වන්දනාවේ එක්ක නොගිය තරහට ආච්චි ප්‍රේතියක වී ඉපදී පවුලටම කරදර කරයි | සිළුමිණ

වන්දනාවේ එක්ක නොගිය තරහට ආච්චි ප්‍රේතියක වී ඉපදී පවුලටම කරදර කරයි

අසීමිත තණ්හාවෙන් පෙළෙන මිනිසා කෙසේ හෝ තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කැරගැනීමට කටයුතු කරයි. තමන්ගේ හැකියාවන් නොහැකියාවන් දුර්වලකම්, අඩුපාඩු කෙතරම් තිබුණ ද කෙසේ හෝ තම ඕනෑ එපාකම් කෙසේ හෝ ඉටු කැරගන්නට බලති. එසේ දැඩි සේ උපාදාන කැරගැනීම හේතු කොටගෙන ඒ හේතුවේ ඵලය වශයෙන් ප්‍රේතාදි දුගතියෙහි උපදිති. තමන්ගේ නුදුසුකම් හෝ නොහැකියාවන් ඉටු කැරගත නොහැකිවූ තැත ඊළඟ ජාතියේ එතැනදී ද කෙසේ හෝ උවමනා ඉටු කරගන්නට උපාය යොදති. ඊට හේතුව වන්නේ පෙර ජාතියේ මරණාසන්න අවස්ථාවේ සිතේ පහළ වූ මුත් චින්තනයන් අතර ඇති සහසම්බන්ධතාවයයි. නැවත ප්‍රතිසන්ධි වූ සිතේ හටගන්නා භංග චිත්‍තයේ ඇති රාග බව, ද්වේශ බව මෝහ බව ඊළඟ පංචද්වාරාවජ්ජත සිතෙන් ගන්නා අරමුණ ක්‍රියාත්මකවීමේදී ද පෙර ගති ලක්ෂණ ක්‍රියාත්මකවීමය. බලපෑමය.

අම්බලන්ගොඩ සුරංගි පනස් දෙහැවිරිදි ගෘහිණියකි. තුන්දරු මවක වන ඇගේ ස්වාමි පුරුෂයා නිශාන්ත ව්‍යාපාරිකයෙකි. දැනව වසරක පමණ කාලයක සිට ඔවුන් පදිංචි නිවසේ බොහෝ අසාමාන්‍යතා හට ගන්නට විය. පවුලේ පස් දෙනා අතර නිතර මත ගැටුම් අඬදබර ගහ ගැනීම් පවා හට ගත්තේය. විවිධ අසනීප පවා වැලදෙන්නට විය.

මේ තත්ත්වයෙන් මිදෙන්නට නොයෙක් වත් පිළිවෙත් කළත් කිසි සහනයක් නොවීය. දිනක් ගමේ පන්සලේ හාමුදුරුවන් නිවසට වඩමවා වේල් පිරිතක් කියෙව්වේය. පිරිත ආරම්භ කළ මොහොතේ පටන් පවුලේ පස් දෙනා අතර මත ගැටුමක් ඇති වී පස්දෙනා ම ගහ ගන්නට පටන් ගත්හ. රණ්ඩුව නතර කරන්නට නොහැකිව හාමුදුරුවෝ ද පිරිත්කීම අතරමග නතර කැර දමා ආපසු යන්නට ගියේය.

පවුලේ වැඩිමහල් දියණිය විවාහ වී මවුපියන් සමඟ ඒ නිවසේ ම ජීවත් වූවාය. දිනක් ලොකු දුවත් ඇගේ සැමියාත් අතර මහ ගැටුමක් ඇති වී ඇගේ සැමියා ඇයට පහරක් ගැසීය. මෙය දුටු පියා ඒ අඬ දබරයට මැදිහත්ව බෑනාට පහර දුන්නේය.

බෑනා බිරියත් දරුවත් අතහැර දමා වෙන් වී යන්නට ගියේය. බාල දුව ද තරුණයෙකු සමඟ මිත්‍ර වී විවාහයට සූදානම් වෙමින් සිටියාය. දිනක් නිවසට පැමිණි පෙම්වතා සමඟ පොඩිදුව ද මත ගැටුමක් ඇති වී පෙම්වතා ඇයට පහරක් ගැසීය. ඊට ද පියා මැදිහත්ව ඒ පෙම්වතාට පහරදී නිවසින් පන්නා ගැනීම නිසා ඒ සම්බන්ධය ද කඩා කප්පල් වී ඇත. පුතා ද නිතර ගෙදර අය සමඟ අඩ දබර වූයේය.

“සිළුමිණ” පත්‍රය කියවන ඥාතියෙකුගේ උපදෙසක් මත නිශාන්ත, සුරංගි සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ආවේය.

ආධ්‍යාත්මීය ගවේෂකවරයා ඔවුන්ගේ ශරීරගත රෝගාබාධ පරීක්ෂාවේ යෙදෙන විට සුරංගි පැද්දෙන්නටත් අඬන්නටත් වූවාය. ගවේෂකවරයා ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහාගෙන ඒ භූතාත්මය සමඟ ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” ඇසීය.

“මම බේබි නෝනා” භූතාත්මය උත්තර දුන්නාය.

“කවුද බේබි නෝනා කියන්නේ?”

“මම මේ නිශාන්තගේ ආච්චි.”

“ඇයි ආච්චි මේ අයට කරදර කරන්නේ?”

“කරදර? කරදර නොවෙයි මුන් මරන්න ඕනෑ.”

“ඒ මොකද?”

“මම මැරුණේ මුන් එක්ක වෛරයෙන්. මුන් වන්දනාවෙ ගියා. මාවත් එක්ක පලයල්ලා කීවාට මාව එක්කගෙන ගියේ නැහැ. ඒකට මම තරහයි. ඒ වෛරයෙන් තමයි මම මැරුණේ. දැන් මම මුන්ගෙන් පළිගන්නවා. මුන්ව නැති කරනවා. මරනවා” යැයි කී ප්‍රේතිය දත් සපන්නට වූවාය.

“කොහොමද මරන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.

“මුන් මුන් අතරෙ ම රණ්ඩු කරවලා කොයි වේලාවක හරි එකෙක් මරනවා. එතකොට පවුල ම ඉවරයි.”

එදින ගවේෂණය අත්හිටුවා සුරංගි පියවි සිහියට පත්කොට ආච්චිගේ කතාව ගැන ඔවුන්ගෙන් විමසීය.

සුරංගිත් නිශාන්තත් ආච්චිගේ තත්ත්වය පැහැදිලි කළහ.

“අපේ ආච්චි අසනීප වෙලා ඇවිදගන්න අමාරුවෙන් ඇඳටම වෙලා ජීවත් වුණේ. ආච්චිට අනුරාධපුරේ අටමස්ථානය වඳින්න යන්න වුවමනා වුණා. නිතර ම ඒ ගැන කිව්වා. හරියට ඇවිදගන්න බැරිව කොහොමද වන්දනාවේ යන්නේ? මේ අතරේ අපේ ගමේ මරණාධාර සමිතියෙන් සාමාජිකයන් නොමිලේ වන්දනා ගමනක් එක්ක‍ ගෙන ගියා. ඒ වන්දනාවට අපිත් ගියා. ආච්චිගේ සියලු කෑම් බීම් පහසුකම් අල්ලපු ගෙදර අයට පවරලා ගියා. ගමන ගිහින් ගෙදර ආපු වේලාවෙ ඉඳලා ආච්චි අපට දෙස් දෙවොල් තියනවා.” ඔවුහු පැහැදිලි කළහ.

දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද සුරංගිගේ ශරීරයට ප්‍රේතිය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා නැවතත් ප්‍රශ්න කිරීම් කළේය.

“දැන් කොහොමද අදහස?” යැයි ඇසීය.

“මුන්ගෙන් පළිගන්න ඕනෑ මහත්තයා, පළිගන්න ඕනෑ.”

“ඇයි ඔය තරම් දරුණු?”

“ඇයි මහත්තයා මුන් මගේ ඉඩකඩම් දේපළ භුක්ති විඳින ගමන් මාව ගෙදර දාලා වන්දනාවේ ගිය එක හරිද? ඒ විතරක් නොවෙයි මුන් මගේ පින් පඩියත් ගන්නවා. මගේ කොලුවා හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑ.”

“මොන කොලුවද?”

“මගේ පුතා. ඇල්බට් සිංඤෝ. ඌ හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑ.”

“පුතාට මොකද වුණේ?”

“මගේපුතා මටත් කලින් හදිසියේ මැරුණා. ඒකයි මට වැරදුණේ.”

“පුතා කොහෙද ඉන්නේ?”

“හෙව්වා හෙව්වා පුතා හොයා ගන්න බැරි වුණා.”

“පුතා අම්මා වගේ තරහ වෛර නොතිබුණ නිසා දිව්‍ය ලෝකෙ යන්න ඇති. අම්ම තමයි වෛර සිතකින් මැරිලා පෙරේතියක් ‍වුණේ. ආච්චිට මේ දේපළ ලැබුණෙ කාගෙන්ද?”

“පරම්පරාවෙන්. පරම්පරාවෙන් උරුමෙට ලැබුණ ඒවා.”

“ආ... එහෙම නම් ආච්චිට උරුමෙන් ලැබුණු ඒවා. ආච්චි කවදා හිටියත් මැරෙනවා. ආච්චි මැරුණම මේ දේපළ කොහොමත් උරුමෙට අයිති වෙනවා. ආච්චි හම්බ කරලා සල්ලිවලට ගත්ත දේපළ නොවෙයි නම් නිශාන්තට තමයි අයිති. ආච්චිගේ හිතේ තියෙන වෛරය නිසා ආච්චි දැවෙනවා. පිච්චෙනවා.” යි කී ගවේෂකවරයා ප්‍රේතිය ශක්ති කිරණ මගින් දවාලන්නට විය.

“පිච්චෙනවා. පිච්චෙනවා. දැවිල්ලයි.” ප්‍රේතිය අඬන්නට වූවාය.

“ඒ වෛරයේ විපාක තමයි. ආච්චි ඔය ප්‍රේතාත්මයෙන් මිදෙන්න හිතන්න. ආච්චිව වන්දනාවෙ එක්ක ගෙන යන්නද?”

“අනේ හොඳයි. අනේ හොඳයි. මහත්තයා මම කැමතියි.”

“එහෙම නිකම්ම වන්දනාවෙ යන්න පෙරේතියන්ට බැහැ. එහෙමනම් ආච්චි මේ අයත් එක්ක සුමානයක් බෝධි පූජාවට යන්න. පෙර පින් මතක් කර ගන්න. එත‍කොට අනුරාධපුරේ එක්ක යන්නම්” කී ගවේෂකවරයා වැටකෙයියා මලක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට නිශාන්තට දුන්නේය. වැටකෙයියා මල බෝමළුවේ ඉවත නොදමන තැනක තබා දින හතක් බෝධි පූජා පවත්වා ආච්චිට පින් අනු‍මෝදන් ‍කොට නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින සුරංගි ප්‍රතිකාර කාමරයට ඇතුළු වෙද්දීම දිෂ්ටි ගැන්වී (ආච්චි) ආවේශ වී සාදු! සාදු! සාදු! කියාගෙන දොහොත් මුදුන් තබා ගෙන ආවාය. ඔවුන් එදින ආවේ උපදෙස් පරිදි අනුරාධපුරයට යන්නට සූදානම්වය.

“ආ.... ආච්චි.... කොහොමද?” යි ගවේෂකවරයා ඇසීය.

“මම යනවා මහත්මයා. මේ දරුවොත් එක්ක අනුරාධපුරේ යන්නයි ආවේ. මම සිරිමා බෝ හාමුදුරුවන් ළඟ නතර වෙනවා. මහත්තයාටත් පින් සිද්ධ වෙනවා.” කීවාය.

තවත් වැටකෙයියා මලකට ආච්චිගේ භූතාත්මය සම්බන්ධ කොට ඔවුන් සමඟ අනුරාධපුරයට යැවීය. එහිදී දුගියන්ට ආහාර පාන පූජාවක් කොට ආච්චිට පින් අනු‍මෝදන් කරන්නැයි උපදෙස් දුන්නේය.

ඔවුහු ආහාර පාර්සල් තිහක් සකස් ‍කොට හිඟන්නන්ට පිරි නමා ආච්චිට පින් අනුමෝදන් කොට පින් පැවරූහ. භූතාත්මය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ නතර වූවාය.

Comments