මගේ සිතු­ව­මට ලැබුණු තෑග්ග ලස්සන ගීත­යක් ඊශ්‍රා­ය­ලයේ සිට සිතු­වම් අඳින ශ්‍රී ලාංකි­කයා මහේෂ් රත්නා­යක | සිළුමිණ

මගේ සිතු­ව­මට ලැබුණු තෑග්ග ලස්සන ගීත­යක් ඊශ්‍රා­ය­ලයේ සිට සිතු­වම් අඳින ශ්‍රී ලාංකි­කයා මහේෂ් රත්නා­යක

ඕනෑම කෙනකුට තමන්ගේ ජීවිතයේ විවිධ ආශාවන් පහළ වන්නේ කුඩා කල සිටමයි. එම ආශාවන් අනාගතයේ දවසක සඵල කර ගැනීමට අදිටන් කර ගන්නේත් කුඩා කල පටන්මයි. එසේ අනාගතය ගැන සුබ සිහින දුටු තරුණයකු ලෙස මහේෂ් රත්නායක හඳුන්වාදිය හැකියි. ඔහු අද වන විට විදේශ රටක රැකියාව කරන අතරතුර සිතුවම් ශිල්පියකු, ගී පද රචකයකු ලෙසින් මෙරට පමණක් නොව විදෙස් රටවල පවා පැසසුමට ලක්ව සිටීම ඔහු ගැන මෙලෙස සටහන් තබන්නට හේතුවක් විය.

“චිත්‍ර ශිල්පියකු වන ආශාව මගේ සිතේ තිබුණේ කුඩා කාලයේ සිටමයි. ඒ සඳහා අවශ්‍ය දැනුම විවිධ පොත්පත්වලින් සහ අන්තර්ජාලයෙන් ලබා ගත්තා. උසස් පෙළට චිත්‍ර විෂයයක් ලෙස හැදෑරුවා. දැන් මම සිතුවම් අඳින්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙනයි'

කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි මහේෂ් පාසල් යන්නෙ අම්බලන්ගොඩ දේවානන්ද විදුහලටය. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඔහු වසර තුනක් පමණ ගිණුම් අංශයේ රැකියාවක නිරතවිය. ඔහුට විදේශගත වන්නට අවස්ථාව උදාවන්නේ එසේ සේවය කරමින් සිටියදීය.

“ගිණුම් අංශයේ රැකියාව කරමින් සිටින අතරතුරේදී තමයි මගේ පියාගේ යහළුවකුගේ මාර්ගයෙන් ඊශ්‍රායලයේ රැකියාවකට යන්න අවස්ථාව හිමි වන්නේ. ඒ සාත්තු සේවකයකු ලෙස සේවය කිරීමටයි. දැන් විදෙස්ගත වෙලා වසර හයකට වැඩියි. මේ කාලය තුළ රැකියාව කරන අතරතුර සිතුවම් ඇඳීමත් සිදුකරනවා“

මහේෂ්ගේ සිතුවම් බොහෝමයක් තෙල් සායම් මාධ්‍යයෙන් නිමවූ ඒවාය. එසේ නිමවූ සිතුවම් ලෝකය පුරා විසිරී සිටින විවිධ පුද්ගලයන් මිලදී ගෙන තිබේ. එම සිතුවම් කැනඩාව, ජපන් තානාපති කාර්යාලය, ජර්මන් වෝටර් බෝට් ආදී ප්‍රසිද්ධ ස්ථාන අලංකාරයට යොදාගෙන ඇති නිසා එම ස්ථානවලදී දැකිය හැකි බව ඔහු පවසයි.

“කුඩා කාලයේ සිටම මම අලුත් අලුත් වචන ඉගෙනීමට බෙහෙවින් කැමැතියි. ඒ සඳහා ගුවන් විදුලියෙන් ඇසෙන ලස්සන වචන පොතක ලියාගන්නවා. එහෙම ලියාගෙන පාසල් රැස්වීමේදි කතා පවත්වන අවස්ථාවල එම වචන යොදා කතා පවත්වනවා. මගේ අම්මගෙන් තමයි මට භාෂාව පිළිබඳව ලොකු අවබෝධයක් ලැබුණේ.“

සෑම මොහොතකදීම ජීවිතයට අලුතෙන් යමක් එක් කරගැනීම මහේෂ්ගේ ජීවිතයේ දක්නට ලැබෙන සුවි‍ශේෂ ලක්ෂණයකි.

“ඊශ්‍රායලයේ මට බලාගන්න පැවරී තිබෙන්නේ වයෝවෘද්ධ පුද්ගලයෙක්ව. ඔහු පමණයි එම නිවෙසේ ජීවත්වන්නේ. එහිදී විවේකයෙන් සිටින සෑම අවස්ථාවකම මම කරන්නේ සිතුවම් අඳින එක. මුල් කාලයේ සිතුවම් ඇන්දේත්, ගීත ලියුවේත් පාළුව මකාගන්න විනෝදාංශයක් ලෙසින්. නමුත් දැන් සිතුවම් අඳින්නේ බොහෝ දෙනකුගේ ඉල්ලීමට. මේ වෙනකොට ගීත දෙකක් ලියා තිබෙනවා. ඒ දයාන් විතාරණ මහතා ගායනා කරන “දරාගත් ජීවිතය අරගෙන“ ගීතය සහ සමිතා එරන්දතී මහත්මිය ගායනා කරන 'ප්‍රේම නගරය“ ගීතය. දරාගත් ජීවිතය ගීතය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. සමිතා මුදුන්කොටුව ගායනා කරන ගීතය සංගීතවත් කළේ නයන කරුණාරත්න සහ නාද සංගීත කණ්ඩායම.“

මහේෂ් පද රචනය කළ සමිතා මුදුන්කොටුව ගායනා කරන ප්‍රේම නගරය ගීතයට පසුබිම සැකසුණු අලංකාර සිදුවීමක්ද ඇත.

“ඊශ්‍රායලයේ ලාංකිකයන් සංවිධානය කළ කලා උත්සවයකට මා බොහොම මහන්සි වී සිතුවමක් ඇඳ දුන්නා. රැකියාව අතරතුර එම සිතුවම ඇඳීමට මම විශාල මහන්සියක් ගත්තා. ඇතැම් දිනවලදී හාම්පුතාගෙන් බැනුම් අහන්නත් සිදුවුණා. නිවෙසේ තිබුණු සිතුවම එළියට දාන්න කියා ඔහු බැන වැදුණා. එවිට මම කළේ රාත්‍රි කාලයේදි නිවෙස ඉදිරිපිට විදුලි පහන් කණුවක් යට තබාගෙන සිතුවම ඇඳීමයි. කෙසේ හෝ සිතුවම ඇඳ නියමිත දිනය දා ඔවුන්ට භාර දුන්නා. ඔවුන් දන්නවා මම ගීත ලියන්නත් දක්ෂයි කියලා. එම සංවිධායක කමිටුවේ සිටින සඳලිය අක්කා මගෙන් ගීතයක් ඉල්ලුවා.

'මේ අලුත් පෙමක්දෝ

නොහැඟෙනා ඇරැඹුමේ..

මග හැරුණු ඒ සොඳුරු මග

හිස් තැනක නැවතුනේ.. යන

ගීතය මම ඇයට ලියා දුන්නා. නයන කරුණාරත්න ප්‍රමුඛ නාද සංගීත කණ්ඩායම සංගීතවත් කර සමිතා මුදුන්කොටුව ගායනා කරන්නේ එම ගීතයයි. 'ප්‍රේම නගරය' ගීතය කෙලෙස එළිදැක්වුවාද කියාවත් මම දන්නෙ නැහැ. මම ඇඳපු සිතුවමට ත්‍යාගයක් ලෙසයි මේ ගීතය ඔවුන් කර තිබෙන්නේ. අද වන විට ප්‍රේම නගරය ගීතය“ බොහෝ පිරිසක් රසවිඳ තියෙනවා.

ප්‍රවීණ ගේය පද රචිකාවක වන යමුනා මාලනියද වරෙක මහේෂ්ගේ ගී පද රචනය ඇගැයුමට ලක්කරමින් සඳහන් කොට ඇත්තේ අරුත් කැටිකොට ලිවීමේ හසළ දැනුමක් මහේෂ් සතුව පවතින බවයි.

“මම ගීත නිර්මාණයක් කරන්නෙ කවුරුන් හෝ ඉල්ලුවොත් විතරයි. එහෙම නැතුව ආවට ගියාට ගීත නිර්මාණය කරන්නෙ නැහැ. දැනටත් මම සිතුවම් කළ පෝස්ටර් කිහිපයක්ම ලෝකයේ රටවල් දහයකට විතර ගිහින් තියෙනවා. ඒ ගැන සතුටුයි. ඉදිරියේදි ඊශ්‍රායලයේදි සිතුවම් ප්‍රදර්ශනයක් කිරීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා මගේ බිරිය කාංචනාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මාස හතක් වයසැති ඔෆ්රි සෙත්හිරු රත්නායක මගේ පුතණුවන් ආදරයෙන් සිහිපත් කරනවා.“

Comments