තොප්පිය හරි ­නම් දාගන්න කියල ‘තිත්ත ඇත්තෙන්, ඉඟි ‍දෙනවා | සිළුමිණ

තොප්පිය හරි ­නම් දාගන්න කියල ‘තිත්ත ඇත්තෙන්, ඉඟි ‍දෙනවා

පාස්කු ඉරුදින ම්ලේච්ඡ මරාගෙන මැ‌රෙන ප්‍රහාර‌යෙන් ජනතාවගේ සාමාන්‍ය ජීවිත උඩුයටිකුරු වුණු අතර සිනමා කර්මාන්තයටත් මෙය දරුණු ලෙස බලපෑමක් එල්ල කර තිබේ. ‘තිත්ත ඇත්ත‘ චිත්‍රපටය තිරගතවීම ඇරැඹුණු දාට පසුවදා මෙම ප්‍රහාරය එල්ල වුණු අතර ‘තිත්ත ඇත්ත‘ අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් වීරරත්න මහතා සමඟ කළ කතා බහකි මේ.

‘තිත්ත ඇත්ත‘ දේශපාලන හාස්‍ය චිත්‍රපටයක්. ‍‍‍අද දේශපාලනය කොමඩියක් වෙලා. මෙහි තියෙන්නේ පස්වැනි පන්තියවත් පාස් නැති පුද්ගලයෙක් දේශපාලනයට ඇවිත් ඇමැති කෙ‍නෙක් වෙනවා. ඔහුගෙ නම වලිසිංහ. එයාගේ අනුශාසක හැටියට ඉන්නේ ආචාර්ය ප්‍රබුද්ධ වල්ගම. එයා අටවත් පාස් නැහැ ආචාර්ය උපාධිය ගත්තට.

මෙයින් කිසිම ‍දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට පහර ගහල නැහැ. ‍ නමුත් ‍තොප්පිය හරිනම් දාගන්න කියල තමයි ‍මෙයින් ඉඟි ‍දෙන්නේ. පසුගිය කාලයේ සිදුවුණු පුද්ගලයෙක් ගස් බැඳීම වැනි සිදුවීම් පවා ‍මෙහි තිබෙනවා.

මෙහි රංගනයේ යෙදෙන නළු නිළියන් ගැන සඳහන් කරමු.

‍දොන් ගයි වලිසිංහ කියන ඇමැතිවරයා ‍ලෙසත් ‍ටෙනිසන් කු‍රේ ඇමැති අනුශාසක ‍ලෙසත් ප්‍රධාන චරිත රඟපානවා. සනත් ගුණතිලක, සුසිලා කෝට්ටගේ, රජිත හිරාන්, චතුර පෙරේරා, පී. බී. ගංගොඩතැන්න, කීර්ති රංජිත් පීරිස් සහ හඳුන්වාදෙන රහුල් රිතික සහ මධුෂානි වික්‍රමසිංහ සෙසු චරිත නිරූපණය කරන අතර, ඊට අමතරව ආචාර්ය මර්වින් සිල්වා හිටපු ඇමැති තුමාත් ‍මෙහි රඟපානවා. ඔහු ‍මෙහි නිරූපණය කරන්නේ මර්වින් සිල්වා ඇමැති හැටියටමයි.

‍ෙද්ශපාලනමය තත්ත්වය වි‍ෙව්චනය කිරීමක්ද මිනිසුන්ට සරල වින්දනයක් ලබා‍ දීමද?

මූලික පරමාර්ථනය තමයි සරල වින්දනයක් ලබාදිම. මම හැමදාම ක‍ ‍කළේ මිනිසුන්ට වි‍නෝදාස්වාදය ලබා‍දෙන චිත්‍රපට.

නොම්බර 17, ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, සූර වීර චණ්ඩියෝ, පුදුමයි ඒත් ඇත්තයි ඒ ඔක්කොම විනෝදාත්මක චිත්‍රපට. නොම්මර 17 දින දෙසියයක වාර්තාවක් තිබ්බා. ඒ වාර්තාව අදටත් කඩල නැහැ.

ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ කැමැතියි ඒ වගේ සරල වින්දනයක් ලබා දෙන චිත්‍රපට බලන්න. ඒ එක්කම මම මෙතැන පණිවිඩයක් දෙනවා ඡන්ද දායකයා හිතන්න ඕන ඡන්දය දෙනකොට කාටද දෙන්න ඕන කියලා. ඔවුන් අතේ තමයි තීරණය තියෙන්නේ. ඔවුන් දැනගන්න ඕන හරි පුද්ගලයාව තෝරලා යවන්න.

පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරීතර ආයතනය. මුළු රටම පාලනය කරන්නේ ඔතැනින්. එහෙම නම් එතැනට අට පාස් නැති අය ගිහිල්ලා රටක් පාලනය කරන්න බැහැනෙ. අපේ ඡන්ද දායකයන්ටත් වෙලා තියෙන්නේ ඡන්ද කාලෙට සිමෙන්ති කොට්ටයක් දෙනවා කිව්වාම කතිරය ගහනවා.

මේ චිත්‍රපටයේ ඒ දේවල් පෙන්වනවා. මම එයින් කියන්නේ ඒ දෙන දේවල් ගන්න. වහලට උළු, ඇස්බැස්ටෝස් තහඩු දෙන ඒවා ඔක්කොම ගන්න. අරගෙන සුදුසු පුද්ගලයාට ඡන්දය දෙන්න. නැතුව මේ රට හදන්න බැහැ.

ඔබ මේ කියන දේ ඔවුන්ට තේරේවිද?

මේ චිත්‍රපටයේ එක දෙබසක් තිබෙනවා ‘මොර සූරන වැස්සේ ගංගාවල් පිටාර ගලන කොට එකම කොටේ උඩ නයයි මුගටියයි බැලන්ස් කරගෙන ඉන්නවා වගේ‘ කියලා. එයින් අදහස් කෙරෙන්නේ ප්‍රශ්නයක් ආවම මේ අය ඩීල් දමාගෙන ඉන්නවා කියන එකයි. මේ දෙබස් ගැන ගොඩක් අය අගය කරනවා.

කතාව, දෙබස්, තිර රචනය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය මගේ. මෙය මගේ තිරගත වන 5 වැනි නිර්මාණයයි. ඇත්තටම ගත්තොත් මෙය මගේ 6 වැන්න. මොකද මම මීට පෙර කළ නිර්මාණය ‘රසිනි‘. එය පසුව තිරගත කිරීමට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ‘එදත් දිනුම් අදත් දිනුම්, කියලා තවත් චිත්‍රපටයක වැඩ අවසන් කරලා තියෙනවා. මේ පවත්නා තත්ත්වය අනුව මෙය හොඳම වෙලාව නිසා තිරගත කළා.

පසුගිය පාස්කු දිනයේ සිදුවුණු ප්‍රහාරය චිත්‍රපටය තිරගත කිරීමට බලපෑවා නේද?

කියන්න කනගාටුයි. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළේ පසුගිය 20 වැනිදා. එදා කොළඹින් පිට පළාත්වල චිත්‍රපට ශාලා පිරි ඉතිරී යන තරමට මෙය බලන්න ප්‍රේක්ෂකයෝ ආවා. සුපර් හිට් එකක් වෙලා තිබුණේ. නමුත් අවාසනාවට බෝම්බ පිපිරුණා. හෝල් වැහුවා. දැන් ආයෙත් පිකප් කරලා යනවා.

ඔබ නිර්මාණකරුවකු ලෙස නමක් දිනාගන්නේ පාසල් සිසුවකුවව සිටියදී.

ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අවුරුදු 10 දී තමයි මම පළමුවැනි පොත ලිව්වේ. ඒකෙ නම ‘ඉන්ස්පෙක්ටර්‘. අවුරුදු 11දී ‘පුංචි ළමයි‘ නමින් දෙවැනි පොත ලිව්වා. අවුරුදු 16දී පළමුවැනි නවකතාව ලිව්වා ‘අයියයි මල්ලියි‘. අවුරුදු 18දී පළමුවැනි වේදිකා නාට්‍යය කළා ‘රන් දේදුන්න, නමින්. ජයසේකර අපොන්සු, සොමී රත්නායක තමයි රඟපෑවේ.

අවුරුදු 20දී ‘රන් සෙවණ‘ කියලා තවත් වේදිකා නාට්‍යයක් කළා. ජයසේකර අපොන්සු, මියුරි සමරසිංහ, ශ්‍රියාණි ෆොන්සේකා රඟපෑවේ. ඊට පස්සේ මම වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ගියා. එහිදී මම ව්‍යාපාර කළමනාකරණය හදෑරුවා. මට ව්‍යාපාර කළමනාකරණය සහ මූල්‍ය පරිපාලනය සඳහා පශ්චාද් උපාධියක් තිබෙනවා.

මේ මොනවා කළත් මට කලාව අමතක කරන්න පුළුවන් වුණේ නැහැ. එංගලන්තයේ ඉගෙන ගන්නා කාලයේදීම මම ‘ඈත එපිට‘ කියලා මි.මී. 8 පැය එකහමාරක චිත්‍රපටයක් නිර්මාණය කළා. මැණික් කුරුකුලසූරිය මගේ හිතවතියක්. ඇය ලන්ඩන් ආව වෙලාවක ඇයත් ඉගෙන ගන්න ශිෂ්‍යයන්වත් මේකට සම්බන්ධ කරගෙන තමයි කළේ. මේ චිත්‍රපටයේ කැමරාව ඇතුළු හැම දෙයක්ම කළේ මම.

ඒත් ඒක පෙන්වන්න පුළුවන් මට්ටමක තිබුණේ නැහැ. එය විනෝදයට කළේ. නමුත් එයින් ලැබුව අත්දැකීම් මත තමයි මම ලංකාවට ඇවිත් නොම්මර 17 චිත්‍රපටය කළේ. මේ චිත්‍රපටය කරන්න කලින් මම ‘ඔබේ ව්‍යාපාරයෙන් උපරිම ලාභ ලබන්නේ කෙසේද?‘ කියන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පොතක් ලිව්වා. මෙය හරිම ජනප්‍රිය වුණා.

ඉන්පසුව අධ්‍යාපන පැත්තට ඕස්ට්‍රේලියන් විශ්ව විද්‍යාල හඳුන්වලා දුන්නා. පසුව රස ප්‍රකාශන ආයතනය ආරම්භ කරලා පුවත් පත් හිමිකරුවකු වෙනවා. දැන් ඒ සියල්ලන්ගෙන්ම ඉවත්වෙලා පූර්ණ කාලීනව සිනමාවට පැමිණ සිටිනවා.

නොම්මර 17න් ඇරැඹි සිනමා ගමන ගැන මතකය අවදි කළොත්

1988දී තමයි මම සිනමාවට එන්නේ නොම්මර 17 නිර්මාණය කරමින්. මෙහි කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය මගේ. මෙහි විජය, සනත්, ජීවන්, සබීතා සහ ෆ්‍රෙඩී තමයි ප්‍රධාන චරිත රඟපෑවේ. දින 210ක් එක දිගට දිව්වා. ඒක වාර්තාවක්. තවම ඒක කඩන්න කාටවත් බැරිවුණා.

ඉන්පස්සේ 1991දී It's a Matter of Time කියන ඉංග්‍රීසි චිත්‍රපටය හැදුවා. ඒක පර්යේෂණයක් විදිහට කළේ. ගාමිණී ෆොන්සේකා, කමල් අද්දර ආරච්චි සහ සංගීතා රඟපෑවා. සංගීතා සිනමාවට හඳුන්වා දුන්නේ මේ චිත්‍රපටයෙන්. රෝයි ද සිල්වා තමයි අධ්‍යක්ෂණය කළේ. 1993 දී සූර වීර චණ්ඩියා, සහ පුදුමයි ඒත් ඇත්තයි කළා. ඒ තමයි මගේ සිනමා ගමන් මඟ. 

 
 
 

Comments