රොහාන් ගුණරත්න යුධ විශ්ලේෂණයේ ‘සේල්ස් රෙප්’කමට? | සිළුමිණ

රොහාන් ගුණරත්න යුධ විශ්ලේෂණයේ ‘සේල්ස් රෙප්’කමට?

රොහාන් ගුණරත්න අන්තර්ජාතික කරළියේ කියවෙන නමක් බවට පත් වන්නේ 2001 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. ඒ වන විට ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන ලෝක බලවතුන්ගේ අවධානය යොමු වී තිබුණේ මඳ වශයෙනි. 9/11 ප්‍රහාරය සමඟ අන්තර්ජාතික මාධ්‍යට නව ත්‍රස්තවාදී ක්‍රියකාරකම්හි අභ්‍යන්තරය ගැන අදහස් දැක්විය හැකි විද්වතුන් සොයමින් සිටි කාලයක ඇති වූ හිඩැසෙන් ප්‍රයෝජන ගත් රොහාන් ගුණරත්න ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන සියල්ල දත් අන්තර්ජාතික විශ්ලේෂකයා ලෙස පෙනී සිටියේය.

ආගමික අන්තවාදයෙන් පෝෂණය වුණු අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් ගැන එමෙන්ම අයි.එස් ත්‍රස්ත කණ්ඩායම් ගැන ඔහු වරින් වර විවිධ අදහස් පළ කළේය. ඔහු තමන්ව හඳුන්වා ගත්තේ යුද සහ ත්‍රස්ත කටයුතු විශ්ලේශකයකු ලෙසය. ශ්‍රි ලංකාවේ පුවත් පතකට සම්බන්ධ වී මාධ්‍යව්දියකු ලෙස කටයුතු කොට පසුව තම අධ්‍යයනයන් ඔස්සේ සිංගප්පූරුවේ ප්‍රකට පෙළේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ එස්. රාජරත්නම් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ ආරක්ෂක කටයුතු අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කර නමක් දිනා කරගත් අතර ඔහු කියන දේ මුලින් බොහෝ දෙනෙක් පිළිගත්තෝය.

මේ නිසාම අති ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටි.ටීඊය ගැන ඔහු වරක් කී දේ මෙරට යුද විරෝධීන්ගේ සිත් සතුටු කළා සේම කොටි ත්‍රස්තවාදයට යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන මතයේ සිටි බොහෝ දෙනකු කම්පනයට ලක් කළේය. ඒ ඔහු වරෙක එල්.ටි.ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීම අපහසු යයි කී නිසාය. ශ්‍රි ලාංකේය පොළොවේ වැඩුණු එම යුද විශ්ලේෂකයාගේ ඒ කතාව එකල මෙරට සටන් බිම මෙහෙයවූ ආරක්ෂක හමුදා නිලධාරීන් තුළ ඇති කළේ කෝපී වූත් නොපහන් වූත් හැඟීමකි. ඒ අප්‍රසන්න හැඟීම තහවුරු කරන එක් ප්‍රබල සාධකයක් විය.

ඒ පසුගිය වසරේ (2018) මැයි මස 13 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති 'වියත් මඟ' සංවිධානයේ වාර්ෂික සම්මේලනයේදී, එහි ආරාධිත දේශනයක් සඳහා පැමිණ සිටි මේ මහාචාර්යවරයා දේශනය අරඹන මොහොතේදී එහි සිටි විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න කෝපයෙන් නැඟිට යෑමය. ඒ පිළිබඳ පසුබිම් කරුණු සෙවුවහොත් සත්‍යය දැනගත හැකි වනු ඇත.

යුද්ධයේ අවසාන සමයේදී රොහාන් ගුණරත්න එම යුද්ධය අවසන් කිරීමේ හැකියාවක් නැති බව ජාතික සහ අන්තර්ජාතික මාධ්‍ය හමුවේ පවසමින් මෙරට සන්නද්ධ හමුදා අතිශයින්ම හෑල්ලු කළ අයකු වියත්මඟේ ප්‍රධාන දේශනයක් සඳහා ගෙන්වීම ගෝඨාභය රාජපක්ෂගේ දෙබිඩි පිළිවෙත හෙළි කරන බවත් තව දුරටත් එවැනි අත්තනෝමතික තීරණවලට ගෝඨාභය රාජපක්ෂ එළැඹියොත් තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බවත් එම සම්මේලනයේ සිටි විශ්‍රාමික ආරක්ෂ අංශ නිලධාරීන් පැවසූ බව තව දුරටත් රහසක් නොවේ.

කෙසේ වුවද ඔහුගේ යුද විශ්ලේෂණය සාධනීය එකක් වුවද නොවුවද ඔහු මේ වන විට යුද විශ්ලේෂකයකු ලෙස යම් කීර්තියක් අත්පත් කරගෙන තිබේ. එය අප පිළිගත යුතු කරුණකි. එසේ වුවද ඔහු පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණ සිදු කරන ලද දේශනයකදී පෙන්නුම් කළේ ඔහු යුද විශ්ලේශකයකුද එසේ නැති නම් යම් ඊළඟ ජනාධිපති සිහිනයේ සිටින අපේක්ෂකයකුගේ සන්නාම තානාපතිවරයකු ද නැති නම් දේශපාලන ගිනි අවුළුවන හනුමන්තකුද යන ගැටලුව මේ රටේ ජනතාව හමුවේ තබමිනි.

ඔහු එහිදී තම යුද විශේලේෂණයේ විශේෂඥභාවයක් පෙන්නුම් කළ කිසිදු විශේෂ සඳහනක් කර තිබුණේ නැත. මෙතෙක් ආරක්ෂක අංශවලින් හෙළිදරව් කරගත් කරුණු පෙළට ගළපා කතාව ගලා යන්නට සැලැස්වූ ඔහු එම ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ දුර්වල කිරීම, මාර්ග බාධක ඉවත් කිරීම වැනි කරුණු බලපෑ බව ප්‍රකාශ කළේය. රජය මේ වන විට එම සිදුවීමේ වගකීම බාරගෙන තිබියදීත් බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර නොගත් නිලධාරීන්ට එරෙහිව පියවර ගනිමින් සිටියදී ඔහු විසින් ඒවා යළිත් මතු කිරිම තුළ ඉස්මතු වන්නේ ඔහුගේ ඊනියා යුධ විශ්ලේෂණයට වඩා එක් දේශපාලන පාර්ශ්වයකට පාර කැපීමේ සන්නාම තානාපති හෝ සේල්ස් රෙප් රාජකාරියයි.

මේ ත්‍රස්ත විශ්ලේෂකයාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය කෙරෙහි 'කනේ පහරක්' වරක් එල්ල වූයේ කැනඩාවෙනි. 2011 වසරේ පෙබරවාරි මාසයේදි 'ලක්බිම' පුවත්පතට ප්‍රකාශයක් කළ රොහාන් ගුණරත්න එල්.ටී.ටී.ඊ. සංවිධානය කැනඩාව තුළ ක්‍රියාත්මක වන්නේ 'කැනේඩියන් ටැමිල් කොංග්‍රස්' (Canadian Tamil Congress) යන නමින් බවට ප්‍රකාශ කර තිබුණේ සුපුරුදු පරිදි කිසිදු සාක්ෂියක් නොදක්වමිනි. එමඟින් යුද විරෝධී කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ ඩයස්පෝරාවේ සැකය සහ අප්‍රසාදය එම සංවිධානය වෙත එල්ල වී තිබිණි. මෙය තම සංවිධානයට සෘජුව සහ වක්‍රව කළ අපහාසයක් බවට කරුණු දක්වමින් කැනඩා දෙමළ කොංග්‍රසය, කැනඩාවේ ඔන්ටාරියෝහි උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කළේය. එම නඩුවෙන් තීන්දු වූයේ එම සංවිධානය නීති විරෝධී සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට ගම්‍ය වන ලෙස රොහාන් ගුණරත්න සාවද්‍ය ලෙස අපහාසයක් සිදු කර ඇති බවය. එම අපහාසයට වන්දි ලෙස සහ නඩු ගාස්තු ලෙස කැනඩා ඩොලර් පනස් තුන් දහසක් (රුපියල් හැට නව ලක්ෂයක් පමණ ) ගෙවීමට රොහාන් ගුණරත්නට නියෝග කෙරිණි.

ගුණරත්නගේ එම ප්‍රකාශ වැරැදි හා අසත්‍ය බව ඉතා පැහැදිලි බව මතභේදයකින් තොරව පැවසිය හැකි යැයිද විනිසුරු එහිදි පැවසුවේය. මෙරටින් පිට වැඩිම ශ්‍රී ලාංකේය දමිළ ප්‍රජාවක් සාමාජිකත්වය දරන සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර මතගැටුම් උග්‍ර කිරීමටත් අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිකර යුද අපරාධ වැනි චෝදනා එල්ල වීමට අවශ්‍ය පසුබිම සැකසීමටත් මේ නාමික විශ්ලේෂකයා සහාය වූයේ එසේය.

ත‍්‍රස්තවාදය පිළිබඳ අන්තර්ජාතික විශේෂඥයා' 2014 වර්ෂයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහු සිදු කළ වැරදි ගැන අපූරු හෙළිදරව්වක් කළේය. "මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කළ ලොකුම වැරැද්ද වන්නේ, යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු, දෙමළ ජාතික සන්ධානයට ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩ දීමයි" යනු එම හෙළිදරව්වයි. ඔහුගේ දේශපාලන විශ්ලේෂණයේ තරම කියා පෑමට ඒ ප්‍රකාශයම ප්‍රමාණවත්ය. මහින්ද රාජපක්ෂ පාලන යුගය පිළිබඳ අනේකවිධ විවේචන සහිත පිරිස් පවා එක හෙළාම විරෝධතාව දක්වන ඉහත 'ළිං මැඩි' ප්‍රකාශය, තව දුරටත් රොහාන් ගුණරත්න හට මෙරට මාධ්‍ය අවකාශයේ ඉඩ වෙන් කළ යුතුද යන්න බරපතළව සිතා බැලීමට පොලඹවනු ඇත.

එදා මෙරට ආරක්ෂක අංශවලට අපහාස කරමින් එල්.ටී.ටී.ඊ. ය සමඟ යුද්ධය ජයහ්‍රහණය කළ නොහැකි බවට තර්ක කළ රොහාන් ගුණරත්න අද සමහර විද්‍යුත් මාධ්‍ය තුළ මෙරට ආරක්ෂක අංශවල හැකියාව ගැන පාරම් බෑම නම් හාස්‍යජනකය. අද ආරක්ෂක අංශ ශක්තිමත් යැයි පවසන අතර 2015 වසරෙන් පසු මෙරට මාර්ග බාධක ඉවත් කරමින් රාජ්‍ය ආරක්ෂාව දුර්වල කළ බවටත් යළි පැවසීම අප තේරුම් ගත යුත්තේද ඔහුගේ පසුගිය සමයේ ක්‍රියා කලාපයෙනි.

මහාචාර්ය රොහාන් ගුණරත්න ගැන 2003 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ පළ වන 'ද ඒජ්' පුවත්පතට ගේරි හියුස් ලිපියක් සම්පාදනය කර තිබිණි.

“අල් කයිඩා හෝ ත්‍රස්තවාදය ගැන අදහස් දැක්වීමක් අවශ්‍ය සෑම මොහොතේදීම රොහාන් ගුණරත්න ඒ සඳහා ඉදිරියට එනවා. නියම වේලාවට, නියම තැනට ඔහු එනවා'

එය බැලූ බැල්මට රොහාන් ගුණරත්න වර්ණනා කිරීමක් ලෙස පෙනී ගියද ගැරී හියුස් සිය ලිපියෙන් දිගින් දිගටම මතු කර ඇත්තේ රොහාන් ගුණරත්නගේ අද්භූත ඉදිරිපත් වීම් ගැනය.

ඔස්ට්‍රේලියා ආරක්ෂක බුද්ධි සංවිධාන ද ගුණරත්නගේ 'හිතළු' ප්‍රකාශ හෙළා දැකීමට පවා ක්‍රියා කර තිබේ. ජෙමා ඉස්ලමියා ත්‍රස්ත සමූහයේ සන්නද්ධ අංශ නායකයා මෙන්ම අල් කයිඩා සංවිධානය ජ්‍යෙෂ්ඨ සමාජිකයකු ලෙස සැලකෙන හම්බාලි නිරතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණි බවට ගුණරත්න කළ ප්‍රකාශ එලෙස එම ආයතනයේ දෝෂදර්ශනයට ලක් විය.

අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන විශ්ලේෂකයන් අතර රොහාන් ගුණරත්න කොපමණ කුප්‍රකටව සිටියේද යන්න, බ්‍රිතාන්‍යයේ 'ද ඔබ්සර්වර්' පුවත්පතේ අභ්‍යන්තර කටයුතු කර්තෘවරයා මෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් දිර්ඝ කාලීන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ මාර්ටින් බ්‍රයිට් කළ ප්‍රකාශයෙන් හෙළි වේ.

"ඔහු බින් ලාඩ්න් ගැන පවසන අය අතුරින් අඩුවෙන්ම විශ්වාස කළ හැකි පුද්ගලයායි. බ්‍රිතාන්‍ය බලධාරීන් ඔහු භාවිත කරන්නේ පේනකරුවෙකු විදිහටයි.''

රොහාන් ගුණරත්නගේ පිළිබඳ කදිම සාක්ෂියක් 2003 වසරේදී ජනවාරි මාසයේදී නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පතට සුපුරුදු පරිදි වගකීම් විරහිත, සාක්ෂි නැති ප්‍රකාශයක් සිදු කරමින් ගුණරත්න හෙළි කළේ එරට ඉස්ලාම් අනතවාදී ත්‍රස්ත කණ්ඩායම් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඔවුන් මුදල් එක් රැස් කරමින්, අන්තවාදී මත ප්‍රචලිත කරමින් සහ නව පිරිස් බඳවාගනිමින් සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබූ නමුත් නවසීලන්ත මූල්‍ය රහස් ඒකකය එම ප්‍රකාශ සෘජුවම ප්‍රතික්ෂේප කර තිබිණි. ත්‍රස්ත කණ්ඩායම්වලට සම්බන්ධ කිසිදු නිශ්චල හෝ චංචල දේපළක් නවසීලන්තය තුළ නැති බවට නවසීලන්ත මූල්‍ය රහස් ඒකකය තහවුරු කර තිබියදී රොහාන් ගුණරත්න කළ ප්‍රකාශය හේතුවෙන් සිදු වූයේ එරට කිතුනු ලබ්ධිකයන් අතර ඉස්ලාම් භක්තිකයන් කෙරෙහි අනවශ්‍ය බියක් වර්ධනය වීමය.

තම ස්ථාවරය එක රැයින් වෙනස් කර හාත්පසින්ම ප්‍රතිවිරෝධී මත දැක්වීම රොහාන් ගුණරත්නට නුහුරු කාර්යයක් නොවේ. අල් කයිඩා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට ඇෆ්ගනිස්තානයේදී අත්අඩංගුවට ගත් ඩේවිඩ් හික් නම් ඔස්ට්‍රේලියා ජාතිකයා අල් කයිඩා සාමාජිකයෙකු නොවන බවත්, ඔහු සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් නොකළ බවත්, එවැනි ප්‍රහාර සඳහා අවශ්‍යතාවක් ඔහුට නොතිබූ බවත් පැවසූ ගුණරත්න, ඉන් සති දෙකකට පසු ඩේඩිඩ් හික් යුද අධිකරණයක් හමුවට පැමිණවීමට තරම් සාක්ෂි තමන් සතු බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කිරීමත් සමඟ එක නිමේෂයකින් තම ස්ථාවරය වෙනස් කරගෙන ප්‍රකාශ සිදු කිරීමට පටන් ගත්තේය.

මෙරට ආරක්ෂක බුද්ධි අංශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන පූර්ව දැනුම්දීමක් කර තිබූ බව රහසක් නොවේ. එවැනි ශක්‍යතාවක් ඇති මෙරට බුද්ධි අංශ 2015න් පසු දුර්වල කළ බවට සාවද්‍ය චෝදනා නඟන රොහාන් ගුණරත්න, මෙරට බුද්ධි අංශ සාමාජිකයන් 500ක් පමණ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බවටද සාක්ෂි රහිත ප්‍රකාශ සිදු කරයි. එය මෙරට සියලු ආරක්ෂක හමුදා විසින් ප්‍රතික්ෂේප කරන ලද කාරණයකි. තම ඉතිහාසය තුළ විවිධ රටවලදී සිදු කළාක් මෙන්ම මෙරට ආරක්ෂක අංශ දුර්වල බවත් මෙරටට සුවිශේෂී වූ ත්‍රස්ත තර්ජනයක් ඇති බවත් නැවතා නැවත් හුවා දක්වන ගුණරත්න හෙට දිනයේ අන්තර්ජාතික රහස් ඔත්තු සංවිධානයක් වෙනස් මතයක් පළ කළහොත් තම ස්ථාවරය වෙනස් කර නොගනීවි යැයි සහතිකයක් දිය හැක්කේ කාටද?

Comments