කොත­රම් කාර්යබහුල වුවත් දරු­වන්ට කාල­යක් වෙන්ක­ර­ගෙන සිටි­නවා | සිළුමිණ

කොත­රම් කාර්යබහුල වුවත් දරු­වන්ට කාල­යක් වෙන්ක­ර­ගෙන සිටි­නවා

කලා ලෝකෙ විවිධ කලාකරුවන්ගේ රසබර තොරතුරු සොයා යන

අපි දෙන්නා මුණගැසුණෙ අයි.ටී.එන් එකේදි

 නිවේදක, පිටපත් රචක ප්‍රියාල් වීරසිංහ

ගමනේදි මෙවර අප ඔබ වෙත ගෙන එන්නෙ තරමක වෙනස් වූ කලාකරුවන් දෙපළක් ගැනයි. මොවුන් දෙදෙනාම මාධ්‍ය හිතවතුන් ලෙසත් හැඳින්විය හැකියි. ගොතටුව පිහිටි සුන්දර කැදැල්ලක දිවි ගෙවන මේ දෙපළ ගැන හදුන්වා දෙනවා නම් නිවේදකයකු සහ පිටපත් රචකයකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයකු, ගී පද රචකයකු වන ප්‍රියාල් වීරසිංහ සහ ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක, වැඩසටහන් අධ්‍යක්ෂිකාවක වන චලනි සිරිවර්ධන. බෙහෙවින් ම අවිවේකි ජීවිත ගත කරන ප්‍රියාල් සහ චලනි ආදරණීය දූවරුන් දෙදෙනකුගේ ආදරණීය මවුපියන්. මේ ඔවුන්ගේ කැදැල්ලේ වගතුගයි.

“පසුගිය අවුරුදු සමය නිසා අපි දෙදෙනාම ටිකක් කාර්යබහුල වුණා. නිවේදක, නිවේදිකාවන් දෙපළක් වීම නිසා අපිට උත්සව කාලවලදී ගෙදර ඉන්න ලැබෙන්නෙම නැති තරම්. මෙවර වෙසක් එකට තමයි ටිකක් වැඩ අඩුවුණේ. චලනී අපව පිළිගන්නා ගමන්ම කියාගෙන යන්නීය. ඇය එක් අතකින් සුරතල් දියණිය වඩාගෙනය. අනෙක් අතින් ලොකුදුව අල්ලාගෙනය. සැබැවින්ම මේ අප පුංචිතිරේ අපිව අමතන චලනිමද? මම ඇය දෙස හොඳින් බලමි. පුංචිතිරේ දකින සුන්දරත්වයට එහා ගිය සුන්දරත්වයක් ඇයගෙන් දිස්වෙයි. ඒ මවකගේ නිවුණු පෙනුමයි.

‘ඇය නැවතත්.. අපි දෙන්නම අද ගෙදර නිසා දරුවන්ට හරිම සතුටුයි. ඔයාලත් ආපු එක හොඳයි. එහෙනම් අපි මොනවහරි බොන ගමන්ම කතා කරමු නේද?,,

කියමින් නිවෙස තුළට පියමනියි. ඒ සුරතල් දියණියන්ද කැටුවය.

අමිත් අයියා ඒ මේ අත යමින් චලනි - ප්‍රියාල් සොඳුරු කැදැල්ලේ විසිතුරු ඡායාරූයට නගයි. සැබවින්ම සුන්දර, සරල ලෙසින් නිමැවුණු අලංකාර නිවෙසකි. එහි ගෘහ මූලිකයා අප කවුරුත් ආදරය කරන ප්‍රියාල් වීරසිංහය. ඔහු පැමිණ අප අසලින් ඉඳ ගනියි.

බොහෝ දෙනෙක් විමසනවා ප්‍රියාල් අයි. ටී . එන් එකේ පෙනෙන්න නැත්තේ ඇයි කියලා? “පසුගිය වසරේ අගෝස්තුවල ස්වාධීන රූපවාහිනියෙන් ඉවත්ව සියත නාලිකාව හා සම්බන්ධ වුණා. ඒක නිසයි මාව අයි . ටී. එන් එකේ දකින්න නැත්තේ. අවුරුදු පහළොවකට වැඩි කාලයක් ස්වාධීන රූපවාහිනියෙ සේවය කළා. අපි දෙන්නා මුණ ගැසුණෙත් අයි. ටී. එන් එකේදි. අපේ ජීවිතයේ රසබර සිදුවීම් සහ මතකයන් බොහෝමයක් තියෙන්නේ අයි.ටී. එන් හා බැඳුණු ඒවා. ඒ නිසා බොහොම අමාරුවෙන් තමයි අයි . ටී. එන් එකෙන් ඉවත්වෙන්න හිත හදාගත්තෙ. මම ඉවත් වුණාට චලනි හැමදාමත් අයි. ටී. එන් සමග රැඳී සිටියි,,.

ප්‍රියාල් කතා කරමින් සිටියදී චලනී අප දෙසට පැමිණෙන්නේ බීමට රැගෙනය. ‘අපිටත් කියනවද දෙදෙනාගේ රසබර අතීතයෙන් බිඳක්? ප්‍රියාල් චලනි දෙස ආදරයෙන් බලයි. චලනි උත්තර බඳින්නට සැරසෙයි. “අපි හදුනා ගන්නේ 2005දි විතර. මම අයි. ටී. එන් එකට එන්නෙ 2004දි. මාව වැටුණෙ ප්‍රියාල්ගෙ ටීම් එකට. ඔහු අපට වඩා ජ්‍යෙෂ්ඨ නිසා අපි ටිකක් බයයි. මොකද එයා අපේ ටීම් එකේ සීනියර් නිසා. ඒ වන විටත් ප්‍රියාල් නිවේදකයෙක්, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් සහ අවුරුදු, ක්‍රිඩා, වැනි වැඩසටහන් ඉදිරිපත් කළා. මුල සිටම මම ඔහුගෙන් තමයි මේ ක්ෂේත්‍රයට අදාළව බොහෝ දේවල් දැනගත්තෙ. ඔහු මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුවරයා. එහෙම තිබුණු යහළුකම තමයි පස්සෙ ආදරයකට පෙරළුණේ. අවුරුදු හයකට ආසන්න කාලයක් ආදරය කරල විවිධ දුක් ගැහැට මැද 2011දි විවාහ වුණා,, චලනි කියාගෙන යද්දී ප්‍රියාල් සිය බිරිය දෙස සිනහමුසුව බලමින් ඇය කියන දේවල් අනුමත කරයි.

පාසල් කාලයේ සිටම චලනි නිවේදිකාවක් වෙන බලාපොරොත්තුවෙන්ද හිටියේ? “මගේ ගම කොළඹ. පාසල් ගියේ රාජගිරිය ජනාධිපති විදුහලට සහ කොළඹ ගෝතමි බාලිකාවට. පාසල් යන කාලයේදි නර්තනය හැදෑරුවා, බටහිර තූර්යවාදක කණ්ඩායමේ හිටියා. උසස් පෙළටත් නර්තනය විෂයයක් ලෙස හැදෑරුවා. කැම්පස් ආවෙ වයඹ නිසා කැම්පස් ගියේ නැහැ. පස්සෙ ගුරුවරයකුගේ මාර්ගයෙන් තමයි අයි. ටී. එන් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.,,

“ඉස්සර නම් අපි දෙන්නම එකම චැනල් එකේ වැඩ කළ නිසා වැඩ කරගත්තෙ, නිවාඩු ගත්තෙ කතාබහ කරල. දුර පළාත්වල වැඩකට ගියත් දෙන්න එකටමයි ගියේ,,  අප කතාකරමින් සිටියදී චූටි දුව තාත්තාගේ ඇකයෙහි හිදිමින් මොනවාදෝ මුමුනයි. තාත්තා ඇයගේ භාෂාවෙන්ම පිළිතුරු දෙමින් සුරතල් වදන් තෙපළයි.

‘දුවල දෙන්න ගැනත් කතා කරමු නේද? මගෙන් චලනිට පැනයකි. “ලොකු දුව සුහවි හෙතාරා. අවුරුදු පහයි. මියුසියස් විද්‍යාලයෙ ළදරු පාසලේ ඉගෙනුම ලබනවා. පොඩි දුවට අවුරුදු දෙකයි. ඇය පසත්මි හසාරා. දෙන්නම දුවල නිසා හරිම සුරතල්. මමත්, ප්‍රියාලුත් රැකියාවට ගියාම මගේ අම්මත්, පුංචිගෙ දුවත් තමයි දරුවන් බලාගන්නෙ. ඒ දෙන්න නැත්නම් මට මගේ රැකියාව නිදහසේ කරන්න හම්බ වෙන්නෙ නැහැ. ඒක නම් කියන්නම ඕනෑ. ඇය ඔවුන් සිහිකරන්නේ ආදරයෙනි.

‘චලනි අයි. ටී. එන් එකේ මොනවගේ වැඩසටහන්ද ඉදිරිපත් කරන්නෙ..,, ගොඩක් වෙලාවට ප්‍රධානම වැඩසටහන් තමයි දැන් කරන්නෙ. නවකයන්ට පුරුදු පුහුණු කරනවා. දැන් ගොඩක්ම නිවේදනයට වඩා වැඩසටහන් අධ්‍යක්ෂණය කරනවා,,

ප්‍රියාල් සියත නාලිකාවෙ නිවේදනයට අමතරව මොනවද කරන්නෙ..

“නිවේදනයට අමතරව සියත නාලිකාවෙ කළමනාකරුවකු වගේම චිත්‍රපට, ටෙලි නාට්‍ය පිටපත් රචකයකු ලෙසින් වැඩ කරනවා. පසුගිය කාලයේ නිර්මාණය වු ගැමුණු මහරජ, මිණි ඟං දෑල, රන් සමනළයෝ වගේ නිර්මාණත් මේ දිනවල තිරගතවන සුභා තෙරණියෝ සිනමාපටයේත් තිරපිටපත මගේ. මේ දවස්වලත් අලුත් නිර්මාණ කිහිපයකටම පිටපත් රචනා කරගෙන යනවා.,, මේ දෙපළම කොතරම් කාර්ය බහුල වුවත් දරුවන් වෙනුවෙන් වෙනම කාලයක් වෙන්කරගෙන සිටිති. රැකියාවේදි මෙන්ම නිවෙසේ දි ත් චලනි කාර්යබහුල චරිතයකි. ඇය වැඩ කරන්නේ ද සතුටෙනි. උදව්වට මව සිටියත් නිවෙසට පැමිණි විගසම දරුවන්ගේ සියලු දේවල් ඇය අතින්ම ඉටුකිරීම ඇගේ සතුටයි.

“ලොකු දුවගෙයි, මගෙයි දෙන්නගෙම උපන්දිනය මැයි විසිදෙක. එයාට වයස අවුරුදු පහ වුණාට හරිම කඩිසර, බුද්ධිමත් දරුවෙක්. අපිට කරදර කරන්නෙත් නෑ. එයා සමහර වෙලාවට මාවත් මෙහෙයවන්න හදනවා. අම්ම මෙහෙම හිටියනම් හොඳයි කියනවා. ඇත්තටම දරුවන් දවසෙන් දවස වැඩෙද්දි සතුට කියල නිමකරන්න බෑ. පොඩි දුව පුංචි නිසා එයා බලාගන්න එක තමයි අපහසු. මේ හැමදේටම ප්‍රියාල්ගෙ සහය ලැබෙනවා. ඔහු රැකියාවට පමණක් නොවෙයි දර්ශනතලවලටත් යනවා. කොතරම් වැඩවල නිරත වෙලා සිටියත් ගෙදරට ආවම දරුවොත් එක්ක කාලය ගතකරනවා,,

ගෙදර දොරේ ඉහුම්, පිහුම් කරන්නෙත් චලනිමද? “මගේ අම්මා හිටියත් ගෙදර උයන, පිහන වැඩ බොහෝ විට සිදුවන්නේ මගේ අතින්. මාධ්‍ය කේෂේත්‍රයට පොඩි හරි තල්ලුවක් කළා නම් ඒ අම්මා. ඇය දැනටත් මා සමග සිටිමින් මගේ දරුවන් බලාගනිමින් මට රැකියාව කරගෙන යෑමට ශක්තියක් වනවා‘

චලනි ඉහුම්, පිහුම් කලාව ගැන කියාගෙන යද්දි ඇය දරුවන් වෙනුවෙන් පිළියෙල කරන ආහාර කිහිපයක නම් කියාගෙන යන්නීය. “අපේ ගෙදර ආප්ප, ඉඳිආප්ප වගේ කෑම හදන්නෙ මගේ අම්මා. දරුවො විතරක් නෙමෙයි ප්‍රියාලුත් කැමැතියි මම හදන පැස්ටා එක කන්න. ඊට අමතරව ගෙදර ඉන්න වෙලාවට කේක්, පුඩිං වගේ කෑම වර්ගත් හදනවා,,

“කාර්යබහුලයි කියන එක එක්නෙකුට, දෙන්නෙකුට පොදු දෙයක් නෙමෙයි. සියලු දෙනාම එකවගේම කාර්යබහුලයි. ඒක වෙනස් වෙන්නෙ අපි අපේ ගෙදරට, දරුවන්ට ආදරය කරන විදිහ අනුවයි. අපි අපේ දරුවන්ට ආදරෙයි නම් කොතරම් අවිවේකි වුණත් ඔවුන් වෙනුවෙන් වෙලාව හදාගන්නවා. මම උදෑසන පහට අවදි වී දුවට, ප්‍රියාල්ට සහ අපිට වෙනම ආහාර පිළියෙළ කර ඔවුන්ගේ සියලු දේ ගැන සොයා බලලයි රැකියාවට යන්නෙ. ඒ ගිහිල්ලත් නිකම් ඉන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ. ගිය මොහොතේ සිටම වැඩ. රෑ බෝවි නිවෙසට පැමිණ නිවෙසේ සියලු දේවල් කර රාත්‍රි නින්දට යනවිට එකොළහ පසුවෙනවා.,,

“නිතර දෙවේලේ පුංචි තිරෙන් ඔබ දෙදෙනාගේම රුව දක්නට ලැබෙනවා. ඒ නිසා දෙන්නම රූපය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වෙනවා ඇති නේද?

“ඇත්තම කියනවානම් මම රූපය ගැන සැලකිලිමත්. දුවල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහටත්, නිවේදිකාවක විදිහටත් ලස්සනට ඉන්න කැමැතියි. ප්‍රියාලුත් කැමැතියි මම ලස්සනට ඉන්නවට. අපි අපේ රසිකයන්ට ප්‍රියමනාපව අඳින්න, කතාකරන්න ඕනෑ. ඒත් ඇඟ පාලනය කරන්න කියලා ජිම් යන්නවත් එක්සයිස් කරන්නවත් වෙලාවක් නැහැ. පිරිසුදුව ඉන්නවා,,

ඇඳුම් ගැනත් චලනි වැඩිපුර සිතනවාද? “මම කැමැතියි හැම කෙනෙකුටම ප්‍රශ්නයක් නොවන විදිහට ඇඳුම් අදින්න. මට ඉන්නේ සහෝදරයො දෙන්නෙක්, ඔවුන්ටත්, මගේ සැමියාටත් වචනයක් කිව නොහැකි සේ විලාසිතා කරනවා.

ප්‍රියාල් වැඩිපුරම කැමැති ඩෙනිම සහ ටී ෂර්ට් එක දාන්න. මම නම් කළු පැහැති ඇඳුම් අඳින්න කැමැති වුවත් සමාජයේ නොයෙක් තරාතිරම්වල මිනිසුන් හා හැසිරෙද්දි එවැනි දිනවලදී එම අවස්ථාවට උචිත ලෙස අඳිනවා. ඔසරිය වැඩිපුර අඳිනවා,,

බොහෝ වේලාවක් අප කතාබහේ යෙදුණෙමු. චූටි දුවට නිදිමත වී ඇති හැඩයි. තවත් සොඳුරු කැදැල්ලකට සමු දීමට කාලය පැමිණ තිබේ. නැවත හමුවන අදිටනින් මමත්, අමිත් අයියාත් පැමිණියෙමු.


‘ කියන්න පුළුවන්ද පැස්ටා හදන්නෙ කොහෙමද කියලා‘

පැස්ටා තම්බා වතුර බේරෙන්න පැත්තකින් තබනවා. ඉන් පසුව ලූනු ගෙඩියක්, ඉගුරු, සුදු ලූනු, ගම්මිරිස්, තක්කාලි ගෙඩි දෙකක් බ්ලෙන්ඩ් කර ගන්නවා. භාජනයකට ඔලිව් ඔයිල් ටිකක් දමා තෙල් රත්වු පසු එයට අඹරාගත්

මිශ්‍රණය එක්කර තෙම්පරාදු කරනවා. එයට පැස්ටා සෝස් මේස හැන්දක් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් 300ml පමණ එක්කර

පදමට ලුණු දමා තෙම්පරාදු වු පසුව පැස්ටා ටික දමා කලවම් කරනවා. ඉන්පසුව චීස් කෑලි 2ක් කැබලි කර පැස්ටා මිශ්‍රණයට එක්කර පිළිගන්වනවා.

 

අදහස්