ඔයා දුවන්න කැමතිද? | සිළුමිණ

ඔයා දුවන්න කැමතිද?

නීලක ඝාතනය කිරීමට ඉන්දියාවේ මැර පිරිසට බාර දුන් කොන්ත්‍රාත්තුව ඉබේම අවලංගු විය. වැඩිමල් සහෝදරයාගේ පුතා වන සංජය චට්ටෝපාධ්‍ය තමාගෙන් බලය ගැනීමට සූදානම් වන බව දැන ගත්තේ බෙංගාලයේ සිටියදීය. මෙම සැලසුම ලංකාවේදී කරතැයි රාම්මෝහන් සිතුවේ නැත. එය ක්‍රියාත්මක වූයේ කටුනායක ගුවන් තොටුපළේ රථ ගාලේදීය. එම උත්සාහය අසාර්ථක වූයේ නීලක නිසාය.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය නරඹද්දී ආර්යාවගේ සිත සැහැල්ලු විය. මරණ බියෙන් තැති ගනිමින් සිටි දෙපළට උද්‍යානයේ සැරිසරද්දී ලැබුණේ සතුටකි. නොදන්නා ශාඛ වර්ග රැසක් මෙහි ඇත.

“සෑහෙන දවසකින් බයක් නැතිව නිදා ගත්තා. එළිවෙනකල් නින්ද ගියා.”

“මටත් එහෙමයි. කෑම හොඳ රසට හදලා තිබුණා. නීලකගෙ අම්මට තෝසෙ, චපාති, පූරි, රසම් රසට හදන්ට පුළුවන්.”

“ඇයි ඒ නෝනා දෙමළනෙ. බලන්න සිංහල දෙමළ දෙන්නා ආදරෙන් ඉන්න හැටි.”

“ජනවාර්ගික අරගල තියෙන්ට ඕනෑ දේශපාලනඥයින්ටයි. බුද්ධි වාර්තාවලට අනුව සංජය මගෙ මාළිගාවට ඇවිදින් නෑ.”

“නමට හිටියට මහරාජලගෙ කාලෙ ඉවරයි. දැන් තියෙන්නෙ ප්‍රාන්ත ආණ්ඩු. දැන් සංජයට ඕනැ වෙලා තියෙන්නෙ වෙන දෙයක්.”

“දැන් සංජය ලෑස්ති වෙන්නෙ මගෙ බිස්නස් අල්ලා ගන්නයි.”

ඔවුනතර නිහඬ බවක් ඇති වුණි.

“මම දැන් ඉන්න කණ්ඩායමේ හොඳ කීප දෙනෙක් ඉන්නවා. අනිත් අය සංජය අල්ලා ගෙන.”

“දුව වෙනුවෙන් මේ හැම දෙයක්ම ආරක්ෂා කරල දෙන්ට ඕනෑ.”

“මයිසූරයේ කුමාරයත් අල්ලගෙන සංජය අලුත් කොම්පැනි එකක් පටන් ගන්න යනවා. මම එයාගෙ කුමන්ත්‍රණයට මූණ දෙනවා. එයාට වඩා දක්ෂ, එඩිතර කෙනෙක් මට ඉන්නවා.”

“ඔය දේපළ ඕනැ නෑ. අපි මෙහෙ ඉම්මු.” ආර්යාව කීවාය.

“සංජයට මම බය නෑ. මතකද ඔයාලගෙ අයියල විරුද්ධ වුණා. මතකද එක්දාස් නවසිය හැට ගණන්වල ශක්ති සමන්තා අධ්‍යක්ෂණ්‍ය කරපු ‘කාෂ්මිර්කිකාලි’ චිත්‍රපටිය බැලුවා.”

“ඔව්. ඔව්. ෂර්මිලාතාගෝර්, ෂම්මි කපූර් රඟපෑවා. ඒ දවස්වල ඔයා මට හිනා වුණේ.”

ඔවුහු සැහැල්ලු ලෙස අතීතය ස්පර්ශ කරමින් සතුටු වූහ.

මෙවැනි සතුටක් චම්පා කිසිදාක විඳ නැත. හින්දු විද්‍යාලයේ සිටියදී පාසල් ඇඳුමෙන් සැරසී සිටියා මතකය. මෙවන් සුදු ගවුමකින් සැරසී සිටියදී අතීතය සිහියට නැගෙයි. යුරෝපයේ මිනිසුන්ට වඩා ආසියාතිකයන් කොතරම් හොඳද? ඔවුන් ආගන්තුක සත්කාරය දන්නා පිරිසකි. නන්දිතා මීටර් 100, 200 ඉසව්වලට සම්බන්ධ ක්‍රීඩිකාවකි.

“ඔයා දුවන්න කැමැතිද?” නන්දිතා ඇසුවාය.

“මම මේ විද්‍යාලෙ ක්‍රීඩිකාවක් නෙවෙයිනෙ.”

“විවෘත තරගයක් තියෙනවා. ඒකට ඕනැ කෙනකුට ඉන්න පුළුවන්.”

තමා ළමා ලෝකයට පිවිස ඇතැයි චම්පාට සිතෙයි.

“මම අයියාගෙන් අහල කියන්නම්.”

නීලක සුදු ඇඳුමින් සැරසී සිටින යුවතියන් අතර චම්පා කුමරිය සොයමින් සිටියේය. තමා දෙසට දුව එන තැනැත්තිය ඔහු හඳුනා ගත්තේ ක්ෂණයකිනි.

“අද නම් කොන්වන්ට් එකේ ගර්ල් කෙනෙක් වගේ.”

“හරි වැඩේ තමයි. නංගි රිලේ එකකට දුවන්න කතා කරනවා.”

“මීට් එක අන්තිමට කම්බයින් ටීම් එකක් දුවනවා. කම්මැළිකම නැති වෙන්නත් එක්කල දුවන්න.”

“ඔයා කැමැති නම් දුවන්නම්.”

යසස් මහාරාජා සතුටින් තැබීමට හැම උත්සාහයක්ම ගනිමින් සිටියේය.

“සර් තැඹිලි ගෙඩියක් බොන්න.”

“මා නිසා යසස් නිතරම කරදර වෙනවා. මැඩම්ටත් එකක් දෙමු.”

“ඔව් සර් මැඩම්ටත් ගෙනාවා.” ඔහු තැඹිලි ගෙඩියක් ආර්යාවට දුන්නේය.

“අපේ කුමාරි නම් හරි සන්්්‍තෝසෙන් ඉන්නෙ.”

“සර් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්නයි හදන්නෙ. මේ ප්‍රශ්නය ඇසීමේ අයිතියක් මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කුමාරිගෙයි නීලකගෙයි ප්‍රශ්නෙට මොකද කරන්නෙ.”

“ඔව්

 

ඒක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්.”

“සාධාරණයක් ඉෂ්ට කරන්න සර්. අපි විශ්වාස කළත් නැතත් මේ දෙන්නා ආදරය වෙනුවෙන් මේ සංසාර් ගමන් කරලා තියෙනවා.”

“ඔව් යසස්.”

“අපි මොන ආගම දහමක් පිළිගත්තත් අපට ඒවා පිළිගන්ට වෙනවා.”

“නීලක දුප්පත් වුණත් බුද්ධිමත් කෙනෙක්. උත්සාහවන්තයෙක්. කුමාරිව දුකක් නැතිව ආරක්ෂා කරාවි.”

“මම මුලදි හිතුවේ මේ හැම දෙයක්ම අතහැරලා යන්නයි. මට ඕනෑම රටකට යන්න වීසා තියෙනවා. මම හිතුවෙ පවුලත් අරන් පිට රටකට ගිහින් පදිංචි වෙන්නයි.”

“ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද?”

“අපි මේක නීලක එක්ක කතා කරමු.”

“මට මේ ගැන කතා කරන්නට බෑ. යසස් යාළුවා එක්ක තකා කරගන්න.”

නීලකගේ අවධානය යොමුව තිබුණේ රාම් ‍මෝහන් තුමා වෙතය. ලෝකය විද්‍යාත්මක අතින් දියුණුව ඇති බව පැවසුවත් අධ්‍යාත්මික වශයෙන් අන්තයට පිරිහී ඇති බවක් පෙනේ. පළමුවැනි ලෝක යුද්ධයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැත. දෙවැනි ලෝක යුද්ධයේදී වටිනා ජීවිත රැසක් ලොවට අහිමි වුණත් එයිනුත් පාඩමක් ඉගෙන නොගත් බලවත් රටවල් රසායනික අවි නිපදවා ඒවා අමෝරා සිටිති.

ඊටත් වඩා මූල ධර්මවාදීන් නිර්මාණය කළ විලෝපනය සමාජ ජීවිතයට හා ආරක්ෂාවට තදබල ලෙස බලපෑවේය. ආගමික ස්ථානවලට හා පාසල්වලට තදබල ලෙස බලපෑවේය. යසස් පැමිණ නීලක අසලින් ඉඳගත්තේය.

“මොකද ලොක්කා කියන්නෙ.”

“මම අර ප්‍රශ්නෙ ගැන කතා කළා. උඹ එක්ක ඒ ගැන කතා කරන්ට ඕනැ කිව්වා.”

“මචං මේක නිකං සාමාන්‍ය ලව් ස්ටෝරියක් විදිහට සලකන්න බෑ. රාම් මෝහන් සර්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පවුලටම ජීවිත තර්ජන තියෙනවා.”

“මේක නිකම්ම අමතක කරන්ට පුළුවන් දෙයක් නෙමේ. උඹට බැරිද ලොක්කාට ආරක්ෂාව දෙන්න?”

“උඹ දන්නවනේ සර්ට දැනුත් ආරක්ෂාව සපයලයි තියෙන්නෙ. අද හැම තැනටම ආරක්ෂාව අවශ්‍ය වෙලා තියෙන කාලයක්.”

ඔවුනතර නිහඬ බවක් ඇතිවුණි.

“මෙහෙම අහන්නම්. ලොක්කා කතා කළොත් උඹ ඉන්දියාවට යනවද?”

“අපිට එහෙම ආරාධනාවක් කරයි කියලා හිතනවද?”

“ලොක්කට දැන් ඉන්දියාවෙ බොඩි ගාඩ්ලා ෂුවර් නෑ කිව්වා.”

“ඔව් සමහරවිට ඒ කතාව ඇත්ත වෙන්න ඇති. දැන් රාම් මෝහන්ට විරුද්ධ වෙලා ඒ තනතුර අයිතිකර ගන්න සටනක් තියෙනවා.”

“සර් ඒ තනතුරු ගැන හිතන්නෙ නැහැ. ව්‍යාපාරය ආරක්ෂා කරන්න කළමනාකරුවෙක් හොයනවා. උඹට එක භාර ගන්ට බැරිද?”

ලබන සතියට...

Comments