සේද මාවතේ යොවුන් සිහි­න­යක් සැබෑ වෙයි මෙය අපේ පම­ණක් නොවෙයි මුළු රටේම ජය­ග්‍ර­හ­ණ­යක් : ලක් ම­වට කීර්තිය ගෙනා නිපුණ සහ තරුෂි | සිළුමිණ

සේද මාවතේ යොවුන් සිහි­න­යක් සැබෑ වෙයි මෙය අපේ පම­ණක් නොවෙයි මුළු රටේම ජය­ග්‍ර­හ­ණ­යක් : ලක් ම­වට කීර්තිය ගෙනා නිපුණ සහ තරුෂි

එදා මුතු, මැණික්, නිසා පෙරදිග ලෝකයේ මුතු ඇටය නමිනුත්, සහලින් ස්වයංපෝෂිතව තිබූ නිසා පෙරදිග ධාන්‍යාගාරය නමිනුත් විරුදාවලිය ලබමින් ලෝකයේ දස දෙස සිය නම රඳවන්නට අපේ මේ පුංචි ලංකාව සමත් වුණා. එයින් නොනැවතී අද වනවිට විවිධ ක්ෂේත්‍ර හරහා ලෝකයේ ඉදිරියෙන්ම සිටිනන්නට අපේ රටට හැකිවී තිබෙනවා. කලා ක්ෂේත්‍රය ඒ අතර ඉදිරියෙන්ම ඉන්නවා. මේ අතරට එක්වුණු එසේ අපේකම අන්තර්ජාතිකව ඔසවා තබන්නට සමත්වූ මාධ්‍ය සහෘදයින් දෙදෙනකු අපට හමුවුණා. පසුගියදා චීනයේ පැවැත්වූ ‘සේද මාවතේ යොවුන් සිහින‘ තරගාවලියේදී සංගීත අංශයෙන් තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අපේ රටට කීර්තියක් එක් කළ නිපුණ සිරිපති සහ ඇය තරුෂි අතුකෝරල එම දෙදෙනායි.

 

නිපුණ ‘සේද මාවතේ යොවුන් සිහින‘ කියන්නේ තවත් සැබෑ වූ සිහිනයක්ද?

ඇත්තටම මෙය තවත් සැබෑ වූ සිහිනයක් තමයි. හැබැයි මෙය පෞද්ගලිකව මගේ විතරක් නෙමෙයි මුළු රටේම සිහිනයක් සැබෑ වුණා කියන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම මෙය විදේශ රටක තිබුණු තරගයකට සහභාගී වූ පළමු අවස්ථාව.

 

මොකක්ද මේ සේද මාවතේ යොවුන් සිහින කියන්නේ?

සේද මාවතේ තියෙන රටවල් අතර ඒ ඒ රටවල සංස්කෘතිය ප්‍රවර්ධනය වන විදියේ තරුණ සංගීතවෙදීන්ගේ, ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඒ ඒ කලා අංශවල තරුණ අය නියෝජනය කළ තරගාවලියක්. මෙවර සිහින මාවතේ යොවුන් සිහින 2019 පැවැත්වුණේ චීනයේ බීජිං නුවරයි. රටවල් හැත්තෑවකින් තරගකරුවන් තුන්සියයක් පමණ මේ සඳහා සහභාගී වුණා.

 

ඒ අංශ අතුරින් ඔබත් තරුෂිත් තරග වැදුණේ කුමන අංශයෙන්ද?

අපි නියෝජනය කළේ සංගීත අංශය. එහිදී අප ඉදිරිපත් කළ නිර්මාණයට හොඳම ගායනය සම්මානය වගේම , හොඳම සංගීතයටත් තෙවැනි ස්ථානය හිමිවුණා.

 

මේ තරගයේ ඇති විශේෂත්වය කුමක්ද?

සමස්ත තරගය පුරාවටම අපි ඉදිරිපත් කළ ගීතය, සංගීතය ලංකාවේ සම්ප්‍රදාය ප්‍රවර්ධනය වන නිර්මාණයක් තමයි ඉදිරිපත් කළේ. ගීත ගායනා කළේ මම. තරුෂිත් එහි කොටසක් ගායනා කළා. ගීතයේ පද රචිකාව ඇයයි. ඒ සඳහා යොදා ගත්තේද සම්ප්‍රදායිකව ඇති අපේ සංගීත භාණ්ඩයි. ඒ විතරක් නෙමෙයි අපේ ඇඳුම පැලඳුමද අපේ සංස්කෘතියට අනුව තමයි අපි ඉදිරිපත් කිරීම කළේ.

 

තරගය වගේම ඉදිරිපත් කළ ගීතයත් විශේෂයි නේද?

මේ තරගය සඳහා අපට ඉදිරිපත් කරන්නට කියලා තිබුණේ තමන්ගේ රටේ අනන්‍යතාව, සංස්කෘතිය ගැන කියැවෙන නිර්මාණයක්. එවැනි අවස්ථාවකට ආදර ගීත ඉදිරිපත් කරන්නට බෑනේ. මේ ගීතය ඒ තරග කොන්දේසි වලට උචිත නිසා අලුතින් නිර්මාණයක් කළේ නෑ. අපේ මාධ්‍ය නාළිකාවේ තේමා ගීතය තමයි අප මෙහිදී ඉදිරිපත් කළේ.

 

ඔබ දෙදෙනාම CRI (චීන ශ්‍රී ලංකා ගුවන් විදුලිය) සේවය කරනවා? ඒ ගැනත් කියමු?

තරුෂිත් මමත් දෙන්නම වැඩ කරන්නේ VISBC මාධ්‍ය ජාලයේ වුවත් තරුෂි එහි නාළිකාවක් වන CRI නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක්, වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස වැඩ කරනවා. මම VISBCහිම සිත FMහි සේවය කරනවා.

 

තරුෂි ඔබ කොහොමද මාධ්‍ය ජීවිතයට මුලින්ම සම්බන්ධ වන්නේ?

මම පාසල් ගියේ සමුද්‍ර දේවී බාලිකාවට. ඉන් අනතුරුව සිංහ FM හරහා තමයි මාධයට සම්බන්ධ වෙන්නේ. එහි වැඩසටහන් වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. පසුව CSN නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කළා. ඉන් පසුව තමයි CRI නාළිකාවට සම්බන්ධ වුණේ.

 

නිවේදනයට අමතරව ඔබ හඬකැවීම් ශිල්පිනියක් විදිහට වැඩකරනවා?

ඔව්. නිවේදනයට අමතරව හිරු නාළිකාවේ හඬකැවීම්වලට සහභාගී වෙනවා.

 

නිපුණ ඒ පැනයම මම ඔබෙන් අහනවා?

මමත් හිරු නාළිකාවේ හඬකැවීම් ශිල්පියකු විදිහට වැඩ කරනවා. ඊට අමතරව චිත්‍රපට පරිවර්තන කටයුතු සිදුකරනවා. තබ්ලා වාදනයටද සුවිශේෂි වූ හැකියාවක් තිබෙනවා.

 

ඒ ඔබ කලා පරිසරයක හැදුණු කෙනක් නිසා වෙන්නැති?

ඇත්තටම ඒ පරිසරය මගේ සංගීත ගමනට මුලික අත්තිවාරම බවට පත්වුණා කියන්නට පුළුවන්. මගේ මව චන්ද්‍රා රණතුංග. ඇය බස්නාහිර පළාත් හිටපු සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක්. මගේ සීයත් කලාවට සම්බන්ධයි. ඔහු ගත් කතුවරයකු වගේම ගීත රචකයෙක්. ඒ ආභාෂයන් මටත් ලැබිලා තියෙනවා.

 

තරුෂි අවසන් වශයෙන් මේ ගමනට ඔබ දෙදෙනාට අත දුන් පිරිස ගැන කතා කරමු?

මුලින්ම කියන්නට ඕන නිපුණටත් මටත් මේ තරගය සඳහා අනුග්‍රහය ලබා දුන්නේ කොළඹ නගර සභා ව්‍යාපෘතියේ කස්සප සෙනරත් මහතායි. ඔහු පිළිබඳ මේ මොහොතේ මතක් කළ යුතුමයි. ඒ වගේම VISBC සභාපති නිරංග හෙට්ටිආරච්චි මහතා. එතුමා තමයි අපේ නිර්මාණ කටයුතු වලට සම්පුර්ණ සහය ලබාදී තිබෙන්නේ. සිත FM සහ CRI වැඩසටහන් අධ්‍යක්ෂක සීලරතන සෙනරත්, CRI නාළිකා ප්‍රධානී ‘වං ෂෙයාවෝ තුම්‘ මහතා, චීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ශානි කල්‍යාණරත්න ඇතුළු CRI නාළිකාව් සියලු කාර්ය මණ්ඩලය මේ මොහොතේ සිහිපත් කරනවා. 

Comments