ආගමික උන්මත්තකයන් පොලිසියේදී හෙළි කරන 20/20 ඉස්ලාම් රාජ්‍යයේ සිහින සැලසුම | සිළුමිණ

ආගමික උන්මත්තකයන් පොලිසියේදී හෙළි කරන 20/20 ඉස්ලාම් රාජ්‍යයේ සිහින සැලසුම

පාස්කු ඉරිදා මෙරට කතෝලික ජනතාව මෙන්ම විදේශිකයන් ඉලක්ක කරගෙන එල්ල වුණු අයි.එස්. ප්‍රහාරය දීර්ඝ කාලීන සැලසුමකට අනුව සිදු වූවක් නොවේ. එය ක්ෂණික තීරණයක් මත සිදු වුණු ප්‍රහාරයකි. හෙළි වෙමින් ඇති ආකාරයට අනුව සිරියාව මූලස්ථානය කරගත් අයි.එස්. සංවිධානයේ සැලස්ම වී ඇත්තේ 2020 දී ශ්‍රී ලංකාව තුළ අයි.එස්. රාජ්‍යක් ප්‍රකාශයට පත් කරන්නටය. ඒ ඔවුන්ගේ සිහින රාජ්‍ය සිතියමට අනුවය.

එම අයි.එස්. සැලසුම ගැන තොරතුරු හෙළි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ ප්‍රබල ගෝල බාලයන්ගෙනි. ඒ අය අතර මාවනැල්ලේ සාදික් සහ ශාහිඩ් යන අයියා මලෝ දෙදෙනාද සිටිති. අයි.එස්.නායක අබුබකර් අල් බැග් ඩෑඩ්ගේ ඉස්ලාම් රාජ්‍ය ශ්‍රී ලංකාව තුළ ගොඩ නැඟීමේ සිහිනය බොඳ වන බව කියැවෙන්නේ වනාතවිල්ලුවේ ඔවුන්ගේ රහස් කඳවුර හෙළි වීම සමඟය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජනවාරි 16 වැනිදා එම පුහුණු කඳවුර වටලන්නේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලින් හෙළි වූ තොරතුරක් මතය. එම කඳවුරේ භාරකරුවන් ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සාදික් සහ සාහිඩ් යන අයියා මලෝ දෙදෙනාය. ඒ වන විටත් ඔවුන් සිටියේ සැඟවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බුදු පිළිමවලට හානි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයෙකුගේ ජංගම දුරකතන අංකයක් ඔස්සේ කෙරුණු දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස වනාතවිල්ලුවේ පුහුණු කඳවුර සොයාගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකී විමර්ශනයට ඇමති කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේද සහාය ලැබී තිබිණි. මොහොමඩ් නස්ලිම් නැමැති ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සමඟ වනාතවිල්ලුවේ පුහුණු කඳවුරටද ගොස් තිබිණි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලැබෙන්නේ ඔහුගෙනි. මාවනැල්ලේ පිහිටි සිය නිවසේ නිදා සිටි ඔහුට මාර්තු 09 වැනිදා සහරාන්ගේ කල්ලියෙන් වෙඩි කන්නට පවා සිදු වන්නේ එබැවිනි. අදටත් ඔහු සිටින්නේ මහනුවර මහා රෝහලේ දැඩි සත්කාර ඒකයේය.

2020 ප්‍රහාරක සැලසුම ගැන බොහෝ තොරතුරු හෙළි කරන්නේ සාදික් සහ සාහිඩ් යන අයියා මලෝ දෙදෙනාය. පාස්කු ප්‍රහාරයෙන් පසු ගම්පොළ පාවහන් වෙළඳ සලක් තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නේ ඔවුන් දෙදෙනාය. බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන විට මාවනැල්ලෙන් පැනගත් ඔවුන් දෙදෙනාත් සාදික්ගේ බිරියත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වන තුරුම සැඟ වී සිට ඇත්තේ ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නැගණියකට අයත් බව සඳහන් වත්තල එඩේරමුල්ලේ පිහිටි නිවසේය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ වනාතවිල්ලුව පුහුණු කඳවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීමට ලක් නොවුණේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් කිසිසේත්ම එල්ල නොවන බවකි

2020 ප්‍රහාරක ඉලක්කය වෙනුවෙන් ජනවාරි 25 වැනිදා සිට සිය සාමාජිකයන්ට වනාතවිල්ලුවේ කඳවුර තුළ සටන් පුහුණුව ලබාදීමට සැලසුම් කරගෙන සිටි බව එම සහෝදරයන් දෙදෙනා හෙළි කර ඇති බව සඳහන්ය. එම පුහුණුවට බෝම්බ ඇටවීම් සහ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම්ද ඇතුළත්ව තිබී ඇත. පුහුණුව මාස තුනකි. එක කණ්ඩායමට ඇතුළත් සාමාජිකයන් පිරිස 50 දෙනෙකි.

වනාතවිල්ලුව ඔවුන්ගේ එක් කඳවුරක් පමණි. තවත් කඳවුරු රැසක් ඔවුන් රට පුරාම ඒ වන විටත් ස්ථාපිත කරමින් තිබී ඇත. කාත්තන්කුඩියෙන් සහ රිදී තැන්නෙන් හමු වන්නේ එවන් පුහුණු කඳවුරු දෙකකි. හම්බන්තොටද එවන් පුහුණු කදවුරක් ස්ථාපිතව තිබී ඇති අතර මෙතෙක් එම කඳවුර සොයාගන්නට හැකියාවක් ලැබී නැත.

සටන් පුහුණුව ලැබෙන්නේ නුවරඑළිය, කුරුණෑගල ආදී ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානවලින් තෝරාගන්නා පිරිස්ය. ඒ අය ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන තැනට ඔළුගෙඩි වෙනස් කළ සාමාජිකයන්ටය. ගෙවී ගිය කාලය තුළ එම පුහුණු මධ්‍යස්ථානවලින් පුහුණුව ලබා ඇති සංඛ්‍යාව 300කට වැඩිය. නුවරඑළියේ පුහුණු මධ්‍යස්ථානයේ පමණක් පුහුණුව ලැබූ 60 දෙනෙකුගේ ලැයිස්තුවක් සොයාගැනිණි. ඒ අය ඝෘජුවම අයි.එස්. ජාලයට සම්බන්ධ වූවෝය. ඒ අයගෙන් 50කට වැඩි පිරිසක් මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.

සහරාන් විසින් රටපුරා පුහුණු කඳවුරු සහ පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති ආකාරය අනුවත් පෙනී යන්නේ ඔවුන්ට කෙටි කාලීන සැලසුමකට වඩා දීර්ඝ කාලීන සැලසුමක් තිබූණු බවකි. එසේම ඔවුහු රට පුරාම ජාතික තවුහිත් ජමාත් පල්ලිද ගොඩනඟමින් සිටියේ සාමාජිකයන් වර්ධනය කරගනිමිනි.

බුද්ධි අංශද දැන් සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය අහඹු සිදු වීමක් බවය. අයි.එස් සැලසුම වී ඇත්තේ අගෝස්තු වැනි මාසයකදී මධ්‍යම පළාතේ පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සුළු ප්‍රහාරයක් එල්ල කරමින් රටේම ආරක්ෂක අංශවල අවධානය ඒ පැත්තට යොමු කිරීමය. ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් සහරාන් ඇතුළු කණ්ඩායම සූදානම්ව සිට ඇත්තේ සෙසු ප්‍රදේශවල හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලට පහරදී ගිනි අවි පැහැර ගන්නටය.

මෙය ඇතැම් විට සහරාන්ගේ සිතේ ඇඳුණු සිහිනයක් වන්නට පුළුවන. එසේම හමුදා කඳවුරකට හෝ පොලිස් ස්ථානයකට පහරදී ගිනි අවි පැහැර ගැනීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක්ද නොවනු ඇත. එය එසේ වූවත් බුද්ධි අංශ සඳහන් කරන ආකාරය අනුව සහරාන් ඇතුළු කණ්ඩායමට තිබී ඇත්තේ එවන් සැලසුමකි.

ඒ සෑම සැලසුමක්ම බිඳ වැටෙන්නේ වනාතවිල්ලුව පුහුණු කඳවුර වැටලීම සමඟය. “ තව බලාගෙන හිටියොත් නෝන්ඩි වෙනවා, අපිව නිකම්ම අහුවේවි. එතකොට අපිට ආගම වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිවෙනවා. ඒ නිසා තියෙන දේකින් වැඩ ගමු.‍“ වනාතවිල්ලුව කඳවුර හෙළි වීමත් සමඟ ඒ උපදෙස සහරාන්ට ලැබී ඇතැයි පැවසෙන්නේ අයි.එස් නායකත්වයෙනි. එය ඔහුට ලැබී ඇතැයි සඳහන් වන්නේ ඉන්දියාව ඔස්සේය.

වනාතවිල්ලුව කඳවුර අනාවරණය වූ නිසා 2020 ප්‍රහාරය අසාර්ථක වූවා සේම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවද වළක්වාගන්නට අපට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. ඒ මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශන මඟිනි. එම විමර්ශන දේශපාලන බාධාවකින් තොරව පොලිසියට කරන්නට ඉඩ දුන්නේ නම් සහරාන් ඇතුළු අන්තවාදීන් බුරුත්තම අද සිටින්නේ හිරේය.

මාවනැල්ලේ ස්ථාන දෙකක බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් මුල් විමර්ශන සිදු වූයේ කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ මෙහෙයැවීමෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් සැදුම් ලත් පොලිස් කණ්ඩායමක් විසිනි. විමර්ශකයන්ට මාවනැල්ලේ මුස්ලිම් වැසියන්ගේද සහාය ලැබුණු බැවින් පැය 48ක් යන්නට මත්තෙන් බුදු පිළිම විනාශ කළ අන්තවාදීන් හඳුනාගැනීමට එම පොලිස් කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ අනුව බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් සැකපිට 13 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මහමොළකරුවන් ලෙස පොලිසිය හඳුනා ගත්තේ සාදික් සහ සිහිඩ් යන අයියා මලෝ දෙදෙනාය. ඒ වන විට සාදික් සහ සාහිඩ් සිටියේ සැඟවීය.

පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් මාවනැල්ලේ බුදු පිළිම විමර්ශන සම්බන්ධයෙන් ප්‍රගතිය විමසමින් පරීක්ෂණවලට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට මුල්ම දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඔය අතරතුරදීය. එම ඇමතුම ලැබෙන විට එම සහකාර පොලිස් අධිකාරීවරයා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සමඟිනි.

“අහවලා ඔයාට කතා කරයි. ඒ ගැන බලල ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න“ පූජිත් ජයසුන්දර එම ඇමතුම අවසන් කළේ එසේය.

ඒත් එක්කම දැනට බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ තනතුරක් දරණ මුස්ලිම් දේශපාලනඥයකු සහකාර පොලිස් අධිකාරිවරයාට ඇමතුමක් ආවේය.“සාදික්වයි සාහිඩ්වයි සතියක් යන්න ඉස්සරින් පොලිසියට භාරදෙනවා. එයාලට කරදර කරන්නේ නැතිව කරන දෙයක් කරන්න.“ ඉතා කෙටියෙන් ඔහු ඇමතුම අවසන් කළේ එසේය.

එම ඇමතුමෙන් සතියක් ඉක්ම ගියේය. කී ආකාරයට අනුව සාහිඩ් සහ සාදික් පොලිසියට භාරදුන්නේ නැත. නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සිය කාර්යාලයට සහකාර පොලිස් අධිකාරිවරයා කැඳවමින් ඒ ගැන විමසා මේ දේශපාලනඥයාට ඇමතුමක් ගන්නැයි කීවේය. සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුට ඇමතුමක් ගත්තේ ස්පීකර් දමා නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් සියල්ල අසන්නට ඉඩ සලසමිනි.

“සර්, තවම ඇකියුස්ල දෙන්නා භාරදුන්නේ නැහැ. දැන් සතියකටත් වැඩියි. සර්ව විශ්වාස කරලයි මේ දවස් ටිකවත් අපි බලාගෙන හිටියේ“ සහකාර පොලිස් අධීකාරීවරයා කීවේය.

“අයියෝ, මව්ලවි උන් දෙන්නව භාරදුන්නේ නැද්ද?“ දේශපාලකයා කලබල වෙමින් එම ඇමතුමේම රැඳී සිටිමින් ඊට මව්ලවිවරයෙකු සම්බන්ධකර ගත්තේය. එම මව්ලවි කවුරුන්දැයි සහකාර පොලිස් අධිකාරිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා අදටත් දන්නේ නැත. ඔහු සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් පරීක්ෂණවල ප්‍රගතිය විමසුවා මිස සාදික් සහ සාහිඩ් ගැන වචනයක්වත් කීවේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කටයුතු භාර කෙරෙන්නේ ඒත් එක්කමය. වනාතවිල්ලුවේ කඳවුර වැටලෙන්නේ සාහිඩ් සහ සාහිඩ් පසු පස පැන්නීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එම කඳවුරේ තිබී පුපුරන ද්‍රව්‍ය 250ක්, බොම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළු පිපුරුම් ද්‍රව්‍ය තොගයක්ම සොයාගත්තද එතැන් සිට ඉදිරි විමර්ශන මන්දගාමී වූයේ ඇයි දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. එසේ නොවන්නට පාස්කු ඉරිදා ප්‍රහාරයත් තබා ඇල්පෙනෙති තුඩකින්වත් සහරාන්ලාට මෙරට ජනතාවට හිංසාවක් කරන්නට ඉඩක් නොලැබෙන බව පැහැදිලිය.

Comments