තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

දමිතා ‘ඔගොට්ටුව’ නිසා අමාරුවේ වැටිලා

දමිතා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව ව්‍යාපාර කටයුතු ඇරැඹු ඇය දැන් ව්‍යාපාර කටයුතු වලට මේ දිනවල වැඩි කාලයක් යොදවනවාලු. 'ද ගෝ' ව්‍යාපාර කටයුත්ත නිසා මේ දිනවල ඇය තරමක් කාර්යබහුලයි කියලා තමයි දැනගන්න ලැබුණේ. විවිධ චරිතාංග මවන්නට උපන් හපන්කම් ඇති ඇයට පසු ගිය දිනක'ඔඩොක්කුව' නිසා හීන් දාඩිය දැම්මා කියලා කතාවක් අපට ආරංචි වුණා. මේ කතාව දැනගන්නට අපි ඇයට කතා කළා.

‘‘ඔයා ඔය අහන්නේ අනුරාධපුරයේ ෂුටිං වලට ගියාම මට වුණු අකරතැබ්බය වෙන්න ඇති. සුදත් දේවප්‍රියගේ අලුත්ම නිර්මාණයක රූගත කිරිම් වලට අපි අනුරාධපුරයට ගියා. මට පුංචි කා‍ලයේ ඉඳන් 'ඔඩොක්කුව' කියලා කියවෙන්නෙම නෑ. ඒ වෙනුවට කියන්නේ 'ඔගොට්ටුව'කියලයි. ඉතිං මගේ වෙලාව කියන්නේ එදා ඔඩොක්කුව කියලා කියන්න දෙබසක් මට තිබුණා. උදේ ඉඳන් කල්පනා කළා මේ වචනය කියන්නේ කොහොමද කියලා. කොහොම හරි කියනවා කියලා හිතුවා. ෂූටිං එක ගන්න වෙලාව ආවා. අවසන් මොහොතෙදීත් මම කීවේ ඔගොට්ටුව කියලා. ඒක අහලා සුදත් අයියා ඇහුවා මොකක්ද නංගි ඒ කියලා. පස්සේ මම පැත්තකට අඬගහලා සීන් එක කීවා. සිද්ධිය දැනගත්ත සුදත් අයියා ඒ වෙනුවට වෙන චචනයක් දාලා ඔඩොක්කුව වෙනුවට 'උකුළ' කියලා දාලා දෙබස කියන්න කිවා.”


උදයකාන්ත 24ත් අරඹයි

සිනමා නිර්මාණකරුවන් අතර ඔහු ඉදිරියෙන්ම ඉන්නවා. ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් උසස් රසවින්දනයක් සහිතව සැමදාමත් ගින්දර වගේ නිර්මාණ බිහිකරන 'ගින්දරී' සිනමා පටයෙහි නිපැයුම් කරුවා ඔහුයි. ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්නට අප ඔහුට කතා කළ විට ඔහු කීවේ මෙවැන්නක්.

‘‘ඇත්තටම මේ දිනවල රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයක් එක්ක නිර්මාණ කටයුතු වල පොඩි පොඩි වෙනස්කම් සිදුවුණා. ඒත් ‘ගින්දරී‘ චිත්‍රපටයේ දර්ශන සියල්ලක්ම පාහේ රූගත කිරීම් මේ වන විට අවසන්. එය තව මාස කිහිපයකින් ප්‍රදර්ශනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ විසිහතරවැනි සිනමා නිර්මාණයේ රූගත කිරීම් ජූනි පළමුවැනිදා සිට ආරම්භ කරන්නට සූදානමින් ඉන්නේ. මෙය දේශපාලන ප්‍රහසනයක් රැගත් අපූර්ව නිර්මාණයක් වේවි. මාළුවාට වතුර නැතුව බෑ වගේ අපිටත් දැන් සිනමාව නැතුවම බැරිවෙලා.‘‘

ඒ අපූරු උපහැරණයත් එක්ක කිව්වේ සිනමාවට ඒ තරමට ඔහු බැඳිලා ඉන්නවා කියලයි.


බීන් නිසා චන්දනට ඇබැද්දියක්

ස්වර්ණවාහිනියේ චන්දන කී සැනින් ඔහුව නොදත් අයෙක් නැතිතරම්. නිවේදන ශිල්පීන් අතර ඔහු‍ගේ නම ඉදිරියෙන්ම කියැවෙනවා. ඒ නිසයි ඔහු මෙවර ප්‍රශස්තම රූපවාහිනී නිවේදකයා ලෙස ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබන්නේ.

ලංකාවේ පළමු වරට මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ මෙම මාධ්‍ය සම්මාන උලළේදී ‍ප්‍රශස්තතම නිවේදකයා ලෙස පිදුම් ලැබූ පළමු සම්මානවේදියා ලෙස ඔහුව ඉතිහාස ගතවෙනවා.

චන්දනට මේ සම්මානය ලැබු‍ණේ 'අද දවස' වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන්. මැදිරියට ආගන්තුකයෙක් නොවන ඔහු ‘මිස්ට බීන්‘ නිසා සජීවීව මැදිරියේදී බයිට් වුණු කතාවක් ගැන අපට දැන ගන්නට ලැබුණා. එහි ඇත්ත නැත්ත දැනගන්න අපි ඔහුට කතා කළා.

‘‘ඇත්තටම ඔය සිදුවීම මතක්වෙද්දි මට තාමත් හිනා යනවා. දවසක් අපේ වැඩසටහනකදී ශ්‍රී ලංකන් මිස්ටර් බීන් (ප්‍රසාද් ගලප්පත්ති) මැදිරියට එන්න සූදානම් කරලා තිබුණා. මධුශාන් සහ චවිකා කියන හිතවතුන් දෙදෙනා මාත් සමඟ මේ වැඩසටහන නිවේදනය කළේ. නිෂ්පාදකවරයෙක් එකපාරටම බීන්ව මැදිරියට තල්ලු කළා.

එයා ආව විදිහෙන් අපි තුන්දෙනාටම හිනාව වාවගන්න බැරි වුණා. අපි හිතුවේ නෑ ඒ වෙනකොටත් වැඩ සටහන සජීවී විකාශය වීම ආරම්භ කරලා. පස්සේ තමයි ඒ බව දන්නේ. ඒත් ඒ වෙනකොට සියල්ල සිදුවී හමාරයි.‘‘


ඉමාෂා මනාලියක් වූ රහස හෙළිවෙයි

‍දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සහේලිගේ චරිතයට පණ පොවන ඇය දැන් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට දිනාගත් රංගන ශිල්පිනියක්. ඉමාෂා කියනවාට වඩා දැන් කවුරුත් ඇය හඳුනන්නේ ‘සහේලි‘ කියලයි. ඔන්න කාගෙත් ආදරය දිනාගත් ස‍හේලි කාටත් හොරාම මනාලියක් වුණා කියලා පහුගිය දිනවල කතාවක් පැතිරිලා ගියා. ඒ ගැන අපි ඉමාෂිගෙන් ඇහුවම ඇය කිවේ මෙවැන්නක්.

‘‘අයියෝ ඔය කියන්නේ පසුගිය දිනක මම කරපු ෆොටෝ ෂූට් එකගැන වෙන්නඇති. මනාලියක් විදියට හැඩ ගැන්වුණේ ෂූට් එකට විතරයි. ඒක ක‍ළේ මගේ සහෝදරයා තිළිණ.‘‘ ඇය පිළිතුරු දුන්නේ සිනාසෙමින්.

ඉමාෂාගේ සොහොයුරා වෘත්තීය සිනමාකරණය හා සම්බන්ධයි. ඒ කියන්නේ ඉමාෂා ඉදිරියේදී සිනමාව ඔස්සේත් කලඑළි බසින්නද සූදානම? අපි ඇගෙන් විමසුවා.

දැනට ආරාධනා ලැබිලා තිබෙන බවත් ඒ පිළිබඳව වැඩි විස්තර ළඟදීම කියනවා කියල තමයි ඇය කිව්වේ.

අදහස්