ආද­රය අහිමි වීමෙන් දැනෙන වේද­නාව | සිළුමිණ

ආද­රය අහිමි වීමෙන් දැනෙන වේද­නාව

යළිත් පරිසරය සන්සුන් කියලා හිතෙන්නේ වෙනදාට වඩා දැන් මහ මග ක්‍රමයෙන් ජනාකීර්ණ නිසයි. දිගු පෑවිල්ල නිමා කරමින් වෙසක් පොහොය ගෙවනවත් එක්කම වැසි වැටෙන්න පටන් අරගෙන. රාත්‍රියේ වට වැස්සට බිම වැටුණ ඇහැළමල් පියවිලි කන්තෝරුව ඉස්සරහා කහ පලසක් එළුවා වගෙයි. වසර ගණනක් තිස්සේ ඇහැට හුරු මේ ඇහැළ ගස් පෙළ මල් පුරෝගෙන හිනාවෙන කොට හිතට දැනෙන සුන්දරත්වය මෙපමණයි කියලා නිමා කරන්න බැරි තරම්. පෙබරවාරි මාසේ අග විතර මල් පිපෙන්න ගන්න ඇහැළ ගස් මැයි ජූනි මාස අග වන විටත් මල් පුරෝගන ඉන්න හැටි දැක්කම පුදුම හිතෙනවා. ගහ මල් වැරුවාම දැනෙන පාළුව අපට විතරක් නෙමෙයි ගහටත් දැනෙනවා ඇති කියලා හිතෙනවා. සිය සාරය උරා ගනිමින් පිපුණ මල් සියල්ල බිම වැටී පරවී ගිය විට ගහටත් දුක හිතෙනවා ඇති නේද? මගේ බොළද සිත මගෙන් විමසනවා. ඒ තමයි අනිත්‍යය. ඇති වීම. නැති වීම. ඇහැළ ගහ උගන්නන්නෙත් එක්තරා ධර්මතාවක්.

ඇති වීම නැති වීම එක්ක බැඳුණු අපේ ජීවිතවලට මේ ධර්මතාව අවබෝධ කරගන්න පුළුවන් නම් ජීවත් වීම පහසුයි නේද කියලා විටෙක හිතෙනවා. නමුත් පුහුදුන් අපි ඉතා ආශාවෙන් බදා වැලඳ ගන්න දේවල් අපව අතහැර යෑමේදී අපට අත්හැරීමේදි ඒ දුක වේදනාව උහුලාගන්න දරන වෑයම කොයි තරම්ද? විශේෂයෙන් කෙනෙකු වෙනුවෙන් සිත උපන් ආදරය අහිමි වී ගිය විට දැනෙන දුක වේදනාවේ තරම් එහි අත්දැකීම් ඇත්තෙකුට අමුතුවෙන් කියා දිය යුතු නැත. ආදරයෙන් බැඳෙනවාද නැද්ද, ඇයට හෝ ඔහුට පෙම් කර ඇය හෝ ඔහු අතහැරුණොත් ඒ දුක වේදනාව උසුලාගන්නේ කෙසේද? කෙනෙකු එසේ සිතමින් සිත උපන් පෙම සිතේම සඟවාගෙන සිටිනු අප දැක ඇත. වෙන දෙයක් වෙච්චාවේ කියා පෙමින් බැඳී අවසානයේ ජීවිත කාලයම ඒ ප්‍රේමය වෙනුවෙන්ම විඳවන අයුරුද අප දැක ඇත. ප්‍රේමයෙන් විඳින්නන් විඳවන්නන් පිළිබඳ සිහි වූයේ සඳරුවන් කරුණාතිලක ලියූ කරුණාරත්න දිවුල්ගනේ ගයන “ජීවිතේ ඔහේ යන හුදෙකලා මාවතේ“ ගීතය ඇසීමෙනි. මේ ගීතයේ තනු නිර්මාණය කර ඇත්තේ නොබෝදා අපෙන් සමුගත් ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන්ය. ඔහු අපූරු තනු නිර්මාපකයෙකි. ඔහුගේ සංගීතයෙන් අප නැළවූ, අප හැඬවූ ගී බොහෝය. එමෙන්ම කරුණාරත්න දිවුල්ගනේ ගායනවේදියාගේ ලයාන්විත දුක්බර හඬ පද පෙළ වඩ වඩාත් අරුත් ගන්වයි.

සඳරුවන් කරුණාතිලක ගැයූ ගී අතරින් මෙවර ගීයක අරුම සඳහා තෝරාගත් ගීතය පිළිබඳ ඔහු අපට කියූවේ මෙලෙසිනි.

මේ ගීතයට පාදක වුණේ මගේ මිත්‍රයකුගේ අත්දැකීමක්. ඔහු තවමත් අවිවාහකයෙක්. ජීවිතේ යම් යම් අරමුණු එක්ක ජීවත් වුණ ඔහුගේ ජීවිතයේ විවාහය දවසින් දවස ප්‍රමාද වුණා. ඉඳලා හිටලා මම ඇහුවාම ඔහු කිව්වේ ඔහුට ගැළපෙන කෙනෙක් ලැබුණේ නැහැ කියලා. නමුත් කලකදි ඔහුට බොහොම හැඩරුව තරුණියක් හමුවෙනවා. ඔහුගෙ සිත මේ තරුණීය කෙරෙහි බැඳෙනවා. නමුත් ඔහු බයයි ඇයට ළං වන්න ජීවිතයට ළං කර ගන්න. හේතුව තමයි. බොහෝ කල් ප්‍රේමයෙන් තොරව හු‍ෙදකලාවේ ජීවත් වුණ ඔහු බයයි දවසක මේ තරුණිය නොලැබී යාවිද කියලා. ඔහුට සිතක් තියෙනවා ඇයට ආදරය කරන්නට, ඇය විවාහ කරගන්න. නමුත් දවසක ඇය ඔහු හැර ගියොත් හෝ වෙන කුමක් හෝ හේතුවක් නිසා විවාහය නොකෙරුණොත් ප්‍රේමයෙන් පරාජිත වුණොත් කොහොමද ඒ දුක වේදනාව දරාගන්නේ කියන එක ඔහු නිතර හිතනවා. මේ නිසා ඔහු ඇයට ආදරය කරන්නේ සිතින්. මා මිත්‍රයා තවමත් තනිකඩයි. මම දන්නවා ඔහු අර තරුණියට තවමත් ආදරය කරන බව. මගේ හිතේ කාලයක් තිස්සේ මේ අත්දැකීම තිබුණා. පසුකාලයක තමයි මේ පද පෙළ ලියැවුණේ. මම පද පෙළ දිවුල්ගනේ මහත්මයාට පෙන්නුවා. ඔහු මෙයට බොහෝ කැමැති වුණා. මේ ගීතය වෙනුවෙන් යූ ටියුබ් එකේ විඩියෝ නිර්මාණය වී තිබෙනවා මා දුටුවා. බොහෝ දෙනෙක් මේ ගීතය අගය කිරීම මට සතුටක්.“ ඒ සඳරුවන්ගේ අදහසයි.

 

Comments