විල්පත්තු වනය රැකුමට යුද හමුදාව පෙරමුණට | සිළුමිණ

විල්පත්තු වනය රැකුමට යුද හමුදාව පෙරමුණට

විල්පත්තුව වනෝද්‍යානය එළි-පෙහෙළි කරමින් ජනාවාස බිහි කිරීම ආරම්භ කරනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර සිටය. පරිසර සංවිධාන ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධව කතා කරන්නට විය. එහෙත් චෝදනා ලැබූවන් පවසා සිටයේ තිස් වසරක යුද්ධයට පෙරද ජනතාව එහි පදිංචිව සිටි බවයි. එමෙන්ම ජනාවාස බිහි කරන්නේ රක්ෂිතයේ නොවන බවත් ඔවුහු පැවසූහ.

රක්ෂිතයේ හෝ වේවා රක්ෂිතයෙන් පිටත හෝ වේවා හිතූ-හිතූ අන්දමට ශාක විනාශ කිරීමට කිසිවකුටත් අවසරයක් නැත. එහෙත් මෙහිදී ඒ සම්බන්ධව කටයුතු කළ යුතු වගකිව යුතු රාජ්‍ය ආයතන පවා නිහඬව සිටි අයුරුද අපට දැකගත හැකි විය. එමෙන්ම මේ ජනාවාස ඉතා අනාරක්ෂිත වූයේ වන අලින් ගහන පෙදෙසක ඒවා ස්ථාපිත කර තිබූ හෙයිනි.

එසේම එහි වැසියන්ට මුහුණ දීමට සිදු වූ තවත් බරපතළ ගැටලුවක් තිබුණි. ඒ පානීය ජලය ලබාගැනීමට තිබෙන්නා වූ අතිශය දුෂ්කරතාවයි. මේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම ජල ධාරාව වන මෝදරගංආරු ඔයෙහි ප්‍රධාන ජල ‍පෝෂක ප්‍රදේශය විල්පත්තු උතුරු අභයභූමියයි. එම ජල ‍පෝෂක ප්‍රදේශය මෙසේ ශීඝ්‍ර ලෙස මහා පරිමාණයෙන් එළිපෙහෙළි කිරීම හරහා ජල ධාරා සිඳීයෑමත් ඒ ඔස්සේ ක්‍රමයෙන් ඔයෙහි ජල මට්ටම අඩු වීම සිදු වේ. එහි අවසාන ප්‍රතිඵලය වනුයේ එම පදිංචිකරුවන්ට මෙන්ම මෝදරගංආරු මඟින් මේ දක්වා යැපුණු අනෙකුත් පාරම්පරික පදිංචිකරුවන්ටද පානීය ජලය ලබාගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවීමයි.

කවුරුන් මොනවා කීවත් දැන් සියල්ල සිදු වී අවසානය. දැන් වහා පිළියම් සෙවිය යුතුය. විල්පත්තුව අයත් මන්නාරම දිස්ත්‍රික්කය වසරේ වැඩිම කාලයක් වියළි කාලගුණයක් පවතින ප්‍රදේශයකි. එවන් ප්‍රදේශයක මෙවන් වන විනාශයක් තවත් සිදු නොවීමටත්, වන වගාව නැවත රෝපණයටත් යුද හමුදාව විසින් පියවර ගෙන ඇත. එය ලෙහෙසි-පහසු කාර්යයක් නොවන්නේ වියළි කලාපයටම ඔරොත්තු දෙන වන වගාවන්ම කළ යුතු හෙයිනි. වියළි කලාපයේත් ශුෂ්ක අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ශාක විය යුතුය.

එහෙත් රට රකිනා ආරක්ෂක හමුදාව විසින් 'තුරුලිය වෙනුවෙන් අපි' වන වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඒ කටයුත්ත ඇරැඹීය. එහිදී විල්පත්තුව පමණක් නොව මන්නාරම, සිලාවතුර, මරිච්චකඩ්ඩි ප්‍රදේශ ආවරණය වන පරිදි පැළ 8,000ක් මේ වන විට රෝපණය කරන ලදි. එහි ආරම්භක උත්සවය පසුගිය මැයි මස 18 වැනිදා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

එසේම මේ සියලු කටයුතු අධීක්ෂණය පිණිස මෙන්ම ඉදිරියේදී මේ ප්‍රදේශයේ වන විනාශය මැඬ පැවැත්වීම පිණිස මෙන්ම අනෙකුත් ආරක්ෂිත කටයුතු උදෙසා විල්පත්තුවේ නව යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමටද යුද හමුදාපතිවරයා විසින් පියවර ගන්නා ලදී. බොහෝ කෙරුම්කාරයන්ගේ කාඩ්බෝඩ් වීරයන්ගේ මෙන්ම සිහින රජදහන් මැවූ අයට තරු විසි වු‍ණේ එවිටය.

එම හමුදා කඳවුරට මේ වන විට ප්‍රධාන වශයෙන්ම පැවරී ඇති කාර්යයක් වනුයේ වන වගා ව්‍යාපෘතියේ නඩත්තුව සහ අනෙකුත් වන වගාවන් සිදු කිරීමයි. මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙසින් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ නැවත වන වගා කිරිම මන්නාරම ප්‍රදේශයේ ස්ථාන හතරකදීම සිදු කරන ලදි.

එම කාර්යය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ 54 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර මහතාගේ සහ 61 වන සේනාංකාධිපති බ්‍රිග්‍රේඩියර් ජයම්පති තිලකරත්න මහතාගේ පූර්ණ අධික්ෂණයෙන් යුතුව සිදු කෙරිණි.

මෙම වගා සංග්‍රාමය සාර්ථක කරගැනීම පිණිස නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම වවුනියාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. අනුර අබේවික්‍රම මහතා, පාරිසරික සිවිල් සංවිධාන නියෝජනය කරමින් එහි සාමාජික සාමාජිකාවෝ, රාජ්‍ය ආයතනයන්හි නිලධාරි නිලධාරිනියෝ, විදුහල්පතිවරු, පාසල් සිසුහු හා මවුපියෝද මේ අවස්ථාවට සහභාගි වූහ. ඊට අමතරව මන්නාරම දිස්ත්‍රික් ලේකම් ටී.ඒ. මෝගරාජ් මහතාත්, 21, 54, 56 සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්ද මේ කටයුත්තට දායකත්වය ලබා දුන්හ.

විල්පත්තුව වනෝද්‍යානය වටා ඇති සියලු හමුදා කඳවුරුවලට ඉදිරියට වනය රැකීම බාරව ඇත. මේ වන විටත් රෝපණය කර ඇති සියලු පැළ උදෙසා සාත්තු කිරීම මෙන්ම ඒවා රැක-බලාගැනීමද එම හමුදා කඳවුරු හා අනුඛණ්ඩ වෙත පවරා ඇත.

විල්පත්තුවේ රෝපණය කර ඇත්තේ වියළි කලාපයට ඔරොත්තු දෙන වර්ෂාව නැතත් ජලය යෙදීමෙන් රෝපණය කරගත හැකි ශාක වර්ගය. ශාක පිළිබඳ අගය වටහා දීමෙන් පසු දෙමළ හා මුස්ලිම් පාසල්හි සිසුදරුදැරියන් මෙන්ම විදුහල්පතිවරුන් ආචාර්යවරුන්, මවුපියන් තමන් විසින් පැළ සොයාගෙන විත් රෝපණයට කටයුතු කළ බවද වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා පවසයි.

එසේම මේ වන විට රෝපණය කර ඇති පැළ 8000ට අමතරව ඉදිරියේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම පරිත්‍යාගශීලීන්ගෙන් පැළ ලබාගෙන වනෝද්‍යානය තුළ රෝපණයට කටයුතු කරනු ලබන බවද ඔහු පවසයි.

මේ සඳහා යුද හමුදා නිලධාරීන් හා සෙබළුන්ගේ පූර්ණ දායකත්වය සිදු වන බවත්, ඒ සඳහා වෙනත් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන හෝ මේ වන තෙක් විශේෂ උපකාර කිරීමට ඉදිරිපත්ව නැති බවත් ඔහු පැවුසවේය. කෙසේ වුවත් වියළි කලාපයට ඔරොත්තු දෙන පැළ ඇත්නම් ඒවා ලබා දීමට කටයුතු කරන ලෙසද ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඉල්ලීමක් කරයි. ඒවා හමුදා කඳවුරුවලට ලබා දිය හැකිය.

පණ නල මෙන් රැකගත යුතු විල්පත්තුව වනය රැකගැන්මට යුද හමුදාව විසින් සිදු කරනු ලබන මේ මෙහෙය අප අගය කළ යුත්තේ ඉදිරියේදී අපටද වනය කැපීමේ අනිටු විපාක විඳීමට සිදු විය හැකි නිසාය.

වනය එළිපෙහෙළි කිරීම නිසා වන සතුන් විශේෂයෙන්ම වන අලින් ගම්වැදීමත් සර්පයන් ගම් වැදීමත් සිදු විය හැකි ප්‍රධාන අනතරු දෙකකි. එසේම ජනතාව නිරතුරුවම මේ ස්ථාන ඇසුරු කරගෙන ජීවත් වීම තුළ වන සතුන්ද අභයභූමියේ ඇතුළටම යෑමෙන් වනෝද්‍යානයේ නැරඹීම පලක් නොවන තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. එය මෙරට සංචාරක කර්මාන්තටද මරු පහරක් වනු ඇත‍.

ඒ සියලු කටයුතු සාර්ථක කරගැනීමට මෙන්ම ජලපෝෂක ප්‍රදේශයක් රැකගැනීම උදෙසා කරනු ලබන මේ මෙහෙයුම අප සියලු දෙනාගේ අනාගතය රැක දීම උදෙසා සිදු කරනු ලබන මහා මෙහෙයුමකි. එහි කොටස්කරුවකු වීමට අපටත් හැකියාව ඇත්තේ විල්පත්තුව රැකගැන්මට එක් පැළයක් හෝ ලබා දුන හොත් පමණකි. එසේම ඉදිරියේදී යම් වන විනාශයක් සිදු වුව හොත් මීට පෙර තොරතුරු ලබා දුන්නා සේ ආරක්ෂක අංශවලට හා මාධ්‍යවලට තොරතුරු ලබා දීමෙන්ද අපට දායකත්වය ලබා දිය හැකිය.

සේයාරූ - වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය

Comments