අඩු ගාණකට හොඳ හෝටලයක නවතින්න හොඳම කාලයයි මේ | Page 2 | සිළුමිණ

අඩු ගාණකට හොඳ හෝටලයක නවතින්න හොඳම කාලයයි මේ

සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන ශිඝ්‍ර පසුබෑමට තාවකාලික විසඳුමක් ලෙස මේ දිනවල ක්‍රියාත්මක, වට්ටම් ප්‍රවර්ධන වැඩසටහන, දේශීය සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියව තිබේ.

ඒ පිළිබඳ, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ උපසභාපති සහ කොළඹ නගරයේ සංචාරක හෝටල් සංගමයේ සභාපති, ඇම්. ශාන්තිකුමාර් මහතා දැක් වූ අදහස් මේ.

“පසුගිය වෙසක් සති අන්තයේ කොළඹින් පිට සංචාරක හෝටල් බහුතරයක් දේශීය සංචාරකයන්ගෙන් පිරී පැවැතුණා. එය ඉතා හොඳ ප්‍රවණතාවක්.

තරු එකේ සිට තරු පහ දක්වා කණ්ඩායමට අයත් වන එවැනි සංචාරක හෝටල් 250කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන අතර, ඒ හැම හෝටලයකම පාහේ මෙම සුපිරි වට්ටම් ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ නගරයේ තරු හෝටල්වල 30% දක්වාත් කොළඹින් පිට තරු හෝටල්වල 60% දක්වාත් වට්ටම් ක්‍රියාත්මකයි. හුඟක් අය හිතනවා, මේ විදියට ලොකු වට්ටමක් දෙනකොට, දෙන ආහාරවල හෝ හෝටලයෙන් සපයන අනෙකුත් සේවා පහසුකම්වල යම් අඩුවක් තිබෙනවා කියා. ඒක වැරැදි මතයක්. එහෙම දෙයක් නැහැ. වෙනදා වගේම, පැකේජයට අදාළ සියලු පහසුකම් එම තරු හෝටල් මඟින් ලබා දෙනවා.

නමුත් දේශීය සංචාරකයන් කොළඹ තරු හෝටල්වලට යන්නෙ නැහැ. ඔවුන් යන්නෙ කොළඹින් පිටට. දැන් මෙය, වියදම් පියවා ගැනීමට කරන දෙයක් පමණයි. මොකද, පවතින තත්ත්වය පහව යන තුරු හෝටල් සේවකයන්ගේ රස්සා අහිමි කරන්න බැහැ. ඔවුනුත් දරු පවුල් රකින අය. අනෙක් අතට, හෝටල් වසා දමලා, ඒවා නාස්ති වෙන්න දෙන්නත් බැහැ. ඒවා නාස්ති වුණාම යළි ගොඩ නඟන්න තව විශාල මුදලක් යට කරන්න වෙනවා. ඉස්සර නම් තරු හෝටල්වල කාමරවලින් 20-25 ක් පිරුණාම ඔවුන් ලාභය උපයාගෙන ඉවරයි. දැන්නම් ඒ තත්ත්වයට එන්න කාමර 60-70 ක් වත් පිරී යන්න ඕනේ.

දේශීය සංචාරකයන් මොන තරම් ආවා කිව්වත්, තවමත් ලංකාවේ සමස්ත තරු හෝටල් ජාලයේ කාමර 90% ක් හිස්. 10% යි දේශීය සංචාරකයන්ගේ පැමිණීම.

නමුත් මේ දේ දිගින් දිගටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. තවමත් අපි ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ ඉන්නේ රතු එළියට හසුවෙලා. ඒ තත්ත්වයෙන් ඉවත් වෙන්නේ අපේ රටේ ආරක්ෂාව සියයට සීයක් තහවුරු කළොත් විතරයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කතා දෙකක් කියන නිසා මේ තත්ත්වය තවත් බරපතළයි. දෙන්නම එක වචනයක් ප්‍රකාශ කළ යුතුයි. ඒ ස්ථීරසාර වචනය තමයි, තානාපති කාර්යාල හරහා අපි ලෝකෙට යවන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා. රජයෙන් මීට වඩා සහනයක් දෙයි කියලා. දැනට අවුරුද්දක් යන තුරු ණය සහ පොලිය ගෙවිය යුතු නැතත්, 2020 ජුනි ම‍ාසෙ ඉඳලා හෝටල් ක්ෂේත්‍රයේ සියලුම දෙනා ඒ ණය සහ පොලිය ගෙවන්න ඕනේ. ඉතින්, මේ තත්ත්වය සුළුවට ගන්න බැහැ.

මහජනතාව වශයෙන් මේ වෙලාවෙ දිය හැකි පොඩි සහයෝගයකුත් තිබෙනවා.

මේ වට්ටම් ප්‍රවර්ධන වැඩසටහන ප්‍රයෝජනයට අරගෙන, ඔබත් හැකි අයුරින්, හෝටල් ක්ෂේත්‍රය රැකගන්න දායක වන්න. පිට පළාත්වල 70% දක්වා වට්ටම් ලබා ගත හැකි සංචාරක හෝටල් තිබෙනවා. හොඳ තැනක විවේකයක් ගන්න මෙයින් දේශීය අයටත් අවස්ථාව උදා වී තිබෙනවා. තියෙන කියෙන යමක් වියදම් කරන්න පුළුවන් අය මේ වෙලාවෙ එහෙම කළොත්, මේ රටේ හෝටල් සේවකයන්ගේ රස්සා ටික බේරේවී. හෝටල් ක්ෂේත්‍රය ඔළුව උස්සන කල් එය විශාල හයියක් වේවි.

 

Comments