සහරාන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට බිරියගේ රුධිර සාම්පල ගත්තේ ඇයි? | සිළුමිණ

සහරාන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට බිරියගේ රුධිර සාම්පල ගත්තේ ඇයි?

අප්‍රේල් මස 21 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු වූ බව පසුගිය දි‍ෙනක අනාවරණය විය. එම තහවුරු කිරීම සිදු කරනු ලැබුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසිනි. රටේ අපරාධ පිළිබඳ විද්‍යාත්මකව තහවුරු කිරීමේ පරීක්ෂණ සිදු කරන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එකී කාර්ය භාරය පැවරෙන්නේ අධිකරණය මඟිනි. ඒ අනුව අප්‍රේල් 21 වැනිදා ස්ථාන 8 කදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවල විද්‍යාත්මක තහවුරු කිරීම් භාර වූයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ය.

මෙහිදී බෝම්බ ස්වාභාවය, බෝම්බවල ප්‍රබලතාව, පුපුරා ගිය ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන්නේ පුපුරන ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් විසිනි. මිය ගිය පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ඩී.එන්.ඒ. සහ ඇඟිලි සලකුණු පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසිනි. මිය ගිය පුද්ගලයන් විද්‍යාත්මකව තහවුරු කිරීම අධිකරණයට මෙන් ම ඥාතීන්ට ද ඉතා වැදගත් වේ. හඳුනාගත නොහැකි ආකාරයට මිය ගොස් සිටින අයගේ අනන්‍යතාව තහවුරු කිරීම වැදගත් වන්නේ ඥාතීන්ට ය. ස්වයං ඝාතන බෝම්බකරුවන් කවුරුන් දැයි තහවුරු කර ගැනීම වැදගත් වන්නේ අධිකරණයට ය. මේ සඳහා අපරාධය සිදුවූ ස්ථානයේ තිබෙන සිරුරු කොටස් සහ පටක ප්‍රයෝජනවත් වේ.

“අප්‍රේල් 21 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ පුපුරුවා ගත් බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ‍මොහොමඩ් සහරාන් කියලා හිසෙන් හඳුනා ගත්තා. ඒත් ජනතාව අතර කුකුසක් තිබුණා ඇත්තටම සහරාන් මැරුණ ද කියලා. මොකද තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බෝම්බයක් පුපුරුවාගෙන මිය යයි ද කියලා ගොඩාක් දෙනා සැක පහළ කළා. ඒ නිසා ස්වයං ඝාතන බෝම්බකරුවන් අතරින් මොහොමඩ් සහරාන්ට ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු කිරීම ජාතික අවශ්‍යතාවක් වුණා.” යනුවෙන් පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්. ඩබ්ලිව්. ජයමාන්නය.

මොහොමඩ් සහරාන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට අවශ්‍ය වන ඔහුගේ දියණියගේත් බිරියගේත් රුධිර සාම්පල් දෙයාකාරයකින් රජයේ රස පරීක්ෂක දෙපාර්ත‍මේන්තුවට ලැබිණි. එක් සාම්පලයක් ලැබුණේ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය මඟිනි. අනෙක් සාම්පලය ලැබුණේ ඔවුන් කොළඹට පැමිණි අවස්ථාවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගැනීමෙනි. ඉන් අනතුරුව මොහොමඩ් සහරාන්ගේ යැයි සැක කරන හිස සහ ශරීර කොටස්වලින් ලබාගත් සාම්පලය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය එවා තිබිණි. ඒ සමඟ ඔහුගේ දියණියගේ රුධිරයේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කළේ ඩී.එන්.ඒ. සැසඳීම, අදාළ පුද්ගලයාගේ මවුපියන් හෝ දූ දරුවන්ගේ රුධිර සාම්පල සමඟ සිදු කළ යුතු නිසා ය. මෙම අවස්ථාවේදී සහරාන්ගේ දියණිය ගේ ඩී.එන්.ඒ.‍ ½ ක් සහරාන් ගේ ඩී‍.එන්.ඒ. ½ කට සමාන විය.

“ඕනෑම කෙනෙකුගේ ශරීරයේ තිබෙන සෛල ගත්තාම ඒ සෑම සෛලයක් මැද න්‍යෂ්ටි‍යක් තිබෙනවා. න්‍යෂ්ටියේ තමයි මව සහ පියාගෙන් ලැබෙන වර්ණදේහ තිබෙන්නේ. X සහ Y කියන වර්ණදේහවලින් යුගල 23ක් සෑම සෛලයකම තිබෙනවා. ඒ වර්ණදේහ ඔස්සේ තමයි ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කරන්නේ‍‍. ඩි.එන්.ඒ‍. පරීක්ෂණයකට මවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ළමයින්ගේ සාම්පල් ගන්නේ ඒ නිසයි‍. සහරාන්ගේ දුවගේ ඩී.එන්.ඒ. ගත්තොත් එයින් භාගයක් සහරාන්ගේ වෙනවා.‍ ඉතිරි භාගය සහරාන්ගේ බිරියගේ. සහරාන්ගේ ‍වර්ණදේහ හැදෙන්නේ ඔහුගේ මව සහ පියාගෙන්. ඒ නිසයි දියණියගේ ඩී.එන්.ඒ. භාගයක් සහරාන්ගේ ඩී.එන්.ඒ. භාගයකට සමාන වුණේ.

මම දැක්කා ෆේස්බුක් මඟින් ගොඩාක් දෙනා ප්‍රශ්න කරලා තිබුණා සහරාන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට එයාගේ බිරියගේ රුධිර සාම්පල ලබාගත්තේ ඇයි කියලා. සහරාන්ගේ ඩී.එන්.ඒ. වලට ඔහුගේ බිරියගේ ඩී.එන්.ඒ‍. ගැළපෙන්නේ නැති බව ඇත්ත. ඒත් අපිට පවුල යන ඒකකය ගොඩ නඟන්න, ලැබුණු පිළිතුර සනාථ කරන්න බිරියගේ ඩී.එන්.ඒ. පරීක්ෂණය කිරීම ඉතා වැදගත්‍. සහරාන්ගේ දියණියගේ ඩී.එන්‍.ඒ. භාගයකුත් ඔහුගේ බිරියගේ ඩී.එන්.ඒ. භාගයකුත් අපූරුවට ගැළපුණා. ඒනිසා අපිට පුළුවන් වුණා සහරාන්ගේ පවුල නමැති ඒකකය 100% කින් තහවුරු කරගැනීමට.” යනුවෙන් අතිරේක රජයේ රස පරීක්ෂක ඩී.එච්.එල්‍.ඩබ්ලිව්. ජයමාන්න පැහැදිලි කළේ ය.

මීට අමතරව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සෙසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් තහවුරු කර තිබේ. ඒ අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැ‍රුණු අනෙක් බෝම්බකරු, කින්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ්, කොච්චිකඩේ පල්ලිය, කටුවාපිටියේ පල්ලි‍ය, මඩකලපුවේ පල්ලිය, දෙම‍ටගොඩ සහ දෙහිවල ස්වයං ඝාතන බෝම්බකරුවන් සියලු දෙනාගේ ම අනන්‍යතාව විද්‍යාත්මකව සනාථ කර අවසානය. ඒ හැර මිය ගිය පුද්ගලයන් 10 දෙනෙකුගේ අනන්‍යතාව ද මේ වන විට තහවුරු කර තිබේ. ඒ දස දෙනා අතර විදේශිකයෝ සිවු දෙනෙක් සිටිති.

“අප්‍රේල් 21 වැනිදා ස්ථාන අටක බෝම්බ පුපුරා ගිය සිදු වීමට අදාළ පරීක්ෂණ කටයුතු අපිට භාර දුන්නේ සතියක් විතර ගියාට පස්සේ. මොකද අපේ නිලධාරීන් අදාළ ස්ථානවලට ගිහින් පරීක්ෂණ කටයුතු කළාට ඊට අවශ්‍ය සිරු‍රු කොටස් වැනි දේවල් අධිකරණය මඟින් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලයෙන් අපට භාර දෙන්න ටික දවසක් යනවා. ඊට පසුවයි අපි පරීක්ෂණ ආරම්භ කරන්නේ‍. මෙම අවස්ථාවේදී අපි ප්‍රමුඛත්වය දුන්නේ විදේශිකයන්ට. මොකද ඔවුන‍්ගේ ඥාතීන් පිටරට ඉඳලා ලංකාවට ඇවිත් ඩී.එන්‍.ඒ. පරීක්ෂණ අවසාන වුණාට පස්සේ ආපහු යන්න ගුවන් ගමන් පිළියෙල කරගෙන ඇවිත් තිබුණේ. අපි විද්‍යාත්මකව අනන්‍යතාව තහවුරු කළ විදේශිකයන් සිවු දෙනා අතර චීන ජාතිකයනුත් ස්විට්සර්ලන්ත ජාතිකයනුත් හිටියා. එක් විදේශිකයකුගේ ඩී.එන්.ඒ‍. රටාව FBI මඟින් අපට එවලා තිබුණා. සමහර විදේශිකයන් ඔවුන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ කරලා ළඟ තබාගෙන සිටිනවානේ.” යනුවෙන් පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක වනිතා බණ්ඩාරනායක ය.

අප්‍රේල් 21 වැනිදා සිදුවූ ප්‍රහාරවලට අදාළ අයගේ අනන්‍යතාව තව තවත් තහවුරු කිරීම සඳහා අතිසූක්ෂ්ම පරීක්ෂණයක් වන මයිටොකොන්ඩ්‍රියල් ඩී.එන්.ඒ. තාක්ෂණය සහ Y වර්ණදේහ පරීක්ෂණ යොදා ගත් බව ද ඇය සඳහන් කළාය. ඩී.එන්.‍ඒ‍. පරීක්ෂණ ඉතා දියුණු ආකාරයට සිදු කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබීම සතුටට කරුණකි. විදේශාධාරවලින් ලැබූ අතිනවීන තාක්ෂණික උපකරණ සහ යන්ත්‍රවලින් සමන්විත මෙම විද්‍යාගාර ඇමෙරිකාව, එංගලන්තය, කොරියාව වැනි රටවල්වල විද්‍යාගාරවලට සම කළ හැකිය. එමෙන් ම විදේශ‍ීය පුහුණුව ලැබූ විද්‍යාගාර නිලධාරීන් දිවා රෑ නොබලා උපරිම කැපවීමෙන් කටයුතු කළ බැවින් මැයි 21 වනවිට සියලු පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට හැකිවූ බව සඳහන් කළේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න ය.

පසුගිය බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අයගේ අනන්‍යතාව තහවුරු කිරීමේ කටයුතු මේ වනවිට 80% කින් ම අවසාන වී තිබේ‍. දැනට ඉතිරි වී තිබෙන්නේ ඥාති සබඳතා සනාථ කිරීම් පමණි‍. එනම් සයින්දමරුදු ප්‍රහාරයෙන් මිය ගිය අය සහ කොළඹ ප්‍රහාරවලින් මිය ගිය අයගේ සහෝදර සම්බන්ධතා තහවුරු කිරීම් යනාදී කටයුතු ය‍. මෙහිදී ඇතැම් අයගේ අනන්‍යතාව තහවුරු කිරීම සති 3 ක් වැනි කෙටි කාලයකින් කළ හැකි වන්නේ නැත. ඊට හේතුව අස්ථි මඟින් විද්‍යාත්මක තහවුරු කිරීම් සිදු කිරීමේදී අස්ථිවල කැල්සියම් ඉවත් කර අවශ්‍ය මට්ටමට ගැනීම සඳහා කාලයක් ගතවන නිසා ය.

 

Comments