනාපතිගේ පුත්‍ර නන්දික ප්‍රධානියාගේ පුත්‍ර පමතිය නැමැත්තාගේ ලෙන් පූජාවක් ගැන සඳහන්ය. පරණවිතානයන්ට අනුව මේ ලිපියේ සඳහන් සෙන්පතියවරයා නන්දිමිත්‍රය. එම ලෙන් ලිපියෙන් කියැවෙන්නේ නන්දිමිත්‍රගේ උදාර පරපුර ගැනය. මේ තහවුරු වන්නේ අප ජාතියක් ලෙස නන්දනය කරනු ලබන ඓතිහාසික වීරයන් හුදු මනඃකල්පිතයන් නොවන බවය. ජාතියේ වීර කාව්‍යය බඳු මහාවංශය හුදු ප්‍රලාපයක් නොවන බවය.

මහාවංශය මෙන්ම පුරාණ අටුවා කතා අනුව නැගෙනහිර කඩරොද හෙවත් පාචීණකණ්ඩරාජිකය මහා පින් බිමකි. පැදුම්කඩරොද වැසි තෙරණමක් පිළිබඳ කතාවක් විශුද්ධිමග්ගයෙහි කම්මට්ඨානගහණ නිදේදයෙහි පැනේ. පැදුම්කඩදොර වැසි පාංශුකූලික තෙරනමක් විදර්ශනා වඩා අනාගාමී ඵලයට පත්ව පසුව රහත් වූ අයුරු කියැවෙන කතාවක් අංගුත්තර අටුවාවෙහි චතුක්කනිපාතවර්ණනා වෙහි සඳහන් වේ. ඉතිහාසය කියැවෙන අකාරයට මේ භූමිය මහ රහතුන් වැඩ වාසයක කළ අපරිමිත ශුද්ධ භූමියකි.

මහාවංශය ප්‍රකාරව මේ භූමිය සශ්‍රීක කර්මාන්ත පුරයකි. ඒ වග නිසැක ලෙස සාධනය කරන නිශ්චිත ලිඛිත සාධක මෙම සෙල් ලිපි අතර සහශ්‍ර දෙකක් තිස්සේ සුරැකිව පැවතිනි. නැගෙනහිර කඩරොද කර්මාන්තකරුවන්ගේ පුරය පිළිබඳ වූ මහාවංශ සඳහන කිඹුලාගල හා නිරාවියේ ඇති සෙල් ලිපි තුනකින් සනාථ වේ. එහි ලිපි දෙකක තඹ කර්මාන්තකරුවන්ගේ ප්‍රදානයන් ගැන පැනේ. එක් ලෙනක් පූජා කරන්නේ තඹ කාර්මික තිස්සගේ පුත් රෝහණි ගුත්තය. අනෙක් ලෙන පූජා කරන්නේ තඹ කාර්මික පුෂ්ස හා සුමනය. එක් ලෙනක් පූජා කර ඇත්තේ ටින් ලෝහය ඇසුරින් කර්මාන්ත කළ කර්මාන්ත කරුවෙකි. ටින් කාර්මික ගෘහපති සුමනගේ පවුලේ උදවියට අයත් එම ලෙන මහා සංඝයා වෙත සාංඝීක කර පූජා කර තිබිණි. මෙපණ වූ ආරාම සංකීර්ණයක් නඩත්තු කිරීම සඳහා මේ මිනිසුන් සශ්‍රීක ආර්ථික වටපිටාවක පසුවූ බව පැහැදිලිය.

ලංකාවේ දින නියම කළ හැකි පැරණිම සෙල් ලිපි පෙළක් ලෙස සැලකෙන “නා රජුගේ දියණිය වූ අබි අනුරාධී” සහ එක්ව උත්තිය රජු විසින් ලෙන් සතරක කොටවන ලද ලෙන් ලිපි ප්‍රාචීණකණ්ඩරාජියේ සෙනසුන් පෙදෙසෙහි හමුවේ. අද මේ පෙදෙස හැඳින්වෙන්නේ නිරාවිය ලෙසය. උත්තිය යනු දෙවන පෑ තිස් රජුගේ දෙටු පුත්ය. පුරා දස වසරක් ලක් රජය කරවන එතුමෝ මිහිඳු මා හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ ජීවිතාවසානය දුටු, උන්වහන්සේලාගේ අවසන් කටයුතු කළ උතුමෝය.එතුමෝ ක්‍රි.පූ. 210 සිට 200 තෙක් රජ කළහ. මේ එතුමෝ පාචීනකණ්ඩරාජයේ කළ ලෙන් පූජාව මිහිඳු හිමි ජීවමාන වකවානුවේ සිට මෙහි ඇති වූ ශාසන ප්‍රභාව සංකේත කරන්නකි.

අප දැන් පසුවන්නේ පාචීණකණ්ඩරාජිකය ප්‍රභාමත් කළ කිඹුලාගල විසල් ගල්පව්ව මත පිහිටි ආරාම සංකීර්ණයේය. වව්නියාවේ සිට මාමඩුව, කච්චිකුඩිය බෝගස්වැව ජනපද හරහා වැලිඔය පරාක්‍රම පුර තෙක් දිවෙන මගෙහි පසෙක මේ විසල් පුදබිම පිහිටා තිබේ. උතුරේ බොදු උරුමය පිළිබඳ කියැවුණු ලේඛණයක් බඳු සෙල් ලිපි සමුදායක් සහිත කටාරම් කෙටූ ලෙන් පන්තියකින් සමන්විත මේ වන්දනීය බිම්පෙත අද පෙරියපුලියම්කුලම්මලෙයි ය. තවමත් අවට සිංහලයෝ මේ සෙල් පව්ව කිඹුලාගල ලෙස හඳුන්වති. මේ තුමුල පව්ව මත පැතිරී ගිය කටාරම් කෙටූ ලෙන් ආරාම 23 කි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 සියවස තෙක් දිවෙන භ්‍රාමීය අක්ෂරයෙන් ලියැවුණු ලෙන් ලිපි 13 කි. ගිරි කුළ මත තැනෙක සුමට ලෙස තැනුණ පියගැටය. ලෙන් කුටි ඇසුරෙහි සැතපෙන්නට හැකි සේ ගල සැස තැනූ මංඡක ය. කොඳු ඇට පෙළෙහි වක්‍ර ස්වරූපය දැනගෙන කළ මේ ශිලා මංඡකයක සැතපෙන විට දැනෙන සුවය කපු හුයෙන් කළ බුමුතුරණක මත දී වත් නොදැනේ.

කටාරම් කෙටූ ලෙන් ආරක්ෂිත කුටි බවට හැරවූ අතීත ගඩොල් බිත්ති තැනෙක ශේෂ වී ඇත. ලෙන් ඇසුරෙහි නොගැඹුරු දියකෙම්ය. මේ දිය කෙම් කඨෝර හිරු රැසින් වියලී ගොස්ය. උපදින දාහය සමනය කරනු වස් අතීතයේ දී එම දිය කෙම් නිසි අයුරුන් නඩත්තු වූ බව පෙනේ. පහළින් නිල්වන් පළසක් ඇතිරුවාක් බඳුව අනන්තය වෙත දිවෙන නිල්වන් වනදහනය. ඉහළින් අසීමිත අහස්කුසය. අනන්ත වූ අවකාශය තුළ අප කෙතරම් ක්ෂුද්‍රදැයි හැඟේ. මේ නිවී සැනහීයන පරිසරය තුළ වීර්යවන්ත යෝගාවචරයන්වහන්සේට රහත් බව අරුමයක් නොවන බව හඟිමි.

මහරහතුන් වැඩ වාසය කළ මේ ශුද්ධ භූමිය යුද සමයේ එල්.ටී.ටී.ටී.ඊ යේ රක්ෂිත ස්ථානයක් වී තිබිණි. ඔවුහු මේ ගිරිකුල මත දින ගණන් රැඳෙමින් සිය සටන් මෙහෙයුම් කළහ. බුද්ධි තොරතුරු එක් කළහ. එහෙත් මේ බිමෙහි එක් පුරාවස්තුවකටවත් හානියක් නොකළහ. ත්‍රස්තවාදීන් වුවත් මොනයම් හෝ හේතුවක් නිසා මේ ශුද්ධභූමි උන් අතින් වැනසී නොතිබිණි. ව්‍යසනය ඇරඹී තිබුණේ යුද්ධයෙන් පසු කාලයකදී ය. විවිධ තනතුරු හෙබවූ නමුත් ඉන් ශික්ෂණය නොවූ සමහර අවජන්මීය අශිෂ්ඨයෝ ඉතිහාසයේ උත්තම බිම් පෙතක් වූ පාචීණකණ්ඩරාජිය කෙළෙසූහ. පුරාවස්තු සොයනු රිසිව සමහර ඓතිහාසික සලකුණු සුන් කළහ. ඒ අශිෂ්ටත්වයේ සොහොන් ලකුණු කිඹුලාගලදී ද පෙනේ.

“මෙතන නිධානයක් තියනවා කියලා විශ්වාස කරලා විනාශ කළේ මෙතන රකින්නම ආපු කෙනෙක්. මොනව කරන්නද?. අපි බලාගෙන හිටියා.” මා ගමන් සගයා පවසන්නේ පිළිමයක් ඉදිකරනු සේ සැකසුණු සැකිල්ලක් අසල ඇති තරමක ආවාටයක් පෙන්වමිනි.

“දෙමළ ජාතිවාදී ඇතැම් දේශපාලකයො එක්ක බලනකොට එල්.ටී.ටී.ඊ.ය හොඳයි වගේ හිතෙනවා. දැන් මේ පුරාණ පුදබිම්වල කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න ඒ අය ඉඩ දෙන්නෙ නෑ. මිනිස්සු එක්ක පාරට බහිනවා. පුරාවිද්‍යා නිලධාරීන්ටත් ගහලා පන්නනවා. මේ තියෙන්නෙ සිංහල බෞද්ධ උරුමය ද, ද්‍රවිඩ හින්දු උරුමය ද කියලා නොසිතා මේ තියෙන්නෙ රටේ උරුමය කියලා තේරුම්ගන්න බැරි මෝඩයො එක්ක මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.” ඔහුගේ හඬේ වේදනාව මුසු පිළිකුලකි.

“ඒ වගේම තමයි මෙතෙන්ට එන සමහර මිනිස්සු. ඒ අය තමන්ගෙ නම් ගම් මේ ලෙන්වල කොටලා ගියා.” යළිත් ඔහු කියනු ඇසේ. හාත්පස බලමි. මේ ලෙන් මත තැබූ විකෘති බලි කුරුටු මනෝ විකෘතිකයන්ගේ වික්ෂිප්ත භාවයම කියමින් හිඳී. මේ හුදු ගල් පවුරුම නොවන බවත්, මේ ජාතියක මහෝඝය කියැවෙන සජීවී උරුමය බවත් නොහැඟෙන අර්ධ මිනිසුන් යුද්ධයෙන් පසු කළ ව්‍යසනය තරම් ව්‍යසනයෙන් අංශුවක් ත්‍රස්තවාදීන් විසින් මේ බිම් ඇසුරෙහි සිදුකළේ නැත. බෝධිසත්ව ගුණෝපේත සුශීල යෝගාවචරයන්ගේ තපෝගුණයෙන් නැහැවුණු එක් යුගයක යශෝගීතය අසනු රිසි නොවූ අඳබාලයන් මෙවැනි බිමක පා නොතැබිය යුතු බව හැඟේ.

පසුකර පැමිණි මගෙහි එරුපොතාන ග්‍රාමය විය. අතීත පාචීණකණ්ඩරාජිකයේ උපන් නන්දිමිත්‍රයන්ගේ නිවස අසල පිහිටි චිත්තපබ්බතය පිහිටියේ එරුපොතානේ බව මතයකි.

ඒරුපොතානේ පිහිටි ක්‍රිස්තුපූර්ව යුගයට අයත් සෙල් ලිපි දොලහක්, අභාවයට ගිය ආකාශ චෛත්‍යයක්, ආසනඝරයක්, කටාරම් කෙටූ සහ නොකෙටූ ලෙන් පද්ධතියක්, හා වෙනත් නටබුන් පිළිබඳ තොරතුරු මීට දශක තුනහමාරකට පෙර නාගයන්ගේ පා සටහන් කෘතිය කරන පී. වීරසිංහයෝ වාර්තා කරති.

ඉතිහාසයේ සශ්‍රීක බව කියමින් හිඳින එරුපොතාන වැව තවමත් සජීවී ය. එය සොබාදහම මනිස් ජීවිත හා ගලපාගෙන ජීවත්වන හැටි කියන කදිම නිමැවුමකි. වැවේ වෑ කන්ද කිලෝ මීටර තුන් කාලකයට නොවැඩිය. එහි ධාරිතාව හෙක්ටයාර අසූවක් පමණ වන බව අසල වූ පුවරුවක පෙනේ. කිලෝ මීටර තුනක් දිග ඇලමගක ඇදෙන වෑ දියවරින් තවමත් මේ ගමේ ගැමියෝ ජීවිතය උපදවති. විශේෂත්වය වන්නේ මේ වැවෙහි සොරොව්ව වෑ කන්දට සවි වූ පිහිටි කළු ගලක් කැණ නිර්මාණය කළ විශිෂ්ට නිමැවුමක් වීමය. සොරොව්වේ තුන් පසෙක පිහිටි කළු ගලය. සොරොව් කට අසල කළු ගල් කුට්ටියෙන් මනා කොට තැනූ බිත්තියකි. දිය ගෙනෙන ඇළමඟ සොරොව් මුවේ සිට විහිදවා ඇත්තේ පිහිටි කළු ගල කැණීමෙනි. පුරාවිද්‍යාඥයන්ට අනුව මේ සොරොව්ව ක්‍රිස්තුවර්ෂ 2 -6 සියවස්වලට අයත්ය. මහා වනස්පතීන්ගෙන් සෙවණ ලද මේ වෑ කන්ද මත තැන තැන දැමූ කසළ හා මත්පැන් බඳුන්ය. තැනක් නොතැනක් නැති අවිනීත මිනිසුන් කියමින් සිටින්නේ මහා සංස්කෘතියක පරිහාණියේ වේදනාවය.

මෑත බලමි. හිරුගේ අවසන් රැස් දහර රූරා වැටෙමින් ඇත. කිඹුලාගල වෙන කවරදාටත් වඩා පඬු පැහැයකින් දිස්වේ. පසෙකින් පීත්ත පටියක් සේ දිවෙන වව්නියාව වැලිඔය මඟය. ඒ මඟට මායිම්ව නන්දිමිත්‍ර යෝධයාගේ මෑතකදී කළ විසල් පිළිරුවක් පෙනේ. එය නුදුරින් පාරෙහි අනෙක් පස ඉදිකළ බස් නැවතුම ලඳු කැලෑවට වැසී ඇත. ප්‍රතිමාව කේන්ද්‍රකරගෙන ඉදිවී ඇති පුරාවිද්‍යා කෞතුකාරයක් හා කාර්යාල පරිශ්‍රයක් යුද හමුදාවෙන් නඩත්තු වෙමින් ඇති අයුරුය. පසුබිමෙහි වූ වන දහන අතරින් තැන තැන තුනී වූ තුරු හිස් අතරින් මඩ පැහැගත් නිවාස පන්තියේ පියසි දිස්වේ. ඒ අලුතින් ඉදිවූ නන්දිමිත්‍ර ගමේ නව දැකුමය.

අතීත හදබිමක් කේන්ද්‍රකොට යළිත් බිහිකිරීමට සැලසුම් වූ ජනාවාස උරුමය කේඩෑරිව හැකිළුණු සැකිලි බඳු මිනිසුන් සමඟ වියැකෙමින් ඇති අයුරු දකිමි. නන්දිමිත්‍රගම, බෝගස්වැව අවට අතහැර දැමූ මේ අසරණ මිනිසුන්ගේ ජීවිත ප්‍රාර්ථනා සමඟ ජාතියක උරුමය පිළිබඳ සංකල්පය ද හෑල්ලු වී බොල් හුළඟට ගසාගෙන ගොස් ඇති ආකාරය සිත් කම්පා කරවයි. අප තට්ටු මාරුවට පැමිණි දුරාචාර පාලනයකින් වෙහෙසී පරඬැල් වුණු මිනිස් කඩමාලු බවට පත්වී ඇත. කිඹුලාගල අහසින් කඩා හැලෙන පඬුපාට හිරු එළිය අප පාමුල දැන් මවමින් ඉන්නේ ඒ දුක්ඛිත යථාර්ථය දැයි සිතේ.

  

 

අදහස්