විස්මිත ක්‍රීඩකයන් පහළ කරන මනෝ කුසලතාවේ අරුමය | සිළුමිණ

විස්මිත ක්‍රීඩකයන් පහළ කරන මනෝ කුසලතාවේ අරුමය

ජාති, ආගම්, දේශසීමා ආදී පටු ආකල්ප ඉක්මවා මිනිසුන් එකිනෙකා මනුෂ්‍යත්වයෙන් බැඳ දමන අංග දෙකක් ලෝකයේ පවතී. ඒ කලාව සහ ක්‍රීඩාවය. ඒ අංග දෙක තුළම වෙනස් වූ විවිධ වූ සංස්කෘතීන්ට අයත් පුද්ගලයෝ ඒකාත්මික කරනු ලබති.

මිනිස් චර්යා රටා සහ සංස්කෘතික රටා පදනම් කරගෙන ක්‍රීඩා ක්‍රියාකාරකම් රැඳී පවතින බව ක්‍රීඩා මනෝ විද්‍යාඥයන්ගේ පිළිගැනීමය. කලාවද එම ලක්ෂණයනගෙන් පරිබාහිර වූවක් නොවේ. කලාව තුළ ගිලුණු ක්‍රීඩා ශෛලියක් ඇත්තා සේම ක්‍රීඩාව තුළ ගිලුණු කලාවක්ද ඇත. එම නිසා හොඳ කලාකරුවකුට හොඳ ක්‍රීඩා ලෝලියෙකු වීමටත් හොඳ ක්‍රීඩක‍යකුට හොඳ කලා රසිකයෙකු වීමටත් හැකියාවක් ඇත. අවශ්‍ය වන්නේ වින්දනාත්මක මානසිකත්වයක් පමණි.

ක්‍රීඩා මනෝ විද්‍යාවෙන් ඉටු කරන්නේ ක්‍රීඩකයකුට සියලු ආතතිවලින් මිදී තමාගේ ක්‍රීඩා කෞශල්‍යය තමාටම විඳීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමයි. ත්‍යාග, කුසලාන, කීර්තිය සහ යසඉසුරු ක්‍රීඩා ජයග්‍රහණයෙන් පසුව ලබන වරප්‍රසාද වුවද ක්‍රීඩකයකුට තරගය ආරම්භයට පෙරත් තරගය අතරතුරත් තරගයෙන් පසුවත් තමාගේ ක්‍රීඩාශීලිත්වය, ක්‍රීඩා කෞශල්‍යය පිළිබඳ තෘප්තිමත් වින්දනයක් ආතතිවලින් තොරව ලැබිය හැකි නම් එය ඔහුගේ කායික මානසික සාමාජයීය සහ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

ක්‍රීඩා මනෝ විද්‍යාවෙන් ක්‍රීඩකයකු තුළ එබඳු මානසික සංයමයක් ඇති කර ඉන් ඇති වන කායික ශික්ෂණය පූර්ණ ලෙසම තරග ජයග්‍රහණය කරා අරමුණුගත කරයි. එබඳු පුහුණුවක් විනයක් ලැබූ ක්‍රීඩකයකුගෙන් ජයග්‍රහණය උදුරාගැනීම අසීරු කටයුත්තකි. ව්‍යවහාරික මනෝ විද්‍යා උප ක්ෂේත්‍රයක් වූ ක්‍රීඩා මනෝ විද්‍යාව ක්‍රීඩාව තුළ ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

ක්‍රීඩාව කායික ශක්තිය මත රඳා පවතින්නක් නොවේ. එය පෞරුෂ සංවර්ධන නියමුවෙකු සේ ක්‍රියා කරයි. වර්තමානයේ ක්‍රීඩාව තනිකරම මානසික කාරණාවක් බවට පත් වී තිබේ. අතීතයේ ක්‍රීඩා තරගකරුවෝ මෙන් නොව වර්තමාන ක්‍රීඩකයෝ වෘත්තීය තරගකරුවෝ වෙති. තම වෘත්තියේ ස්ථාවරභාවය රඳවාගැනීමට ඔවුන්ගේ දක්ෂතා උපරිම මට්ටමේ පවත්වාගැනීම ඉතා වැදගත්ය. මිනිස් චර්යා අධ්‍යයනය කරමින් ක්‍රීඩා මනෝ විද්‍යාඥයෝ ක්‍රීඩකයාගේ ක්‍රීඩාශීලිත්වය සංවර්ධනය කරති. ක්‍රීඩාවෙන් තරග දීනීම ක්‍රීඩකයාගේ වෘත්තීය අපේක්ෂාව වුවද හැකියාව, නායකත්වය,පෞරුෂය, කුසලතා වර්ධනය කිරීම ක්‍රීඩා මනෝ විද්‍යාඥයාගේ අරමුණයි.

ක්‍රීඩා මනෝ විද්‍යාවේ ආරම්භය

ක්‍රීඩා මනෝ විද්‍යාවේ ඉතිහාසය සියවසකට මඳක් වැඩි ඈතට දිවෙයි. ක්‍රී.ව. 1890 දී උතුරු ඇමරිකාවේදී ඊ.ඩබ්ලිව්.ස්ක්‍රිප්චර් විසින් ව්‍යායාම සම්පරීක්ෂණයක් සිදු කිරීම ක්‍රීඩාව සම්බන්ධයෙන් බටහිර රටවල් සිදු කළ විද්‍යාත්මක ක්‍රියාවලියක් පිළිබඳ පළමු සඳහන වේ. පාපැදි තරග ආශ්‍රිතව විශ්ලේෂණයක යෙදුණු නෝමන් ට්‍රිප්ලට් පාපැදිකරුවන්ගේ වේගය ඔවුන්ට තරගකරුවකු සිටින විට වැඩි වන බව සොයා ගත්තේය.

ක්‍රි.ව. 1920 දී රොබට් වෝනර් ශාරීරික අධ්‍යාපන පාසල පිහිටුවීම යුරෝපයේ ක්‍රීඩා මනෝ විද්‍යා ව්‍යාප්තියට බලපෑවේය. එහි විශේෂත්වය වුයේ ක්‍රීඩා කෞශල්‍යය සහ ක්‍රීඩා අභියෝගය මැනීමේ ක්‍රමවේද සඳහා එම විද්‍යායතනය භාවිතා වීමය. ක්‍රි.ව.1921 දී වෝනර් විසින් “ක්‍රීඩාව තුළ කය සහ මනස“ නම් කෘතිය රචනා කරන ලදී. එයටත් වඩා ඉදිරි පියවරක් තැබූ සෝවියට් සමූහාණ්ඩුව ක්‍රි.ව. 1925දී ශාරීරික හා සංස්කෘතික ආයතනය මොස්කව් ලෙනින්ග්‍රෑඩ්හිදී ආරම්භ කළේය. ක්‍රි.ව. 1930 දී ඔවුන් විසින් විධිමත් අයුරින් ක්‍රීඩා මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවක් පිහිටුවීය.

ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා මනෝ විද්‍යාඥයා වූයේ කෝල්මන් ග්‍රිෆිත්ය. ඔහු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විය. ක්‍රීඩා මනෝ විද්‍යාවට කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ මහචාර්යවරයා ප්‍රථමවරට ක්‍රීඩා කළමනාකාරවරුන්, උපදේශකවරුන්, පුහුණුකරුවන්, ප්‍රවීණ ක්‍රීඩකයන් උදෙසා මනෝ විද්‍යා සායන නිර්දේශ කළේය. ක්‍රීඩාව විසින් ක්‍රියාකාරිත්වය සහ පෞද්ගලිකත්වය වර්ධනය කරනු ලබන බව ග්‍රිෆිත් විශ්වාස කළේය.

ක්‍රි.ව. 1965 දී ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳ පළමු ලෝක සමුළුව පවත්වන ලදී. ක්‍රි.ව. 1985 දී ක්‍රීඩා මනෝ විද්‍යාවේ වෘත්තීය ගැටලු කෙරෙහි අවධානය යොමු කීරීම පිළිබඳ අවශ්‍යයතාවක් මතු වූ නිසා The Association for The Advancement of Applied Sport Psychology (AAASP) ආයතනය පිහිටුවාගන්නා ලදී. පසුව ක්‍රි.ව. 2007 දී Association For The Advance Sport Psychology (AASP) බවට නම වෙනස් කරනු ලැබිණි.

ක්‍රීඩා මනෝ විද්‍යාවේ කාර්යභාරය

ක්‍රීඩා මනෝ විද්‍යාවේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයටම අනුබද්ධිත ක්ෂේත්‍ර හතරකින් ක්‍රීඩා මනෝ විද්‍යාව පෝෂණය ලබාගනී. එම ක්ෂේත්‍ර නම්

1) ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව

2) ක්‍රීඩා පෝෂණ විද්‍යාව

3) ක්‍රීඩා සමාජ විද්‍යාව

4) ක්‍රීඩා ශාරීරික විද්‍යාව

මෙහිදී පෝෂණය, තාක්ෂණය, පුහුණු ක්‍රමවේද සහ වෛද්‍ය උපදෙස් ඕනෑම රටක ක්‍රීඩකයෙකුට එක සමානව ලද හැකි බව ක්‍රීඩා මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. ක්‍රීඩකයකු තවත් ක්‍රීඩකයකුගෙන් වෙනස් වන සහ එම වෙනස ඇති කරන එකම සාධකය මානසික මට්ටම බවද ඔවුහු විශ්වාස කරති. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රිඩකයාගේ මානසික මට්ටම ධනාත්මකව සංවර්ධනය කිරීමට ක්‍රීඩා මනෝ විද්‍යාඥයා සැලසුම් කරයි. ක්‍රීඩා මනෝ විද්‍යා ක්ෂේත්‍රය තුළ පැහැදිලි ලෙසම හඳුනාගත හැකි ක්ෂේත්‍ර හතරක් ඇත.

1. අධ්‍යාපනික ක්‍රීඩා මනෝ විද්‍යාව කුසලතා වර්ධනයට අයත් ශිල්ප ක්‍රම ඉගෙන ගැනීම සඳහා

2. සායනික ක්‍රීඩා මනෝ විද්‍යාව ක්‍රීඩාව ආශ්‍රිත මනෝ විද්‍යාත්මක ගැටලු අධ්‍යයනය කිරීම සඳහා

3. පර්යේෂණ ක්‍රීඩා මනෝ විද්‍යාව ක්‍රීඩා ආශ්‍රිත පර්යේෂණ පිළිබඳ ඉගැන්වීම

4. ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව සාර්ථක ක්‍රීඩකයකු බිහි කිරීමේ මාර්ගය න්‍යාය ඇසුරෙන් පෙන්වා දීම

ගැටලුවක් ඇති වූ අවස්ථාවකදී පමණක් ක්‍රීඩකයකුට උපදේශනයක් අවශ්‍ය බවට තිබූ සංකල්පය බැහැර කළ ක්‍රීඩා මනෝ විද්‍යාඥයන් මුළු ක්‍රීඩා ජීවිතය පුරාම නිසි ක්‍රීඩා උපදේශනයකට යටත්ව තම ක්‍රීඩා පෞරුෂය වර්ධනය කරගත යුතු බව විශ්වාස කර ඒ අනුව ක්‍රියාත්මක වේ.

ක්‍රීඩකයෙකු ශාරීරිකව වෙහෙසට පත් වීමට පෙර මානසිකව වෙහෙසට පත් වේ. එම මොහොත ශරීරයට සාපේක්ෂව මනස දුර්වල තත්ත්වයක පවතින අවස්ථාවකි. පුහුණු කරන ලද මනසක අවශ්‍ය්‍යතාව එබඳු මොහොතක අවබෝධ වෙයි.

එසේම ක්‍රීඩාව සම්බන්ධ තාක්ෂණික උපදෙස් හොඳින් පිළිපැදීමට යහපත් මානසික මට්ටමක් තිබීම බෙහෙවින් අවැසි වූවකි.

යහපත් මානසික තත්ත්වය ක්‍රීඩා තරගයකදී ජයග්‍රහණය කරා යෑමට විශේෂයෙන් බලපායි. සහජ හැකියාව සහ තාක්ෂණික දැනුම කෙතරම් තිබුණද එම හැකියාවන්හි උපරිම ලෙස කළමනාකරණය කරගැනීමට නම් යහපත් මානසික තත්ත්වයක් තිබිය යුතුය. එවිට උපරිම දක්ෂතා ක්‍රීඩකයා වෙතින් පල වෙයි. ක්‍රීඩාවට සහ ක්‍රීඩා පුහුණුවට මනෝ විද්‍යාව යොදාගැනීමේදී උපදේශනය, සංවර්ධනය (ක්‍රීඩා කෞෂල්‍යය), සායනික සහ සමාජ මනෝ විද්‍යාව යොදා ගත යුතු යයි AASP ආයතනය අවධාරණය කරයි.

පුද්ගල මනස නිරන්තරයෙන්ම ක්‍රියාත්මකව පවතින සක්‍රීය එකකි. ක්‍රීඩා මනෝ විද්‍යාවේ අරමුණ එවන් සක්‍රීය තත්ත්වයේ පවතින මනසින් යුතු පුද්ගලයන් ක්‍රීඩකයන් වී ක්‍රීඩා තරගයක නිරත වෙද්දී ඔවුන්ගේ මනස ජයග්‍රහණය සහ යහපත වෙනුවෙන් යොදාගැනීමට හැකි වන පරිදි හසුරුවාගැනීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමය. සෑම ක්‍රීඩකයෙකුටම තමාගේ උපරිම දක්ෂතාව පෙන්වීමේ උවමනාව ඇත.

ඒ සඳහා ඔහුගේ කැප වීම සහ හැකියා ඔහුට උපකාර වේ. ඔහු සතුව උපායශීලිත්වය පිළිබඳ සිත්ගන්නා සුලු දැනුම සහ විශිෂ්ට මානසික යෝග්‍යතාව වැනි මනෝ විද්‍යාත්මක කුසලතා තිබීම වැදගත්ය. එවන් කුසලතා සඳහා මනස පුරුදු පුහුණු කළ යුතුය. එම නිසා ක්‍රීඩා මනෝ විද්‍යාඥයන්ගේ අරමුණු සංක්ෂිප්ත කොට මෙසේ දැක්විය හැකියි.

ක්‍රීඩා මනෝ විද්‍යාඥයාගේ අරමුණ

1. ක්‍රීඩකයාට හොඳින් තම පුහුණුව කරගැනීමට

2. තම ඉලක්කයම අරමුණු කර ඒ කරා හඹා යෑමට

3. ක්‍රීඩාශීලිත්වයෙන් තරග වැදීමට

4. සාධාරණ සහ යුක්ති සහගතව ජයග්‍රහණය කරා යෑමට

5. වැඩිම කාර්යක්ෂමතාවකින් බලය, වේගය, ශක්තිය යෙදවීමට

6. ජය පරාජය සමව විඳීමට සහ පරාජයේදී නොසැලී ඉදිරියටම යෑමට දිරිමත් වීමට

7. නායකයකු වීමට

8. දැඩි ආත්ම විශ්වාසයෙන් යුතු වීමට සහ කිසිවිටක තරගය අත් නොහැරීමට

9. දැඩි පීඩාකාරී අවස්ථාවලදී පවා ශක්තිමත් මනසින් යුක්ත වීමට

10. තමා විඳි අත්දැකීම වින්දනය කිරීමට ක්‍රීඩකයා පුහුණු කිරීමය.

එම කාරණා ක්‍රීඩකයකු සතු මනෝ කුසලතා වේ. එම කුසලතාවන්ගෙන් ක්‍රීඩකයා පරිපූර්ණ වූ විට ලෝකය විස්මිත කරන ක්‍රීඩකයෝ පහළ වෙති.

ඒ සඳහා පළමු උදාහරණය ;- පසුගිය දා (2012 - ඔක්තොබර්) පැවති 20 – 20 ලෝක කුසලාන තරගයේ අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා විලාසය දැක්විය හැකිය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම අතරින් කොදෙව්වෝ ජයග්‍රහණය කළහ. ඔවුන්ගේ ක්‍රීඩා විලාසයේ ඉහත සඳහන් ලක්ෂණ දහය මුළු තරගාවලිය පුරාම ප්‍රදර්ශනය විය.

රටවල් 10කින් පැමිණි ක්‍රීඩකයන් එක කණ්ඩායමක් ලෙස කොදෙව් ධජය යටතේ ක්‍රීඩා කරද්දී එකිනෙකා තමා හෝ තම රට ඉස්මතු කරන්නට වෑයම් නොකර බටහිර ඉන්දීය කොදෙව් ධජය යටතේ එකාවන්ව ක්‍රීඩා කළහ. තීරණාත්මක මොහොතක තම කණ්ඩායමේ කෙනෙකු අසාර්ථක වූ අවස්ථාවලදී පවා ඔහු සනසා දිරිමත් කළහ. කණ්ඩායම් හැඟීම උපරිමයෙන් විය. එපමණක් නොව ඔවුන් සිටි මානසික සැහැල්ලු විලාශය නරඹන්නන්ට පවා දැනිණි. නරඹන්නන්ට විනෝදාස්වාදය සැපයීමටද ඔවුහු ක්‍රියා කළහ.

කොදෙව් කණ්ඩායමේ වැදගත්ම භූමිකාව ඉදිරිපත් කළේ නායක ඩැරන් සැමි සහ ආරම්භක පිතිකරු ක්‍රිස් ග්‍රේල්ය. ඩැරන් සැමිගේ තැන්පත් විශිෂ්ට නායකත්වය තරගාවලිය පුරාම ප්‍රදර්ශනය විය. ක්‍රිස් ග්‍රේල් ක්‍රීඩා මනෝ විද්‍යාවේ එක් ඉගැන්වීමක් වූ සිත්ගන්ගා සුලු චමත්කාරී උපායික දැනුම උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තේය.

පිටියේ වාසිය මුළුමනින්ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට අහිමිය. ඒ අවස්ථාවේදී ක්‍රිස් ග්‍රේල් තම අපූරු රංගන හැකියාව සහ විනෝදශීලි ක්‍රියාව ඉදිරිපත් කිරීමෙන් කළේ නරඹන්න්ගෙන් තම ජයග්‍රහණයට එල්ල විය හැකි බාධක අවම කරගැනීමය. ඔවුන්ගේ අවධානය වෙනතක රැඳවීමය.

එය ඉතා විශිෂ්ට ගණයේ උපායික සැලැස්මක් විය. ඒ නිසා තරගයෙන් පරාජය වුවද හොඳ තරගයක් නැරඹී යැයි තෘප්තිමත් මානසිකත්වයක් සෑම ශ්‍රී ලාංකිකයකු තුළම ඇති වී තිබිණි. සත්‍ය වශයෙන්ම ඉහත දක්වා සිටි, ක්‍රීඩකයකු විසින් තමන් තුළ අභ්‍යයන්තරීකරණය කරගත යුතු ලක්ෂණයන්ගෙන් එකක්වත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් දිස් වූයේ නැත. ඒ හේතුව නිසාම අප කණ්ඩායම පරාජය විය. එදින ක්‍රීඩාව සහමුලින්ම මානසික කාරණාවක් බවට සනාථ වූවා පමණක් නොව ක්‍රීඩාව කලාවක් බවටද තහවුරු විය.

මේ තවත් එක් උදාහරණයකි. 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ඔලිම්පික් තරගාවලියේ මීටර් 10000 මැරතන් තරඟ ඉසව්වට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ රණතුංග කරුණානන්ද එම ඔලිම්පික් තරගාවලියේදී ක්‍රීඩකයකු ලැබූ ඉහළම මහජන ගෞරවය දිනා ගත්තේය.

ඒ ඔහු තරගයේ ජයග්‍රාහකයා වීමෙන් නොවේ. අන්තිමයා වීමෙනි. එම තරගයෙන් ජයග්‍රහණය කළ ඇමරිකාවේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද සිටියේ ඔහුට වඩා වට හතරක් පිටුපසිනි. පළමු දෙවන තෙවන ස්ථාන ක්‍රීඩකයන් දිනාගත් පසු ඊට පසුපසින් ආ ක්‍රීඩකයෝ තරග බිමෙන් ඉවත් වූහ. එහෙත් කරුණානන්ද ඉතිරි වට හතර තනිවම ධාවන පථයේ දිව ගියේය.

එය දුටු නරඹන්නෝ කරුණානන්දට උසුළු විසුළු කරමින් සිනසුණාහ. එහෙත් ඒ පළමු වටයේදී පමණි. දෙවන වටයේදී ඔවුහු නිහඬ වූහ. තෙවන වටයේදී ප්‍රීති ඝෝෂා නැඟූ නරඹන්නෝ ඔහු තරගය නිමා කරද්දී සිය අසුන්වලින් නැඟී සිටිමින් ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා කළහ. තරගයේ වීරයා ඔහු බව බිලී මිල්ස් පවසා සිටියේය. මේ දිරිමත් ක්‍රීඩකයාගේ කතාව ජපන් රජය පාසල් පෙළ පොත් මඟින් සිය රටේ දරුවන්ට උගන්වනු ලබයි.

ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳ සඳහනක් නොවූ 1964 වැනි ඈත කාලයක කරුණානන්ද, ක්‍රීඩා මනෝ විද්‍යාඥයන් වර්තමානයේ ක්‍රීඩකයන් තුළ ඇති කරවීමට උත්සාහ කරන සියලු ගුණාංගයන්ගෙන් පරිපූර්ණව සිටියේය. එබඳු චරිත ලක්ෂණ වැඩි දියුණු කර පවත්වාගැනීමට ක්‍රීඩා මනෝ විද්‍යාව උපයෝගී කරගත හොත් එය ක්‍රීඩාවේද රටේද යහපතට හේතු වනු ඇත.

Comments