මෙච්ච­ර­කල් හිටපු මට තව ඉව­සන්න පුළු­වන් පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් කම්ප­න­යට පත් අනූෂා කළ කැප­ කි­රීම | සිළුමිණ

මෙච්ච­ර­කල් හිටපු මට තව ඉව­සන්න පුළු­වන් පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් කම්ප­න­යට පත් අනූෂා කළ කැප­ කි­රීම

ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා දමයන්ති

අනුෂා දමයන්ති යනු රංගන ශිල්පිනයක වගේම නර්තන ශිල්පිනියක ලෙසත් ජනප්‍රිය චරිතයක්. හැමදාමත් කලාවේ සියල්ලන් සමගම ළෙන්ගතුව සිටින ඇය කාලෙන් කාලෙට කතාබහට ලක්වන චරිතයක් කීවොත් නිවැරැදියි. පසුගිය දා විවාහ විමට සූදානම්ව සිටි ඇය ගැන ක්ෂේත්‍රයේ නැවතත් කතාකරන්න පටන් අරන්. ඒ ඇයගේ විවාහය හදිසියේම කල් දැමීම නිසා. අප කළ විමසීමේදී ඇය රසඳුන ‘හිත පිරෙන හීන‘ විශේෂාංගයට ඒ ගැන පැහැදිලි කිරීමක් කළා.

 

අනුෂා මෙවරත් විවාහය කල්ගියා නේද?

ඔව්. මේ මාසෙ විසිතුන්වැනිදාට තමයි විවාහ උත්සවය පවත්වන්නට සියලුම වැඩ සූදානම් කරලා තිබුණේ. නොසිතූ ලෙස සිදුවු ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා. ඒ නිසා මට මගේ විවාහය උත්සව අරගෙන සමරන්න බැහැ කියල හිතුණා. ඒ නිසා තමයි විවාහය කල්දාන්න තීරණය කළේ.

 

විවාහ උත්සවය ගන්න සැලසුම් කළේ කොහේද?...

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. ගොඩක් දෙනකුට ආරාධනා පත්‍ර බෙදල තිබුණෙ. මට විශාල පාඩුවක් වුණේ. නමුත් කලාකාරිනියක් විදිහට මට ඒ කැපකිරීම කරන්න සිදුවුණා. මෙච්චර කාලයක් හිටිය වගේ තව මාස කිහිපයක් ඉවසාගෙන ඉන්න මට පුළුවන්.

 

ඔය තීරණයට පෙම්වතා එකඟවුණාද?

මම ඔහුට කීව මගේ රසිකයන් දුකෙන් ඉන්න අවස්ථාවේ මට සතුටු වෙන්න බැහැ. අපි මාස කිහිපයක් විවාහය කල්දාමු කියල. ඔහු මගේ ඉල්ලීමට කැමැති වී එයාගෙ අම්මා, තාත්තා දෙන්නත් කැමැති කර ගත්තා. මගේ අම්මාව තමයි කැමැති කරගන්න ටිකක් අපහසු වුණේ. මම ඇයටත් කරුණු තේරුම්කර දුන්නම ඇයත් කැමැතිවුණා.

 

මංගලෝත්සවය නැවත ගන්න හිතන් ඉන්නෙ කවදද?

තවත් නැකැත් දින දෙකක් දීල තියෙනවා. එකක් සැප්තැම්බර්. අනික ජූලි මාසේ. මේ දෙකෙන් එක දිනයක විවාහ උත්සවය ගන්නවා. මීට කලිනුත් අවස්ථා දෙකකදීම විවාහ වෙන්න තීරණය කළත් විවිධ හේතු මත පස්සට ගියා. එහෙත් මේ වසරේදි අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.

 

ඔහු ගැනත් කියමු නේද?

ඔහු ව්‍යාපාරිකයෙක්. කලාවට ආදරය කරන හොඳ මනුෂ්‍යයෙක්. අපි හඳුනාගෙන වසර දහයක් පමණ වෙනවා. සිරස ඩාන්සින් ස්ටාර් කරන කාලෙ ඔහු මට රසිකයෙක් විදිහට කතාකළා. එස්. එම්. එස් කළා. ඒ එස්. එම්. එස්. විශේෂයි කියල හිතුණා. පස්සෙ ඔහු ආදරය ප්‍රකාශ කළා. ගෙදරින් ඇවිත් ඇහුවා. අපි දැන් අවුරුදු දහයක පටන් ආදරය කරනවා. අවුරුදු දහයක් ගෙවුවා නම් තව මාස දෙක, තුනක් ගෙවන එක අපහසුවක් නෑ.

 

පසුගියදා සිදු වු සිදුවීම ගැන ඔබ තවමත් කම්පාවෙන්...

ඔව්. ගෙදර ඉන්න බල්ල නැති වුණත් අඬන මට මේ වගේ සිදුවීමක් කොහොම දරාගන්නද? අපි එක රටක මිනිස්සු. අපේ හැම ආගමකින්ම අපිට කියල දෙන්නෙ මිනිසුන් තුළ හික්මීම ඇතිකරගන්න මිසක් එකිනෙකා මරා ගන්න නෙමෙයි. අපි හැම කෙනාගෙන්ම ඇහෙන් වැටෙන්නෙ කඳුළු. ඒක හැම කෙනාම තේරුම් ගන්නවානම් හොඳයි. ඔය මිනිස්සු කී දෙනෙක් අපිට ආදරය කරන්න ඇතිද? එස්. එම්. එස්. එකක් හරි ගහල ඇති. ඒ ගැන හිතනකොට පුදුමාකාර වේදනාවක් දැනෙනවා.

 

මොනවද මේ දවස්වල කරන කලා කටයුතු...

තුෂාර තෙන්නකෝන්ගෙ රාවණා ටෙලි නාට්‍යයේ රඟපානවා. එය අපිට වටිනා දැවැන්ත නිර්මාණයක්. පිටරට කසිකබල් නිර්මාණ නැතුව අපේ රටේ දෙයක් පෙන්වන එක හොඳයි. එවැනි නිර්මාණවලට සම්බන්ධවන්නෙ ඉතාම සතුටෙන්. චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්නත් තියෙනවා.

 

නර්තන ශිල්පිනියක් ලෙස මොනවද කරන්නෙ...

මේ දවස්වල නර්තනය පැත්තෙන් මුකුත්ම කරන්න බැරිවුණා. ප්‍රසංග වේදිකා වගේම විවිධ වැඩසටහන් ‍ෙබාහොමයක් පසුවට කල්දාලා.

 

අනුෂා රංගනයට පිවිසෙන්නේ...

‘චෙරියෝ ඩාලිං‘ චිත්‍රපටයේ සින්දුවකට නර්තනයක් ඉදිරිපත් කරමින්. අහම්බෙන් තමයි කලාවට ආවෙ. ඒ 99 අවුරුද්දෙ වගේ. එතකොට මම සාමාන්‍ය පෙළ කරලත් නෑ. ඉන්පසුව රෝයි ද සිල්වගේ චිත්‍රපටයකට තනියම නර්තනයක් ඉදිරිපත්කළා. එදා ඉඳන් වැඩිපුරම සිනමාවේ තමයි රැඳී සිටින්නේ.

 

පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බැලුවොත්?

රංගන ශිල්පිනියක් වීම ගැන බෙහෙවින් සතුටුයි. 2001 නැගී එන සිනමා නිළිය ලෙස සම්මාන ලැබුණා. ඉන්පස්සෙ 2007 සරසවි සම්මානයක් ලැබුණා. බොහොම මහන්සියෙන් ලස්සන ගමනක් ආවා. මම හරි වාසනාවන්ත නිළියක්. 

Comments